Wednesday, 3 September 2014

සුරැකෙන හිමිකම කුමක්ද?

මානවයා යනු මම නොවේ අපිය.

මම ගැන පමණක් සිතන විට ඇති බොහෝ දේ අපි ගැන සිතන විට නැති බව පෙනේ. බොහෝ දේ ඇති අය ගැන සිතන විට, ඒ අය අපි අතර නැති බව සිතේ. බොහෝ දේ ඇති අයත්, බොහෝ දේ නැති අයත් මමත් සියල්ලෝම අපි වන්නේ කවදාදැයි සිතමින් සිටිද්දී, මෙලෙස අපට නොමැති දේ ගැන කියැවුන තැන් ගැන සොයා බලන්නට සිතුනි.
http://ozziesaffa.blogspot.com/2013/07/uk-calls-grow-to-boycott-toxic-human.html

මානව අයිතිවාසිකම් යනු ‘මිනිසාට තම සමාජ ජීවිතය යහපත් ආකාරයෙන් පවත්වාගෙන යෑමට අවශ්‍යවන කොන්දේසි’ ලෙස නිර්වචනය කළ හැකිය. බ්‍රිතාන්‍යය 1215 දී ප්‍රකාශයට පත් කළ ‘මහා අධිකාර පත්‍රය’ (Magna Carta) හා 1688 දී ප්‍රකාශයට පත් කළ ‘අයිතිවාසිකම් පනත’ (Bill of Rights) ද, 1776 දී සකස් කළ ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්වාධීනතා ප්‍රකාශය (Declaration of Independence of the USA) ද, 1789 දී ප්‍රශයේදී එළි දැක්වූ ‘මිනිසා සහ ප්‍රංශ පුරවැසියන්ගේ අයිතිවාසිකම් ප්‍රකාශය’ (Declaration of the rights of the man & the citizen in France) ද මානව අයිතිවාසිකම් මෑත ඉතිහාසයේ සැලකිල්ලට භාජනය කළ ලේඛන ලෙස සැලකිය හැකිය. පුරාතන අතීතයේ ලොව පහල වූ ගෞතම බුදුරජානන්වහන්සේ ප්‍රමුඛ ශාස්ත්‍රෑන්වහන්සේලා විසන් දේශනා කර ඇත්තේද මානව ආයිතිවාසිකම් සුරුකෙන සමාජයක ජීවත් වනනේ කෙස්ද යන වගයි.

1945 දී එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය (United Nations Charter) තුළින් මානව අයිතිවාසිකම් පිළිබඳව එකඟතාවයක් තිබිය යුතු තීරණය කරන ලදී. ඒ අනුව 1948 දෙසැම්බර් 19 වෙනිදා මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශය එළිදක්වන ලදී.


එම ප්‍රකාශයේ දැක්වෙන පරිදි මානව අයිතිවාසිකම් කිහිපයක් මෙසේය.

