Friday 19 December 2008

බුදුරජානන්වහන්සේ වේදිකාවේ!

අද මට ලැබුණු විද්‍යුත් ලිපියක් තිබුණු දර්ශණයක්!!!
මේවානම් සිදු නොවි යුතු බවයි මාගේ මතය.
අපි කුමක් කරමුද?

Tuesday 25 November 2008

පරිගනක කියන්නේ වින්ඩෝස්ද?

විජය පරිගනක සඟරාව 'පරිගනක දැනුම සරල සිංහලෙන්' ලබාදීම සඳහා නිකුත්කරන Easy Guide සඟරා පෙලේ මෙවර කලාපය 'QA - එදිනෙදා පරිගනක භාවිතයේදී මතුවන ප්‍රශ්නවලට පිළිතුරු' ලෙස නිකුත්කර තිබෙනවා.
පිටු 32 යි. පරිච්ඡේද 10යි. ප්‍රශ්න 146යි. දසවැනි පරිච්ඡේදය 'විවිධ මාතෘකා'. ඒ යටතේ තිබෙන 3වන ප්‍රශ්නය මෙසේයි.
-උපුටා ගැනීම-
වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය හැර තිබෙන වෙනත් මෙහෙයුම් පද්ධති වන ලිනක්ස්, යුනික්ස්, මැක් ඕඑස් යනාදීයේ විශේෂත්ව මොනවාද?

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය නිපදවා ඇත්තේ තනි පුද්ගලයෙකුට වුවද තම පරිගනකයේ ක්‍රියාකාරකම් පහසුවෙන් ඉටුකරගත හැකිවන පරිද්දෙන් හෙවත් 'යූසර් ෆ්‍රෙන්ඩ්ලි' ක්‍රමයටය. ලෝකයේ හැම පරිගනක දහයකින් නවයකම වින්ඩෝස් භාවිතා කරන නිසා ලෝකයේ බොහොමයක් මෘදුකාංග නිපදවා තිබෙන්නේ වින්ඩෝස් සඳහා ගැළපෙන සේය.
ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය විවෘත මෘදුකාංගයක් හෙවත් 'ඕපන් සෝස්' මෘදුකාංගයක් වන අතර එය බොහෝවිට භාවිතා කරන්නේ ආයතනවල පරිගනක ජාල හැසිරවීම වැනි කටයුතු සඳහාය. එහෙත් එය පෞද්ගලික පරිගනකවල භාවිතාකළ හැකි මෙහෙයුම් පද්ධතියක් වශයෙන්ද ජනප්‍රිය අතර වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට තරම් වයිරස් හා වෙනත් අනතුරුදායක වැඩසටහන් ලිනක්ස්වෙත නැත. එනිසා වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට වඩා බොහෝ ස්ථායී හා ආරක්ෂිත අන්දමින් පරිගනකය මෙහෙයවීමට එමගින් පුළුවන. එහෙත් ලිනක්ස් සඳහා ගැළපෙන මෘදුකාංග වින්ඩෝස්වලට වඩා අඩුය.
......
-උපුටා ගැනීම අවසන්-

'පරිගනක දැනුම සරල සිංහලෙන්' ලබාදීම සඳහා නිකුත් කළ සඟරාවක, 'එදිනෙදා පරිගනක භාවිතයේදී මතුවන ප්‍රශ්නවලට පිළිතුරු' ලබාදීමේදී, ප්‍රශ්න 146කින් 'වින්ඩෝස් හැර වෙනත් මෙහෙයුම් පද්ධතියක්' ගැන ඇතිවූ එකම ප්‍රශ්නය හා එයට ලබාදුන් පිළිතුරයි ඒ.

මෙම තත්වය වහ වහා වෙනස් විය යුතුය යන්න මාගේ මතයයි.

ඒ සඳහා විවෘත හා නිදහස් මෘදුකාංග අගය කරන්නන් මීට වඩා යමක් කළ යුතුයැයි සිතමි. 'නිදහස අගයන සමාජයක් වෙනුවෙන්' දිනකට එකක්වත් විවෘත හා නිදහස් මෘදුකාංගවල අගය පහදා දෙන සටහනක් සින්ඩිකේටරයේ පලවන්නේනම් අගනේය...!

Wednesday 19 November 2008

"HowStuffWorks" හි ශ්‍රී ලංකාව


HowStuffWorks අඩවියේ ශ්‍රී ලංකාව ගැන සඳහන්වන පිටුවේ දර්ශණය බලන්න.

http://geography.howstuffworks.com/asia/southern-asia.htm

Friday 31 October 2008

එන්සෙෆ් බෞද්ධ විද්‍යාලය

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ 'සාහිත්‍යාභිවන්දනා කලා උළෙල 2008' පැවැත්වණේ මුල්ලේරියාව නව නගරයේ පිහිටි ජාතික ළමා අධ්‍යාපන පදනමේ බෞද්ධ විද්‍යාලයේ ශාලාවේදීය. එදින ආරම්භක පූජා නර්තනය හා අවසාන භාගයේදී ඉදිරිපත් කළ ‍කුඩා දරුවන්ගේ වේග රිද්ම නර්තනය ඉදිරිපත් කළේ, එන්සෙෆ් බෞද්ධ විද්‍යාලයේ නැටුම් කණ්ඩායම හා පෙරපාලසලේ කුඩා දරුවන්ය. ආරම්භක පූජා නර්තනය ගැන මීට ප්‍රථම මාගේ මතය ප්‍රකාශ කළ බැවින් 'ඔයේ ඔජායේ' ගීතයට පෙර පාසල් දරුවන් ඉදිරිපත් කළ වේග රිද්ම නර්තනය ගැන මාගේ මතය ප්‍රකාශ කරමි. ඉතා දීර්ඝ කාලසටහනකින් යුක්ත මෙම උත්සවයේ අවසාන භාගය වනවිට වෙහෙසට පත්ව සිටි ප්‍රේක්ශකයින් වහා ප්‍රබෝධමත් කිරීමට සමත් වූ මෙම නර්තනය කෙතරම් ඔවුන්ගේ සිත් ගත්තේද යත් සියළු දෙනාම පාහේ ගීතයේ තාලයට අත්පොලසන් දීමට පටන් ගත්හ. ඉතා සංයමයෙන් යුතුව, මනා ඒකාග්‍රතාවයකින් හා වේදිකාව පිළිබඳව හොඳ අවබෝධකින් ඔවුන්ගේ නර්තනය ඉදිරිපත් කළා. ගීතයේ අවසාන කොටසේදී කුඩා දැරිවියන් කිහිපදෙනෙක් වේදිකාව පුරා කරනම් ගසමින් ඉදිරිපත් කළ නර්තනය බොහෝ දෙනාගේ විමතියට හේතුවූ බව පෙනී ගියා. මෙම කරුනු වලට අනුව නරඹන්නන් අත්පුඩි ගැසුවේ ගීතයේ තාලයටද නැත්නම් මෙම දරුවන්ගේ ඉදිරිපත් කිරීම නිසා ඇති වූ පහන් හැඟීම නිසාද සොයා බැලිය යුතුය. මාගේ මතයනම් ඒ කුඩා දරු දැරියන්ගේ හැකියාව පිළිබඳව ඇතිවූ සහෘදමය හැඟීම මෙයට හොතු වූවාය යන්නයි.
එහෙත් මෙහි ප්‍රධාන දේශක තුමා වූ අත්කනායක එම්. හේරත් මැතිතුමා දැරූ මතය වූයේ 'කුඩා දරුවන් කිසිම හරයක් නොමැති සංකර වේග රිද්ම ගීතවල නර්තනයන් සඳහා පුහුණු කිරීම නොකළ යුතු' බවයි. ඒතුමා මේ පිළිබඳව තම දේශනයේදී ප්‍රකාශ කළවිට බොහේ දෙනාගේ සිත් තුල යම් කුකුසක් ඇති වූ බව පෙණුනි.
එබැවින් අත්තනායක එම්. හේරත් මැතිතුමා මේ පිළිබඳව වැඩිදුර ප්‍රකාශයක් මෙම බ්ලොග් අඩවිය හරහා හෝ එතුමාගේ බ්ලොග් අඩවිය හරහා ඉදිරිපත් කිරීම වඩාත් යෝග්‍යයැයි මාගේ මතයයි.
එන්සෙෆ් බෞද්ධ විද්‍යාලය පිළිබඳව වැඩිදුර විස්තර වෙනම post එකකින් ඉදිරිපත් කරන්නෙමි.

