Monday 9 July 2012

මහවැලියේ ඓතිහාසික වැරැද්ද 2

මහවැලි ව්‍යාපාරයේ පමණක් නොවේ; බොහෝ ජනපද ව්‍යාපාරවල වී ගොවිතැන් කිරීම සඳහා එක් ගොවි පවුලකට කුඹුරු හෙක්ටයාර් එකක් (අක්කර 2.5) හා ගොඩ ඉඩම් අක්කර භාගයක් බැගින් බෙදා දී තිබෙනවා. මේ ප්‍රමාණ මීට වඩා වෙනස් වූ අවස්ථා තිබෙනවා. එහෙත් සාමාන්‍ය ප්‍රමාණය ලෙස මේ හෙක්ටයාර් එක සලකන්න පුළුවන්. මෙලෙස කුඹුරු ඉඩම් ලබා දීම නිසා අක්කර 1,000 ක කුඹුරු ඉඩම් ඇති ප්‍රදේශයකට ගොවි පවුල් 400ක් ඇතුළත් වෙනවා. එසේම බොහෝ ස්ථානවල මෙම කුඹුරු හෙක්ටයාර් 400 ප්‍රමාණය පැතිර පවතින්නේ හෙක්ටයාර් 500කට වඩා වැඩි ප්‍රදේශයක් තුළයි. ගොඩ ඉඩම් ලබා දීමේ රටාව අනුව මෙම පවුල් 400 යේ පැතිරීම විෂම වෙනවා. අධ්‍යනයේදී හඳුනාගත් පරිදි අතිබහුතරයක් ස්ථානවල මෙම පවුල් 400 වර්ග කිලෝමීටර් 4ක් 5ක් පුරා විසිර ජීවත් වෙනවා. මේ ආකාරයට සලකා බැලූ විට පෙනී යන කරුණ නම් මහවැලි ව්‍යාපාරය යටතේ සංවර්ධනය කළ කලාපවල හෙක්ටයාර් 500 ක භූමියෙන් වී අස්වැන්න ලැබෙන්නේ උපරිම හෙක්ටයාර් 400න් පමණි. එනම් 20%ක භූමි ප්‍රමාණයක් පරමාර්ථයෙන් ඈත් වී ඇත. මෙම කුඹුරු හෙක්ටයාර් 400 න් හොඳ අස්වැන්නක් ලැබුණු කන්නයක් සලකා බලන්න. ඊළඟ කන්නය වගා කිරීමට බලපාන සාධක විය හැක්කේ මොනවාද? හොඳ මිලකට වී අලෙවි කර ගන්නට හැකි වූ ගොවියෙකු, තමාට එළඹෙන කන්නය වගා කිරීමට අවශ්‍ය නොවේයැයි තීරණය කළ හැකිය. එසේම ඉතා අඩු මිලක් ලැබුණ ගොවීන්ට වී වගාව 'එපා' විය හැකිය. තවත් අයෙකුට වෙනත් වගාවත් කිරීමට සිත් ඇතිවිය හැකිය. යම් අයෙක් වගා කිරීමට නොහැකි තරම් අසනීප විය හැකිය. කොටසක් පලිබෝධ නාශක රසායන භාවිතා කරද්දී තවත් කොටසක් එයින් වැලකී සිටීමට හැකිය. එක් කොටසක් දෙමුහුන් වී ප්‍රභේද වගා කරද්දී අනෙක් අය 'පැරණි වී' වගා කිරීමට පුළුවන. රසායනික පොහොර යොදන අය, ඓන්ද්‍රීය පොහොර යොදන අය හා පොහොර නොයොදන අය විය හැකිය. සමහරු වැඩිවයස් වී ප්‍රභේද යොදද්දී සමහරු අඩු වයස් වී වගා කරනවා විය හැකිය. වගා කළ ගොවියෙක් අසනීප වීම නිසා හෝ මිය යාම නිසා හෝ කුඹුර විනාශ වීමට ඉඩ ඇත. මේ ආකාරයට මෙම හෙක්ටයාර් 400යේ ගොවි බිමේ 'නිෂ්පාදනය' කෙරෙහි බලපෑම් ඇති කරන තීරණ 400ක් තිබේ. එසේම අස්වැන්නට බලපෑම් ඇති කරනු ලබන එකිනෙකට වෙනස් තීරණ රාශියක් තිබිය හැකිය. මෙම තත්වය යටතේ නිශ්චිත කුඹුරු ප්‍රමාණයක වී වගාවෙන් බලාපොරොත්තු විය හැකි අස්වන්න ඉතා විශාල පරාසයක් තුළ විචලනය විය හැකිය. මෙලෙස ප්‍රමාණවත් නිවරද්‍යතාවයකින් යුතුව අස්වැන්න අනුමාන කිරීම නොහැකි වීම නිසා ඇතිවන අසාමාන්‍ය මිල වෙනස් වීම ඊළඟ කන්නයේ වී අස්වැන්නට බලපෑම් ඇති කරන ප්‍රධානම සාධකය විය හැකිය. මීට අමතරව මෙම 'වී නිෂ්පානදය' හා බැඳී ඇති අනෙක් අවසනාවන්ත තත්වය නම් මෙම වී නිෂ්පාදනය තවත් නිෂ්පාදනයක 'අමුදව්‍යයක්' පමණක් වීමයි. එබැවින් මෙම නිෂ්පාදනයේ මිල නියම වන්නේ අවසාන පාරිභෝගිකයා මත නොව ඊළඟ නිෂ්පාදකයා මතය. ඒ නිසා සැමදා 'වී' මිල අඩුය. 'හාල්' මිල වැඩිය. මහවැලි ගොවියා සහල් හා සහල් ආශ්‍රිත ද්‍රව්‍ය නිෂ්පාදයෙක් වූවානම් ..... මහවැලියේ ඓතිහාසික වැරැද්ද මෙතනය. තනි පුද්ගල නිෂ්පාදන රාශියක් වෙනුවට සමූහ නිෂ්පාදන වැඩපිළිවෙලකට යාමට තිබූ හොඳම අවස්ථාව මහවැලියයි. ඒ අනගි අවස්ථාව අත හැරීම 'මහවැලියේ එතිහාසික වැරැද්ද' යනු මාගේ මතයයි.