  1. සියලුම මිනිසුන් නිදහස්ව උපන්නාහ. ගරුත්වය හා අයිතිවාසකම් අතින් සමානය. සිහිබුද්ධියෙන් හා යුතු-අයුතුකම් විසඳීමේ හැකියාවෙන් යුක්තය. එහෙයින් එකිනෙකා කෙරෙහි සහෝදර හැඟීමෙන් ක්‍රියා කළ යුත්තෝ වෙති.
  2. ජාති, වර්ණ, ලිංඟ, භාෂා, ආගම්, දේශපාලන මත, අන් මතිමතාන්තර, සමාජික ප්‍රභවය, දේපොළ, උපත හෝ වෙනත් තරාතිරම් ආදී කිසිම හේතුවක් නිසා වෙනසක් හෝ භේදයක් නැතිව සෑම දෙනාටම, මෙම ප්‍රකාශනයේ කියවෙන සෑම අයිතිවාසිකමක්ම සමානව භුක්ති විඳීමේ අවස්ථාව හිමි වන්නේය.
  3. ප්‍රාණයට, නිදහස්ව හැසිරීමට හා පෞද්ගලික ආරක්‍ෂාවට හිමිකම් ඇත්තේය.
  4. වහල්භාවයට පත් නොවීමට හිමිකම් ඇත්තේය.
  5. වධයකට, කුරුරි අමානුෂික දඬුවමකට, හිරිහැරයකට, නින්දාවකට පත් නොවීමට හිමිකම් ඇත්තේය.
  6. නීතිය හමුවේ පුද්ගලයෙක් ලෙස සමානව සැලකුම් ලැබීමට හිමිකම් ඇත්තේය.
  7. නීතියේ රැකවරණය සමානව ලැබීමට හා වෙනස්කම්වලට භාජනය නොවීමට හිමිකම් ඇත්තේය.
  8. අයිතිවාසිකම් කඩවීම ගැන නිසි බලය ඇති අධිකරණයකින් යුක්තිය ඉටුකරවා ගැනීමට හිමිකම් ඇත්තේය.
  9. අත්තනොමතිකව අත්අඩංගුවට ගැනීමකට, රඳවා තබා ගැනීමකට හෝ පිටුවහල් කිරීමට ගොදුරු නොවීමට හිමිකම් ඇත්තේය.
  10. ස්වාධීන අධිකරණයකින් සාධාරන හා විවෘත නඩු තීන්දුවක් ලැබීමට හිමිකම් ඇත්තේය.
  11. නිර්දෝෂී බවට පූර්ව නිගමනය කරනු ලැබීමට හා අතීතයට බලපාන දණ්ඩන නීතිවලින් ආරක්‍ෂා වීමට හිමිකම් ඇත්තේය.
  12. පෞද්ගලිකත්වයට හිමිකම් ඇත්තේය.
  13. රටෙහි වාසයට, රට තුළ ගමනාගමනයට, රට හැර යාමට හා පෙරළා පැමිණීමට හිමිකම් ඇත්තේය.
  14. වධබන්ධනවලින් මිදීම පිණිස පිටරටක රැකවරණය සෙවීමට හිමිකම් ඇත්තේය.
  15. ජාතිකතවයට හා ජාතිකත්වය වෙනස් කිරීමට හිමිකම් ඇත්තේය.
  16. පූර්ණ වයසට පත් වූ විට සීමාවකින් තොරව විවාහයට ඇතුළත් වීමට, විවාහයට ඇතුළත් වීමේදී, පවත්වාගෙන යාමේදී හා අවසන් කිරීමේදී සමාන අයිතවාසිකම් ලැබීමට, එම පවුල, සමාජය හා රජය විසින් ආරක්‍ෂා කරනු ලැබීමට හිමිකම් ඇත්තේය.
  17. තනිව හෝ හවුලේ දේපොළ අයිතිකර ගැනීමට හා අත්තනෝමතිකව දේපොළ අහිමිකර නොගැනීමට හිමිකම් ඇත්තේය.
  18. නිදහසේ සිතීමට, ආගම ඇදහීමට, තනිව හෝ සාමූහිකව ආගම ඉගෙනීමට හා පුදසිරිත් පැවැත් වීමට, ආගම ප්‍රකාශ කිරීමට හිමිකම් ඇත්තේය.
  19. මතයක් දැරීමට හා එය ප්‍රකාශ කිරීමට, තොරතුරු හා අදහස් සෙවීමට, ලබා ගැනීමට, අනුන්ට දැන්වීමට හිමිකම් ඇත්තේය.
  20. සාමකාමීව එක්රැස් වීමට හා සමිති-සංවිධාන පැවැත්වීමට හිමිකම් ඇත්තේය.
  21. රාජ්‍ය පාලනයට සහභාගි වීමට, රාජ්‍ය සේවයේ යෙදීමට, පොදු ජන කැමැත්ත නිදහස් ඡන්ද විමසීම මගින් ප්‍රකාශ කරනු ලැබීමට හිමිකම් ඇත්තේය.
  22. සමාජ ආරක්‍ෂාව ලැබීමට, ආර්ථික අයිතාවාසිකම්, සමාජ අයිතිවාසිකම් හා සංස්කෘතික අයිතිවාසිකම් මුදුන්පත් කරවා ගැනීමට හිමිකම් ඇත්තේය.
  23. කැමති රැකියාවක් කිරීමට, ඊට සාධාරණ සමාන වැටුපක් ලැබීමට, වෘත්තීය සමිති පිහිටුවීමට හා වෘත්තීය සමිතිවලට බැඳීමට හිමිකම් ඇත්තේය.
  24. වැඩ කරන පැය ගණන ගැන සාධාරණ සීමාවක් ලැබීමට, වැටුප් සහිත කාලීන විරාමයන්/විවේකයන් ලැබීමට හිමිකම් ඇත්තේය.
  25. ආහාර, ඇඳුම්, නිවාස, වෛද්‍ය ආරක්‍ෂාව, සමාජ සේවාවන්ගෙන් ලැබෙන සමාජ ආරක්‍ෂණය ලැබීමට (විවාහජ හා අවිවාහජ සැමට) හිමිකම් ඇත්තේය.
  26. අනිවාර්ය ප්‍රාථමික අධ්‍යාපනය ලැබීමට, පාසල් අධ්‍යාපනය, කාර්මික හෝ වෘත්තීය අධ්‍යාපනය හා යෝග්‍යතාවය අනුව උසස් අධ්‍යාපනය ලැබීමට හිමිකම් ඇත්තේය.
  27. සංස්කෘතික ක්‍රියාවන්හි හා විද්‍යාත්මක ක්‍රියාවන්හි නිරත වීමට, ඒවායේ ඵල ප්‍රයෝජන ලැබීමට හා තම නිර්මාණවල ද්‍රව්‍යමය හා සදාචාරමය ප්‍රයෝජන ලැබීමට හිමිකම් ඇත්තේය.
  28. මානව අයිතිවාසිකම් ආරක්‍ෂා කරවා ගැනීමට හැකි ජාත්‍යන්තර සංවිධාන රටාවක ජීවත් වීමට හිමිකම් ඇත්තේය.
  29. අයිතිවාසිකම්වල සීමාවන් ඇතුළත සමාජයේ යුතුකම ඉටුකරවා ගැනීමට හිමිකම් ඇත්තේය.
  30. කිසියම් පුද්ගලයෙකු හෝ සමූහයක් හෝ රජයක් හෝ මෙම අයිතිවාසිකම් උල්ලංඝනය වන අයුරින් අර්ථ ගැන්වීමෙන් වලක්වා තබා ගැනීමට හිමිකම් ඇත්තේය. 