Monday 27 October 2008

බොරු කියන එකාගේ හොඳ

අත්තනායක එම් හේරත් මැතිතුමාගේ මතය අනුව බොරු කියන එකා හොඳ දක්ෂයෙකි. සාහිත්‍යය යනු බොරුව හා සෞන්දර්ය යන දෙකේ සුන්දර එකතුවකි. මහනුර ධර්මරාජ විද්‍යාලයේ ශිෂ්‍යයෙක් එතුමා සමග පැවසූ කතාවක්.
'එක්තරා නරියෙක් ටවුන් එකට ඇවිත්. නගරයේ දියුණුව දැක අමන්දානන්දයට පත් වෙනවා. මෙම දියුණුවට හේතුව ලෙස දකින්නේ ටවුන් එකේ ඉස්කෝල පිහිටා තිබීම. ඉතින් නැවත කැළයට යන නරියා කැළේ සතුන්ට මේ බව පවසනවා. කැලෙත් දියුණුකර ගන්න මූලික අවශ්‍යතාවය වන ඉස්කෝලයක් කැලයේ ඇති කිරීමට කට්ටි එකඟ වෙනවා. ඉස්කෝලයක් තියෙනවානම් සිලබස් එකකුත් අවශ්‍යයිනේ. විෂයමාලා නිර්දේශන කමිටුවක් පත්කරගන්නවා. එක එක සතාගෙන් යෝජනා එනවා. වඳුරා තියනවා ජම්පිං දාන්න ඔනේ. ඒකත් දැම්මා. මාළුවා කියනවා ස්විමිං ඕනේ. ඒකත් දානවා. කුරුල්ලෝ කියනවා ඉගිලෙන හැටි උගන්නන්න ඕනේ. ඒකත් දානවා. හන්ටිං, ෆයිටිං චීටිං, ඔය විදිහට නොයෙක් නොයෙක් දේ දාල සිලබස් එක හදලා 'දියුණුවේ මුල' අධ්‍යාපනේ දෙනවා. වඳුරා පීනන්න ගිහින් ජලසන්නිය හැදිල රෝහලේ. මාළුවා ගස් යන්න ගිහින් දැඩි සත්කාර ඒකකයේ. ඔය විදිහට කැලේ විනාශයි. ලෙඩ ගොඩයි. ඒත් තුන්දෙනෙක් වැඩෙන් ගොඩ!. එක්කෙනෙක් මදුරුවා. ලේ බීල ලේ බීල මෙඩිකල් කොලේජ් එනවා. එතනත් ලේ බීල බීල පස්සෙ චැනල් සේවයක් දාගන්නවා. "රෝග්‍යා පරමා ලාභා". දෙවැනියා කූඩැල්ල. මැන මැන ඉංජිනියරින් ෆැකල්ටියට යනවා. එයා ඉංජිනියර්. තුන්වැන්නා ගෙම්බා. පැන පැන හිටිය නිසා කැම්පස් යන්න බැරි වෙනවා. ඒත් දේශපාලනයට තේරෙනවා. එක කෝටියකට මේ පැත්තට. අනිත් කෝටිට අනිත් පැත්තට. කොහොම හරි නව අධ්‍යාපන සංකල්පයෙන් හරි ගිය කිහිපදෙනෙක් ඉන්නවා.' මේ අධ්‍යාපනයේ තවත් පැත්තක්.

අධ්‍යාපනය පිළිබඳව මාගේ මත මීට ප්‍රථම ඉදිරිපත් කිරීම ඇරඹුවා. ඉදිරියට තවත්!

'එ' ලියන්නේ කොහොමද?

අත්තනායක එම් හේරත් මැතිතුමා කියූ තවත් කතාවක්.
එතුමා ළමයෙකුට නැකතට අකුරු කියවීමට ගොස් සිදුවූ සිද්දියක්. මේ දරුවාගේ හැසීරීමෙන්ම යම් විශේෂයක් අත්තනායක එම් හේරත් මැතිතුමා නිරීක්ෂණය කොට තිබෙනවා. කෙසේ හෝ 'අ' පෙන්නලා අයන්න කිව්වහම "ඔව්" කීවාලු. 'ආ' පෙන්නලා ආයන්න කීවාම "ඔව්" කීවාලු. වැඩේ හරියන්නෙ නැති නිසා ඇහුවලු "පුතේ එයන්න
ලියන්නේ කොහොමද" කියල. "කොම්බුවයි අයන්නයි එයන්න" කීවාලු. "ඒ කොහොමද පුතේ". "ඇයි,
කොම්බුවයි කයන්නයි කෙයන්න නම්, කොම්බුවයි අයන්නයි එයන්න". කුමාරතුංග මුනිදාස ශූරීන්ට සම
වයස්ව මේ දරුවා ඉපිද සිටියානම් අපට තවත් සිංහල භාෂා ගුරුකුලයක් බිහිවන්නට තිබුණාය යන්න
මාගේ මතයයි.

Sunday 26 October 2008

වේග රිද්මය හා පෙරපාසල් දරුවෝ!

