Friday 18 December 2009

යුතුකම් හා අයිතිවාසිකම්

යුතුකම් කියන්නේ ක්‍රියාවක්. අයිතවාසිකම් කියන්නේ ප්‍රතිඵලයක්.
යුතුකම් කියන්නේ එක් අයෙකු විසින් ඉටු කළ යුතු කාර්යයක්. අයිතිවාසිකම් කියන්නේ ඒ පුද්ගලයා යුතුකම් ඉටුකිරීම නිසා තවත් අයෙකුට ලැබෙන ප්‍රතිඵලය.
ඒත් අපි ඔය දෙක මාරු කරගෙන ඉන්නේ.
අපි හිතන් ඉන්නේ අයිතිවාසිකම් කියන්නේ තියෙන දෙයක්. යුතුකම් කියන්නේ කළ යුතු දෙයක් කියල.
සේවකයා හිතන් ඉන්නවා සේව්‍යයා තමන්ට වැඩි පඩි ලබා දිය යුතුයි; එය තමන්ගේ අයිතිවාසිකමක් කියල. එහෙත් එතන තියෙන්නේ වැඩි පඩි ලබා දීම සේව්‍යයාගේ යුතුකම. ඔහු එය ඉටු කළොත් එහි ප්‍රතිඵලය සේවකයාට ලැබෙනවා. ඒ විදිහටම තමා සේවකයාගේ යුතුකම-වගවීමෙන් සේවය කිරීම හා සේව්‍යයාගේ අයිතිවාසිකම-බලාපොරොත්තු වන ලාබය ලැබීම.
දෙමාපියන් හා දරුවන් ගත්තත් එසේමැයි. සිඟාලෝවාද සූත්‍රයේ හොඳින් කියනවා ඒ ගැන. සෑම පාර්ෂවයකටම තියෙන්නේ යම් යුතුකමක්. එය ඉටුකිරීමෙන් ප්‍රතිපාර්ෂවයට යමක් ලැබෙනවා. නමුත් එය ප්‍රතිඵලයක් විනා නයමයක් නොවේ.

Friday 11 December 2009

විපක්‍ෂ නායක ජනාධිපති කරන නව ව්‍යවස්ථාවක්

ශ්‍රී ලංකාවේ මේදිනවල ජනප්‍රසිද්ධම මතෘකාව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි. ජනාධිපතිවරණයේ එක් පාර්ෂවයක ප්‍රධානම තේමා පාඨය වී තිබෙන්නේත් එයයි. අපේ රටට විධායක ජනාධිපති වරයෙකු අවශ්‍ය බවයි මාගේ මතය. එහෙත් ඒ තනතුරට වර්තමානයේ ආරෝපණය කොට තිබෙන්නා වූ අසීමිත බලයතල ඉවත් කළ යුතුයි. විශේෂයෙන් ජනාධිපති පාර්ලිමේන්තුවට/ව්‍යවස්ථාදායකයට හා අධිකරණයට ඍජුවම වගකිව යුතුයි. එසේම විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය එකිනෙකින් ස්වායත්ත ආයතන විය යුතුයි.

විධායකය ප්‍රධාන කොටස් තුනකින් සමන්විය යුතුයි.විධායකයේ නායකයා ජනාධිපති වේ. ජනාධිපති තෝරා ගන්නේ ව්‍යවස්ථාදායකය මගිනි. මෙහිදී සැලකිල්ලට ගත යුතු විශේෂ සාධකයක් පවතී. එය විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ පවතින ප්‍රබලව බෙදී ගිය දේශපාලන පක්‍ෂ ක්‍රමය නිසා ඇතිවූ තත්වයකි. සෑම විටම රාජ්‍ය පාලනය බාර ගන්නා පක්‍ෂය තම බලය පවත්වාගෙන යාමටත්, බලය අහිමි වූ පක්‍ෂ නැවත බලය ලබා ගැනීමටත් පමණක් කටයුතු කිරීම නිසා සෙක්කුවේ බැඳි ගොනා සේ වසර 60ක් තිස්සේ අපේ රට එකම තැන කැරකෙමින් පවතී. එබැවින් දේශපාලනයට පිවිසෙන සෑම දෙනෙකුටම සෑම විටම රටේ දියුණුව අභිවෘද්ධිය සඳහා යම් කාර්යය භාරයක් හිමි වූ පාලන ක්‍රමයක් රටේ තිබිය යුතුය. එවිට අනෙකාගේ කකුලෙන් ඇදීමෙන් බලය ලබා ගන්නවාට වඩා තමා කළ සේවය නිසා තවදුරටත්/වැඩිදුරටත් බලය ලබා දෙන ක්‍රමයක් නිර්මාණය කළ යුතුවේ.

මහ මැතිවරණයකින් බහුතරය ලබා ගන්නා පක්‍ෂයට/සංධානයට ව්‍යවස්ථාදායකයේ බලය හිමි විය යුතුය. එහි දී දෙවන ස්ථානයට පත්වන කණ්ඩායමෙන් යෝජනා කරන අයෙකු විධායකයේ නායකායා නොහොත් ජනාධිපති ලෙස පත් කරගත යුතුය. එවිට පළමු කොටම රටේ පාලනයට රටේ ප්‍රධානම දේශපාලන පක්‍ෂ/සංධාන දෙකම ඍජුවම හවුල් වී හමාරය. දෙවනුව පත්වන කිසිම ජනාධිපතිවරයෙක් තම පක්‍ෂයට ව්‍යවස්ථාදායකයේ බලය ලබා ගැනීම සඳහා ව්‍යවස්ථාදාය විසුරුවා නොහරිනු ඇත. එසේ කර එහි බලය අල්ලා ගත් විට තම පක්‍ෂයට හිමිව තිබූ විධායක නායකත්වය හෙවත් ජනාධිපතිකම අනෙක් පක්‍ෂයට හිමි වේ. එබැවින් නියමිත මැතිවරණයක් පවත්වන තුරු ජනාධිපති ව්‍යවස්ථාචායකය විසුරුවා හැරීමට පෙළඹෙන්නේ නැත.

විධායකයේ දෙවන කොටස ව්‍යවස්ථාදායකයේ පාලක කණ්ඩායමේ නායකයා විසින් තෝරා පත් කළ යුතුය. එය මණ්ඩලයක් විය යුතු අතර එහි එක් එක් සාමාජිකයා එක් විෂයක් පිළිබඳව පුද්ගලිකවද, මණ්ඩලය සාමූහිකවද ව්‍යවස්ථාදායකයට වග කිව යුතුය. මෙම මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව හා ඔවුනට පැවරෙන විෂයන් මොනවාද යන්න ව්‍යවස්ථාදායකය විසින් සම්මත කර ගත යුතුය. විධායකයේ තීරණ සඳහා ව්‍යවස්ථාදායකයේ අනුමැතිය හා ප්‍රතිපාදන ලබා ගැනීම මෙම විධායක මණ්ඩල සාමාජිකයින්ගේ හෙවත් ඇමතිවරුන්ගේ වගකීම වේ.