Thursday, 21 August 2014

පරිගණකයටත් ඉබෝලා වෛරසය - පියවරෙන් පියවර

පළමු ජවනිකාව෴

ඉබෝලා වේගෙයෙන් පැතිරෙ‍මින් පවතී. ඇත්තෙන්ම සිදුවන්නේ රෝගය පැතිරෙනවාට වැඩි වේගයෙන් භය පැතිරීමයි. රෝගය පිළිබඳව පැතිරෙන (දුර්)මතද බහුලය. එක් මතයක් ‘දුර්-මතයක්’ (Misconception) වෙද්දී ඊට ප්‍රතිවිරුද්ධ මත ‘හරි-මතය’ (Perception) වේ. ඉබෝලා අප්‍රිකානු වනාන්තර ආශ්‍රිත චිම්පන්සියන්, වඳුරන්, පළතුරු වවුලන් වැනි ක්‍ෂීරපායි සතුන් මගින් මානවයා වෙත ආ බව එක් මතයකි. අභ්‍යාවකාශයේ සරන ධූම කේතු, ධූලී වලා ආදියෙන් නිරන්තරයෙන් පොළොවට ඇද හැලෙනා විෂකාරක නිසා ඇති වූ බව තවත් මතයකි. ඇමෙරිකාව හෝ වෙනත් නම නොදන්නා එවැනි රටක සිදු කළ පර්යේෂණයක අතුරු ප්‍රතිපලයක් නිසා ඉබෝලා ලොවට දායාද වූ බව තවත් මතයකි. එවැනි රටක් හිතා-මතාම මෙය නිර්මාණය කොට දුප්පත් අප්‍රිකානු රටවලට බෙදා හැරි බව තවත් මතයකි. මින් නිවැරදි කුමක්දැයි නොදන්න නිසා දුර්-මත කුමක්දැයි පැහැදිලිවම කිව නොහැක. හේතුව කුමක් වුවත් මෙම රෝගයට නිසි ප්‍රතිකර්ම සොයා බැලීමේ පර්යේෂණ සිදු වන බව දුර්මතයක් වන්නේ, ඉහත සඳහන් කළ එක් කරුණක් සත්‍ය වුවහොත් පමණි. වඩාත් නිවැරදිව කියතොත්, ඉහත සඳහන් කළ එක්තරා මතයක් නිවැරදි නම්, ප්‍රතිකර්ම සොයා ගැනීම සඳහා පර්යේෂණ තවමත් සිදුකෙරෙනවා යන්න දුර්-මතයක්ම විය යුතුය. එනම්, ඇමෙරිකාව හෝ නම නොදන්නා වෙනත් රටක් (ආයතනයක්) විසින් හිතා-මතාම ඉබෝලා වෛරසය නිපදවූයේ නම් ඒ සමගම ප්‍රතිකර්මද නිපදවා තිබිය යුතුමය. ලයිබීරියාවේ සුව-සහන සේවයේ යෙදුනු, ඇමෙරිකානු ජාතික වෛද්‍ය කෙන්ට් බ්‍රැන්ට්ලි හා නැන්සි විට්‍රබෝල් පර්යේෂණාගාර මීයන් ද නැතහොත් ‘ඉ‍බෝලා ප්‍රතිකාර සේවාව’ සුභ මොහොතින් විවෘත කළ ආරාධිත අමුත්තන්ද යන වග තීරණය වන්නේ ‘නිවැරදි දුර්-මතය’ හඳුනා ගත් දාටය.