ඊයේ පැවති සාහිත්‍ය උත්සවයේදී තවත් අපූරු සිද්දියක් සිදු වුණා. වැඩසටහන ආරම්භ වීමට පැය භාගයකට පමණ පෙර සිට වේදිකාවට ගොඩවූ කුඩා දරුවන් 30 දෙනෙකු පමණ ඔවුන්ගේ ඉදිරිපත් කිරීමට-නර්තනයට අවස්ථාව එළඹෙන තුරු ඉතා ඉවසිල්ලෙන් රැඳී සිටියා. වේදිකාව සකසා තිබූ ආකරයට හා එක් දැරියක උස් ආසනයක අසුන් ගන්වා සිටි ආකාරයට මොවුන් ඉදිරිපත් කිරීමට යන්නේ සරස්වතී වන්දනාවක් - අභිනන්දනයක් බවට පූර්ව නිගමනයකට කවුරුත් පැමිණි බවට සැක නෑ. කෙසේ හෝ උත්සවය ආරම්භ වී විනාඩි 40කට පසු මෙම 'පූජා අභිනන්දන' නර්තනය ආරම්භ වුණා. ඇත්තෙන්ම එය ඉතා අපූරු නිර්මාණයක් බව කිව යුතුයි. එහි තිබූ විශේෂම ලක්ෂණය නම් නර්තනයට සඳහා ඉදිරිපත් කළ ගීතයයි. එය සම්ප්‍රදායිකව පූජා අභිනන්දන සඳහා ඉදිරිපත් කරන සංගීතයක් නොව වේග රිද්මයක් සහිත, නර්තනය සඳහා හොඳින් පිවිසිය හැකි සංගීතයක් වූවා.
මෙම ගීතය හා නර්තනයේ නොගැලපීමක් නොතිබූ බව මාගේ මතය වන අතර, අත්තනායක එම්. හේරත් මැතිතුමාද තම දේශනයේදී, මෙම උත්සවයේ ඉදිරිපත් කළ වෙනත් නර්තනයක් පිළිබඳව දැඩිව අදහස් ප්‍රකාශ කරද්දී මෙම පූජා අභිනන්දනය ගැන එසේ නොකිරීමෙන් මාගේ මතය හා එකඟවනු ඇතැයි සිතනවා.
එතුමාගේ විවේචනයට භාජනය වූ නර්තනය පිළිබඳව මාගේ මතය මී ළඟ සටහනකින් ඉදිරිපත් කරමි.

පිරිමි ළමයින් ඕනෑකර තිබේ!

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ 'සාහිත්‍යාභිවන්දනා කලා උළෙල 2008' ප්‍රධාන
දේශනය පැවැත්වූයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය අත්තනායක එම්. හේරත් මැතිතුමා.
එතුමාගේ දේශනා ශෛලිය ඉතාමත් සිත් ඇදගන්නා සුළුයි. ඒ ආකර්ෂණය ලිඛිත ඉදිරිපත් කිරීමකින්
ලබාගන්න බෑ.
එතුමාගේ කථාවේ එක තැනක කිය වුණා, පේරාදෙණිය විශ්ව විද්‍යාලයට මෙවර ඇත්ළුවීමට පැමිණි
ශිෂ්‍ය කණ්ඩායමක සංඛ්‍යාව 1,800 ක් බවත් එයින් 1,600 ක් ගැහැණු ළමයින් බවත්, 83 නමක් ස්වාමීන්
වහන්සේලා බවත්. මෙම තත්වය සැලකිල්ලට ගත යුතු කරුණක් බවයි මාගේ මතය.
මෙයට හේතුව කුමක්ද?
පිරිමි දරුවන් අධයාපනයට යොමු නොවීමේ ප්‍රවනතාවයක් තිබේද? මෙය දිගටම පැවති තත්වයක්ද?
නොඑසේනම් දිනෙන් දින වර්ධනය වන තත්වයක්ද? මේ ගැනත් ටිකක් සිතන්න.
රාජ්‍ය සේවයේද මේ ප්‍රවනතාව මීටත් වඩා ඉහලින් ඇති බව මගේ මතයයි. මීට කලකට ඉහත පිරිමින්
පමණක් සිටි තනතුරුවල පවා අද වන විට බහුතරය කාන්තාවන් වී හමාරයි.
එහෙත් ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ තත්වය ඊට ඉඳුරාම වෙනස්. කාන්තා නියෝජනය 0.1% ත්
අඩුයි. මොකක්ද මේ වෙනස?

SMS කාව්‍ය සංදේශ

ඊයේ, 2008.10.25 දින කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ 'සාහිත්‍යාභිවන්දනා කලා උළෙල 2008' හා සමගාමීව පැවති එම ප්‍රාදේශීය සභාවේ වෙබ් අඩවිය එළි දැක්වීමේ උළෙලේ ආරාධිතයෙකු ලෙස සහභාගි වුනෙමි.
එහිදී මා අත්දුටු කරුණු කිහිපයක් පිළිබඳව මාගේ මත ප්‍රකාශ කිරීමට අදහස් කළෙමි.

මෙම උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගිවීමට නියමිතව සිටයේ ගරු කතානායක වි. ජ. මු. ලොකුබණ්ඩාර මැතිතුමාය. එහෙත් එතුමාට හදිසියේ විදේශ ගතිවීමට සිදුවූ බැවින් එතුමාගේ පුත් උදිත ලොකුබණ්ඩාර මහතා මෙම අවස්ථාවට සහභාගි විය. සාමාන්‍යයෙන් දේශපාලකයින් අතර විරල චරිතයක් වන 'සාහිත්‍යකරුවෙකු' වන විජමු ගේ ‍සාහිත්‍යමය දේශනයක් බලාපොරොත්තුවූ සියළු දෙනාගේ සිත් බිඳවැටී තිබූ මොහොතක විජමු වෙනුවට පැමිණි උදිත ලොකුබණ්ඩාර ඊට නොදෙවෙනි 'කතාවක්' කළේය. එහෙත් එකුන් විසිපස් වියැති මේ තරුණයා තමාගේ කතාව හා තම 'අප්පච්චි' පැමිණියානම් කරන කතාව උපමා කළේ මූසිලගේ හා ගුත්තිලගේ විණා වාදනයන්ටය.

ඒ කෙසේ වුවත් මා මාගේ මතය ප්‍රකාශ කිරීමට අදහස් කළේ එම කතාවේ සඳහන් වූ එක් කරුණක් ගැනය. 'අද තරුණ පරපු‍ර සාහිත්‍යයෙන් ඈත්වූ, කිසිම සාහිත්‍ය නිර්මාණයක් නොකරන්නා වූ පිරිසක් ලෙස හන්වඩු ගැසී ඇතත්, සත්‍ය එය නොවන බව උදිතගේ මතය විය. උදිත ප්‍රකාශ කළේ අද තරුණ පරපුර හොඳ සාහිත්‍ය නිර්මාණ කරන බවත් ගැටළුව වී ඇත්තේ ඒ සඳහා යොදා ගන්නා මාධ්‍ය වෙනස් බැවින් ඒවා ප්‍රකාශයට පත් නොවන බවත්ය. උදිත සඳහන් කළ එක් මාධ්‍යයක් නම් SMS ය.

අද තරුණයන් SMS මගින් හුවමාරු කරගන්නා පණිවුඩ අතර නොයෙක් මට්ටමේ නිර්මාණ ඇති බවත්, එවැනි නිර්මාණ කරන තරුණ පරපුර නිර්මාණ ඌනතාවයකින් පෙලෙනවා යැයි පැවසීම අසාධාරණ බවත් උදිතගේ මතය විය.