විධායකයේ තෙවන කණ්ඩායම විධාකයයේ නායකයා හෙවත් ජනාධිපති විසින් තෝරා ගන්නා නිලධාරී මණ්ඩලයක් වේ. මේ සඳහා ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි රාජ්‍ය සේවය සඳහා අවශ්‍ය සුදුසුකම් සහිත ඕනෑම කෙනෙකු තෝරා ගත හැකි අතර ඒ ව්‍යවස්ථාදායකයේ සාමාජිකයෙකු වුවහොත් ඔහුගේ ව්‍යවස්ථාදායක සාමාජිකත්වය අහෝසි වනු ඇත. එසේම මේ සෑම ලේකම් වරයෙකුම රජයේ නිලධාරියෙකු බවට පත්වන අතර ඔහු රාජ්‍ය නිලධාරියෙකු යටත්වන සියළුම නීති රෙගුලාසි වලට යටත්ව සේවය කළ යුතුය. ව්‍යවස්ථාදායකය විසින් සම්මත කර ගත් සෑම විෂයක් සඳහාම මෙම ලේකම්වරු පත්වන අතර එම අමාත්‍යංශය විධායකයේ නියමයන්ට අනුව පරිපාලනය කිරීම ඔහුගේ වගකීම වේ.

ජනාධිපතිවරයා විසින් ගන්නා ලබන සියළුම ප්‍රතිපත්තිමය තීරණ, විධායක මණ්ඩලයේ එකඟතාව ඇතිව හෝ නොමැතිව, අදාල අමාත්‍යවරයා ලව හෝ පුද්ගලිකව තමා විසින් හෝ ව්‍යවස්ථාදායකයට ඉදිරිපත් කොට අනුමත කර ගත යුතු වේ. එම තීරණය විධායක මණ්ඩලය විසින්, එනම් අනෙක් කණ්ඩායමේ එකඟතාව ලබා දී ඇත්නම් තම කණ්ඩායමේ එකඟතාවද සමගින් පහසුවෙන් අනුමත කර ගත හැකිවේ. විධායක මණ්ඩලයේ එකඟතාවයකින් තොරව ඉදිරිපත් කරණ යෝජනාවක් වුවත් සාමූහික වගකීම හා විශේෂයෙන්ම තමන්ද නියෝජනය කරන රජයේ සැලැසුම් කෙරෙහි ඇති වගවීම හේතුවෙන් ව්‍යවස්ථාදායකයේ අනුමැතිය ලබා ගත හැකි විය යුතුය. මෙවැනි අවස්ථාවල මෙම ප්‍රධාන පක්‍ෂ/සංධාන දෙකටම අයත් නොවන ස්වාධීන හා සුළුතර නියෝජිතයින්ගේ මතය තීරණාත්මක වනු ඇත. එබැවින් විශේෂයෙන් අඩු ජනගයනයක් සහිත ජනවර්ග ඍජුවම නියෝජනය කරන නියෝජිතයින්ට තමන්ගේ අවශ්‍යතාවන් සඳහා ප්‍රධාන පක්‍ෂ සමග සංධාන ගත නොවී තම අනන්‍යතාව සුරැකෙන අයුරින් තම ශක්තිය පෙන්විය හැකිය.

Sunday 15 November 2009

කාකාසලාට පරිගණක

රජයේ කාර්යාලවල තිබෙනා තවත් තනතුරකි, කාකාස හෙවත් කාර්යාල කාර්ය සහයක. කාර්යාලය විවෘත කිරීම හා වසා දැමීම එනම් යතුරු රාජකාරිවල සිට පිරිසිදු කිරීම්, නිලධාරීන්ට බීමට වතුර සැපයීම, මේසයේ දූවිලි පිස දැමීම, අඩි හතරක පහක දුරකට පවා ලිපිගොනු චලනය කිරීම, ලිපි විවෘත කිරීම, විදුලි පහන් දැල්වීම හා නිවා දැමීම, විදුලි පංකා ක්‍රියාත්මක කිරීම ක්‍රියා විරහිත කිරීම, වායුසමනය යනුත්‍රය ක්‍රියා කිරීම හා ක්‍රියා විරහිත කිරීම, ආදී රාජකාරි රාශියක් මෙම ‘නිලධාරියා‘ විසින් සිදුකරනු ලබයි.

එහෙත් අද සෑම රාජ්‍ය කාර්යාලයකම තිබෙන්නා වූ පරිගණකය ඔවුන්ගෙන් ඈත් කොට ඇති සෙයකි! පරිගණකය ක්‍රියාත්මක කිරීම, අක්‍රිය කිරීම (turn Off)ආදී ප්‍රාථමික ක්‍රියාකාරකම්වත් ඔවුන්ට පවාරා නොමැති බවයි මාගේ හැඟීම.

මෙම ප්‍රාථමික ක්‍රියාකාරකම්වලට අමතරව, පරිගණක ස්ථාපනය කිරීම, නඩත්තු කිරීම, ගැටළු විසඳීම ආදී කාර්යයන් ඔවුන්ට භාර දිය යුතුය යන්න මාගේ මතයයි.

Friday 4 September 2009

ලංකාවට තොරතුරු තාක්ෂණය පැමිණ දැන් වසර 30ක් පමණ ඉක්ම ගොස් ඇත. ලංකාවේ විශ්ව විද්‍යාලවල තොරතුරු තාක්ෂණය ‘ඉගැන්වීමට‘ පටන් ගෙන ද එවැනිම කාලයක් ගතව ඇත. තොරතුරු තාක්ෂණය සඳහා වෙන් වූ විශ්ව විද්‍යාලද කිහිපයක්ම ලංකාවේ ඇත. එසේම අද ලංකාවේ විශ්ව විද්‍යාල විශාල සංඛ්‍යාවක ‘තොතුරු තාක්ෂණ අංශ‘ පිහිටුවා ඇත. තොරතුරු තාක්ෂණ ‘ආචාර්යවරු‘ ද විශාල සංඛ්‍යාවක් බිහිවී සිටිති. තොරතුරු තාක්ෂණය හැදෑරීම සඳහා විශාල තරඟකාරිත්වයක්ද ඇතිවී තිබේ.

ලෝකයේ අනෙක් රටවල්, විශේෂයෙන් නොදියුණු රටවල් සමග සසඳා බැලීමේදී මෙම තත්වය ප්‍රශංසනීය මට්ටමේ පවතී. එවැනි මට්ටමකට ගෙන ඒම සඳහා, රජයෙන්, විශ්ව විද්‍යාලවලින්, විද්වතුන්ගෙන් සිදුවූ සේවය අගය කළ යුතුය.

