Monday, 6 December 2010

ජීවන ශික්ෂතණය සඳහා අධ්‍යාපනය.

සෑම සත්වයකුම මෙලොව උපදින්නේ යම් සහජ ගති ලක්ෂ ණ ප්‍රමාණයක් උරුම කොට ගෙනය. ඒවායින් සමහරක් තම සමාජයට, තම පරිසරයට අහිතකරය; තවත් සමහරක් සමාජයට ඉතා අගනේය. ශික්ෂණයකින් තොරව වැඩෙනා ඒ සත්වයා නිරුත්සාහයෙන් තම හැඟීම්
මුදා හරී. සිත් සේ ක්‍රියා කරයි. ඒවා හිතකර වේ නම් සමාජ ට වාසියක් වේ. අහිතකර වේ නම් සමාජය විනාශ වේ. එම සත්වයාත් විනාශ වේ. මෙම ධර්මතාවය මිනිසාට ද එලෙසම අනුකූලවන අතර විශ්වයේ බලය අයිති කරගෙන සිටින මිනිසා විශ්වයටම මෙම බලපෑම මුදා හරී.

මෙතෙක් ලොව පහල වූ සෑම ආගමකින් ම හෝ දහමකින් ම උත්සාහ කොට ඇත්තේ මිනිසාගේ සහජ ගති ලක්ෂණවලින් සමාජයට වන අහිතකර බලපෑම පාලනය කිරීමට හෝ අවම කිරීමටයි. එබැවින් ජීවන ශික්ෂණය සඳහා අධ්‍යාපනය ලබා දිය යුත්තේ තම ආගම
මගිනි. නොහොත් ආගමික ස්ථාන මගිනි.

මෙම නව අධ්‍යාපන සැලැස්මට අනුව රටේ කිසිම ස්ථානයක මොන්ටිසෝරියක් හෝ පෙර පාසලක් පැවැත් වීමට ඉඩ ප්‍රස්තා නොමැත. ආබාධිත දරුවන් සමාජයට අනුගත කිරීම සඳහා මොන්ටිසෝරි මැතිණිය ආරම්භ කළ ආකාරයේ මොන්ටිසෝරි (වෛද්‍ය උපකාරක
මධ්‍යස්ථාන) පමණක් පවත්වනු ලැබේ.

රටේ සෑම දරුවෙකුම
• වයස අවුරුදු 3 දක්වා දිනකට පැයක් ද,
• වයස අවුරුදු 3 සිට දිනකට අවම පැය 2 ක් ද,
• වයස අවුරුදු 4 සිට දිනකට අවම පැය 3 ක්ද,
• වයස අවුරුදු 5 සිට දිනකට අවම පැය 4 ක්ද,
• වයස අවුරුදු 6 සිට සෑම දරුවෙකුම දිනකට අවම පැයක් ද

ලෙස තම ග්‍රාමයේ පිහිටි, තම දෙමාපියන්ගෙන් එක් අයෙකු හෝ අදහන ආගමේ පූජා ස්ථානයක පවත්වාගෙන යන ජීවන ශික්ෂනණය සඳහා අධ්‍යාපනය ලබා දෙන මධ්‍යස්ථානයක ගත කළ යුතුය. තම ආගමට අදාල පූජා ස්ථානයක් තම ග්‍රාමයේ නොමැතිනම් පමණක්
ආසන්නම ග්‍රාම රාජ්‍යයක පිහිටි ජීවන ශික්ෂණය සඳහා අධ්‍යාපනය ලබා දෙන මධ්‍යස්ථානයකට ඇතුළත් කළ යුතුය.

දරු උපතක් සිදුවූ විට උපත් ලියාපදිංචිය සමගම අදාල ග්‍රාමයේ අදාල පූජා ස්ථානයේ ලියාපදිංචි කළ යුතුය. එසේ ඇතුළත් කළ වසරට පසු එළඹෙන ලිත් වර්ෂයේ ආරම්භයේ සිට වසරකට දින 250ක් අවම වශයෙන් මෙම ස්ථානයේ දරුවා ගත කර තිබිය යුතුය. එම පූජා ස්ථානයේදී දරුවා ඇසුරු කරන්නේ තම ආගමේ පූජ්‍ය/පූජක උතුමෙක් වන අතර උන්වහන්සේ/එතුමා අධ්‍යාපන අමාත්‍යංශයේ ජීවන ශික්ෂණ
අධ්‍යාපන දෙපාර්තමෙන්තුවේ වෘත්තීය සඳහා අධ්‍යාපනය (ඉදිරියේ දී සාකච්ඡා කෙරේ) ලැබූ අයෙක් වේ. මෙම ජීවන ශික්ෂණ අධ්‍යාපනය ලබා දීම සඳහා අවශ්‍ය සියලුම පහසුකම් ජීවන ශික්ෂණ අධ්‍යාපනය දෙපාර්තමෙන්තුව විසින් සපයනු ලබන අතර උන්වහන්සේගේ/එතුමාගේ පැවත්ම සඳහා වූ අවශ්‍යතාවයන් ශික්ෂණය ලබන දරුවන්ගේ දෙමාපියන් ප්‍රමුඛ ග්‍රාම වැසියන් විසින් සපයා දිය යුතු වේ.