එසේ නම් මේ නිර්මාණකරුවන්ගේ හැකියාවන් අදට ගැලපෙන මාධ්‍යයකින් එළිදැක්වීමට අවශ්‍ය පහසුකම් ලබා දීම අද දවසේ ප්‍රමුඛ කාර්යයක් විය යුතු බවයි මාගේ මතය.

මෙම උත්සවයේ තවත් සිද්ධීන් කිහිපයක් ගැන මාගේ මතය ඉදිරියේදී...

Thursday 23 October 2008

රාජ්‍ය සේවය හා මහජන සේවය

රාජ්‍ය සේවය කියන්නෙ මහජන සේවය නොවේ කියා අමල් පවසා තිබුණා.
ඇත්තටම රාජ්‍ය සේවය කියන්නේ මහජන සේවය නෙමේ. අපේ රටේ රාජ්‍ය සේවය බිහි වුනේ 'සුද්දාගේ' අවශ්‍යතා ඉටුකරගැනීමට. දැන් ශේෂව පවතින්නේ ඒ රාජ්‍ය සේවයේ ගුණාංගම තමා. අනිත් අතට රාජ්‍ය සේවයෙන් වැඩිපුරම සිද්ද වෙන්නේ රාජ්‍ය සේවක කළමනාකරණ කටයුතු. ඉතින් මහජන සේවා සපයන්නේ කොහොමද? මගේරාජ්‍ය සේවය හා මානව සම්පත් කළමණාකරණය. සටහනේ මේ සම්බන්ධව කරුණු දක්වා තිබෙනවා.
"........ඇත්තටම ‘රාජ්‍ය සේවය’ කියා වැඩි වශයෙන්ම සිදුවන්නේද මේ අති විශාල ‘සම්පත’ කළමණාකරණය කිරීමය. රජයේ කාර්යාලයක් ගත්විට එහි සිටින ‘රාජ්‍ය සේවකයින්ගෙන්’ 40% දෙනා කරන්නේ ‘මානව සම්පත් කළමණාකරණ’ වැඩය.
කාර්යාල වල භාවිතා වන වචන වලින් කියනවානම් ‘පරිපාලන සේවා’, ‘සේවා කොන්දේසි’, ‘පුද්ගලික ලිපිගොනු’, ‘සාමාන්‍ය පාලන’, ‘පාලන’. මේ ආදී තවත් වචන රාශියකින් හැඳින්වුවද මේ කුමන විශයෙන් වුවද සිදුවන්නේ ‘මානව සම්පත් කළමණාකරණ’ රාජකාරියක්ය. මෙම රාජකාරී වලින් 95% කට වැඩි ප්‍රමාණයක් නිතිපතා නැවත නැවතත් සිදුකරන ඒකාකාරී දේවල්ය. ...."

වැදගත්ම දෙය මෙම තත්වය හෙලා දකිමින් මත ප්‍රකාශ කිරීම ඉක්මවා ගිය වගකිමක් අප සතුව තිබීමයි.
ඒ සඳහා හොඳ පෙල ගැස්මක් ගොඩනැගිය යුතු බවයි මාගේ මතය.

Thursday 16 October 2008

රාජ්‍ය සේවය, පරිගනකය, අන්තර්ජාලය හා සිංහල 2

'පරිගනකය, අන්තර්ජාලය හා සිංහල' මාතෘකාව යටතේ රජයේ කාර්යාල සේවකයින්ට සිංහල යුනිකේත, ‍සිංහල ෆයර්ෆොක්ස්, නිදහස් මෘදුකාංග හා බ්ලොග් සම්බන්ධව පවත්වාගෙන යන වැඩසටහන් මාලාවේ තවත් වැඩමුළු කිහිපයකින් ලැබූ අත්දැකීම් නිසා, රාජ්‍ය සේවයේ තොරතුරු තාක්ෂණය ගැන මගේ මතය තව දුරටත් කියන්න හිතුවා.
මේ සම්බන්ධව මාගේ පළමු සටහ‍නේ මම මෙලෙස සඳහන් කළා.

"මේ ආයතනවල පරිගනක කිහිපයක් තිබෙනවා. එහෙත් ඒවා භාවිතා කිරීමේ අවස්ථාව හැම දෙනාටම නෑ. ඇයි එහෙම නීති දාල තියෙන්නෙ කියල තේරුම් ගන්න අමාරුයි. අන්තරජාලය ගැන තත්වයත් එමමයි. සමහර ආයතනවල එක පුද්ගලයටයි අන්තර්ජාලය භාවිතා කිරීමේ අවස්ථාව දීල තියෙන්නෙ."

මෙවැනි ආයතනවල ප්‍රධානීන්ගේ 'තොරතුරු තාක්ෂණ' දැනුමේ ප්‍රමාණය මෙම අවාසනාවන්ත තත්වයට මූලිකම හේතුව ලෙසයි මම අනුමාන කරන්නේ.
සමහර ප්‍රධානීන් (අර මහසෝනා කියනවා වගේ) හිතන්නෙ තමන්ගේ යටත් නිලධාරීන්ට, සේවකයින්ට පරිගණකය, අන්තර්ජාලය භාවිතා කරන්න දුන්නොත් 'වඳුරට දැලිපිහිය දුන්න' වගේ තියේවි කියල.
සමහර ප්‍රධානීන් හිතනවා 'මේ පරණ මිනිස්සුන්ට මේව දීල වැඩක් නෑ. අළුතෙන් කට්ටියක් ආවහමම/ගත්තහම ඒ අයට පරිගනක එහෙම දීලා නි‍යමෙට වැඩේ කරනවා' කියල.
තවත් ප්‍රධානීන් කොට්ඨාශයක් හිතනවා 'මුන් මේවායෙන් වැඩ කරන්න ඉගෙන ගත්තහම අපි නිකන් සෙකන්ඩ් වෙනවා. ඒනිසා මටත් බැරි එක උන්ටත් ඔනෙ නෑ' කියල.

මේ විදිහට මේ ප්‍රධානීන්ගේ 'රාජකාරී රෝග' ලංකාව් තොරතුරු තාක්ෂණයේ ඉදිරි ගමනට තදින් බලප‍ානවා.
එබැවින් ලංකාව් තොරතුරු තාක්ෂණයේ වගකිවයුක්තන් මේ සම්බන්ධව ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගත යුතුයැයි යන්න මාගේ මතයයි.

Sunday 12 October 2008

අධ්‍යාපනය 1

අධ්‍යාපනය

"මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධව වැඩිම පැමිණිලි විදුහල්පතිවරුන්ට එරෙහිව"
"අධ්‍යාපන ක්ෂේත්‍රයේ සෙසු නිලධාරීන්ට එරෙහිවද පසුගිය මාස 9 තුල පමණක් පැමිණිලි 62ක්"
"මෙම පැමිණිලිවලින් වැඩිම සංඛ්‍යාවක් පළමු වසරට සිසුන් ඇතුළත් කිරීමට අදාලවයි."

මේ අද පුවත්පත් වාර්තාවක්!