එසේම තවත් දියුණු විය යුතු පැති කිහිපයක්ම තිබෙන බවයි මාගේ මතය. විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණය පිළිබඳ සිදුකෙරෙන පර්යේෂණ ප්‍රමාණය මීට වඩා වැඩි කළ යුතුය. ලංකාවේ අනන්‍යතාවයට ගැලපෙන පරිගණක මෙහෙයුම් පද්ධති පිළිබඳ පර්යේෂණ, මහජන සේවය-රාජ්‍ය සේවය ලබා දීම සඳහා තොරතුරු තාක්ෂණය යොදා ගැනීම පිළිබඳ පර්යේෂණ, අධ්‍යාපනය සඳහා තොරතුරු තාක්ෂණ යොදා ගැනීම, අධ්‍යාත්මක සංවර්ධනය සඳහා තොරතුරු තාක්ෂණය යොදා ගැනීම පිළිබඳ පර්යේෂණ, ආර්ථික වර්ධනය-කාර්මික දියුණුව ළඟා කර ගැනීම සඳහා තොරතුරු තාක්ෂණය යොදා ගැනීම පිළිබඳ පර්යේෂණ ආදී වශයෙන් විවිධ පරාසයන් කරා තොරතුරු තාක්ෂණය යොමු කිරීමේ වගකීම තොරතුරු තාක්ෂණ විද්වතුන්ගේ වගකීමක් හා යුතුකමක්ව පවතී.

මේ සම්බන්ධව ඔවුන්ගේ අවධානය හා කැමත්ත ඇති කිරීම හා අවශ්‍ය පහසුකම් සපයා දීම ‘තොරතුරු තාක්ෂණ වසරේදී‘ රජයේ ප්‍රමුඛ කාර්යයක් විය යුතුය යන්න මාගේ මතයයි.

පිස්සු කෙලියා ඇති.!

ලංකාවට තොරතුරු තාක්ෂණය පැමිණ දැන් වසර 30ක් පමණ ඉක්ම ගොස් ඇත. ලංකාවේ විශ්ව විද්‍යාලවල තොරතුරු තාක්ෂණය ‘ඉගැන්වීමට‘ පටන් ගෙන ද එවැනිම කාලයක් ගතව ඇත. තොරතුරු තාක්ෂණය සඳහා වෙන් වූ විශ්ව විද්‍යාලද කිහිපයක්ම ලංකාවේ ඇත. එසේම අද ලංකාවේ විශ්ව විද්‍යාල විශාල සංඛ්‍යාවක ‘තොතුරු තාක්ෂණ අංශ‘ පිහිටුවා ඇත. තොරතුරු තාක්ෂණ ‘ආචාර්යවරු‘ ද විශාල සංඛ්‍යාවක් බිහිවී සිටිති. තොරතුරු තාක්ෂණය හැදෑරීම සඳහා විශාල තරඟකාරිත්වයක්ද ඇතිවී තිබේ.

ලෝකයේ අනෙක් රටවල්, විශේෂයෙන් නොදියුණු රටවල් සමග සසඳා බැලීමේදී මෙම තත්වය ප්‍රශංසනීය මට්ටමේ පවතී. එවැනි මට්ටමකට ගෙන ඒම සඳහා, රජයෙන්, විශ්ව විද්‍යාලවලින්, විද්වතුන්ගෙන් සිදුවූ සේවය අගය කළ යුතුය.

එසේම තවත් දියුණු විය යුතු පැති කිහිපයක්ම තිබෙන බවයි මාගේ මතය. විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණය පිළිබඳ සිදුකෙරෙන පර්යේෂණ ප්‍රමාණය මීට වඩා වැඩි කළ යුතුය. ලංකාවේ අනන්‍යතාවයට ගැලපෙන පරිගණක මෙහෙයුම් පද්ධති පිළිබඳ පර්යේෂණ, මහජන සේවය-රාජ්‍ය සේවය ලබා දීම සඳහා තොරතුරු තාක්ෂණය යොදා ගැනීම පිළිබඳ පර්යේෂණ, අධ්‍යාපනය සඳහා තොරතුරු තාක්ෂණ යොදා ගැනීම, අධ්‍යාත්මක සංවර්ධනය සඳහා තොරතුරු තාක්ෂණය යොදා ගැනීම පිළිබඳ පර්යේෂණ, ආර්ථික වර්ධනය-කාර්මික දියුණුව ළඟා කර ගැනීම සඳහා තොරතුරු තාක්ෂණය යොදා ගැනීම පිළිබඳ පර්යේෂණ ආදී වශයෙන් විවිධ පරාසයන් කරා තොරතුරු තාක්ෂණය යොමු කිරීමේ වගකීම තොරතුරු තාක්ෂණ විද්වතුන්ගේ වගකීමක් හා යුතුකමක්ව පවතී.

මේ සම්බන්ධව ඔවුන්ගේ අවධානය හා කැමත්ත ඇති කිරීම හා අවශ්‍ය පහසුකම් සපයා දීම ‘තොරතුරු තාක්ෂණ වසරේදී‘ රජයේ ප්‍රමුඛ කාර්යයක් විය යුතුය යන්න මාගේ මතයයි.

Sunday 16 August 2009

වෙනසක් බලාපොරොත්තු වෙමු.

මම සිංහල බ්ලොග් ලිවීම ආරම්භ කරල වසරකට ආසන්න කාලයක් ගත වෙලා. ඕනෑම දෙයක් කාලයත් සමග වෙනස් වෙනවා. බ්ලොග් ලිවීම, සිංහල බ්ලොග් කියවීම, කමෙන්ට් දැමීම, බ්ලොග් ගැන දැනුවත් කිරීම, බ්ලොග් කරුවන්ගේ සංසදයට ලිවීම, ආදී ලෙස වූ කරුණුත් කාලයත් සමග ටික ටික වෙනස් වෙලා. මම විතරක් නෙමේ. මට දැනෙන විදිහට ගොඩක් අය. “ඇයි“ කියල අහන එක තේරුමක් නෑ. “ඔය ඉතින් හැටි තමා“. සිදු වී ඇති වෙනස් කම් තේරුම් ගැනීමත්, ඒවාට අනුරූපව සුදුසු පරිදි වෙනස් වීමත් තමා වෙන්න ඕනෙ.
මොනව උනත් “වෙනස“ කියන්නේ ඉතා සුන්දර දෙයක්. ඔබාමා ආවෙත් “වෙනස“ එක්කනේ. වෙනස ඔරොත්තු නොදෙන්නා වැනසෙනවා. වෙනස් වීමක් බලාපොරොත්තු වීම වෙනසට මූණ දීමට තිබෙන හොඳම ක්‍රමය. තව තවත් වෙනස් වෙවී සුන්දරත්වයක් අත් විඳීමට අවස්ථාව සිංහල බ්ලොග් සංසදය හරහාත් උදා වේවි.

Thursday 13 August 2009

අමතක නොවන දවසක්..!

රාජකාරී සඳහා වැඩි කාලයක් ගෙවී ගිය නිසා බ්ලොග් සටහනක් තබන්නට තරම් කාල වේලා තිබුණේ නෑ. ඒ නිසාම අන්තිමට බ්ලොග් එක සින්ඩියෙනුත් ගැලවුණා. ඒත් රාජකාරිමය කටයුක්තකදී ඇති වූ ගැටළුවකට අදාලව සටහනක් දැම්ම. පසුව අයදුම් කරලයි සින්ඩියට ඇතුල් වුණේ.

අද අමතක නොවේවි කියල හිතුනේ වෙන හේතුවක් නිසා.

