Thursday, 8 March 2012

දහම් පාසලක් කුමකටද?

එක්තරා දිනක බැහර ප්‍රදේශයක දහම් පාසලක 'ශිෂ්‍ය නායක පදක්කම් පැළඳවීමේ නිල උත්සවය'කට සහාගි වීමට සිදු විය. දැනුම් දී තිබූ පරිදි නියමිත වේලාවට 'දහම් පාසල' වෙත පැමිනෙද්දීම 'තව විනාඩි 30න් පමණ' උත්සවය ආරම්භ කරන බව ශබ්ද විකාශන යන්ත්‍රය හරහා ප්‍රසිද්ද කරන ලදී. 'නියමිත වේලාව' ළඟා වන තුරු පන්සලේ නායක හාමුදුරුවන් මුණ ගැසීමට ගියෙමි. "නායක හාමුදුරුවනේ, දහම් පාසලක ශිෂ්‍ය නායකයෝ මොකද්ද කරන්න ඕනෙ." "මහත්තයෝ, මටත් ඕක ප්‍රශ්නයක්; අපි කරන කාලෙ පන්ති නායකයෙක් පත් කර ගත්ත, සම්බන්ධීකරන වැඩ වගේ දේවල් වලට. නැතුව ශිෂ්‍ය නායකයෝ කියල ජාතියක් හිටියේ නෑ." උත්සවය ආරම්භ වීමට සූදානම් බැවින් නායක හාමුදුරුවෝ සමග එම ස්ථානයට ගියෙමි. 'දහම් පාසලේ විනය භාර නියෝජ්‍ය ප්‍රධානාචාර්යතුමා' සභාව මෙහෙයවමින් 'දහම් පාසල් ශිෂ්‍ය-ශිෂ්‍යාවන්' 'එක විදිහකට' තබා ගැනීමට සෑහෙන වෙසෙක් ගත්තේය. "කියන දේ නාහන අයට දැඩි දඬුවම් විදින්නට" සිදුවන බව මතක් කර දුන් එතුමා ඉල්ලා සිටියේ මෙම උත්සවයට සහභාගිවීමට පැමිණ සිටින දෙමාපියන්ට ආදර්ශයක් වන ලෙස 'දහම් පාසල් ශිෂ්‍යයින්' හැසිරිය යුතු බවයි. කෙසේ හෝ මා පුල-පුලා බලා සිටි අවස්ථාව එළඹියේ ඉන් අනතුරුවයි. දැඩි වෙහෙසක් දරා 'මනා ලෙස සංසුන්' කර ගත් ශිෂ්‍ය-ශිෂ්‍යාවන් අමතමින් ශිෂ්‍ය නායක නායිකාවන්ගේ වගකීම් හා කාර්ය-භාරය පැහැදිලි කළේය.