පාසලට දරුවන් ඇතුල් කිරී‍ම, අතරමග පාසල හැර යාම, ටියුෂන් හෙවත් අමතර පන්ති, 'පහේ ශිෂ්‍යත්ව විභාගය', සාමාන්‍ය පෙල හා උසස් පෙල අසමත්වීමේ ප්‍රතිශතය වැඩිවීම, ගුරු වර්ජන, සිසු විනය පිරිහීම,
දරුවන්ගේ මන්දපෝෂණය, විශ්ව විද්‍යාලවලට අතුලත්වීමේ අවස්ථා අවම වීම, 'රැකියා විරහිත උපාධිධාරීන්' බිහිවීම, මෙවැනි ඉඟිවලින් පැවසෙන්නේ අද අධ්‍යාපන ක්ෂේත්‍රයේ යම් අර්බුදයක් ඇති බවයි.

වරෙක කියවෙන්නේ රටේ සංවර්ධනයට අවශ්‍ය උගතුන් අධ්‍යාපනයෙන් බිහි නොවන බවයි. තවත් වරෙක කියවෙන්නේ බිහිවන උගතුන්ට රැකියා අවස්ථා නොමැති බැවින් ඔවුන්ගෙන් බහුතරයක් රට හැර යන බවයි. කෙසේ හෝ මෙයින් පැහැදිලි වන්නේ අපේ රටේ දියුණුවට නැත්නම් සංවර්ධනයට අවශ්‍යවන අධ්‍යාපනයක් නොමැති බවයි. මේ 'අධ්‍යාපන ගැටළුවේ' එක් පැතිකඩකි.

අනෙක් කාරණය නම්, ඉතා සීග්‍රයෙන් පිරිහෙන සාරධර්මයි. හොරමැරකම්, වංචා, දූෂණ, මිනීමැරීම්, අපයෝජන, වර්ජන, ගර්ජන, රැවටීම් වැනි සමාජයේ ඔඩුදුවගොස් ඇති අනේකවිධ නොපනත්කම් පිටුපසද අධ්‍යාපනයේ අසාර්ථක බව දැඩිව පවතී.

මේ සම්බන්ධව මේවන විටත් ඉතා විශාල ලෙස කතිකාවන් ඇතිවී නැතිවී ගොස් ඇති මුත් හා ඒවයේ ප්‍රතිඵල මත හෝ නොමැතිව වරින් වර ඇතිවූ 'ප්‍රතිසංස්කරණයන්' කිසිවක් ගැටළුවට විසඳුමක් වී නොමැති බව මාගේ මතයයි.

Wednesday 8 October 2008

රාජ්‍ය සේවය, පරිගනකය, අන්තර්ජාලය හා සිංහල

නොයෙක් දේවල් ගැන මගේ මතය ප්‍රකාශ කරන්න ඕනෑකම තිබුනා.
ඒත්, මේ දිනවල පවතින අධික රාජකාරී තදබදය නිසා නිදහසේ ලියන්න වෙලාව මදි!
රාජ්‍ය ආයතනවල පරිගනක හා අන්තර්ජාලය භාවිතය සඳහා සිංහල යොදාගැනීම ප්‍රවර්ධනය කළ යුතු බවයි මගේ මතය. ඒනිසා කිය කියා ඉන්නෙ නැතුව වැඩේ පටන් ගත්තා, ගිය සතියේ. දැනට ආයතන 4ක කළා.
ඒ වැඩසටහන්වලදී ලැබනු අත්දැකීමක් ගැන මගේ මතය කියන්නයි මේ ලියන්න පටන් ගත්තේ.

මේ ආයතනවල පරිගනක කිහිපයක් තිබෙනවා. එහෙත් ඒවා භාවිතා කිරීමේ අවස්ථාව හැම දෙනාටම නෑ.
ඇයි එහෙම නීති දාල තියෙන්නෙ කියල තේරුම් ගන්න අමාරුයි. අන්තරජාලය ගැන තත්වයත් එමමයි. සමහර ආයතනවල එක පුද්ගලයටයි අන්තර්ජාලය භාවිතා කිරීමේ අවස්ථාව දීල තියෙන්නෙ. මේ තත්වය වහා වෙනස්විය යුතුයි කියන එකයි මගේ මතය. කාර්යාලයේ සියළුම දෙනා පරිගනක භාවිතා කිරීම ගැටළුවක්ද? නිලධාරින්/සේවකයින් අන්තර්ජාලය භාවිතා කිරීම රාජකාරී වලට බධාවක්ද?

සිංහල දෙන්න කලින් මේ ගැටළුව විසඳාගත යුතුයි කියල හිතෙනවා.

Thursday 25 September 2008

සැලසුම් කළ නගර

කොළඹ අපේ අගනගරය!
ඒ සුද්ද රට පාලනය කළ යුගයේ සිට 1978 (වගේ මතක) ‍වනතුරුම.
රටක අගනගරය (පමණක් නොවේ සෑම ප්‍රධාන නගරයක්ම) සැලසුමකට අනුව සංවර්ධනය කළ යුතුය යන්න මගේ මතයයි.
අපේ රටේ කිසිම නගරයක් සැලසුමකට අනුව සංවර්ධනය කළ බවක් දැකිය නොහැකිය.
අපිට තිබූ හොඳම අවස්ථාව ශ්‍රී ජයවර්ධනපුර අගනගරය බවට පත්කිරීම.
ඒ දිනවල තිබුණු ප්‍රචාරක වැඩසටහන්වල නම් පුදුම සැලසුම් තිබුනා.
ඒත් අද එහි ඉදිකිරීම් ස්ථාපනය කරන ආකරය දුටු විට නම්, අපේ සැලසුම් ගැන පුදුම දුකක් ඇතිවෙනවා.
ඔය තියෙන්නේ 'සැලසුම් කළ' නගරයක්ද?
ඊ ළඟට ලැබුනු හොඳම අවස්ථාව 'කඩිනම් මහවැලි සංවර්ධන වැඩසටහන'.
තෙල්දෙනියේ සිට ත්‍රිකුණාමලය දක්වා සැලසුම් කළ නගර නිර්මාණය කරන බවයි ඒ කාලයේ කිව්වේ.
එහෙත් සැලසුම් සහගත කිසිම නගරයක් දක්නට නෑ.
ගම්උදාව සංකල්පය යටතේ 'නවනගර' කිහිපයක් බිහි'කළා'. ඒ එක නගරයක්වත් සැලසුම් සහගතව ඉදිකළ බවක් දක්නට නෑ.