ඊයේ මුළු රාත්‍රියම වැඩ කරල නිදා ගත්තේ අද පාන්දර. නැවතත් උදේ අවදි වෙලා ඉතිරි කොටසත් අවසන් කරල රාජකාරි සඳහා පිටත් වෙන්න සූදානම් වෙද්දි පුතාට අවශ්‍ය දෑ කිහිපයක් මිලදී ගැනීමට නගරයට යාමට සිදු වුණා. පුතා සමගමයි ගියේ. ආපසු එන අතරේ වංගුවකදී ඉදිරියෙන් පරණ රෝද 4 ටැක්ටරයක් මතු වුණා. අන්තිමටම නතර වුණේ ටැක්ටරයේ ඉදිරි රෝදයක් බදා ගෙන. ටැක්ටරයේ රියදුරු කීවේ එහි තිරිංග පද්ධතියේ තරම අනුව ටැක්ටරය නතර වීම ගැන ඔහු පුදුම වෙන බවයි. කෙසේ වුවත් වම් අත ටික වේලාවකට රෝදයේ අඩයක් වී තිබීම නිසා දැන් මෙම සටහන තැබුවේ එක අතින්. නිදා ගැනීමට ඇඳේ ඇලවීමට අපහසු නිසා පුටුවකට වී සිටිද්දී මෙවැනි සටහනක් තැබීමටත් ඒ ගැන මගේ මතය සටහන් කර තැබීමටත් සිත් වුණා.

තව අඟල් 4ක් 5ක් ටැක්ටරය ඉදිරිට ආවානම් එය නතර වන්නේ මගේ ලැම පෙදෙසේයි. රියදුරු (මගේ හිතවතෙක්) පැවසූ පරිදි තිරිංඟ නොමැති ටැක්ටරය නතර කළේ මාගේ සේවය තවදුරටත් බලාපොරොත්තු වන අයගේ බලාපොරොත්තු බවයි මාගේ මතය.

නව පොලිතින් වර්ගයක්!

පොලිතින් හා කසල කළමණාකරනය අතර තිබෙන්නේ ලොකු සම්බන්ධතාවයක්.
අද අපේ රටේ තිබෙන එක් දැවැන්ත ප්‍රශ්නයක් ‘කසල‘.
සුපුරුදු පරිදි අධිකරණයට පවා නියේග නිකුත් කරන්න සිදු වුණා.
එහෙත් ඒ එකකින්වත් ප්‍රශ්ණය විසඳෙන්නේ නෑ. කසල ප්‍රශ්නය එහෙමමයි.
අපේ රටේ ඇතිවන කසල වලින්, විශේෂයෙන් නිවෙස්හි ජනනය වන කසල වලින් 80%ක් ම දිරා යන කසල. ඒයිනුත් 95%ක් ම දින 7-8ක් ගතවීමට පෙර දිරා අවසන්වන කසල. එම කාලය තුළ දුර්ගන්ධයක් පිට වීමත්, පනුවන් ඇති වීමත්, මැස්සන් ගැවසීමත් පමණයි ඒ කාලයේදී අත් විඳින්නට වන අපහසුතා තිබෙන්නේ. එහෙත් මෙයින් මිදීම සඳහා මෙම කසල පොලිතින් ආවරනයක් තුලට දැමූ විට ඉතා විශාල කාලයක් නොදිරා පවතිනවා. එසේම ඒ සම්පූර්ණ කාලයම එම කසල ගොඩ එම පරිමාවෙන්ම පවතිනවා. ක්ෂය වීමක් ඇති වන්නේ නැත. බත් වැනි පිසූ ආහාර එතීම සඳහා ගන්නා ‘ලන්ච් ෂීට්‘ වලින්, ඉතිරිවන ආහර කොටස් ඔතා තිබීමත්, මුළුතැන්ගෙයින් ඉවත දමන ආහාර ද්‍රව්‍ය ‘සිලි සිලි බෑග්‘ වල දමා කට ගැට ගසා තිබීමත්, පළාත් පාලන ආයතන වලින් බෙදා දෙන ලද හා පිරිසිදු කිරීමේ ආයතන විසින් භාවිතා කරන කසල දමන පොලිතින් මළුවල, දිරා යන කසල දමා කට ගැට ගසා තිබීමත් නිසා මෙම කසල කුමන ස්ථානයකට ගෙන ගොස් දැමුවත් ඒවා දිරාපත් නොවී ඉතා විශාල කාලයක් පැවතීම නිසා අදවන විට කසල අපේ රටෙන් විශාල ප්‍රමාණයක් අත්පත් කර ගෙන තිබෙනවා.

පොලිමර් කර්මාන්තයේ යෙදී සිටින ඔබලාට මෙම කාර්යයෙදී විශාල වගකීමක් තිබෙනවා. කසල දැමීමට හෝ එතීමට භාවිතා කරාවියැයි අනුමාන කළ හැකි සෑම පොලිතින් නිෂ්පාදන සඳහාම ජලය ගෑවී (නැත්නම් තෙතමනය ඇතිවී) දින දෙකක්-තුනක් ඇතිලත දිරා යන හෝ කැඩී යන හෝ ඉරී යන හෝ පොලිමර් වර්ගයක් සොයා ගැනීමේ වගකීම, යුතුකම ඔබ සතු වෙනවා.
කරුණා කර මේ ගැන සිතන්න. සිතුවොතින් කරන්නට නොහැක්කක් නොමැත.
අළුත් දෙයක් කළ, වෙනසක් කළ ඔබේ නම සදා පවතිනු ඇත.
ඔබට ජය.!

Saturday 8 August 2009

නව පොලිතින් වර්ගයක්!

පොලිතින් හා කසල කළමණාකරනය අතර තිබෙන්නේ ලොකු සම්බන්ධතාවයක්.
අද අපේ රටේ තිබෙන එක් දැවැන්ත ප්‍රශ්නයක් ‘කසල‘.
සුපුරුදු පරිදි අධිකරණයට පවා නියේග නිකුත් කරන්න සිදු වුණා.
එහෙත් ඒ එකකින්වත් ප්‍රශ්ණය විසඳෙන්නේ නෑ. කසල ප්‍රශ්නය එහෙමමයි.
අපේ රටේ ඇතිවන කසල වලින්, විශේෂයෙන් නිවෙස්හි ජනනය වන කසල වලින් 80%ක් ම දිරා යන කසල. ඒයිනුත් 95%ක් ම දින 7-8ක් ගතවීමට පෙර දිරා අවසන්වන කසල. එම කාලය තුළ දුර්ගන්ධයක් පිට වීමත්, පනුවන් ඇති වීමත්, මැස්සන් ගැවසීමත් පමණයි ඒ කාලයේදී අත් විඳින්නට වන අපහසුතා තිබෙන්නේ. එහෙත් මෙයින් මිදීම සඳහා මෙම කසල පොලිතින් ආවරනයක් තුලට දැමූ විට ඉතා විශාල කාලයක් නොදිරා පවතිනවා. එසේම ඒ සම්පූර්ණ කාලයම එම කසල ගොඩ එම පරිමාවෙන්ම පවතිනවා. ක්ෂය වීමක් ඇති වන්නේ නැත. බත් වැනි පිසූ ආහාර එතීම සඳහා ගන්නා ‘ලන්ච් ෂීට්‘ වලින්, ඉතිරිවන ආහර කොටස් ඔතා තිබීමත්, මුළුතැන්ගෙයින් ඉවත දමන ආහාර ද්‍රව්‍ය ‘සිලි සිලි බෑග්‘ වල දමා කට ගැට ගසා තිබීමත්, පළාත් පාලන ආයතන වලින් බෙදා දෙන ලද හා පිරිසිදු කිරීමේ ආයතන විසින් භාවිතා කරන කසල දමන පොලිතින් මළුවල, දිරා යන කසල දමා කට ගැට ගසා තිබීමත් නිසා මෙම කසල කුමන ස්ථානයකට ගෙන ගොස් දැමුවත් ඒවා දිරාපත් නොවී ඉතා විශාල කාලයක් පැවතීම නිසා අදවන විට කසල අපේ රටෙන් විශාල ප්‍රමාණයක් අත්පත් කර ගෙන තිබෙනවා.