මෙම අධ්‍යාපන කාල සීමාව තුලදී දරුවාගේ සහජ ගති ලක්ෂතණ පිළිබඳ පැහැදිලි අවබෝධයක් පූජ්‍ය/පූජක උතුමා විසින් ලබා ගත් යුතු අතර එයින් සමාජ හානිකර ගති ලක්ෂණ අක්‍රිය කිරීමටත්, සුවිශේෂී ගති ලක්ෂණ හා විශේෂ කුසලතා හඳුනාගෙන ඒවා වර්ධනය කර ගැනීමට උදව් කිරීමටත් ඒවා පිළිබඳ වාර්තා අධ්‍යාපන අමාත්‍යංශයට හා දෙමාපියන්ට ලබා දීමටත් කටයුතු කළ යුතුය. කාලාන්තරව පවත්වන ග්‍රාම රාජ්‍ය වැසියන්ගේ එකමුතු රැස්වීම් වලදී දරුවන්ගේ ජීවන ශික්ෂණය අගය කිරීම සඳහා කටයුතු කළ යුතුය. එසේම සෑම දරුවෙකුගේම තොරතුරු, ජීවන ප්‍රවර්ධන තොරතුරු ජාතික දත්ත පදනමට නිතිපතා ඇතුළත් කළ යුතුය. අධ්‍යාපන අමාත්‍යංශයේ ජීවන ශික්ෂණ අධ්‍යාපන දෙපාර්තමෙන්තුවේ ජීවන ප්‍රවර්ධන තොරතුරු ඒකකය විසින් මෙම දත්ත නිරන්තරයෙන් අධ්‍යනය කරනු ලබන අතර සුවිශේෂී දක්ෂතා සහිත දරුවන් පිළිබඳ තොතරතුරු ජාතික විශේෂ කාර්ය දෙපාර්තමේන්තුවට ලබා දෙනු ලැබේ. ඒ ඒ කුසලතාවන්ට අදාලව ජාතික තලයේ හා ජාත්‍යන්තර මට්ටමේ පුද්ගලයින් බිහිකිරීම මෙම ජාතික විශේෂ කාර්ය දෙපාර්තමේන්තුවේ කාර්යය වේ.

ජීවන ශික්ෂ්ණය සඳහා අධ්‍යාපනය තුලින් සමස්ථ දරුවන් තුල යහපත් ගුණධර්ම සමුදායක් වගා කළ යුතුවේ.

• වේලාවට වැඩ කිරීම
• අවසාන ඉලක්කයක් කරා කටයුතු කිරීම
• ඒකාග්‍රතාවය
• අනෙකාට ගරු කිරීම
• සත්‍යගරුක වීම
• යුක්තිගරුක වීම
• නීතිගරුක වීම
• අවංක වීම
• ස්ථානෝචිතව ඉදිරිපත් වීම
• පරාර්ථයට කටයුතු කිරීම
• සාමූහිකත්වය
• අධිෂ්ඨානශීලී බව
• දානශීලී බව
• වගවීම

මේ ආදී වූ ගුණධර්ම ජීවිතයට හුරුවන ආකාරයේ ක්‍රියාකාරකම් සමගින්, තම ආගම පිළිබඳ දැනුම ද, ජීවන ශික්ෂණය ද ලබා දෙමින් පූජ්‍ය/පූජක උතුමෙක් මෙම දරුවන් සමග කාලය ගත කළ යුතු වේ. එබැවින් තව දුරටත් දහම් පාසල් හෝ ඉරිදා පාසල් පවත්වාගනෙ යාමක් අවශ්‍ය නොවේ.

උපන් දරුවෙකු සඳහා වෙහෙසෙන්නා සේම නූපන් එනම් උපදීමට සිටිනා දරුවන් සඳහා ද එලෙසම අවධානය යොමු කළ යුතු වේ. ඉදිරි ‘ලියවිල්ලක’ දී සාකච්ඡා කරන පරිදි අපේ රටේ උපදින සෑම සත්වයෙක්ම රටේ සම්පතක් සේ සලකනු ලැබේ. එබැවින් යම් මවක් ගැබ්බර වූ දින සිටම රටට හිමිවීමට නියමිත සම්පත රැක බලා ගැනීම රජය විසින් සිදු කරනු ඇත. ඒ යටතේ ගැබට සති 12 කි පිරුණු දින සිට සෑම මවක්ම තම ආගමික මධ්‍යස්ථානයේ පවත්වනු ලබන ‘සදහම් සායන’ සඳහා සහභාගි විය යුතුය.

නව අධ්‍යාපන සැලැස්ම

මූලික සංකල්ප තුනක් මත පිහිටා මෙම සැලැස්ම සකස් කර ඇත.
1. උපදින සෑම අයෙකුටම මරණය දක්වා අධ්‍යාපනය ලැබීමට අවස්ථාව හිමි විය යුතුය.
2. අධ්‍යාපනය ලැබීම තුළින් අරමුණු තුනක් ඉටු විය යුතුය.
ජීවන ශික්ෂාණය ලැබිය යුතුය.
දැනුම ලැබිය යුතුය.
වෘත්තීය හැකියාවන් ලැබිය යුතුය.
3. අධ්‍යාපනය ලැබීම අගය කළ යුතු වේ. එහෙත් ඇගයිය යුතු නොවේ.
No appraisal; only admire.

මෙම පරමාර්ථ ඉටුකර ගැනීම පිණිස අධ්‍යාපන ක්‍රම තුනක් මගින් ලබා දෙයි.
1. ජීවන ශික්ෂණය සඳහා අධ්‍යාපනය
2. දැනුම සඳහා අධ්‍යාපනය
3. වෘත්තිය සඳහා අධ්‍යාපනය