ඒ අතීතය. අපට නිවැරදි කළ නොහැකි අතීතය.
එහෙත් වර්තමානය!
ඔව්, වර්තමානයේ ලංකාවේ දකුණු ප්‍රදේශය සංවර්ධනය වෙමින් පවතිනවා.
හම්බන්තොට ප්‍රධාන කොටගෙන නගර කිහිපයක්ම සංවර්ධනය වෙමින් පවතිනවා.
අනාගතය වෙනුවෙන් මෙම නගර නිවැරදි සැලසුමකට අනුව සංවර්ධනය කිරීමේ වගකීම අද අපේ වගකීමක් බවට පත්ව තිබෙනවා.
එසේ‍ නොවුනහොත් අනාගතයේ දරුවන් මෙම නගරවලදී (අද අප, දැන් තිබෙන නගරවල දහදුක් විඳින්නා සේ)
මාර්ග තදබදයට හසුවූ විට,
යම් ස්ථානයක් සොයාගැනීමට නොහැකි වූ විට,
යටිතල පහසුකම් නොමැතිවූ විට,
වැසි ජලයට යටවූවිට,
කසල එකතුවී ගඳගහන විට,
සුවපහසු පරිසරයක ජීවත්වනනට නොමැති වූවිට,
'ආරක්ෂාව' වෙනුවෙන් පැයගනන් කාලය කාදමන්නට වූ විට,
හුස්ම පොදක් ගන්න අපහසුවන විට,
අඩුපාඩු හදන්නට-සංවර්ධනය කරන්නට ගෙවල් දොරවල් කැඩෙනවිට,
(ගොඩක් තියෙනවා-ඒත් Post එක දිග වැඩිවෙනවා)
අපට සාප කරාවි.
එබැවින් අළුතින් සංවර්ධනය වන හම්බන්තොට වැනි නගර මනා සැලැස්මකට අනුව ඉදිකිරීම අද අපගේ වගකීමයි.

Monday 22 September 2008

පරිගනකය හා සිංහල

රාජ්‍ය ආයතනවල පරිගනක සඳහා සිංහල හා වෛරස් නිවාරන මෘදුකාංග බලාගැනීම ගැන සටහන් කරන්න හිතුනා.
ඉතා විශාල වියදමක් දරමින් තවමත් බොහෝ රජ්‍ය ආයතන ලබාගන්නේ සිංහල යුනිකේත සහය නොදක්වන සිංහල මෘදුකාංග. අති බහුතරයක් තැන්වල (LGN වල පවා) වින්ඩෝස් මෙහෙයුම් පද්ධති භාවිතා කරන බැවින් වෛරස් නිවාරන මෘදුකාංග සඳහාද විශාල මිලක් දරනවා. (LGN වල සෝපෝස් තියෙනවා). වියදමටත් වඩා ප්‍රශ්නය එක ආයතනයක් තුල වෙන වෙන පරිගනකවලට වෙන වෙන වර්ගවල මෘදුකාංග යොදාගෙන විදින වදය.
සිංහල යුනිකේත හා නිදහස් මෙහෙයුම් පද්ධති හොඳම විසඳුම නොවේද? ඇයි ඒ තැනට යන්නේ නැත්තේ, හැමෝම එකමුතුව.

Sunday 21 September 2008

වීථි ආලෝකකරණය Street Illumination.


චිර‍ාන්ගේ ‘විදුලිය පිරිමැසීම’ blog සටහන දුටුවිට විදුලි පිරිමැසීම ගැන මගේ මතය කියන්න හිතුනා.
ඇත්තටම මම කියන්න යන දේ විදුලිය පිරිමැසීමටත් වඩා වැදගත් වන දෙයක්.
ප්‍රදේශීය සභා, නගර සභා, මහනගර සභා යන පළාත් පාලන ආයතනවලට සභිකයින් පත්වුනුවිට ඒ කොයි කවුරුත්, තමන්ව පත්කර එවූ ජනතාවට යමක් කරන්න උත්සාහ කරනවා. ඒත් ලැබෙන ප්‍රතිපාදන ප්‍රමාණයෙන් ඇඟට දැනෙන දෙයක් කරන්න බෑ. කරන්න පුළුවන් ඉතින් ගෙවල් ළඟ ‘ලයිට් කනුවට ලයිට් එකක්වත්’ දාල දෙන්න තමා. අන්තිමටම විදුලි රැහැන් ඇද ඇති සෑම මාර්ගයක්ම මනාව ‘වීථි ආලොකකරණයට’ ලක්වෙලා. විදුලියබල මණ්ඩලයෙන් හෝ වෙනත් ආයතනයකින් පැණවූ නීතියක් තිබෙනවා වීථි පහන් සවිකළ යුත්තේ එක් කණුවක් හැර කණුවක පමණි කියා. එහෙත් එසේ කණුවක් මග ඇරී ඇත්නම් ඒ ඉතා අල්ප ලෙසය. පළාත් පාලන ආයතන නියෝජිතයින්ට අමතරව පළාත් සභා හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද තමන්ට වෙන්වන ප්‍රතිපාදන වලින් වැඩි ‘වැඩ ප්‍රමාණයක්’ ඉටුකිරීම සඳහා තෝරා ගන්නේ, අවමංගල්‍යාධාර සමිතිවලට පුටු ලබාදීම හැරුනු විට ‘වීථි පහන්’ ලබාදීමය.
කෙසේ හෝ අදවනවිට කොළඹ නගරයේ සිට, අගනගර, නගර, සුළු නගර, නියම්ගම්, ගම් පසුකොට හද්දා වනාන්තරයක් මැදින් මාර්ගයක් වැටී ඇත්නම් ඒ මාර්ගය දිගටමද ‘වීථි ආලෝකය’ සපයා ඇත.
“කොච්චර හොඳද? ගෑනියෙක්ට උනත් ඕනෙ රැයක බයක් නැතුව පාරෙ බැහැල යන්න පුළුවන්නෙ!” (සූසැටභරණින් සැරසීලා).
“කොහෙ හරි ගිහිල්ලා හදිස්සියේ රෑ උනත් බයවෙන්න දෙයක් නෑ, පාරෙ ලයිට් තියෙනවනේ”
“පාරට ලයට් දැම්මහම හොර හතුරො අඩු වෙනවා.”
වීථි ආලෝක කිරීම බහුතරයක් දකින්නේ මේ විදිහට.
එහෙත්, මෙලෙස රෑටත් ‘දවල් වගේ ලයිට් දැමීම’ නිසා වෙන හානි ගැන සොයා බැලුවද?
ජනප්‍රියම කාරණය ‘විදුලි අරපිරිමැස්ම. ඒක ගැන හැමෝම කථා වෙන නිසා අපි ඒක අමතක කරමුකො ටිකකට.
මාගේ මතය අනුව මෙලෙස මුළු රාත්‍රිය පුරා පරිසරය ආලෝකවත් කර තිබීමෙන් විශාල ලෙස හානි වන්නේ ‍ජෛව විවිධත්වයටයි. මුළු රාත්‍රියක් පුරා දැල්වෙන වීථි පහනක් යට දැවී පිලිස්සී ඇති කෘමි සතුන් ප්‍රමාණය කොතෙක්ද? (ඔබ එකම සතෙක්වත් ‘ජීවිතේට’ දැක නැත්නම් මා කියනා මේ හානියේ ප්‍රමාණය කොතරම්දැයි වටහා ගැනීමට තවත් අටුවා ටිප්පිනි අවශ්‍ය නැත)
‘මුළු ලොවම නිදනා රැයේ අහසේ අසිරිය’ බලන්නට උඩ බැළුවත් අද දිස්වන්නේ හාත්පස පැතිරුනු ‘වීථි පහනේ’ ආලෝකයයි. පසලොස්වක-අමාවක වෙනසක් නැතුවා සේය. (අළුත් කවියෝ මොනව ලියයිද මන් දන්නෑ)
දැන් එන්නේ, “එහෙනම් මොකද කරන්නෙ? පාරෙ ලයිට් දාන්න එපාද කියන්නනෙ?” කියන ප්‍රශ්නයට. ඇත්තටම ‘පාරෙ ලයට්’ නැතුවම තියෙනවනම් හොඳා - ඒත් අද ඒ තත්වෙට යන්න බැරි තරමට ඇබ්බැහි වෙලානේ ඉන්නේ. ඒනිසා ප්‍රායෝගික විසඳමක් ගැන හිතමු. 88-89 ‘පරිවර්තනයත්’ සමග අද වෙන විටත් රාත්‍රී සංචරනය බොහෝ සීමා වෙලා තියෙන්නේ. අද අති බහුතරයක් රෑ 9-10 වනවිට ‘ගෙවල් දොරවල් වහගෙන - ගෙදර ලයිට් නිමාගෙනත්’ අවසානයි. ඉතින් රෑ 10 සිට උදේ 5 පමණ වනතෙක් ‘වීථි ආලෝකය’ කාටද? පාරෙ යන සෑම වාහනයකටම විදුලි ආලොකය තිබෙනවා. (නැත්නම් දවල්ට උනත් පොලීසියෙන් අල්ලනවනෙ) රාත්‍රී ගමනක් යන කෙනෙක් විදුලි පන්දමක් (අද ගෘහ විදුලියෙන් ආරෝපණය කරණ විදුලි පන්දම් වෙළඳ පොලේ අනන්තවත්) රැගෙන යන්නේනම්!
එසේනම් කළ යුක්තේ කුමක්ද?
නිවසේ පහන් අනවශ්‍ය වේලාවට නිවන්නා සේ වීථියේ පහනත් අනව්‍ය වේලාවට නිවා දමනවානම්!