Saturday 7 July 2012

මහවැලියේ ඓතිහාසික වැරැද්ද...

මහවැලියේ සිදු කෙරුන විශාලම වැරැද්ද මොකක්ද කියල කිහිප දෙනෙක්ගෙන්ම ඇහුවා. පුදුමය කියන්නේ හැමෝම දුන්නේ එකම උත්තරය. අනිවාර්යයෙන්ම ඔබගේ සිතෙත් ඒ පිළිතුරම නලියනවා. මම හරි නේද? ඒ නිසා ඒ මොකක්ද කියල මම ලියන්නේ නෑ. ඒත් මගේ තක්සේරුවේ හැටියට ලොකුම වැරැද්ද එය නෙමේ. එහෙනම් මොකක්ද? මහවැලි යෝජනා ක්‍රමයේ ප්‍රධාන ඉලක්ක දෙකක් තියෙනවා. 1. ජලවිදුලිය නිෂ්පාදනය. 2. වී ගොවිතැන. තවත් විවිධ අරමුණු විවිධ මුහුණුවරින් ඉදිරිපත් කළත්, මේ අරමුණු දෙක ඉතා පැහැදිලියි. මහවැලි යෝජනා ක්‍රමය කඩිනම් කළත් නොකළත් අවසාන ඉලක්ක වුණේ ජලවිදුලියයි ගොවිතැනයි. ඉහල මට්ටමේ ජලාශවලින් ජල විදුලිය නිපදවා අවසානයේ මිනිපේ සිට බෙදා හරින (හා පොල්ගොල්ලෙන් හැරී යන) ජලයෙන් මධ්‍යම, උතුරු මැද, නැගෙනහිර හා උතුරු පළාත්වල වී වගා කිරීම සඳහා ජලය ලබා දීම මෙම ව්‍යාපාරයේ අරමුණ වුණා. මෙම අරමුණුවල හෝ ඒ අරමුණු කරා කඩිනමින් ළඟා වීම සඳහා කඩිනම් කිරීම වැරැද්දක් ලෙස මා දකින්නේ නෑ. එහෙනම් මොකක්ද මහවැලියේ සිදු වූ ඓතිහාසික වැරැද්ද? ..............