ජීවත් වෙමින් අධ්‍යාපනය හා ජීවත් වීමට අධ්‍යාපනය

ලොකු දුව අපොස සාපෙල විභාගෙට සූදානම්!
ගිය සතියේ දිනක විභාගයට පෙර අවසන් පාසල් දිනය පැවැත් වුණා! සියළුම දෙනාගේ සහභාගිත්වයෙන්. ගුරු දෙගුරු සැම දෙනා. විද්‍යාලයේ අධ්‍යක්‍ෂක හිමි, ජනාධිපති උපදේශක, ආචාර්ය බඳගිරියේ සෝමවංශ නායක හාමුදුරුවන්ගේ ප්‍රධානත්වයෙන්. උන්වහන්සේගේ දේශනයේදීත් පැහැදිලිව ප්‍රකාශ වුනේ මේ තියෙන අධ්‍යාපනයේ වැරදි ගැන.
අධ්‍යාපනය ගැන විද්‍යුත් සඟරාවකට මා විසින් ලියන ලද ලිපියක කොටස් කිහිපයක් මගේ මතය යටතේ නැවත පල කරන්න හිතුනා.
“... අධ්‍යාපනය; වචනයේ අර්ථයෙන් ගත් කළ එයින් කියවෙන්නේ යමක් හදාරා ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා බවකි. ඉගෙන ගන්නවා යන පදයෙන් ලැබෙන්නේ ද එවැනිම අර්ථයකි. යමක් උකහා ගන්නවා යන තේරුම ඉන් ලැබේ. ඉංග්‍රීසි භාෂාවෙන්
අධ්‍යාපනය යනු Educatinon ය. Educate යනු හික්මවනවා යන්නයි. ඉගෙන ගන්නවා යන පදයට සමාන අර්ථය දෙන්නේ Lraen යන පදයයි. ‍

වර්තමානය වන විට අපේ අධ්‍යාපනය රටේ සමස්ත ක්‍රියාවන්ටම ඍජුව බලපෑම් ඇති කරන තත්වයක් උද්ගත වී තිබේ. රජය ඍජුවම විශාල මුදලක් අධ්‍යාපනය සඳහා වියදම් කරන අතර තවත් විශාල මුදල් ප්‍රමාණයක් වක්‍රව අධ්‍යාපනය සඳහා වැය වේ. (ප්‍රවානය සඳහා දැවෙන ඉන්ධන ප්‍රමානයෙන් 40%ක් පමණ ‘පාසැල් වෑන්’, ‘පාසැල් බස් රථ’ හා ‘දරුවා පාසට ඇරලවන මෝටර් රථ’ සඳහා වන බව කියවේ.)
අධ්‍යාපනය සඳහා ඍජුව හා වක්‍රව කරන මෙම වියදම රටේ සමස්ථ ආදායමෙන් විශාල ප්‍රතිශතයකි.

එහෙත් මේසා විශාල ධනස්කන්දයක් වියදම් කර ලබා දෙන්නා වූ අධ්‍යාපනයෙන් හිමි වී තිබෙන ප්‍රතිඵලය කුමක්ද යන්න සලකා බැලිය යුතු වේ. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ ඉහලම බලාපොරොත්තුව උපාධියක් ලබා ගැනීමයි. ඒ උපාධිය හිමි කර ගත් කී දහසක් නම් අද රැකියාවක් නොමැත යැයි පවසමින් කල් මරත් ද? කී දහසක් නම් තමන් කරන රැකියාව තම අධ්‍යාපනයේ තත්වයට නොගැලපේ යැයි පවසමින්
පශ්චත්තාප වෙත් ද? ඉතා ඉහල ප්‍රතිශතයක් නිසි වයසේ දී පාසල් අධ්‍යාපනය ලැබීම සඳහා යොමු වුව ද අපොස සාමාන්‍ය පෙල කඩ ඉම පසු කරන්නේ කෙතරම් අඩු ප්‍රතිශතයක් ද? උසස් පෙල සමත් වන්නේ කෙතරම් අඩු ප්‍රතිශතයක් ද? උපාධිය සඳහා සුදුසුකම් ලබන්නේ කෙතරම් අල්ප සංඛ්‍යාවක් ද?

අනෙක් අතට බැලූ කළ කුමන මට්ටමක අධ්‍යාපනයක් ලැබුව ද, කොපමණ ඉගෙන ගත්තවුන් සිටිය ද අද අපේ රටේ, සමාජයේ සාර ධර්ම - ගුණ ධර්ම තිබෙන්නේ මොන මට්ටමේ ද? රටේ සිදුවන අති බිහිසුන අපරාධ මෙන්ම ඉහ වහා ගිය දූෂණය හා භීෂණය පමණක් නොව
සමාජයේ සෑම ස්ථරයකම සිදුවන සදාචාර විරෝධී ක්‍රියාවන් කෙරෙහි අධ්‍යාපනය ඇති කර ඇති බලපෑම කෙබඳු ද? නිවැරදි අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක වන්නේ නම් මෙම අවාසනාවන්ත තත්වයන් මේ තරමට උඩු දුවන්නේ කෙසේද? මෙම කරුණු කෙරෙහි අපගේ අවධානය යොමු විය යුතුය. සිදු කළ යුත්තේ කුමක්ද ද? විශාල වෙනසක් අවශ්‍යව ඇත. එය සිදු කළ හැකි වන්නේ කෙසේ ද?

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිපත්ති ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් වේ. අධ්‍යාපන ඇමතිගෙන් ඇමතිට වෙනස් වේ. කාලීන වෙනස් වීමක් විය යුතු බව සැබෑය. එහෙත් අපට වෙනස් නොවන මුත් වර්ධනය වන අරමුණක් තිබිය යුතුය.

අධ්‍යාපනයේ අරමුණ විය යුත්තේ කුමක් ද? අපේ අරමුණ විය යුත්තේ ජීවත් වෙමින් අධ්‍යපනය හා ජීවත් වීමට අධ්‍යාපනය යන්නයි. මේ සඳහා නව අධ්‍යාපන සැලැස්මක් යෝජනා කරන්නනෙමු. ...“

Monday, 9 August 2010

අපෙන් එකෙක් නොදෙමු!