රාජ්‍ය සේවය හා මානව සම්පත් කළමණාකරණය.





රාජ්‍ය සේවය යැයි පැවසූ සැනින් අපගේ මතකයට එන්නේ ලක්ෂ ගනනක් වූ රාජ්‍ය සේවකයින්ය.
එනම් රාජ්‍ය සේවයේ මානව සම්පතය. ඇත්තටම ‘රාජ්‍ය සේවය’ කියා වැඩි වශයෙන්ම සිදුවන්නේද මේ අති විශාල ‘සම්පත’ කළමණාකරණය කිරීමය. රජයේ කාර්යාලයක් ගත්විට එහි සිටින ‘රාජ්‍ය සේවකයින්ගෙන්’ 40% දෙනා කරන්නේ ‘මානව සම්පත් කළමණාකරණ’ වැඩය.
කාර්යාල වල භාවිතා වන වචන වලින් කියනවානම් ‘පරිපාලන සේවා’, ‘සේවා කොන්දේසි’, ‘පුද්ගලික ලිපිගොනු’, ‘සාමාන්‍ය පාලන’, ‘පාලන’. මේ ආදී තවත් වචන රාශියකින් හැඳින්වුවද මේ කුමන විශයෙන් වුවද සිදුවන්නේ ‘මානව සම්පත් කළමණාකරණ’ රාජකාරියක්ය. මෙම රාජකාරී වලින් 95% කට වැඩි ප්‍රමාණයක් නිතිපතා නැවත නැවතත් සිදුකරන ඒකාකාරී දේවල්ය.
රාජ්‍ය සේවයේ මානව සම්පත් කළමණාකරණය සම්බන්දව පැන නගින ගැටළු කිහිපයකි.1. සමස්ථ රාජ්‍ය සේවයෙන් 40% ක්ම සිදුකරන්නේ අභ්‍යන්තර කටයුක්තක් නම් රාජ්‍ය සේවයේ ‘සේවාලාභීන්’ එනම් ‘මහජනතාව’ විසින් නඩත්තු කරනු ලබන්නේ ‘සුදු අලියෙක්ද’?
2. මෙම ‘මානව සම්පත් කළමණාකරණය’ නිසි ආකාරව සිදු වෙනවාද?3. මෙම ඒකාකාරී රාජකාරී ඉටුකිරීම සඳහා මීට වඩා සාර්ථක ක්‍රමවේදයක් නොමැතිද?
ඒ සඳහා ‘තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය’ භාවිතා කළ හැකිබව මාගේ මතයයි. රාජ්‍ය සේවයේ ‘මානව සම්පත් කළමණාකරණය’ සඳහා ‘තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය’ භාවිතා කරන අවස්ථා මේ වන විටත් තිබෙනවාද කියා මම නොදනිමි. (එවැනි අවස්ථා ඇත්නම් ඒ සම්බන්ධව තොරතුරු ඉදිරිපත් කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.)
කෙසේ වුවද, මේ සඳහා ‘තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය’ භාවිතා කිරීමෙන්
1. රාජ්‍ය සේවයේ ඇති විශාල බරක් සැහැල්ලු කර ගැනීමට හැකිවනු ඇත.
2. මටද ඇතුළුව සෑම රාජ්‍ය සේවකයෙකුටම (අවම වශයෙන් එකක් වත්) ඇති නොවිසඳුනු සම්ප්‍රදායික ගැටළු පහසුවෙන් නිරාකරනය කරගත හැකි වනු ඇත.
3. එමගින් ඇතිවන මානසික සහනය වඩාත් යහපත් සේවයක් ලබා දීමට හොඳ පෙළඹවීමක් වනු ඇත.
4. මානව සම්පත් කළමණාකරණය සඳහා යොදවා ඇති මනව සම්පත රාජ්‍ය සේවයේ ඵලදායී අංශ කරා යොමු කළ හැකිය.
ඒ අනුව රාජ්‍ය සේවයේ ‘මානව සම්පත් කළමණාකරණය’ සඳහා ‘තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය’ භාවිතා කිරීම ඉ-රාජ්‍ය සංකල්පයේ ‘ප්‍රශස්ත මහජන සේවයක්’ ලබාදීමක්ම වනු ඇත.