1. අනෙක් ශිෂ්‍ය-ශිෂ්‍යාවන්ට පැය භාගයකට පෙර දහම් පාසලට පැමිණිය යුතුය.
2. පැමිණීමේ ලේඛණය අත්සන් කර තමාට නියමිත රාජකාරියට වාර්තා කළ යුතුය.
(රාජකාරී:- මල් පූජාව සංවිධානය කිරීම, ශබ්ද විකාශන පද්ධතියේ රාජකාරී, මල් පූජාව සඳහා නියම කළ භාණ්ඩ රැගෙන ආවාදැයි පරීක්‍ෂා කිරීම, ගේට්ටු අසල රාජකාරී, දහම් පාසල් නිල ඇඳුම පරීක්‍ෂා කිරීම, දහම් පාසල් පදක්කම පැළඳ ඇත්දැයි පරීක්‍ෂා කිරීම, ශිෂ්‍යයින් ජෙල් ආලේප කර ඇත්දැයි පරීක්‍ෂා කිරීම, ශිෂ්‍යාවන් කරල් දෙකට කොණ්ඩය ගොතා ඇත්දැයි පරීක්‍ෂා කිරීම, පන්ති පවත්වන ස්ථාන අතුගා ඇත්දැයි පරීක්‍ෂා කිරීම, (පන්සල් මිදුල පන්සලේ ස්වාමීන් වහන්සේලා හිමිදිරියේම ඇමද ඇති බැවින් එය පරීක්‍ෂා කිරීම රාජකාරී ලැයිස්තුවට ඇතුළත් නොකරන්නට ඇත.) නියමිත වේලාවට සීනුව (ඝාණ්ටාරය) නාද කිරීම, මල් පූජාව සඳහා ශිෂ්‍ය-ශිෂ්‍යාවන් පෙල ගැස්වීම, ආගමික වතාවත් සඳහා පෙළ ගැස්වීම, ශිෂ්‍යයින්ගේ හා ශිෂ්‍යාවන්ගේ පේළි නිවැරදිව ස්ථානගත වී ඇත්දැයි පරීක්‍ෂාකාරීවීම, පමා වී පැමිණෙ ශිෂ්‍ය-ශිෂ්‍යාවන් අව්වේ පේළි ගැස්වීම, ආගමික වතාවත් අතර තුරදී නිශ්ශබ්දතාවය ආරක්‍ෂා කර ගැනීම, කලන්තය සැදෙන අය ශාලව වෙත ගොස් වාඩි කරවීම, උදෑසන රැස්වීම සංවිධානය කිරීම, ගුරුවරු නොමැති පන්ති පාලනය කිරීම, පන්සලේ ගස්-අතු, මල්, ගෙඩි, පොකුණ හා සුරතල් මසුන් ආදිය ආරක්‍ෂා කිරීම, විවේක කාලයේදී ආරවුල් ඇති වන්නේ දැයි පරීක්‍ෂාවෙන් සිටීම, ශිෂ්‍ය-ශිෂ්‍යාවන් විනය විරෝධීව හැසිරෙන්නේ දැයි පරීක්‍ෂාවෙන් සිටීම, විනය කඩ කරනු ලබන අය විදුහල්පති ස්වාමීන් වහන්සේ වෙත ඉදිරිපත් කිරීම, දහම් පාසල අවසන් කිරීමේ රැස්වීම සංවිධානය කිරීම, පේළි සකස් කිරීම, ගේට්ටු අසල රාජකාරී .......) - මෙහි දැක්වූයේ විනය භාර නියෝජ්‍ය ප්‍රධානාචාර්යතුමා පැහැදිලිව හා පිළිවෙලට ඉදිරිපත් කළ රාජකාරී ලේඛනයෙන් මගේ මතකයේ රැඳුනු හා සටහන් කර ගැනීමට හැකිවූ ඒවා කිහිපයක් බව කරුණාවෙන් සලකන්න.

3. විදුහල්පති ස්වාමීන් වහන්සේ, විනය භාර නියෝජ්‍ය ප්‍රධානාචාර්යතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය පවරනු ලබන ඕනෑම රාජකාරියක් ඉටු කිරීමට සූදානමින් සිටිය යුතුය.
4. දහම් පාසලේ කීර්තිනාමය ආරක්‍ෂාවන අයුරින් කටයුතු කළ යුතුය.
5. සෑම විටම අනෙක් ශිෂ්‍ය-ශිෂ්‍යාවන්ට වඩා ප්‍රියමනාප ආකාරයෙන් සැරසී සිටිය යුතුය.
6. සෑම විටම ශිෂ්‍ය නායක පදක්කම පැළඳ සිටිය යුතුය.
7. දහම් පාසල පැවැත්වෙන සෑම දිනකම දහම් පාසල් පැමිණිය යුතුය.
8. දහම් පාසල විසින් සංවිධානය කරනු ලබන සෑම අවස්ථාවකටම අනිවාර්යයෙන් සහභාගි විය යුතුය.
9. සෑම විටම විනය ගරුකව සිටිය යුතු අතර කිසිම විටක අනවශ්‍ය සම්බන්ධතා නොපැවැත්විය යුතුය.
10. සෑම විටම ආගමට දහමට හා ස්වාමීන් වහන්සේලාට ගෞරව කළ යුතුය.