Sunday 1 July 2012

රඹුටන් කන්න - දොම්පෙට එන්න

රඹුටන් කිව්ව ගමන් කාගෙත් මතකයට එන්නේ මල්වානයි. එහෙත් අද තෙත් කලාපය පුරාම රඹුටන් වවා ඇත. විශේෂයෙන් ගම්පහ, කොළඹ, කෑගල්ල දිස්ත්‍රික්කවල රඹුටන් වගාව බහුලව දැකිය හැකිය. කෙසේ වුවත් රඹුටන් හා මල්වාන අතර තිබෙන්නා වූ යාවජීව බැඳීම නොබිදී තබා ගැනීමට 'මල්වාන ස්පෙෂෙල්' සමත් වී ඇත. ලංකාවේ රඹුටන් අතර ඉදිරියෙන්ම සිටින්නේ මල්වාන ස්පෙෂල් විශේෂයයි. දීප්තිමත් රතු පැහැති, රවුම් හා රඹුටන් අතර විශාලම ප්‍රමාණයේ ගෙඩි මල්වාන ස්පෙෂල්වල ඇති විශේෂත්වයයි. 2012 වාරය මාගේ මතකයේ හැටියට ලංකාවේ වැඩිම රඹුටන් ඵලදාවක් ඇති වූ වර්ෂය විය යුතුයි. 2011 වර්ෂයේ රඹුටන්වලට දිලීර රෝග ඇති වීම නිසා අස්වැන්න ඉතා අඩු විය. එහෙත් මෙවර දිලීර හානිය පවා ඉතා අවම මට්ටමක පවතී. රඹුටන් අස්වැන්න වැඩි වීම නිසා මිල පවා අඩු මට්ටමක පවතී. මේ දිනවල ඇදහැලෙන නිරිත දිග මෝසම නිසා රඹුටන් ගෙඩි කුණු වීමේ ප්‍රවණතාවක් ඇති වී තිබෙන බව දැනගන්නට ඇත. එසේ වුවහොත් ඉදිරි කාලය තුලදී රඹුටන් මිල වැඩි වීමට ඉඩ තිබේ. ලංකාවේ රඹුටන් නිශ්පාදනයෙන් වැඩි ප්‍රතිශතයක් අලෙවි වන්නේ දේශීය වෙළඳ පොල තුලය. මාගේ අනුමානය අනුව අපනයනය කරනු ලබන්නේ 5%ත් අඩු ප්‍රමාණයකි. ඕස්ට්‍රේලියාව, යුරෝපය, ඇමෙරිකාව, මැදපෙරදිග ආදී රටවලදී දක්නට ලැබෙන්නේ තායිලන්තය, මැලේසියාව වැනි රටවල රඹුටන් නිෂ්පාදන බව දැනගන්නට ඇත. රඹුටන් රටේ ආර්ථිකයට දායක කර ගැනීමට කටයුතු කිරීම අපට ඇති හොඳ අවස්ථාවක් බව මාගේ මතය වේ. ඒ කෙසේ වුවත් මේ කියවන ඔබට දීමට ඇත්තේ වෙනත් පණිවුඩයකි. එනම් රඹුටන් කන්න ඕනෙනම් දොම්පෙට එන්න!. මල්වානේ පැණි රඹුටන් වැඩිපුරම තියෙන්නේ දොම්පෙ ප්‍රදේශයේය. විශේෂයෙන් මල්වාන ස්පෙෂෙල් වැඩිපුරම තිබෙන්නේ දොම්පෙය. දොම්පෙ, දෙකටන, කළුකොඳයාව, මාපිටිගම, කිඹුල්විලවත්ත, ඉන්දොලමුල්ල, මාළිඳ, කපුගොඩ, පූගොඩ ආදී ප්‍රදේශවල මේ දිනවල රඹුටන් 'වැහි වැහලාය'. නිරිතදිග මෝසමේ වැහි තවත් වහින්න පෙර දොම්පෙට ඇවිත් හිතේ ඇති තරම් රඹුටන් කන්න ආරාධනා කරන්නෙමු.