Wednesday 20 January 2010

සහෝදරකම

මගේ මතය අනුව ලොව ඇති රැකගතයුතුම ඥාතිකම නම් සහෝදරකමයි. අපගේ ජීවිත කාලයට සමාන වූ කාලයක් අප සමග එකට හුස්ම ගන්නා ඥාතියා සහෝදරයා වේ. අම්මා හා තාත්තා අපට බොහෝ කළකට පෙර ඉපිද බොහෝ විට අපට බොහෝ කලකට පෙර අපෙන් වෙන්ව යයි. දූ දරුවන් සම්බන්ධව එහි අනෙක් පැත්තයි. අපිට බොහෝ කලකට පසු ඉපිද බොහෝවිට ඔවුනට පෙර අපි ඔවුන්ගෙන් වෙන්ව යයි. බිරිඳ හා ස්වාමියා වුවද අපේ ජීවිතයට එක්වන්නේ අප ඉපිද බොහෝ කලකට පසුවය. එහෙත් සහෝදර සහෝදරියෝ අප උපන් සමයේම ඉපිද බොහෝ විට අප මියෙනා කාලයේ අපත් සමගම මොලොව හැර යයි.

සහෝදරකම ගැන මේ සටහන තියන්න හිතුනේ අද උදේ එෆ්.එම්. සේවාවකින් ඇසුනු දෙයක් නිසා.
ඒකත් සඳහන් කරන්නම්.
"දිනක් උදයේ අම්මා ස‍හෝදරයින් දෙදෙනාට රොටී පුළුස්සමින් සිටියා. ඒ තැටියේ එක් වරකට දැමිය හැක්කේ එක් රොටියක් පමණි. ඒ නිසා අයියා පළමු රොටිය සබා ගැනීමේ අරමුනින් මෙසේ පැවසුවා.
"මම තමා වැඩිමලා. මම ලොක්කා. මම ඉස්සෙල්ලම ලෝකෙට ආවේ. ඒ නිසා පළමු රොටිය අයිති මටයි."
මල්ලි එකඟ උනේ නෑ.
"නෑ එහෙම වෙන්නේ කොහොමද? මම පොඩියි. තවමත් මම පොඩියි. ඒ නිසා මටයි ඉස්සෙල්ල කන්න ඕනේ. එතකොටයි මටත් ඔයාට වගේ ලොකු වෙන්න පුළුවන්."
අම්මට තේරුණා වැඩේ හරි යන්නනේ නැති බව. අම්මා කිව්වා මෙහෙම.
"දරුවනේ මෙකන දෙවියෝ හිටියානම් දෙවියෝ කියන්නේ 'පළමු රොටිය මගේ සහෝදරයාට දෙන්න' කියලයි."

මල්ලිට පොට පෑදුනා. මල්ලි කිව්වා
"එහෙනම් අයියා දෙයියො වෙන්න".

Friday 15 January 2010

ජනමාධ්‍යයේ කැත වැඩ

ජනමාධ්‍ය යනු රටේ මතවාදය හසුරුවන ප්‍රධාන ධාරාවකි. රටකට නිවැරදි මතවාදයක් නොමැති තාක් කල් බොහෝ දෙනා අයාලයේ යන මතවාද ජන විඥ්ඥානය තුළ තැම්පත් කිරීම වැලැක්විය නොහැකිය. එහෙත් ජනතාව එපා නොකියන නිසා තමන්ට හිතෙන හිතෙන දේ ජනමාධ්‍ය හරහා බෙදා දීමට ජනමාධ්‍ය කටයුතු නොකළ යුතුය. කොහේ හෝ සිදුවන දෙයක යම් කුණු රසයක් තිබේනම් එය ප්‍රවෘත්තියක් ලෙස ඉදිරිපත් කිරීම අද ජනප්‍රිය ජනමාධ්‍ය සම්ප්‍රදාය වී තිබේ. මෙය සිදු නොවිය යුතු දෙයක් බව මාගේ මතයයි.
විශේෂයෙන් තවත් කාල පරිච්ඡේදයකට තම නායකයා තෝරා ගැනීමේ භාරධූර කාර්යය මහජනයාට පැවරී ඇති මේ මොහොතේ, නිවැරදි තීරණයක් ගැනීමට උපකාරීවන තොරතුරු ඉදිරිපත් කරනවා වෙනුවට ඉතා පහත් මට්ටමේ කූටෝපායන් සඳහා තම ගුවන් කාලය හා පිටු වෙන් කිරීම ජනමාධ්‍ය සිදු කරන ඉතා පහත් පෙළේ කැත වැඩක් බව මාගේ මතයයි.