ඩෙංගු සම්බන්ධව දෙවන සටහනත් ඉක්මනින්ම ලියන්න සිද්ද වෙලා!
ගෙවී ගිය ඇසල පෝය දවස්වල ගනේගොඩ පන්සලේ අටවිසි බුද්ධ පූජා මාලාවක් පැවැත්වුණා. ඒ සඳහා ප්‍රදේශයේ ජනතාව විශාල වශයෙන් සහභාගි වූ අතර ප්‍රදේශයේ කිහිප දෙනෙක් (4 දෙනෙක්) ඩෙංගු රෝගයට ගොදුරු වෙලා කියන ආරංචියත් පන්සලට ලැබුණා. මේ සම්බන්ධව සාකච්ඡා කළ පන්සලේ ලොකු හාමුදුරුවෝ, සියනැදී සිව්කෝරළයේ ප්‍රධාන සංඝ නායක දන්දෙනියේ ජිනවංශාභිධාන නායක හාමුදුරුවෝ සහ ප්‍රදේශයේ තරුණ පිරිස තීරණයකට ආව!
අපෙන් එකෙක් නොදෙමු! ඒ තීරණයේ සාරාංශය වුනේ එයයි. ඩෙංගු මාරයටත්, ඩෙංගු මදුරුවා බෝවන ස්ථාන පවත්වාගෙන යාම හේතුවෙන් පොලීසියටත් අපේ ගමේ කිසිම අයෙක් රැගෙන යාමට නොදෙමු කියන දැඩි තීරණයට එළඹියා.

ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව තීරණය ගැනීමේ සාකච්ඡාව ජූලි 31 දා පැවැත්වුණා. දොම්පෙ පොලිස් ස්ථානාධිපති ප්‍රභාත් පරණවිතාරණ මහත්තයා, දොම්පෙ රෝහලේ වෛද්‍යවරියක් හා හෙඳ නිලධාරිනියක්, මහජන සෞඛ්‍ය පරීක්ෂක රාමනායක මහත්තයා, ප්‍රදේශයේ සමෘධි නිලධාරිනියන්, කෘ.ප.නි.ස. නිලධාරීන්, දොම්පෙ මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා, දායක සභාවේ නිලධාරීන් හා ප්‍රදේශයේ තරුණ පිරිස කිහිප දෙනෙක් පැමින සිටියා.

මෙම රැස්වීමේදී එළඹි ප්‍රධාන තීරණ වුණේ,
1. හැකි ඉක්මණින් රෝගය පිළිබඳවත්, රෝගය බෝ කරන මදුරුවාගේ බෝවීම වලක්වා ගැනීම පිළිබඳවත්, එසේ කටයුතු නොකරන අයට එරෙහිව ගන්නා නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳවත් ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමේ රැස්වීමක් පැවැත්වීම (2010. 08. 07 දින)
2. තම නිවස හා ගෙවත්ත පිරිසිදු කිරීමට සතියක කාලයක් ලබා දී, එම කාල තුල එකතුවන මදුරුවන් බෝවන ද්‍රව්‍ය හා කසල එක් දිනකදී දොම්පෙ ප්‍රාදේශීය සභාවේ සහයෝගයෙන් එක් රැස් කර බැහැර කිරීම (2010. 08. 15)
3. පිරිසිදු කිරීමෙන් පසුව ම.සෞ.ප. හා පොලීසියේ නිලධාරීන් සමග ප්‍රදේශය පරීක්ෂා කර මදුරුවන් බෝවන ස්ථාන තවදුරටත් තිබෙන නිවැසියන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්ම කිරීම.
4. මාස 6ක පමණ කාලයක් වරින් වර පරීක්ෂා කිරීම් සිදු කිරීම හා නීත්‍යානුකූලව කටයුතු කිරීම.

මෙම ව්‍යාපෘතියේ පළමු අදියර - දැනුවත් කිරීමේ රැස්වීම් 2010. 08. 07 දින ගනේගොඩ පන්සලේදී පැවැත්වූවා. උදේවරුවේ ගල්වලගොඩ ග්‍රාම නිලධාරී කොට්ඨාශය සඳහා. සවස් වරුවේ ගනේගොඩ ග්‍රාම නිලධාරී කොට්ඨාශය සඳහා. රැස්වීම් සඳහා කැඳවීමේ ලිපි සියළුම ගෘහමූලිකයින්ගේ නමටම මුද්‍රණය කොට සෑම නිවසකටම බාර දුන්නා. මේ ලිපි බෙදා දීම සඳහා ප්‍රදේශයේ තරුණ කණ්ඩායම හා ක්ෂේත්‍ර නිලධාරීන් පූර්ණ සහයෝගය ලබා දුන්නා.
රැස්වීමට පැමිණීම ඉතා ඉහල අගයක් ගත්තා. ගල්වලගොඩ නිවාස 351 න් 333 කින් පැමිණියා. 94.7%ක්. ගනේගොඩ 476 න් 456 ක්. 95.8%ක්.
නොපැමිණි අයගේ නිවෙස් පරීක්ෂා කිරීම අද (2010. 08. 09) උදේ සිට ආරම්භ කළා. ම.සෞ.ප. හා පොලීසිය ක්‍රියාත්මකයි.

ඊයේ සවස් වන විට ප්‍රදේශය පුරා සෑම තැනකින්ම දුම් රොටු අහසට නැගුණා. ඉරිදා දිනයේ බොහෝ දෙනෙක් වැඩ පටන් අරගෙන වගේ.
අපෙන් එකෙක්වත් නොදෙමු...!

Thursday, 5 August 2010

පොතේ නැති බෙහෙත්...!