දෙවන ජවනිකාව෴

ඉබෝලා වේවා, ඒඩ්ස් වේවා, වෙනත් ඕනෑම රෝගයක් වේවා ඊට, අලුතින් ප්‍රතිකර්මයක් සොයා යාමේදී, පර්යේෂණාගාර මීයන්ට අමතරව ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වන ‘බිලි-බෝයිලා’ කිහිප දෙනෙකුද අවශ්‍යම වන්නේය. නිර්මාණ කරුවන්ගේ දක්‍ෂතාවය සේම බිලි-බෝයිලාගේ වාසනාව අනුව ඔවුන්ට සිදුවන හානිය අවම ‍වන්නට හැකි වුවද, සිදුවිය හැකි නරකම දෙය පවා සිදු වීමේ අවස්ථා එමටය. අප්‍රමාණ වූ ‘අනෙකුන්’ වෙනුවෙන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන මෙම උත්තම මිනිසුන්ට ‘බිලි-බෝයිලා’ ලෙස ඇමතීම පවා නොවටින්නේය. එසේම ඔවුන් කළ කැප කිරීම වෙනුවෙන් ඔවුන්ට නොදිය හැකි දෙයක් නොමැති තරම්ය. එහෙත් නොදිය යුතු දේද ඇත්තේය. වැඩිදුර පැහැදිලි කර ගැනීම පිණිස නිදසුනක් සලකා බලමු. පර්යේෂණාත්මක ප්‍රතිකර්මය ලබා දී පැය 24කට පසුව නිරාහාර ලේ සාම්පලයක් ලබා ගත යුතු අවස්ථාවක, කුස ගින්න හොඳින් දැන දැනත් ඔහුට ආහාර ලබා දීමට නොහැකිය. මෙම නිදසුන සරල හා විලක්ප මාර්ග වලින් නිශේධනය කළ හැකි එකක් වුවන්, මෙවැනි අවස්ථා තිබිය හැකි බවට එකඟ වීමට තරම් ප්‍රමාණවත් වනු ඇත.
පින්තූරය අන්තර්ජාලයෙන්. http://en.wikipedia.org/wiki/Laboratory_rat#mediaviewer/File:Cut_Rat.jpg

තෙවන ජවනිකාව෴

‘බිලි-බෝයිලා’ හමු වන්නේ ලොව ප්‍රබලම ව්‍යාපාර දෙකෙන් එකක් වන ‘‍‍ඔෟෂධ’ ව්‍යාපාරයේ දී පමණක්ම නොවේ. තවත් බොහෝ ව්‍යාපාරවල නොහොත් කර්මාන්තවල නව නිර්මාණ බිහි කිරිමේදී බිලි-බෝයි සහයෝගය අවශ්‍ය වේ. ‘නියමු ආයතන’ ලෙස වඩාත් සිත් ගන්නා ලෙස හඳුන්වන්නේ මෙම බිලි-බෝයිවරුන්ය. වඩාත් තේරුම් ගැනීමට නැවතත් නිදසුනක් සලකා බැලුවහොත්, පසුගිය දිනවල ලංකාවේ ‘ගෘහාශ්‍රිත සංචාරක’ කර්මාන්තය ක්‍රියාත්මක කිරීමේ සක්‍යතාවය පරීක්‍ෂා කිරීම සඳහා බිලි-බෝයිවරුන් කිහිප දෙනෙක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූහ. ඔවුන්ගේ ඉදිරිපත් වීම හා කැප කිරීම වෙනුවෙන් ඔවුන්ට යම් යම් ප්‍රතිලාභ හිමි වුවත් එම ව්‍යාපාරයේ සාර්ථකත්වය මෙම බිලි-බෝයිවරුන්ගේ වර්තමාණ තත්වයෙන් ම තේරුම් ගත හැකියි.