පොලිමර් කර්මාන්තයේ යෙදී සිටින ඔබලාට මෙම කාර්යයෙදී විශාල වගකීමක් තිබෙනවා. කසල දැමීමට හෝ එතීමට භාවිතා කරාවියැයි අනුමාන කළ හැකි සෑම පොලිතින් නිෂ්පාදන සඳහාම ජලය ගෑවී (නැත්නම් තෙතමනය ඇතිවී) දින දෙකක්-තුනක් ඇතිලත දිරා යන හෝ කැඩී යන හෝ ඉරී යන හෝ පොලිමර් වර්ගයක් සොයා ගැනීමේ වගකීම, යුතුකම ඔබ සතු වෙනවා.
කරුණා කර මේ ගැන සිතන්න. සිතුවොතින් කරන්නට නොහැක්කක් නොමැත.
අළුත් දෙයක් කළ, වෙනසක් කළ ඔබේ නම සදා පවතිනු ඇත.
ඔබට ජය.!

Saturday 18 April 2009

මැරතන් එකට මගින්...!

අත්‍යාවශ්‍ය රාජකාරියක් නිසා දැනුයි දුවන්න පුළුවන් උනේ

Wednesday 15 April 2009

පොඩි අවුලක්...!

'අවුරුද්ද කාගෙද' සටහනේ පොඩි අවුලක් තිබුණා. දැන් හරි.

Tuesday 14 April 2009

අවුරුදු කාගෙද.....?

ලැබූ අවුරුද්ද යහපත් බලාපොරොත්තු සියල්ල ඉටුවන සොඳුරු කාලයක් වේවා, සියළු දෙනාටම!

මේ අළුත් අවුරුද්ද කාගෙද? නැත්නම් කාගේ අවුරුද්ද අද අරම්භ වන්නේ?

මෙදා පාර අවුරුද්දට පෙර දින කිහිපයක නිවාඩුවක් ලැබුණා. ඒ නිසා වැඩි කාලයක් නිවසේ රැඳෙන්නත්, දරුවන් සමග වැඩි කාලයක් ගත කරන්නත් ලැබුණා.

ඒ වගේම අවුරුදු ගානකට පස්සේ මගේ අතිජාත මිත්‍රයෙක් මුන ගැසුණා. තිලක්. අපි එකට ඉගෙන ගත්තා. තිලක් වැඩිදුර ඉගෙන ගැනීමට යොමු වුණා.හොඳ රස්සාවකුත් ලැබුණා. දැන් වරලත් ඉංජිනේරුවෙක්. ළඟදී ලංකාවට ආවා.

"අවුරුද්දට ආව එක හොඳා. කොහොමද එහෙදි අවුරුදු?"
"තියෙනවා. මෙහෙන් කට්ටිය යනවනේ අවුරුද්ද අල්ල. ටීවී චැනල්, රේඩියෝ චැනල් දෙක තුනකින්ම යනවා. පන්සලක අවුරුදු උත්සවයක් තියෙනවා. කට්ටිය සෙට් වෙන නිසා අපිත් අනිවාර්යෙන්ම යනවා."
"නෑ මම ඇහුවේ නැකැත් ගැන"
"ආ.. ඒව බොරු වැඩනෙ. මම කොහොමත් ඔය පිස්සු වැඩ කරන්නේ නෑනෙ. නූගත් මිනිස්සුන්ගේ වැඩ"
"ලමයි එහෙමනම් ආස ඇති..?"
"ඔව්. ඒත් ඉතින් ඉගෙනගෙන යමක් කමක් දැන ගනිද්දී ඕව ගැන තියෙන ආසාව නැතුව යනවා."

දැන්නම් මාව කරකවල අත ඇරිය ගනන්!.

"කොහොමත් මේ සැරේ අවුරුද්ද දවසට ගෙදර ඉන්නවනෙ..?"
"නෑ මචං. ඒ දවස් ටිකේ ‍පොඩි රවුමක් දාන්න ඉන්නෙ. යමුද ෆැමිලි දෙකම?"
"යන්න තිබුණනම් හොඳා. ඒත් අවුරුදු නැකැත් වලට ගෙදර ඉන්න එපෑ මචං."
"ඕව මෝඩ වැඩ මචං."

මට හිතුන මේ 'උගත්-නූගත්' අවුරුදු සැමරුම ගැන තව ටිකක් හෙව්වොත් හොඳා කියල.

තිලක්ගෙ මල්ලි තමා ගෙදර ඉන්නේ. එයාට වැඩිදුර ඉගෙන ගන්න බැරි උණා. සා.පෙළත් ඇන ගත්ත වගේ මතක. හැබැයි නියම වැඩකාරය. මේසන්, වඩු, විදුලි, යාන්ත්‍රික, ඉලෙක්ට්‍රොනික් ඕනෙම වැඩක් පුළුවන්. දැන් ගෙවල් හදන්න කොන්ත්‍රාත් ගන්නවා. මිනිහ අවුරුදු සමරන හැටි කොහොමද බලන්නත් එක්ක, තිලක් 'රවුම' ගියාට පසු දා ගියා.

"මචං කොහොමද? කෝ අයිය?"
"ආ අයියෙ. එයාල නුවර ගියානේ. කිව්වෙ නැද්ද?"
"යනව කිව්ව. අදම යයි කියල හිතුවේ නෑ."
"ඊයෙ ගියේ. එන්න අයියෙ ගෙට"
"නෑ මචං මම යන්නම්. කොහොමද අවුරුදු? කෝ නංගි, ලමයි එහෙම?"
"ඉන්නවා. නැවුන්ද කොහෙද හදනවා. යංකො ගෙට. කැවුමක් එහෙම කාල යන්න පුළුවන්නෙ"
"නෑ එපා."

එහෙම කියාගෙනම මමත් කුස්සියටම ගියා. එයාගෙ බිරිඳයි ලමයි දෙන්නයි කැවුම් හදනවා.

"ආ එන්න අයියා. අපිනම් වැඩ."
"ඒක තමා. කැවුම් විතරද හදන්නේ?"
"ඔව් අයියේ. ගොඩක් දේවල් හදන්න වෙලා නෑ, කොකිස් ටිකක් බැද්ද. මුං කැවුන් ටිකකුයි, අතිරසයි හැදුවා. අළුව හරි මොනව හරි හෙට දිහෑ හදා ගන්නවා. දූ මේක හපල බලන්න රස කොහොමද කියල"

අම්ම තරමට උස ගියාට තවම වයස අවුරුදු දොලහක් ඇති දුවට. පළවෙනියට නැත්නම් දෙවෙනියට පුච්චපු කැවුම අරගෙන දුව රස බැලුවා. හපල හොඳට රස කරල ගිලින්නෙ නැතුව එළියට දැම්ම. කටත් හෝදල දැම්ම.