මා මෙම කරුණු සටහන් කර ගන්නවා දුටු නායක ස්වාමීණ්වහන්සේ "මහත්තයා දේශනයට කරුණු ලියා ගන්නවාද?" කියා විමසා, "මටත් දේශනයක් කරන්න කිව්වනෙ; මේ මම පොඩි සටහනක් ගහ ගත්තා" යැයි මා අත කොළ කෑල්ලක් තැබූ සේක. නායකත්වයේ ලක්‍ෂණ: මාතෘකාව යටතේ අරහං ආදී බුදුගුණ හා ඒවායේ සරල තේරුමත්, නායකයෙකු සතුව එම ගුණ තිබිය යුතු ආකාරයත් කෙටියෙන් සඳහන්ව තිබුණි.
"හාමුදුරුවනේ මෙතන නායකයෝ පත් කරන බවක් පේන්න නෑනෙ"
"ඔව් මහත්තයො, ආචාර්ය මණ්ඩලයට වහල්ලු ටිකක්නෙ මේ තෝරගෙන තියෙන්නෙ"
"හාමුදුරුවනේ මේ ළමයි දැන් ගොඩක් වෙලා හිටගෙන ඉන්න නිසා මම දේශනයක් කරන්න අදහසක් නෑ, මම බැජ් පළන්දල ඉවර වුණහම යන්නම්"
"හොඳ විදිහක් මහත්තයො, මමත් නායකයෝ ගැන නෙමේ සේවකයෝ ගැන කතා කරන්න හිතුව"

මේ අතර සභාව පදක්කම් පැළඳවීමේ අවස්ථාව එළඹ තිබුණි. තෝරා ගත් ශිෂ්‍ය නායක නායිකාවන් පෙළකට සිටි අතර ඔවුගේ මව හෝ පියා හෝ දෙදෙනාම හෝ පැමිණ සිට අය ඔවුන් ඉදිරි පිට සිටගෙන සිටී. දැන් ඔවුන් සූදානම්ව සිටින්නේ කම දරුවන්ට 'ශිෂ්‍ය නායක' පදක්කම් පළඳවන්නටයි. මා සිතාගෙන සිටියේ මට ආරාධනා කළේ ඒ කාර්ය සඳහා කියාය. කෙසේ වුවත් මව, පියා හෝ 'භාරකරුවෙක්' පැමිණ නොසිටි දරුවෙකුට පදක්කම පැළඳවීමට මටත් අවස්ථාව උදා විය. ඒ අතර "බැජ් එක පැළැන්දපු ගමන් මම යනවා" යැයා කීවේ ඊ ළඟට මම කුමක් කළ යුතුදැයි දැන ගැනීමේ අදහසිනි. "අපෝ බෑ, ළමයින්ට නායකත්වය ගැන දේශනයක් කරන්න ඕනෙ ඔබතුමා" ආරාධනා කරද්දි කිව්වනම් තමා වඩා හොඳ; කමක් නෑ කියා කියන්න තිබුණත්, "ළමයි ගොඩක් වෙලා හිටගෙන නේද?" කියා පමණක් කීවෙමි.

දේශනය ආරම්භ කිරීමට ප්‍රථම විදුහල්පති ස්වාමීන් වහන්සේගේ අවසරය ඇතිව අභිනව ශිෂ්‍ය නායක-නායිකාවන්ට මංගල 'රාජකාරිය' පැවරුවෙමි. ඔවුන් රැගෙන ආ පැදුරුවල ඉඳගත් දහම් පාසල් දරුවන්ගෙන් මා පළමුවම විමසා සිටියේ "ඔබ දහම් පාසල් පැමිණෙන්නේ ඇයි" කියා. ඔබත් දන්නා පරිදි හා මමත් බලාපොරොත්තු වූ පරිදිම සම්ප්‍රදායික පිළිතුරු කිහිපයක් ලැබුණි. අනතුරුව මම විමසුවේ "දහම් පාසලේ හා පාසලේ වෙනස" කුමක්ද යන්නයි. ලැබුණේ පිළිතුරු දෙකක් පමණි. එක් පිළිතුරක් වූයේ 11.30 ට අවසන් වන බවයි. අනෙක් පිළිතුර වූයේ නිවාඩු දවසක පවත්වනවා යන්නයි. මාගේ ඊළඟ ප්‍රශ්නය වූයේ එසේනම් දහම් පාසලක් කුමකටද යන්නයි.