මුලදීම ඩෙංගු රෝගයකි. ඊළඟට වසංගතයකි. දැන් ව්‍යසනයකි. ඒඩ්ස් මාරාන්තිකයි. ඩෙංගු මරණය නියතයි!. රිජ්වේ ළමා රෝහලේ පමණක් නොවේ, ලංකාවේ සෑම මූලික රෝහලකම ළමා වාට්ටුව අද පිරී ඇත්තේ ඩෙංගු හෝ ඩෙංගු යැයි සැක කරන උණකින් පෙළෙණ අහිංසක හුරුබුහුටි දරුවන්ගෙන්. මාගේ ඥාති පුත්‍රයෙක් දවස් කීපයක් රෝහලේ ඇඳකට වෙලා අපි සැවොම හැඪෙව්වා! උණ හැදිල දවස් තුනකින් පේට්ලට් නවුන්ට් එක ලක්ෂ 1යි. ඊළඟ දවසේ 87 දාහයි. ඊළඟ දවසේ 79 දාහයි. .... මෙහෙම ගියොත් පළමුව පුතාට කම්පණය. ඊළඟට අපට කම්පණය.
පසුගිය දිනවල සියළුම මාධ්‍යවලින් වාර්තා කළා, ගස්ලබු කොළ ඉස්මවලින් පේට්ලට් අගය වහා ඉහල නගිනවා කියල. ඒත් තවමත් වෛද්‍යවරු ඒ ගැන කතා කරන්නේ නෑ. ‍කළ යුත්තේ කුමක්ද! අහිංසක රෝගීන්ගේ ඥාතීන් මොනව කරන්නද?. වාසනාවන්ත දරුවෝ කිහිප දෙනෙක් සුවපත් වෙලා, ගෙවල් වලට යන්න සූදානම.
"ඇත්තටම ඔය ගස්ලබු කොල ඉස්ම වැඩේ ඇත්තද දන්නෑ නේද?"
"අනේ දන්නේ නෑ අනේ. අපි මැල්ලුම් හදලනම් දුන්න. හරි තිත්තයි. ටිකයි කෑවේ"
"ඒකත් එහෙමද?"
දරුවා දිහා බලන් ඉන්න බෑ. තොල් කිව්ටෙක්ස් ගාල වගේ, යටි පතුල් රතු පාටයි. අත-පය රතු වෙලා.
"මට රිපෝට් එක ගන්න යන්න දුන්නෙ නැත්නම් මම උපවාස කරනවා"
"මොකක්ද කරන උපවාසෙ?"
"ඒක කිව්වොත් කරන්න දෙන්නෙ නෑනෙ!"
කම්පනය නිසා විකාරෙන්ද, නැත්නම් අද ඩෙන්ඩ් එකද?
"දැන් කොහොමද පුතාට?"
"අනේ මන්ද"
"අපේ අර නැන්දට අන්තිම වෙලා අයිසීයූ දැම්මනෙ, අපි ගස්ලබු කොල ඉස්ම දුන්න. දවසෙන් රිකවර්"
"දොස්තරල මොකද කිව්වෙ?"
"කිය කිය හිටියෙ නෑ. අපි දුන්න"
"ඒකත් එහෙමද?"
40 දාහටත් අඩු වුනොත් භයානකයි. තවත් බලන් ඉන්නවාද?
"ඕනෙ එකක් වෙන්න අපිත් දෙමුද?"
"දෙමු අයියෙ, වහ නෙමේනෙ"
......
"පේට්ලට් කවුන්ට් එක ලක්‍ෂෙ පැනලලු. හෙට යන්න පුළුවන් වෙයි කිව්ව."
පැය අටකින් තත්වය තනිකරම අනිත් පැත්ත හැරුණ.
........
'තිසුරි සිහිසුන්ව සිටි නිසා ගස්ලබු ඉස්ම දෙන්න බැරි වුණා: අම්මට පෙවූ පසු දින දෙකකින් සුව වුණා. ඩෙංගු වැළඳී මියගිය හත් හැවරිදි දැරියගේ මරණය ගැන ඥාතිවරියක් කියයි' (2010 අගෝස්තු 5 ලංකාදීපයේ 11 පිටුවෙන් උපුටා ගත්තෙ)
......
වෛද්‍යවරු පොතේ නැති බෙහෙත් දෙන්නෙ කොහොමද? එහෙමයි කියල මැරෙණකම් බලන් ඉන්නෙත් කොහොමද?
ඩෙංගු රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා ගස්ලබු කොළ ඉස්ම ලබාදීම පිළිබඳව වහා තීරණයක් අදාල බලධාරීන් විසින් ගත යුතු බව මාගේ මතයයි.

Saturday, 29 May 2010

කොණ්ඩෙ බැඳල පාසල් යමු...!

ලංකාවේ ක්‍රියාත්මක වන්නේ 'නිදහස්' අධ්‍යාපනයකි. අධ්‍යාපනයට මෙම 'නිදහස්' කෑල්ල එක්වන්නේ කන්නංගර යුගයේය. එතෙක් (වැඩිදුර) අධ්‍යාපනය ලැබීම සඳහා ගෙවීමක් කිරීමට සිදුවිය. එයින් නිදහස් කර නොමිලේ අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාව ලබා දීම නිසා අධ්‍යාපනයට 'නිදහස' එකතු විය. එසේ නිදහසේ ලබන්නට පින් ලැබුයේ එතෙක් පැවති මිෂනාරී අධ්‍යාපනයමයි. මෙම මිෂනාරී අධ්‍යාපනය 'නිදහසේ' ලැබිය හැකි එකක් නොවීය. එය අති මහත් නීති පද්ධතියක් යටතේ දැඩි පාලනයකින් යුතුව ලබා දුන් එකකි විය.