සිව්වන ජවනිකාව෴

තොරතුරු හා සන්නිවේද තාක්‍ෂණ කර්මාන්තයේ ද මෙම නියමු වැඩසටහන් එමට දක්නට ඇත. කිසියම් කාර්යයක් සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය යොදා ගැනීම පිණිස පරිගණක වැඩසටහන් නිර්මාණය කිරීමේදී එම පද්ධතියේ ක්‍රියාකාරිත්වය සැබෑ තත්ත්ව යටතේ පරීක්‍ෂා කර බැලීම සඳහා යොදා ගන්නේ නියමු ආයතනය. නුහුරු-නුපුරදු දෙයක් භාවිතා කිරීමේ අපහසුතාවයට අමතරව නව පද්ධතිය අසාර්ථක වීම හේතුවෙන් ‘අල්ලපු අත්ත හා පය ගහපු අත්ත’ යන දෙකම නැතුව යාමේ අවදානමට පවා මුහුණ දීමට මෙම නියමු ආයතන වලට සිදු වේ. එබැවින් ඔවුන් පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් සිටිමින් උපරිම සාධාරණයක් ඉටු කිරීම, අදාල ව්‍යාපෘතියේ අයිති කරුවන්ගේ වගකීම හා යුතුකම වන්නේ.

පස්වන ජවනිකාව෴


ඉහත ජවනිකා සියල්ල එකට ගෙන සලකා බැලීමේදී පෙනී යන්නේ හෝ අවාසනාවට පෙනී නොගියත් තේරුම් ගත යුත්තේ, බිලි-බෝයිලා කෙතරම් අහිංසක වුවත්, එසේම ඔවුන්ට උපරිමයෙන් සැලකිය යුතු වුවත් ප්‍රමුඛ පරමාර්ථය වූ ව්‍යාපෘතියේ අවසාන ප්‍රතිඵලයට අහිතකර ලෙස බලපානු ලබන අවස්ථාවන් නම් කෙසේවත් ලබා නොදිය යුතු බවයි. එසේ වුවහොත් අවාසනාවන්ත වන්නේ බිලි-බෝයි නොව අදාල ව්‍යාපෘතියේ අයිතිකරුය. 

Sunday, 8 December 2013

මගුල් ලකුණ

මෙන්න කියවන්න, මගුල් ලකුණ ...... ස්වස්තික දෙකය, සිරිවස දෙකය, නදවට දෙකය, සෝවැති දෙකය, අවතංස දෙකය, වර්‍ධමාන දෙකය, භද්‍රපීඨ දෙකය, ප්‍රාසාද දෙකය, තෝරණ දෙකය, ශ්වේතච්ඡත්‍ර දෙකය, ඛඞ්ග දෙකය, තාලවෘන්ත දෙකය, මයුරහස්ත දෙකය, චාමර දෙකය, උෂ්ණීෂ දෙකය, මණි දෙකය, සුමනදාම දෙකය, නීලෝත්පල දෙකය, රක්තෝත්පල දෙකය, රක්තපද්ම දෙකය, ශ්වේතෝත්පල දෙකය, ශ්වේතපද්ම දෙකය, පුන්කලස් දෙකය, පූර්‍ණ පාත්‍ර දෙකය, සමුද්‍ර දෙකය, චක්‍රාවාට පර්‍වත දෙකය, හිමවත් පර්‍වත දෙකය, මහාමේරු පර්‍වත දෙකය, සූර්ය්දෙ මණ්ඩල දෙකය, චන්ර්ෙකෙමණ්ඩල දෙකය, සපරිවාර සතර මහා ද්වීප දෙකය - සපරිවාර සප්ත රත්න දෙකය, චක්‍රවර්ති රාජයෝ දෙ දෙනාය - දක්ෂිණාවෘත්ත ශ්වේතශංඛ දෙකය, ස්වර්ණ මත්ස්‍ය යුගල දෙකය - චක්‍රායුධ දෙකය, සප්ත මහා ගංගා දෙකය - සප්ත මහා සීදන්ත සාගර දෙකය සප්ත මහා ශෛල දෙකය - සප්ත මහා තටාක දෙකය සුපර්ණ රාජයෝ දෙ දෙනාය - සුංසුමාර රාජයෝ දෙ දෙනාය ධ්වජ දෙකය - පතාකා දෙකය ස්වර්ණ පර්වත දෙකය - ස්වර්ණ වාල විජිනි දෙකය කෛලාශ පර්වත දෙකය - සිංහරාජයෝ දෙ දෙනාය ව්‍යාඝ්‍රරාජයෝ දෙ දෙනාය - වලාහක අශ්වරාජයෝ දෙ දෙනාය උපෝසථ හස්ථි රාජයෝ දෙ දෙනාය - වාසුකී නාගරාජයෝ දෙ දෙනාය හංස රාජයෝ දෙ දෙනාය - වෘෂභ රාජයෝ දෙ දෙනාය ඓරාවණ හස්ථිරාජයෝ දෙ දෙනාය - ස්වර්ණ මකර රාජයෝ දෙ දෙනාය චතුර්මුඛ ස්වර්ණ නෞකා දෙකය - වත්සක ධේනුහු දෙ දෙනාය කිම් පුරුෂයෝ දෙ දෙනාය - කින්නරඞගනාවෝ දෙ දෙනාය කුරවීක රාජයෝ දෙ දෙනාය - මයුර රාජයෝ දෙ දෙනාය ක්‍රෞංච රාජයෝ දෙ දෙනාය - චක්‍රාවාට රාජයෝ දෙ දෙනාය ජීවං ජීවක රාජයෝ දෙ දෙනාය - ෂඩ්විධ දිව්‍යලෝක දෙකය ෂෝඩෂවිධ බ්‍රහ්මලෝක දෙකය