"ම්.. හොඳා අම්මා"
"ආ. එහෙනම් ඔය කැවුම් ටිකක් අවුරුදු කුමාරයට අරන් තියල මේ මාමටත් දෙන්නකෝ"

තෙල් බේරෙන කොණ්ඩ කැවුම හරිම රසයි.

"ඉතින් දූ. දැන් අවුරුද්දට ලෑස්තිද?"
"තව ගේ හේදුවේ නෑ මාමෙ"
"මේ මකුළු දැල් කඩලා දූවිලි ගිහින් මෙයාට හතියට වගේ ආවනෙ අයියා. මම කීවෙ හෙට දිහා මමවත් හෝදන්නම් කියල"
"නෑ නෑ මම හෝදන්නම්"

තාත්තා වැඩේ බාර ගත්ත.

"පුතා අළුත් ඇඳුම් ගත්තද?"
"අපෝ අයිය රෙදි ගන්න ගිහින් නම් හොඳ පන ගියා අයියා."

අම්ම ඉස්සර උනා.

"ඒත් මේ පාර වැඩිය‍ සෙනග නෑ අයියේ. ගිය පාරට කලින් සැරේ පමුනුවේ වාහනේ දාපු තැනින් ගන්න බැරිව රෑ වෙනකම් හිටියා"

ඒ තාත්තාගේ අත්දැකීම.

"මේ සැරේ නැකැත් වෙලාවල් හරි නෑ වගේ නේද අයියා."
"ඇයි..? උදේ පාන්දර නිසාද?"
"නෑ ඒකනම් හොඳා. ඒත් ගිනි මොලවලා අනුභව කරන්න වෙලාව මදි"
"මෙයැයිල අයියේ ඉස්සරෝම අනුභව කරලනෙ ඉන්නෙ, අපේ අහනම් වැඩ අල්ල, ගනුදෙනු කරල තමා ආහාර අනුභවේ. ඊට පස්සේ කෑම මේසෙ අලේ කරන්නත් තියෙනවානෙ. මෙහෙ එහෙම කරන්නේම නෑනෙ."
"ගණදෙනු කරන්න කොහෙටද යන්නෙ.."
"ළිඳට.."
"ළිඳට..?"
"ඔව් ළිඳට. ළිඳත් එක්කනෙ ඉස්සරෝම ගනුදෙනු කරන්නෙ. ‍අයියලත් ළිඳත් එක්ක ගනුදෙනු කරන්නනේ නෑනෙ?"
"ආ ඔව් මේ පැත්තේ ඒ සිරිත නෑ. නංගිලා කොහොමද ඒක කරන්නේ?"
"ගියාවුරුද්දෙ ගනුදෙනු කරපු වතුර එක ගහක් ළඟට දමලා, සුදු රෙදි කෑල්ලක අඟුරු කෑල්ලකුයි, කාසියකුයි, සුදු මලුයි, තව වී එහෙමත් ගන්නවා. ඒවා පොට්ටනිය බැඳල ළිඳට දාල අළුත් වතුර එකක් ඇද ගන්නවා. ඒ වතුර අර භාජනේට දාල අරන් තියනවා."
"අවුරුද්දක්ම?
"ඔව් අයිය. කන්න තව කැවුමක්"
"වැඩ අල්ලන්නේ කොහොමද?"
"ඒකෙනම් වෙනසක් නෑ අයියා. මෙහෙ වගේම තමා. සමහරු කිරි ගහකට කොටනවා. නැත්නම් තම තමන් කරන කර්මාන්තෙ වැඩක් මොකක් හරි අල්ලනවා. ඉගෙන ගන්න ලමයි පොත් කියවනවා. අකුරු ලියනවා. වෙනසක් නෑ"
...................................

දැන් තමා ප්‍රශ්නෙ...!
අවුරුද්ද කාගෙද?
උගතගේ ද? නූගතාගෙද? දෙන්නගෙමද?

Sunday 12 April 2009

අවුරුදු සවුදම

දොරකඩ කිතුලේ තෙලිජ්ජ මුට්ටිය පෙන පදමට හිනැහෙයි
දුම්මැස්සේ යට කැවුම් උයන්නට පැණි පට්ටා නැලවෙයි
නැකත ලබනතුරු සුවඳැල් කලුඇල් වී බිස්සේ සැතපෙයි
තාක්ක තකදොං කජු ඇටහාමිල දුම්මැස්සේ ගොරවයි

අවුරුද්ද හා සම්බන්ධව කවි නිර්මාණ අති විශාල සංඛ්‍යාවක් මේ දිනවල පුවත් පත්වල පලවෙනවා.
ඒ අතරින් මගේ සිතගත් ලස්සන කවි සංකල්පනාවක් 2009 අප්‍රේල් 05 දිවයින ඉරිදා සංග්‍රහයේ නිම්නය කොටසේ කව්මුතු තීරයේ පලවී තිබුණා. කවියා අයි. ජී. නන්දපාල. මේ ඉතිරි කොටස.

කොවුල් හාමිනේ අවුරුදු කේලම ගමහැම තැන පතුරයි
නිල් සළු ගලවා පච්ච වඩම හැඳ එරබදු ගහ හැඩවේයි
ගමට ඇහෙන්නට සුරල් වයන්නට රබන් බිමට පනිතෙයි
තාක්ක තකදොං කොල්ලො කුරුට්ටෝ දවල් හීන දකිතෙයි

චීත්ත ඇඳගෙන සාංචි නැන්දල ගෙයි ගොම මැටි ගාතෙයි
තේක්ක මාමල සිදාදියට ගොස් අඩුම කුඩුම ගෙනෙතෙයි
කදමළු බැඳගෙන නෑගම් යන්නට අඟිලි ගණන් කරතෙයි
තාක්ක තකදොං රාශි මාරුවට හිරු දෙයියෝ රජවෙයි

ගැබ්බර වීලා අඹ දඹ නාරං විලිලන්නට සැරසෙයි
පරවි තටුවලින් උතුරත් දකුනත් නිලඹර සේ පැහැ වෙයි
වෙඩි හඬ මැකිලා ‍ඩෝං පටෝරිං රතිඤ්ඤා හඬ ඇසෙතෙයි
තාක්ක තකදොං විරුදරු පැටවුන් නැකැත් අරන් වඩිතෙයි

රතඹල සුවඳැල් තරඟෙට ආරයි ලමිස්සියොත් පරදියි
දුරාචාරයට ඉනිමං බඳිනා මත් රකුසන් පැන යයි
කොළ පොතු සොයමින් නානු හදන්නට වෙද උන්දෙල දඟලයි
තාක්ක තකදොං අවුරුදු කන්නට තුන්හෙලයම සැරසෙයි

Saturday 11 April 2009

බල්ලෝ

විජය ලංකාවට ගොඩ වැදී, එය මිනිස් වාසයක් සහිත භූමියක් බව තහවුරු කරගත්තේ බල්ලෙක් දැකීමෙන් බව වංශකථාවල කියවේ.
මිනිසා විසින් හීලෑ කරගත් පළමු සත්වයා බල්ලා බවත් කියවේ.