පාසල් නිල ඇඳුම එක් නීතියකි. මා ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ පාසලේදී අපට නිල ඇඳුමක් නොතිබුණු අතර නගරයේ පාසලට පැමිණි විගස ඇඳුම් ඇඳීමේ නිදහස සීමා විය. ඇඳුමේ පාට පමණක් නොව කලිසම් කුකලේ දිග, කමිස අතේ දිග, සපත්තුවේ පාට, මේස්වල උස ආදී සීමා රාශියක් විය.
කකුල් දෙකටම සපත්තු නොදැමීමේ නිදහස ද නැති විය. එක් කකුලක පමණක් තුවාලයක් තිබේනම් සෙරෙප්පු දැමිය හැක්කේ එම කකුලට පමණි. අනිත් කකුලට සපත්තුවක් දැමිය යුතුය.
හිස කෙස් වැවීමේ නිදහස ද නැති විය. අපගේ 'කොණ්ඩා මෝස්තරය' තීරණය කරන්නේ විනය භාර ආචාර්යවරයාය. මාගේ පුතාගේ ඉතා හුරුබුහුටි කොණ්ඩා මෝසතරය පාසලට ඇතුළත් කළ විගස 'දැඩි අවවාද කිරීම්' සහිතව වෙනස් කිරීමට සිදුවිය. දැනටද කෙස් වැවිය හැක්කේ කෙස් අතරින් අතැඟිලි යැවූ විට 'අතට අහු නොවන' ප්‍රමාණයටය.
මාගේ සොයුරියන් ගිය පාසලේ දී කොණ්ඩය දිගනම් කරල් දෙකට ගොතා නියම කළ වර්ණයෙන් හා නියම කළ පළලින් සහ දිගින් යුතු රිබන් පටිවලින් නියමිත ගැටය ගැසිය යුතුය. කොටට කපනවා නම් තවත් නීති පද්ධතියක් අදාල විය.
මේ 'නිදහස් අධ්‍යාපනයේ' නැතිව ගිය නිදහයෙන් කිහිපයක් පමණි.
අවාසනාවට හෝ වාසනාවට තවත් කොටසකට පමණක් නැතිව ගිය නිදහසක්ද වේ. එනම් විරුද්ධ ලිංගිකයින් සමග එකට සිට අධ්‍යාපනය ලැබීමේ නිදහස.
කෙසේ හෝ මෙවැනි දැඩි විනය පද්ධතියක් යටතේ අධ්‍යාපනය ලබන සියළු දෙනා සමාජයට පැමිණි විට එලෙසම විනයානුකූලව ජීවත් වීමේ ශික්‍ෂණය ලබා තිබේද යන්න පැහැදිලි නැත. මෙම නීති අවශ්‍ය වන්නේ ආයතන පරිපාලනය සඳහා පමණක් නම් තව දුරටත් මේ 'නිදහස නැති කිරීම' පවත්වාගෙන යායුතුද?

Monday, 22 March 2010

බෞද්ධ දරුවන්ට දහම් පාසල් මොකටද?

අද දහම් පාසල් දවසනෙ. උදේම ගියා පොඩි කට්ටිය අරගෙන දහම් පාසලට. අද පන්සලක් නෑ. එතනත් පාසලක්. ගේට්ටුව අවට වාහන 75ත් 100ත් අතර සංඛ්‍යාවක් තිබුණා. 'දහම්පාසල් බස්රථ' තුනකුත් තිබුණා. ගේට්ටුව ළඟ ශිෂ්‍ය නායක අයිල දෙන්නයි, අක්කල දෙන්නයි. 'නිල ඇඳුම', 'බැජ් එක' පරීක්ෂා කරනවා. "මල්ලිගේ කොණ්ඩේ වැඩියි" එක අයියා කෙනෙක් අපේ පුතාට කිව්වා. "එයත් ප්‍රිෆෙට්" අනෙක් අයියා කිව්වා. මල්ලිත් හිනා උණා මිසක් මොකුත් කිව්වෙ නෑ. ප්‍රශ්නෙ දුර දිග ගියෙත් නෑ. ඇතළට යන්න බෑ දෙමාපියන්ට. යන්න තහනම් නෙමේ වෙන්න ඕනෙ. අර පාසලේ වගේ කියල හිතාගෙන යන්නෙ නෑ වගේ. කොහොමත් 20ක් 30ක් ගේට්ටුව අවට ඉන්නවා.
මට හැමුදුරුවෝ බැහැදකින්න ඕනෙ. ඉතින් මම ඇතුළට ගියා. බාධාවක් වුනේ නෑ. ඇතුළට යද්දි මෙන්න පොත් 'සල්පිලක්'. ඩෙස් බංකු රාක්ක පුරෝල පොත්. "ආ මට තාත්තාට කියන්න අමතක උණා අද පොත් ගන්න සල්ලි ගේන්න කිව්වනෙ". පුතා කීව. "පුතාට මොකක් හරි පොතක් ඕනෙද?" "නෑ. නෑ. අර ගේන්න කිව්ව එකයි මම කිව්වෙ" "හරි මොකක්ද දැන් කරන්න ඕනෙ" "යමක් දැක්ක පළියට ගතයුතු නොවේ. අවශ්‍ය දේ පමණක් සෑහේ" පුතා කීවා. "ආ මතකයි නේද". ඒ එක පවුලක තීරණය විතරයි. ඒත් තව කී දෙනෙක් 'පොත් ගන්න' සල්ලි ගේන්න ඇතිද?
7.30ට ඝණ්ඨාරය නාද වුණා. පාසලේ වගේමයි. ලමයි පෝලින් උණා. මල් පෙරහැර ආවා. ගියා. ‍පන්ඩිත හාමුදුරු‍වෝ සිල් දුන්නා. නිවේදන ටික කියෙව්වා. අන්තර් නිවාස තරඟවලි ගැන කිව්වා. අන්තර් දහම්පාසල් තරඟාවලි ගැන කිව්වා. ශිෂ්‍ය නායක දිනයක් ගැන කිව්වා. විනාඩි 10ක් 15ක් අතර 'ආගමික වතාවත්' අවසන්. ළමයි පන්තිවලට ගියා.
පන්තිවලට ගුරුවරු ගියා. පොඩි හාමුදුරුවරු දෙතුන් නමයි. විශ්‍රාමික ගුරුවරු දෙන්නයි. වසර 30ක් පමණ කාලයක් තිස්සේ දහම්පාසලේ ඉගැන්වීම කරණ වැඩිහිටි 'දහම්පාසල් ගුරුතුමියයි'. දහම්පාසල් අවසානය හා ධර්මාචාර්ය සමත් වැඩිහිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් කණ්ඩායමයි. ඔක්කොම පන්ති 10ක් නැත්නම් 11ක් තියෙනවා. ආරම්භක පන්තිය 1 නෙමේ. පාසලේ 1 වසරේ ඉන්න අය දහම්පාසලේ මුල් පන්තියේ. ඒ පන්තියේ සිට පන්ති 4ක ළමයි 50 බැගින් විතර ඉන්වා. ඊළඟ පන්තියේ 20ක් විතර. ඊළඟ පන්තියේ ඒ කියන්නේ පාසලේ 5ට සමාන්තර පන්තියේ ඉන්නේ 12ක් විතර. 6, 7, 8 පන්තිවල ළමයි 30, 40 විතර ඉන්නවා.
ගුරුවරු නම් ලකුණු කරනවා. අච්චු පොත අරගෙන පාඩමක් කරනවා. ඒ හැම පාඩමක්ම වගේ පාසලේ බුද්ධාගමට උගන්න ඒවා. පාලි වගේ ඒවා බොහොම උඩින් පල්ලෙන් යන්නේ. 10 විතර වෙනකොට විවේකය. ආයෙත් අච්චු පොත හා පාඩම්. තෝරගත්ත ළමයි ටිකක් අරගෙන 'තරඟ' වලට සූදානම් කරනවා. 11ට ආයත් පෝලින්. ගාථාවක් කියනවා ගෙදර යවනවා.

