Tuesday, 20 March 2012

අපෙන් එකෙක්වත් නොදෙමු!

‘ඩෙංගු නැවතත් හිස ඔසවයි’  සියලුම මාධ්‍ය හරහා රට පුරා විශාල ප්‍රචාරයක් දෙන යුගයයි. ඩෙංගු නිසා මරුවාට ගොදුරු වූ සංඛ්‍යාව දවසින් දවස එකතු කරමියන් ඉදිරියට ගෙන එයි. තම පරිශ්‍රයේ ඩෙංගු මදුරුවන්ට විසීමට අවස්ථාව ලබා දීම නිසා නීතියට ගොදුරු වූ සංඛ්‍යාවද දවසින් දවස ඉහල යයි. වෛද්‍යවරුන්, විදුහල්පතිවරුන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන්, ජනප්‍රිය පුද්ගලයින් ආදී වශයෙන් සමාජයේ විවිධ ආකාරයේ පුද්ගලයින් මරුවාට හෝ නීතියට ගොදුරු වෙමින් පවතී.
මේ ව්‍යසනයට අපත් ගොදුරු විය යුතුද? මේ සඳහා කළ යුත්තේ කුමක්ද? අනතුරු දෙකකි. එකක් ඩෙංගු බෝ වීමේ අවදානම. අනෙක මදුරුවන් බෝවන ස්ථාන තමන් භාරයේ පැවතීම. මේ අවදානම් දෙකෙන් මිදිය හැක්කේ කෙසේද? ඩෙංගු මදුරුවන් හෝ වෙනත් මදුරුවන්  හෝ ජීවත් වන ස්ථාන නැති කිරීම කළ නොහැකි දෙයක් වුවත් මදුරුවන් බෝවන ස්ථාන නැති කිරීම කළ හැකි දෙයක් බව අවබෝධ විය. එම අභියෝගය ජය ගත හොත් අවදානම් දෙකෙන්ම අත්මිදිය හැකිය.
කවුරුත් එකාවන්ව කටයුතු කළොත් ළඟා විය නොහැකි ඉලක්කයක් නොවේ. තවමත් අපේ ගමේ බහුතරය ඒකරාශී කළ හැකි එකම ස්ථානය පන්සල බැවින්, පන්සලේ නායක හාමුදුරුවෝ මුණ ගැසී කථා කළෙමි. මේ සාකච්ඡාව සඳහා ගමේ ක්‍රියාකාරී තරුණයින් කිහිප දෙනෙකු සහභාගි කර ගැනීමට හැකිවීම හොඳ ආරම්භයක් විය. නායක හාමුදුරුවෝද අවශ්‍යතාව මැනවින් වටහා ගත් අතර අවශ්‍ය සෑම තැනකදීම නායකත්වය දැරීමට කැමැත්ත ප්‍රකාශ කළ සේක.
පළමු සාකච්ඡාවේ වූ සාර්ථකත්වය නිසාම ඇති වූ ගැම්මත් සමගින් දෙවන සාකච්ඡාව සඳහා බහුතරයකට ආරාධනා කළෙමු. පොලිස් ස්ථානාධිපති, දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී, විදුහල්පතිවරුන් දෙදෙනා, මහජන සෞඛ්‍ය පරීක්‍ෂක, ග්‍රාම නිලධාරීන් දෙදෙනා, කෘෂිකර්ම පර්යේෂණ හා නිශ්පාදන සහකාරවරුන් දෙදෙනා, සමෘද්ධි නියමකවරුන් දෙදෙනා, ඇතුළු ප්‍රදේශයට ඍජුවම සම්බන්ධ වන රාජ්‍ය නිලධාරීන් සියලුම දෙනාට ආරාධනා කළෙමු. එසේම ඒ සෑම නිලධාරියේකුගේම ඉහල නිලධාරියාටද, තම නිලධාරියා සහභාගි කරවන ලෙස ඉල්ලා ලිපි යොමු කළෙමු.
අති සාර්ථක සහභාගිත්වයකින් යුතුව අවසන් වූ දෙවන සාකච්ඡාවෙන් පසුව ප්‍රදේශයේ ජනාකීර්ණ ස්ථාන දෙකක ‘අපෙන් එකෙක්වත් නොදෙමු’ යනුවෙන් බැනර් දෙකක් ප්‍රදර්ශනය වන්නට විය. ‘අපෙන් එකෙක්වත් නොදෙමු, අගෝස්තු 7වන සෙනසුරාදා උදේ 9ට හා හවස 3ට විහාරස්ථානයේදී.’ මේ පිළිබඳව ගමේ සියලුම දෙනා දැනුවත් කිරීම සඳහා වහ-වහා ලිපි සකස් කළෙමු. ග්‍රාම නිලධාරී වසම් දෙක සඳහා උදේ හා සවස ලෙස අවස්ථා දෙකකදී! මෙම අවස්ථාව සඳහා සෑම නිවසකින්ම එක් අයෙක්වත් සහභාගි විය යුතු අතර, කිසිවෙක් හෝ සහභාගි නොවන නිවෙස් පසු දින සිට දැඩි පරීක්‍ෂාවට භාජනය කරන අතර උපරිම ලෙස නීතිමය කටයුතු කරන බව දන්වා යවන ලිපියකට පුද්ගලිකවම අත්සන් තැබීමට පොලිස් ස්ථානාධිපති නිර්භය විය. ප්‍රදේශයේ මුළු නිවාස සංඛ්‍යව 827ක් වූ අතර, සෑම නිවසක් වෙතම ගොස් ලිපිය භාර දීමට තරුණ පිරිස හා ත්‍රීරෝද රථ හිතවත්හු කටයුතු කළහ.  
7දා උදෑසන පටන් විහාරස්ථානය කරා පිරිස් ඇදී එන්නට වූ අතර හදිසියේ ඇති වූ දැඩි වර්ෂාව නිසා එළිමහනේ පැවැත්වීමට සූදානම් කොට තිබූ වැඩසටහන ධර්ම ශාලාව තුලට ගෙන යාමට සිදු විය. පැමිණි සියලු දෙනා ලියාපදිංචි කළ අතර, නොපැමිණීම සියයට පහක් පමණක් විය. ඉතා හොඳින් සැලසුම් කළ පැය දෙකක වැඩසටහනක් තුළදී, අපට ඇති අවදානම් දෙක පිළිබඳවත් ඒ එකකටවත් අපේ එකෙක්වත් ගොදුරු වීමට ඉඩ නොතබා කටයුතු කළ යුතු අන්දම පිළිබඳවත් ජනතාව දැනුවත් කිරීම සඳහා, දිස්ත්‍රික් රෝහලේ වෛද්‍යවරිය හා පිරිසත්, පොලිස් ස්ථානාධිපතිවරයාත්, මහජන සෞඛ්‍ය පරීක‍්‍ෂකවරයාත් ප්‍රශංසනීය දායකත්වයක් ලබා දුන්නේය.
උදේ හා සවස සැසිවාර දෙක අවසන් වන විට මුළු ප්‍රදේශයම ඉදිරි සතිය තුළ තමන් ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව හොඳින් දැනුවත් වී ඇති සෙයක් ඔවුන්ගේ නොයෙකුත් ඉල්ලීම් වලින් හා ප්‍රශ්න කිරීම් වලින් පැහැදිලි විය. තම නිවෙස්වල හා ඉඩම්වල ඇති සියලුම අබලි ද්‍රව්‍ය හා කුණු කසල එකතු කර දිරා යන හා නොදිරන යනුවෙන් වෙන් කොට තැබීමටත්, ඉඩම්වල ඇති සියලුම ළඳු කැලෑ එලිපෙහෙලි කොට ඒවා දැමීමට තැනක් නොමැතිනම් ඒවාද ගෙන යාමට හැකි ආකාරයට සූදානම් කොට තැබීමටත් කවුරුත් එකාවන්ව එකඟ වූහ.
ඉනික්බිතව එළඹුන ඉරිදා-15දා ප්‍රදේශයේ ඉසුලුවේ කඩි ගුලක ස්වරූපයකි. පෙර දිනයේ රාත්‍රියේ ප්‍රදේශය පුරා සැරිසැරූ ප්‍රචාරක රථයක් කාට කාටත් තම යුතුකම් හා වගකීම් නැවතත් මතක් කර දුන්නේය. ඉරිදා උදේ පටන්, ප්‍රාදේශීය සභාවෙන් සපයා දී තිබූ ටැක්ටර් හා සේවකයින් ගම පුරා සැරි සරමින් නිවාස ඉදිරිපිට ගොඩ ගසා තිබූ කුණු රොඩු, අබලි ද්‍රව්‍ය හා කැලි කසල එකතු කිරීමේ යෙදුනි. මුළු ප්‍රමාණය ටැක්ටර් ලෝඩ් 15 ඉක්මවා යාම ප්‍රදේශය පැවති තත්වය තේරුම් ගැනීමට හොඳ නිදර්ශකයක් විය. හිමිකරුවන් ප්‍රදේශයේ නොමැති ඉඩම් ශුද්ධ කිරීම සඳහා ජාතික සහායක බලකායේ සෙබලුන්ගේ දායකත්වය ලබා ගැනීමට කටයුතු කළෙමු.
එදින සවස්වන විට අවසන් කළේ එක් උත්සාහයක් පමණක් වූ නමුදු වසරකුත් මාස 7ක් ගෙවී අවසන් වන මේ මොහොත දක්වාම අපෙන් එකෙක්වත් ඩෙංගු මාරයාට හෝ නීතිය හමුවට ගෙන යාමට අපේ ගමේ කවුරුවත් ඉඩ නොදුන්හ.