එසේම, ලංකාවේ දිනකට 2,000 කට අධික සංබ්‍යාවක් බල්ලන සපා කෑම නිසා ප්‍රථිකාර ලබා ගන්නා බව පසුගිය දිනක පුවත් පතක පලවී තිබුණි. එවැනි ‍අවස්ථාවක ලබාදෙන ජලභීතිකා රෝගය සඳහා වූ එන්නත සඳහා වියදම රුපියල් 35,000.00 ක් පමණ වන බවද එහි සඳහන්ව තිබුණි.

ඇති කරන බල්ලන් වර්ග කිහිපයකි. සුරතලට ඇති කරන බල්ලන්, දඩයමට (සහයෝගයට) ඇතිකරන බල්ලන්, ලොකුකමට ඇති කරන බල්ලන්, (නිවසේ) ආරක්ෂාවට ඇති කරන බල්ලන් ආදී ලෙස 'ඇතිකරන බල්ලන්' ඒ විශේෂ කිහිපයකි. එහෙත් බොහෝවිට මෙම සපා කෑම් සිදුකරන්නනේ මෙම ඇති කරන බල්ලන්ටත් වඩා 'දඩාවතේ යන බල්ලන්'ය. ලංකාවේ ක්‍රියාත්මක නීති අනුව දඩාවතේ යන බල්ලන් සම්බන්ධව ක්‍රියා කළ යුත්තේ පළාත් පාලන ආයතනය. එනම්, මහනගර සභාව, නගර සභාව හෝ ප්‍රාදේශීය සභාව ය. ඉංග්‍රීසි පාලන කාලයේ ගෙන ආ තවමත් වලංගු ජලභීතිකා රෝග ආඥාපනත හා සුනඛයින් ලියාපදාංචි කිරීමේ ආඥාපනත යටතේ දඩාවතේ යන බල්ලන්ට අමතරව ඇති කරන බල්ලන් සම්බන්දවත් ක්‍රියා කිරීමේ බලතල පළාත් පාලන ආයතන සතු වේ. ඊට අමතරව පළාත් පාලන ආයතනවල කර්තව්‍ය තුලද තම බල ප්‍රදේශයේ ජනතාවගේ සුඛ විහරණය, පහසුව හා සැප පහසුව පිළිබඳ වගකීම සතුවන බව සඳහන් වේ.

"තම බල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය, මහජන උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ සියළු කාරණා විධිමත් කිරීමද පාලනය කිරීමද පරිපාලනය කිරීමද සාමාන්‍ය මහජනතාවගේ සැප පහසුකම් සහ සුභසාධක කටයුතු හා බල ප්‍රදේශයේ සුඛ විහරණ ක්‍රම ආරක්ෂා කිරීමද ප්‍රවර්ධනය කිරීමද පළාත් පාලන ආයතනයක කර්තව්‍ය වේ."

"ඉරිදා අතිරේක පන්ති පැවැත්වීම තහනම් කිරීම", "ජංගම දුරකථන සන්නිවේදන කුළුණු ඉදි කිරීමට විරුද්ධ වීම", "‍ලාහෝර් ප්‍රහාරය හෙලා දැකීම" වැනි 'කර්තව්‍යයන්' අතරට 'දඩාවතේ යන බලු ප්‍රශ්ණය' ඇතුළත් කරගන්නා පළාත් පාලන ආයතන මොනවාද යන්න ගැටළුවකි.

'බල්ලාගේ වැඩේ' කරන්නට සිටින අය 'බූරුවාගේ වැඩ' කිරීමට යාම මෙම ගැටළුවට එක් හේතුවක් බව මාගේ මතයයි.

Sunday 29 March 2009

ඡන්දෙ ගණන් කිරීම

ඡන්දය නැත්නම් මැතිවරණය බොහෝ දෙනා වැඩිය කථා කරන්න අකමැති මාතෘකාවක්. ඒ තරමට මිනිසුන්තුළ ඡන්දය ගැන තියෙන් කැමැත්ත, විශ්වාසය, බලාපොරොත්තු, උනන්දුව නැති වෙලා. නිතර නිතර ඡන්ද පැවැත්වීම නෙමේ ඒකට හේතුව. ඡන්දයෙන් විය යුතු දේ නොවනබව දැන ගැනීමයි හේතුව.
ඡන්දෙන් විය යුත්තේ කුමක්ද?
තමන්ගේ අවශ්‍යතාවයන් තමන් තැමති පරිදි ඉටුකර ගැනීම සඳහා, තමන් වෙනුවෙන් තීරණ ගැනීම සඳහා තමන්ගේ නියෝජිතයෙකු පත්කර ගැනීමේ අවස්ථාව තමා ඡන්දය කියන්නේ. 'ජනතා පරමාධිපත්‍යයේ' මූලය මෙය ලෙස හැඳින්විය හැකිය.
එහෙත් අද ජනතා පරමාධිපත්‍යය තිබෙන්නේ වසර කිහිපයකට වරක් එක දිනක පැය 8 ක කාලයක් සඳහා පමණි. ඉන් පසු පරමාධිපත්‍ය තිබෙන්නේ නියෝජිතයා ළඟය. මේ හේතුව නිසා ජනතාවට අද ඡන්දය 'එපා තිත්ත' වී හමාරය.
කෙසේ වුවද මා අද මතය ප්‍රකාශ කිරීමට අදහස් කළේ ඡන්ද ගනන් කිරීමට ගත් හා පසුව වෙනස් කළ තීරණය ගැනයි.
බස්නාහිර පළාතේ පළාත් සභා මැතිවරණයේ ඡන්ද, ඡන්ද මධ්‍යස්ථානයේදීම ගනන් කිරීමට මුලදී තීරණය කර තිබිණි. මෙය ඉතා හොඳ නව්‍යකරණ තීරණයක් ලෙස සිතමි. එහෙත් අවාසනාවකට මෙන්, සුපුරුදු පරිදි දේශපාලන පක්ෂවල පරමාධිමත්‍යයට යටත්ව ඒ තීරණය අහෝසි වී ඇත.
ඡන්ද ගනන් කිරීමේ දී ඇතිවන්නේයැයි සමහරුන් අදහස් කරන දූෂණ අවම වීම, ඡන්ද ප්‍රථිපල ඉක්මනින් නිකුත් කිරීමට හැකි වීම, වියදම් අඩුවීම වැනි ධනාත්මක ලක්ෂණ රාශියක් මේ තුල තිබෙන අතර, වඩාත්ම මාගේ සිත් ගත් ලක්ෂණය නම් ඡන්ද මධ්‍යස්ථානයේදීම ඡන්දය ගණන් කිරීම නිසා මධ්‍යස්ථාන මට්ටමින් මනාප ප්‍රථිපල දැන ගැනීමට හැකිවීමය. සමානුපාත ඡන්ද ක්‍රමය නිසා තමාගේ නියෝජිතයා නිවැරදිව සොයාගැනීමට නොහැකිව තිබෙන මෙම යුගයේ ඒ ඒ ගම්මානයේ ජනප්‍රිය අපේක්ෂකයා හඳනා ගැනීමේ අවස්ථාව මෙමගින් හිමි වේ.