ඔක්කොම ළමයි 700-800 ක් විතර ඉන්නවා. ඒත් පන්සලේ එපමණ ළමයි ප්‍රමාණයකට ඔය මිශනාරී ක්‍රමයේ පන්ති කාමර අධ්‍යාපනය දෙන්න ඉඩ මදි. ඉතින් ලොකු හාමුදුරුවෝ පන්සල් වත්ත පුරා මඩු ගහනවා. ගස් ඉර ඉරා ඩෙස් බංකු හදනවා.

අපේ දරුවන්ට ඕනෙ මේ ආකාරයේ දහම්පාසල් අධ්‍යාපනයක්ද? හරියටම තවත් පාසල් දිනයක් වගේ! ‍අච්චුපොත් පාඩම් විනා සාරධර්ම වර්ධනයක් හෝ ආගමික ගුණවගාවක් ඇති කිරීමේ හැකියාවක් මේ දහම්පාසල් අධ්‍යාපන ක්‍රමයෙන් ලැබෙන්නනෙ නෑ.

ළමයා හා පන්සල අතර හොඳ සම්බන්ධතාවයක් ඇතිවන, ළමයාතුළ යහපත් ගුණධර්ම වර්ධනය කිරීමට හැකි හොඳින් සංවිධානය කළ පෝදා වඩසටහන් 1ක් මේවගේ දහම් පාසල් දින 4ට වඩා හොඳ බව මාගේ මතයයි.

Sunday, 14 March 2010

ඊළඟ යුගය කුමක්ද? What will be the next Age?

මානව පරිනාමය විවිධ යුගවලට වෙන් කර දක්වා ඇත. ගල් යුගය, එ‍ඬේර යුගය, ගොවි යුගය, කාර්මික යුගය, තාක්ෂණ යුගය ආදී ලෙස (වෙනස් ආකාරයේ කොටස් කිරීම් හා නාම ද තිබේ) පැමිණ අදවන විට තොරතුරු තාක්ෂණ යුගයේ සිටින්නේ යැයි පැවසේ. එළඹෙන යුගය කුමක් විය හැකිද?

ඉහත දැක්වූ යුග සියල්ල ප්‍රධාන යුග දෙකක අනු යුග නොඑසේනම් උප යුග ලෙස මම සිතමි. ගල් යුගය, එ‍ඬේර යුගය හා ගොවි යුගය අයත්වන්නේ 'ආහාර යුගය' නම් ප්‍රධාන යුගයටය. එම යුගයේ මිනිසාගේ ප්‍රධාන සම්පත වී තිබුණේ ආහාරය. කාර්මික යුගය, තාක්ෂණ යුගය හා තොරතුරු තාක්ෂණ යුගය අයත් වන්නේ 'දැනුම යුගය' නම් ප්‍රධාන යුගයටය. මේ යුගයේදී මිනිසා තම ජීවිතය සැපවත් කර ගන්නේ දැනුම රැස් කර ගැනීමෙනි. දැනුම ඇති තැනැත්තා එය 'විකුණාගෙන කයි'. දැනුම නොමැත්තා දැනුම මිලදී ගනියි. නැත්නම් දැනුම ඇත්තාට කඹුරයි. එනම් මේ දැනුම සම්පත වූ යුගයේ තමාට දැනුම තිබීම හා අනෙකාට දැනුම නොතිබීම අපේ අවශ්‍යතාවයයි. අපේ සැපවත් බවේ රහස එයයි. මෙය අනෙක් පස පෙරළුනොත් කුමක් සිදු වේද? අනෙකාට දැනුම නොමැති කම මට අපහසුවක් වේ නම් දැනුම මාගේ සම්පත නොවනු ඇත. මා අසීමිතව දැනුම සොයමින් නොවෙහෙසෙනු ඇත. මාගේ දැනුම මාගේ සැපපහසුව උදෙසාම අනෙකාටද ලබා දෙනු ඇත. එවිට මිනිසා නව ප්‍රධාන යුගයක් කරා පිය නගනු ඇත.