මේ සටහන නැවත තබන්නට සිත් වූයේ අද උදෑසන දොම්පෙ රෝහලේදී ඇති වූ තවත් සාකච්ඡාවක් නිසායි. ඒ සම්බන්ධව තවත් සටහනක් තබන්නම්!

8 comments:

තිස්ස දොඩන්ගොඩ said...

ඔන්න නියම උද්ඝෝෂණ - කෑගහල විතරක් නෙමේ කරල පෙන්නන්න පුලුවන් වැඩ - බාරගන්නවනම් අභියෝග - රටම එකවෑර හදන්න හදන ෆේස්බුක් විප්ලවවාදීන් මෙව්වා කියවනවද බන්දුල මහත්තයෝ?

Bandula - බන්දුල said...

මගේ හොඳ වෙලාවට නැතුව ඇති!

ගමේ ඉස්කෝලෙ ළමයින්ට පාවහන් ටිකක් හොයල දෙන්න සූදානම් වුනහම විදුහල්පති(වැ.බ.)තුමා ගුරුතුමියකට කියල තිබුණලු මගේ 'දේශපාලන භාවිතාව' හොයල කියන්න කියල!

දයානන්ද රත්නායක said...

මෙහෙම හැම කෙනෙක්ම එකා වගේ එකතුවෙලා වැඩ කරනව නම් මේ හැම ප්‍රශ්ණයක්ම සරළව විසඳගන්න පුළුවන්.

ඒත් තමන්ගෙ ගෙදර කුණු ටික අරන් ගිහින් අල්ලපු ගෙදර තාප්පෙ ගාවින් තියලමාරු වෙන , එහෙමත් නැත්නම් මීටර් 100 දුරින් තියන ප්‍රධාන පාරට විසිකරල ඇවිත් දැන් ඩෙංගු වලින් අපි නිදහස් කියල ඇතැම් අය හිතාගෙන වැඩ කරන්නෙ.