Friday 19 September 2008

මිනිරන් සෙවීම



ලංකාවේ මිනිරන් නිධි සෙවීම සඳහා රජය කටයුතු ආරම්භ කරන බවට තොරතුරක් අද ලංකාදීපෙ තිබුණා.
ප්‍රගතිශීලී අදහසක්!
ලංකාවේ මිනිරන් වැඩි කාබන් ප්‍රතිශතයක් සහිත හොඳ වෙළඳ පොලක් තියෙන සම්පතක්.
පසුගිය දිනක බෝගල මිනිරන් පතලට යාමේ අවස්ථාව ලැබුනා.
(ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සරත් ආනන්ද වන්නිනායක මැතිතුමාගේ හා බෝගල ග්‍රැපයිට් ලංකා පුද්ගලික ආයතනයේ සාමාන්‍යාධීකාරී ඊ. එස්. දයනායක මැතිතුමාගේ කාරුණික අනුග්‍රහයෙන්)
එහිදී දැනගත් කරුණු අනුව ලංක‍ාවේ තවත් මිනිරන් නිධි රාශීයක් තිබිය හැකිබවට විද්‍යාඥයින් තද විශ්වාසයකින් සිටිනවා.
අනුරාධපුර යුගයට (ක්‍රි.ව. 400 - 500) අයත්යැයි පුරාවිද්‍යාත්මකව තහවුරු කළ මිනිරන් නිශ්පාදන සීගිරි අවටින් සොවාගෙන ඇත. http://www.gk-graphite.lk/graphite-supplier.html

ලංකාවේ මිනිරන් සඳහා කැනීම් ආරම්භ වී ඇත්තේ ක්‍රි.ව. 1840-1850 කාලයේය.

මේවන විට වසර 170ක් පමණ පැරණි මෙම කර්මාන්තය විධිමත් ලෙස කළමණාකරණය කරන්නේනම් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ලංකාවට ඇදලැනීමට හොඳ අවස්ථාවක් බව මගේ මතයයි.

Thursday 18 September 2008

තනි තනිව වැඩ කරන රජයේ සේවකයෝ

ඉ-ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ රාජ්‍ය ප්‍රති-නිර්මාණ අංශයේ වැඩසටහන් ප්‍රධානි වසන්ත දේශප්‍රිය මහත්මයාගේ
ටීකාව ඉතා අගය කොට සලකනවා.
ස්තුතියි.

මම කියන්න උත්සාහ කළේ අපේ රාජ්‍ය සේවයේ සිටින බහුතරයකගේ -අති බහුතරයකගේ ආකල්පයක් ගැන.
'මම මගේ වැඩේ කරනවා!', 'ඒක මගේ වැඩක් නෙමේ!'
බැලු බැලුමට බොහොම සාධාරන වගේ පෙනෙන, 'ඔව් ඒ මදෑ'කියල හිතෙන, ආකල්පයක්.
ඒත් ඒක හරිද?

ආයතනයක වැඩ තනි තනිව කරල සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන්ද?

මම අත්දැකල තියෙන බහුතරයක් -අති බහුතරයක් පෞද්ගලික ආයතනවල කටයුතු කරන්නේ සාමූහිකව.
ඒ ඒ රාජකාරියට ඍජුව වගකියන අයෙක් සිටිනවා.
ඒත් කළමණාකරනය විසින් ඒ සියළු අංශ හොඳින් සමායෝජනය කරනවා.
අවසාන ප්‍රතිඵලය සාර්ථකයි.

කරුමයක මහත.
රාජ්‍ය අංශයේ අති බහුතරයක් ආයතනවල එම සහභාගිත්ව කළමණාකරනය ඇත්තෙම නෑ.

වසන්ත මහත්මයා කියන ආකාරයට 'තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය'ට පුළුවන් වෙයිද මේ ආකල්පමය වෙනස ඇති කරන්න?

'තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය' අප ආයතනයේ ඵලදායීතාව වර්ධනය කිරීම පිණිස යොදා ගැනීමට
ගන්නා උත්සාහයට හරස් වී තිබෙන්නෙත් මේ 'කාලකන්ණි' ආකල්පයමයි.
('කාලකන්ණි' කිව්වට 'කන්නෙ' කාලය විතරක් නෙමේ. ශ්‍රමය, ධනය, කීර්ති නාමය වගේසම්පත් විශාල ප්‍රමාණයක් මේ ආකල්පය නිසා විනශ වෙනවා)

Wednesday 17 September 2008

තනි තනිව වැඩ කරන රාජ්‍ය සේවය!

ආයුබෝවන්ඩ!
මේ දවස්වල නගරයේ තාප්පයක් තාප්පයක් පුරා තියෙන්නෙ "රාජ්‍ය සේවය පිණිසයි!"
ඒ මොබිටෙල් ජංගම දුරකථන "උපහාරය".
ඇත්තටම රාජ්‍ය සේවය කියන්නෙ මොකක්ද?
State Service.
එතකොට public Service කියන්නෙ?
මහජන සේවයද?
public කියන්නෙ පොදු.
State කියන්නෙ රාජ්‍ය, නැත්නම් රාජකීය.
කොහොම උනත් අද තියෙන මේ රාජ්‍ය සේවය හඳුන්වන්න හොඳම යෙදීම,
"මහජන සේවය" විය යුතුයි.
ලංකාව වැනි යටත් විජිතවූ රටවල,
යටත් විජිත පාලකයින්ගේ වුවමනාවන් ඉටුකරගැනීම සඳහා ඇති කළ යාන්ත්‍රනය
අද වන විටත් ඒ ආකාරයටම පවතිනවා.
නමුත් ඒ යටත් විජිත පාලනයක් නෙමේ අද තියෙන්නෙ.
තමන්ගේ කටයුතු යම් සම්මතයකට අනුව සිදුකර ගැනීම සඳහා
තමන් වෙනුවට තමන්ගේ නියෝජිතයෙක්ව පත්කරගෙන,
තමන්ට අවශ්‍ය විදිහට, තමන්ගේ කටයුතු කරගන්නා
ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් අද තියෙන්නේ.
ඒ කියන්නෙ 'රාජ්‍ය' නැත්නම් 'රාජකීය' නෙමේ.
'පොදු'. Public Service.
ඇත්තටම අද තියෙන්නේ පොදු සේවාවක්ද?
එයින් සේවා ලාභියගේ අවශ්‍යතාවන් ඉටු වෙනවාද?
කවුද සේවා ලාභියා?
යටත් විජිත යුගයේ රාජ්‍ය සේවකයාගේ සේවාව ලැබුවේ රජය.
නැත්නම් යටත් විජිත පාලකයින්.
අද 'පොදු සේවකයාගේ' සේවා‍ව ලබන්නා විය යුත්තේ මහජනතාව.
එහෙත් සිදුවන්නේ එයද?
අන්තර්ගතයේ පමණක් සුළු සුළු වෙනස්කම් කිහිපයක් පමණක් සිදුවූ
අවුරුදු 200ක් පමණ සිට ස්ථාවරව පවත්වාගෙන එන ලංකාවේ
රාජ්‍ය සේවය අදටත් යල්පැනගිය,
'පරයන්ගේ වැඩක් කරනවා' යන හැඟීමමත පවත්වාගෙන යන 'රැකියාවක්' පමණි.
'තනි තනිව වැඩ කරන රාජ්‍ය සේවය' ගැන හෙට බලමු.

සුභ දවසක්!

Tuesday 16 September 2008

මේ මගේ මතය!

එක්කෙනා එක්කෙනා
එක දෙයක් ගැන
වෙන වෙනස් විදිහට
හිතන ලෝකේ
මට හිතෙන හැටිත්
ලියල තියන්න හිතුනා.
ඒ මගේ මතය.
මගේ මතය ගැන
ඔබේ මතය මට කියන්න.