එම ප්‍රධාන යුගය කුමක් විය හැකිද? එම යුගයේ සම්පත 'ගුණ ධර්ම' වැනි යමක් විය හැකි බව මාගේ මතයයි.

Sunday, 14 February 2010

ප්‍රේමවන්තයිට තවත් දිනයක් දෙමු!

අද ප්‍රේමවන්තයින්ගේ දිනයද?
ඔවු! අද ප්‍රේමවන්තයින්ගේ දිනය.
ප්‍රේමවන්තයින්ටත් දිනයක් ඕනෙද?
ඔව්! ප්‍රේමවන්තයින්ටත් දිනයක් ඕනෙ!
අඩුම ගානෙ එදාටවත් එකිනෙකාට ප්‍රේම කරන්න.
ඇත්තටම ප්‍රේම කරන්න.
අද ඇත්තටම ප්‍රේම කළොත් තවත් දවසක් වෙන් කරල දෙන්න බලමු!
ප්‍රේමවන්ත දවසක් වේවා!

Wednesday, 20 January 2010

සහෝදරකම

මගේ මතය අනුව ලොව ඇති රැකගතයුතුම ඥාතිකම නම් සහෝදරකමයි. අපගේ ජීවිත කාලයට සමාන වූ කාලයක් අප සමග එකට හුස්ම ගන්නා ඥාතියා සහෝදරයා වේ. අම්මා හා තාත්තා අපට බොහෝ කළකට පෙර ඉපිද බොහෝ විට අපට බොහෝ කලකට පෙර අපෙන් වෙන්ව යයි. දූ දරුවන් සම්බන්ධව එහි අනෙක් පැත්තයි. අපිට බොහෝ කලකට පසු ඉපිද බොහෝවිට ඔවුනට පෙර අපි ඔවුන්ගෙන් වෙන්ව යයි. බිරිඳ හා ස්වාමියා වුවද අපේ ජීවිතයට එක්වන්නේ අප ඉපිද බොහෝ කලකට පසුවය. එහෙත් සහෝදර සහෝදරියෝ අප උපන් සමයේම ඉපිද බොහෝ විට අප මියෙනා කාලයේ අපත් සමගම මොලොව හැර යයි.

සහෝදරකම ගැන මේ සටහන තියන්න හිතුනේ අද උදේ එෆ්.එම්. සේවාවකින් ඇසුනු දෙයක් නිසා.
ඒකත් සඳහන් කරන්නම්.
"දිනක් උදයේ අම්මා ස‍හෝදරයින් දෙදෙනාට රොටී පුළුස්සමින් සිටියා. ඒ තැටියේ එක් වරකට දැමිය හැක්කේ එක් රොටියක් පමණි. ඒ නිසා අයියා පළමු රොටිය සබා ගැනීමේ අරමුනින් මෙසේ පැවසුවා.
"මම තමා වැඩිමලා. මම ලොක්කා. මම ඉස්සෙල්ලම ලෝකෙට ආවේ. ඒ නිසා පළමු රොටිය අයිති මටයි."
මල්ලි එකඟ උනේ නෑ.
"නෑ එහෙම වෙන්නේ කොහොමද? මම පොඩියි. තවමත් මම පොඩියි. ඒ නිසා මටයි ඉස්සෙල්ල කන්න ඕනේ. එතකොටයි මටත් ඔයාට වගේ ලොකු වෙන්න පුළුවන්."
අම්මට තේරුණා වැඩේ හරි යන්නනේ නැති බව. අම්මා කිව්වා මෙහෙම.
"දරුවනේ මෙකන දෙවියෝ හිටියානම් දෙවියෝ කියන්නේ 'පළමු රොටිය මගේ සහෝදරයාට දෙන්න' කියලයි."

මල්ලිට පොට පෑදුනා. මල්ලි කිව්වා
"එහෙනම් අයියා දෙයියො වෙන්න".

Friday, 15 January 2010

ජනමාධ්‍යයේ කැත වැඩ

ජනමාධ්‍ය යනු රටේ මතවාදය හසුරුවන ප්‍රධාන ධාරාවකි. රටකට නිවැරදි මතවාදයක් නොමැති තාක් කල් බොහෝ දෙනා අයාලයේ යන මතවාද ජන විඥ්ඥානය තුළ තැම්පත් කිරීම වැලැක්විය නොහැකිය. එහෙත් ජනතාව එපා නොකියන නිසා තමන්ට හිතෙන හිතෙන දේ ජනමාධ්‍ය හරහා බෙදා දීමට ජනමාධ්‍ය කටයුතු නොකළ යුතුය. කොහේ හෝ සිදුවන දෙයක යම් කුණු රසයක් තිබේනම් එය ප්‍රවෘත්තියක් ලෙස ඉදිරිපත් කිරීම අද ජනප්‍රිය ජනමාධ්‍ය සම්ප්‍රදාය වී තිබේ. මෙය සිදු නොවිය යුතු දෙයක් බව මාගේ මතයයි.
විශේෂයෙන් තවත් කාල පරිච්ඡේදයකට තම නායකයා තෝරා ගැනීමේ භාරධූර කාර්යය මහජනයාට පැවරී ඇති මේ මොහොතේ, නිවැරදි තීරණයක් ගැනීමට උපකාරීවන තොරතුරු ඉදිරිපත් කරනවා වෙනුවට ඉතා පහත් මට්ටමේ කූටෝපායන් සඳහා තම ගුවන් කාලය හා පිටු වෙන් කිරීම ජනමාධ්‍ය සිදු කරන ඉතා පහත් පෙළේ කැත වැඩක් බව මාගේ මතයයි.