6 comments:

පූසා said...

මම 6 වසරේ ඉඳන් 10 වසර වෙනකම් දහම් පාසල් ගියා. ඒ දවස් වල මම සතියේ අකමැතිම දවස තමයි ඉරිදා දවස!

රාජ් said...

දහම්පාසල කියනඑක මේවගේ නීති දාගෙන කරන්න බෑ. සතියෙ දවස් 5ම මහන්සිවෙන සෙනසුරාදත් ටියුෂන් වලට කැපකරන එවුන්ට දහම්පාසලෙන් තවත් වධයක් දෙනවනං ඒක හොද නෑ.
මම අවුරුදු ගනනාවක් දහම්පාසල් ගියා. අපේ නං ඔයවගේ නීති රෙගුලාසි තිබුනෙ නෑ. හැබැයි දහම්පාසලකින් ඉටුවෙන්න ඕන ටික හොදට ඉටුවුනා.

දයානන්ද රත්නායක said...

මම අපේ දහම් පා‍සල් කමිටුවේ වග කිව යුතු තනතුරක් දරනවා. මේ සියළුම නීතිරීති වගේම, දහම් පාසල් ආචාර්ය මණ්ඩලයටත් නීති රීති පනවල තියනවා.

ඒ මොනව කළත් දහම් පාසලකින් අපේක්ෂිත ඉලක්ක ඉටුවෙන්නෙ නම් ඉතාම මන්දගාමීවයි. මේක ගැටළුවක්

ශාකුන්තල said...

මට මතක හැටියට මම දහම් පාසල් ගිය මුළු කාලය දවස් තුනක් හෝ හතරක් (සති අන්ත හතරක්). වැඩි විස්තරයක් කියන්න මට මතකයක් නැති වුණත්, වැඩේ එච්චරම අල්ලල ගියේ නැති බව නම් මතකයි.

-----

මම නම් දකින විධියට දහම් පාසල කියන දේ කතෝලිකයන් එක්ක තරඟයට ඇති කරගත් දෙයක්.
Sunday School -- ඉරිදා දහම්පාසල
නත්තල් කැරොල් -- වෙසක් කැරොල් -- වෙසක් භක්ති ගී
(මේ වගේ තවත් උදාහරණ තියෙන්න පුළුවන්)

සමහරවිට යටත් විජිත යුගයෙන් පස්සෙ ලංකාවෙ බෞද්ධ පුනරුදය සඳහා මේ තරඟකාරී අනුකරණය වැදගත් සාධකයක් වෙන්නත් ඇති කියල හිතෙනව.

ශාකුන්තල said...

දහම්පාසලක් නීති රීති දාගෙන කරන්න බැහැ තමයි. “කියන දේ නාහන අයට දැඩි දඬුවම්“ බෞද්ධ පිළිවෙතට ගැළපෙන දේවල් නෙමෙයි මම හිතන්නෙ.
ඒත්, පිරිස විශාල වෙනකොට නීති රීති නැතුවමත් බැහැ; යම් තාක් මට්ටමකට තිබිය යුතුයි.

Bandula - බන්දුල said...

'සමහරවිට යටත් විජිත යුගයෙන් පස්සෙ ලංකාවෙ බෞද්ධ පුනරුදය සඳහා මේ තරඟකාරී අනුකරණය වැදගත් සාධකයක් වෙන්නත් ඇති කියල හිතෙනව.'

ඔය කියන බෞද්ධ පුනරුදය බෞද්ධ දහමත් එක්ක ගැලපෙනවද? 'බුද්ධාගමේ පුනරුදයක්' ඇති වුණා. එය සැබෑවක්. ලාංකීය බෞද්ධ සංස්කෘතියේ වර්තමාන හැඩරුව තමා එතනදී නිර්මාණය වන්නේ.