නම්පොත කියවමු....!

කියවා තියෙනවාද, නම් පොත? ‍ කියවමු බලන්න... “සගම, පස්ගම, අරත්තන, මාදන්වල, විල්වල, කඩදොර, මොරපාය, දිඹුල, පුසුල්පිටිය, නියම්ගම්පායස්ථානය, වල්වාසගොඩ, සැලව, අරම, මැදිළිය, දික්පිටිය, බම්පනේ, කාරියගම, දඩගමුව, අළුත් නුවර, පරණ නුවර, මාවෙල, මාකඩවර, හිඟුල, කප්පාගොඩ, පදීදොර, උතුරාවල, අම්බුළුගල, දනගිරිගල, වාගිරිගල, ලෙනගල, අලවතුර, වතුර, මාකුරාව, කවුඩුගම, බිසෝවෙල, දැදිගම, අරන්දොර, දොරවක, මඩබඩවිට, තොටගෙදර, මදුරුපිටිය, අත්තනගල්ල, ඌරුවෙල, ගොඩගෙදර, දොරණෑගොඩ. යටවත්ත, රාගම, මීගමුව, දඹදෙණිය, බෙලිගල, නවගමුව, බමුණුගම, වට්ටාරම, වතුදෙණිය, පුහුරිය, ගල්බඩගම, කොල්ලූර, ඔකඳපළ, උඩපළ, අල්ගම, නව‍කෙළගමුව, ඇත්කඳ විහාරය, කුරුණෑගල, කුරුවෙණියාගල, ආඳාගල, ඉබ්බාගල, යක්දෙස්සාගල, නාථගම, සංවැල්ල, කඩිකාව, මලගණේ, කබල්ලෑලෙන, නියඳවනේ, නාගල විහාරය, රැස්වෙහෙරුව, තලන්ගමුව, පෙරියකඩුව, දිසාපති නුගය, කඩුදෙවොල, බෝමිරිය, කෙහෙල්බටුවාව, අතුරුගිරි විහාරය, දෙනගමුව, දෙල්ගමුව, බටුගෙදර, දෙනවක, සබරගමුව, ගිලීමලය, සමන්තකූට පර්වගතය, දිවාගුහාව, බල්ලාහෙල, සිඳගල, කළුගමුව, ගංගාතිලක විහාරය, කුඹුල්ඔළුව, අලුදෙණිය, කොටකේදෙණිය, ඉලුපැන්දෙණිය, සේන්දෙණිය, නිග්ගම්මන, අරත්තන, සන්තානාගොඩ, වේගිරිය, ඇම්බැක්ක, වටදාගෙය, දැලිවෙල, ගඟුල්දෙණිය, උරුලෑවත්ත, කොටබෝගොඩ, රම්මුංගොඩ, තෙල්දෙණිය, මැණික්දිවෙල, මොනරාගොඩ, කොළුගල, වල්ගම්පාය, දම්තොටවතුර, සියඹලාගොඩ, දොඩම්වල, දියකෙළිනාවල, සූරියගොඩ, කොබ්බෑකඩුව, ගන්නොරුව, කුළුගම්මන, මාගම්මන, අත්තරගම, මැදවෙල, ගල්ලෑල්ල, දොළපීල්ල, අලවතුගොඩ, කොහොන, තිබ්බොටුවාව, ඇඹිල්ල විහාරය, ආලෝක විහාරය, කුරුවාබෝගම්බර, කඩුවෙල, දුනුවිල, ඇඹෙල, නිත්තවෙල, සිරිමල්වත්ත, අමුණුගම, ගංගාරාම විහාරය, සෙංකඩගල, අළුත් විහාරය, පරණ විහාරය, නාගවිමානය, උපෝසථාරාමය, දේවගිරි විහාරය, සංගමු විහාරය, උතුරුපවු විහාරය, බුජස්ලෙන, යාම්ලෙන, ජයකඩුලෙන, සැඟෑලෙන, කුඹුරුලෙන, රිදීලෙන, රම්බඩගල්ල, දෙල්විට, විල්ගම, අස්ගිරිය, රුසීගම, ඇම්බැක්ක, මිලිලවාණය, බඹාවිහාරය, රන්ගිරිදඹුල්ල, සීගිරිය, කලාවැව, බළල්ලෑව, අනුරාධපුරයෙහි