ඒත් එබේ මේ ලිපිය දැක්කම හැමෝම එකා වගේ ඉන්නවනම් මොනවද කරන්න බැරි කියලා හිතුනා

Bandula - බන්දුල said...

හැම කෙනෙක්ම එකා වගේ එකතුවෙලා ....
මේව ප්‍රායෝගික දේවල් නෙමේ රත්නායක. මේ 'වැඩේදි එකා වගේ එක්වෙලා' වැඩ කළේ අපි 7 දෙනෙක් විතර කණ්ඩායමක්. අනෙක් හැමෝම කළේ, නොකළොත් තමන්ට ප්‍රශ්නයක් වෙන නිසා. දෙවන සාකච්ඡාවට නිලධාරීන් බහුතරයක් සහභාගි වුණේ ඔවුනගේ උසස් නිලධාරීන්වත් දැනුවත් කළ නිසා. රැස්වීමට ඔය තරම් සහභාගි වුණේ සහභාගි නොවන අයගේ නිවාස හා ඉඩම්, පොලීසියේ දැඩි පරීක්‍ෂාවට භාජනය වන නිසා. ඒ වගේ සෑම සහභාගිතවයකටම හේතුවක් තියෙනවා. සැලසුම් කරන්නන්, ක්‍රියාත්මක කරන්නන් කළ යුත්තේ ඒ හේතූන් නිර්මාණය කිරීමයි. මෙම කාර්යයේදී අපේ සාර්ථකත්වය වූයේ එයයි.

ශාකුන්තල said...

It's totally practical HRM. :)

Bandula - බන්දුල said...

there is a theory also. !

Gaminie Vijith Samarakoon said...

බන්දුල මලේ ... අදයි මම බ්ලොග් එක දැක්කේ. ආසාවෙන් කියෙව්වා.

අපෙන් එකෙක් නොදෙමු වැඩ සටහනට සහභාගිවුන නිසා ඒකෙ සාර්ථකත්වය මම දෑසින් දැක්කා. දේශපාලකයෙක් අහලකවත් නොහිටි, පන්සලේ ලොකු හාමුදුරුවො, අදාල රාජ්‍ය නිලධාරීන් සහ ගමේ තරුණ නායකත්වය පමණක් මුල් වුන වැඩසටහනක් නිසා ඒක බොරු සෝබන නැති, සැබෑම ප්‍රායෝගික වැඩසටහනක් උනා. ඒක සංවිධානය කරන්න වෙහෙසුනු ඔබට මගේ ප්‍රණාමය ...!

බ්ලොග් එකට පාර කිව්වේ ගලකොන හන්දියේ හෙන්රි ජයවර්ධන. ඌ නාලන්දෙ ඉගෙන ගත්තේ. දැන් මාල දිවයිනේ උගන්නනවා. 'මටහිතෙන හැටි', 'HeyDude'බ්ලොග් දෙක ලියන්නේ හෙන්රියා. ගොඩවෙලා බලන්න. මට බ්ලොග් ලියන්න ඉගැන්නුවේ ඒකා.

Bandula - බන්දුල said...

බොහොමත්ම ස්තුතියි ගාමිණි අයියා!
අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ කරන්න ඉදිරිපත් වෙන්න බැරිනම් අපේ ජීවිතෙන් වැඩක් නෑ. ඒ නිසායි ඒ වෙලාවේ ඒක සංවිධානය කරන්න හිතුවේ.
ඒ වැඩසටහන සඳහා අපේ දොම්පෙ මිනිස්සුන්ගෙන් ලැබුනු දායකත්වයනම් අති විශිෂ්ඨයි. කවුරු මොනව කිව්වත් දොම්පෙ මිණිස්සුන් ළඟ තියෙන සුවිශේෂී ලක්‍ෂණ කිහිපයක්ම හඳුනාගෙන තියෙන්නේ. බලමු මොනවද තව දුරටත් කරන්න පුළුවන් කියල.

හෙන්රි මට මතකනම් නෑ; අඳුන ගන්න ආසයි!