ඒ අනුව මාගේ මතය නම් ඡන්ද මධ්‍යස්ථානයේදීම ඡන්දය ගනන් කිරීම 'ජනතා පරමාධිපත්‍ය' වඩාත් හොඳන් අර්ථගැන්විය හැකි අවස්ථාවක් බවයි.

Monday 23 March 2009

ලෝක ආර්ථික අර්බුදය හා ලංකාව

බොහොම ජනප්‍රිය මාතෘකාවක් අල්ලගත්තතේ. මට මේ ගැන මගේ මතය කියන්න හිතුනේ ඊයේ අහන්න ලැබුනු පණිවුඩයක් නිසා. මගේ ළඟම හිතවතෙක් ලබන සතියේ ලංකාවට එනවා, ඕස්ට්‍රේලියාවේ තමන් රැකියාව කළ ආයතනය වසා දැමීම නිසා. වසා දැමීමට හේතුව එම ආයතනයට වැඩ නැතිවීම. ඔහු පවසන පරිදි ඕස්ට්‍රේලියාවේ ආයතන විශාල ප්‍රමාණයක් මේවන විට වසා දමමින් පවතිනවාලු. එසේම ඒ බොහොමයක් ආයතනවල ලංකාව වැනි පෙරදිග වැසියන් රැකියාව කරනවාලු.

මේ තත්වය මොන ආකාරයට ලංකාවට බලපාවිද?
තොරතුරු තාක්ෂණ අංශයට මොන ආකාරයට බලපාවිද?
අපි මෙම අර්බුදයට මුහුණ දිය යුත්තේ කෙසේද?

ආර්ථිකය හා ලෝක දේශපාලනය සම්බන්ධව ලංකාවේ සිටින බොහොම කීර්තිමත් පුද්ගලයෙක් මීට සති දෙකකට උඩදී 'ලෝක ආර්ථික අර්බුදයට ලංකාව මුහුණදිය යුතු ආකාරය' පිළිබඳව ලිපියක් ලියා තිබුණා. කොටස් දෙකකින් පළවූ ලිපියේ පළමු දිනයේ ආර්ථික අර්බුදය ඇතිවීමට හේතුව ‍බොහොම සරලව පහදා දී, එයට අපි මුහුණදිය යුතු ආකාරය ඊළඟ සතියට කල් තබා තිබුණා. ඊයේ මගේ මිත්‍රයාගේ පණිවුඩය ලැබුණවිට අර ලිපිය මතක් වී අපේ විද්වතාගේ යෝජනා මොනවාද කියා බැලුවා. නැවතවරක් අර්බුදය ඇතිවූ හැටි අග සිට මුලට පහදා දී ලිපිය අවසන් කර තිබුණා.

මෙම අර්බුදය ලංකාවට බලාපාන ආකාරය හා එයින් ඇතිවන නව තත්වයට මුහුණ දිය යුත ආකාරය පිළබඳව අපේ රටේ හොඳ මතවාදයක් ගොඩනැගී නොමැති බවයි මාගේ මතය.

Wednesday 14 January 2009

දේශපාලන විසඳුම හා යුධ විසඳුම

එක් කණ්ඩායමකට අනුව ලංකාවේ තිබෙන්නේ ජනවාර්ගික ප්‍රශ්නයක් පමණි.
තවත් කණ්ඩායමකට අනුව ලංකාවේ තිබෙන්නේ ත්‍රස්තවාදී ප්‍රශ්නයක් පමණි.

ජනවාර්ගික ප්‍රශ්නය වෙනුවෙන් දේශපාලන විසඳුමක් සොයති.
ත්‍රස්තවාදී ප්‍රශ්නය වෙනුවෙන් යුධ විසඳුමක් සොයති.

ඇත්තටම ලංකාවේ තිබෙන්නේමේ ප්‍රශ්න පමණද?

ජනවාර්ගික ප්‍රශ්නයක් පමණක් ඇත්තේ දේශපාලන කණ්ඩායම් (වර්ග) තුනකටය.
1. ද්‍රවිඩ දේශපාලකයින්
2. වාමාංශික දේශපාලකයින්
3. රට හමුවේ තැබීමට තරම් සුදුසු සංකල්පයක්-මතවාදයක් නොමැති අඳබාල දේශබාලකයින්

ත්‍රස්තවාදී ප්‍රශ්නයක් පමණක් ඇත්තේ තවත් කණ්ඩායම් (වර්ග) තුනකටය.
1. ජාතිවාදීන් හෙවත් සිංහල ත්‍රස්තවාදීන්
2. යුධ ව්‍යාපාරිකයින්
3. වසර ගනනාවක් පට්ට ගැසූ මතවාද යල්පැනගිය පසු, ඒවා අත හැර ජනප්‍රිය වීමට හැකි මාතෘකාවක් සොයාගත් අඳබාල දේශබාලකයින්

මාගේ මතයනම් ලංකාවේ තිබෙන්නේ ආර්ථික ප්‍රශ්නයක් බවයි. එහි ප්‍රකාශිතයන් ලෙස ජනවාර්ගික හෝ ත්‍රස්තවාදී හෝ තවත් නොයෙක් ප්‍රශ්න දැකිය හැකිය.
එසේනම් එයට තිබිය යුත්තේ ආර්ථික විසඳුමකි.

පළමුව කළ යුත්තේ ලංකාවේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමයි.
ජීවිතය සැප පහසුවන විට හා සැප පහසු ජීවිතයක් සඳහා කාර්යබහුල හා කාර්යන්ෂම වනවිට වාර්ගික හැඟීම් හා ත්‍රස්ත හැඟීම් වෙනුවෙන් වන පෙලගැසීම් අඩුවනු ඇත.

එහෙත් අද අපේ රටේ දේශපාලකයින් රෝග නිධානය තිබියදී රෝග ලක්ෂණවලට ප්‍රතිකාර කිරීමේ කාර්යයේ යෙදී සිටිති.

පළමු කණ්ඩායම ත්‍රස්තවාදයට සාම විසඳුමක් දෙමින් ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් දි යුතු බව පවසති. දෙවන කණ්ඩායම ත්‍රස්තවාදයට යුධ විසඳුමක් දෙමින් ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් දීමට සැරසෙති. රෝග ලක්ෂණ සමහන් වූවද රෝගය එසේම තිබෙනු ඇත.

එබැවින් පළමුව (හෝ සමගාමීව - ත්‍රස්තවාදය ඔඩුදුවා ඇති බැවින්) ආර්ථීක විසඳුමකට යොමු විය යුතුව ඇත.

ඒ සඳහා ‍යොමු වීමට ක්‍රම දෙකක් ඇත.
1. සමස්ථ ජනතා පෙලගැස්මක්.
2. නිවැරදි නායකත්වයක්.

මින් එකක් හෝ බලාපොරොත්තුව සිටිමු.