ශ්‍රී මහා බෝධීන් වහන්සේ, ලෝවා මහා ප්‍රාසාද ස්ථානය, මිරිසවැටි විහාරය, අභයගිරි විහාරය, දෙනා නඛය, භගිරි නඛය, රත්නමාලී චෛත්‍යය, ථූපාරාම චෛත්‍ය, මිහින්තලය, අටසැටලෙන, නිතුපත්පාන, සුරුලුමහමුනියාව, මුන්නේස්සරම, ඇත්තල, මක්කම, මන්නාරම, මාන්තෝට්ටම, පොම්පරිප්පුව, මල්විල, දෙමළපට්ටනමෙහි නාගකෝවිල, කදුරුගොඩ විහාරය, තෙලිපොල, මල්ලාගම, මිණිවන්ගොමු විහාරය, තන්නි දිවයින, අග්නි දිවයින, නාග දිවයින, පුවඟු දිවයින, කාර දිවයින, මොල්ලියාවල, ත්‍රිකුණාමලය, විල්ගම්වෙහෙර, තිස්ස මහ වෙහෙර, ඉලන්දගොඩ, කදුරුකෝට්ටයෙහි ඇතුබඳය, ලඞකාතිලකය, ගඩලාදෙණිය, විජයොත්පාය, අභයගිරි විහාරය, ජේතවන විහාරය, කපිල විහාරය, ඉසිපතනාරාමය, කුසිනාරාරාමයේ සිටිපිළිම ගෙය, පූර්වාරාමය, දක්ෂි ණාරාමය, පශ්චිමාරාමය, උත්තරාරාමය, සළුමිණිසෑය, සිළුමිණිසෑය, දෙමළ මහ සෑය, පොළොන්නරු විහාරය, සුළුන්නරු විහාරය, සිතුල්පවු විහාරය, ධනංජය විහාරය, කුකුළුවා විහාරය, දිඹුලාගල් විහාරය, නකා වෙහෙර, මියුගුණා වෙහෙර, සොරොන්නා තොට, බදුලු වෙහෙර, යුදඟනා පිටිය, රුහුණුබද කතරගම, උග්ගල් අළුත්නුවර, තඹගමුව, මුල්ගිරිය, ඔවාගිරි විහාරය, දෙව්නුවරෙහි දිව්‍යරාජ භවනය, ඔත්පිළිම ගෙය, ගල්ගණේ, වැලිගම අග්‍රබෝධි විහාරය, පරගොඩ විහාරය, තොටගමු විහාරය, ගලපාත විහාරය, බෝධිමලු විහාරය, වනවාස විහාරය, බෙම්වෙහෙර, බෙම්තොට, කළුතොට, සොරණ, විසිදාගම, කොතලාවල, රඹුක්කන, පානදුරේ දේවාලය, බෙල්ලන්විල, පැපිළියාන, නාවින්න, විජයාරාමය, සුභද්‍රාරාමය, ජයවර්ධනන කෝට්ටයෙහි ඔත්පිළිම ගෙය, ෂන්මුඛ දේවාලය, කිත්සිරිමෙවන් කැළණිය, රජමහ කැළණිය, වැලිවිට, බොල්ලෑගල, සංවැල්ල, සේවාගම, ශ්‍රී දංෂ්ට්‍රා දළදා මන්දිරය ඇතුළු වූ සියලු විහාර දේවාලයවල අධිගෘහිත දෙවි මහරජාණන් තමනුත්, තමන්ගේ සහාය පිරිවර දෙවියනුත් සන්දෘෂ්ට සම්භක්ත දෙවියනුත්, උපවෙනෙහි දෙවියනුත්, නොහැර කැඳවාගෙන මඞගල සූත්‍රාදී බණ අසනු පිණිස ඊම සමග මහා සඞ්ඝයා වහන්සේට අභිමත දෝ, අභිමත දෝ, අභිමත දෝ ! අභිමත යි, අභිමත යි, අභිමත යි! සමග මහා සඞඝයා වහන්සේ සඟ ව වදාළ මෙහෙවර සඞඝාණත්තිය නූගුළුවා ඉයැ යුතු.”

Friday, 10 May 2013

‍මෛත්‍රී භාව නාව

කොටින්ම කියනවානම්..... 'මෛත්‍රිය' යන්නෙහි විරුද්ධාර්ථය 'වෛරය' වන්නේය. වෛරයට බොහෝ බහුශ්‍රැත අර්ථනිරූපන තිබියදීත්, 'අන් අයෙකු විෂයෙහි තම සිත තුළ ඇතිවන නොපහන් හැඟීමක්' ලෙස සරලවම වෛරය අර්ථ දක්වන්නට කැමැත්තෙමි. ඒ එසේනම් 'මෛත්‍රිය' වන්නේ 'අන් අයෙකු විෂයෙහි ඇතිවන්නාවූ පහන් හැඟීමක්' ලෙස නිර්වචනය කළ හැකිය. සම්මත 'මෛත්‍රී භාව නාව' මෙසේය. "...මම නිරෝගි වෙම්වා, මම සුවපත් වෙම්වා, නිවන් දකිම්වා. මා මෙන්ම, සියළු සත්වයෝම නිරෝගි වෙත්වා, සුවපත් වෙත්වා, නිවන් දකිත්වා. ..." 'මම නිරෝගි වෙම්වා, මම සුවපත් වෙම්වා, නිවන් දකිම්වා.' (මම නිරෝගී වෙන්න නම්, සුවපත් වෙන්න නම් රෝගී වී සිටිය යුතු වන්නේය.) මේ අනුන් කෙරේ තබා තමන් කෙරේවත් පහන් හැඟීමක් නම් නොවේ. විය යුත්තේ 'මා නිරෝගීය. මා සුවපත්ය යනුවෙන් සිතීමය. එසේ අධිෂ්ඨාන කිරීමය. 'මම නිවන් දකින්නෙමි' යි අදිටන් කර ගැනීමය. එය තමන් කෙරෙහිම ඇති වන්නා වූ පහන් හැඟීමක් වන්නේය. මොහොතක් සිතන්න. තම සිතේ නොපහන් සිතුවිල්ලක් ඇති වී තිබෙන්නේ තමා හොඳින් දන්නා හඳුනන කවුරුන් හෝ විෂයෙහිද? (කිසිවෙකුම කෙරෙහි කිසිම නොපහන් සිතුවිල්ලක් ඇති වී නොමැතිනම් යෙහෙකිය.) තම සිතෙහි කවරෙකු ‍විෂයෙහි හෝ නොපහන් හැ‍ඟීමක් ඇති වී ඇත්නම් පළමුවම කළ යුත්තේ ඒ සිතුවිල්ලෙන් මිදීමය. 'හේ මා කෙරෙහි කෙසේ කටයුතු කළද මගේ සිතේ කිසිදු වෛරයක් නොමැත.' හැකිනම් පහන් සිතුවිල්ලක් ඇති කර ගන්න. 'ඔහුට යහපතක්ම වේව..!' මෙසේ තමා දන්නා සියළුම නොපහන් සිතුවිලි වලින් මිදෙන්න. ඒ අවසන් වී 'සියළු සත්වයන්' ගැන සිතන්න. 'සියළු සත්වයෝම නිරෝගි වෙත්වා, සුවපත් වෙත්වා, නිවන් දකිත්වා.' තම සිතේ නොපහන් සිතුවිල්ලක් ඇති වී තිබෙන්නේ සියළු සත්වයන් විෂයෙහිද? එසේනම් සියළුම සත්වයන් කෙරෙහි පහන් සිතුවිලි ඇති කරගත හැකිය. ඒ සඳහා පළමුවම කළ යුත්තේ නොපහන් සිතුවිල්ලෙන් මිදීමය. 'සියළු සත්වයෝ මා කෙරෙහි කෙසේ කටයුතු කළද මගේ සිතේ කිසිදු වෛරයක් නොමැත.' දැන් පහන් සිතුවිල්ලක් ඇති කර ගන්න. 'සියළු සත්වයන්ට යහපතක්ම වේවා..! නිරෝගි වේවා. සුවපත් වේවා. නිවන් දකිත්වා...!' නිවැරදි මෛත්‍රී භාවනාව එයයි. කොටින්ම කියනවානම්.... මෛත්‍රී භාවනාවේ ප්‍රථිඵලය අනුන්ට නොව තමන්ටමය. අද සිටම දවසකට එක් අයෙකුවත් තෝරාගෙන - සිටීනම් තමන් කෙරෙහි කිසියම් නොපනත්කමක් කළ අයෙක්නම් වඩාත් අගනේය; 'හේ මා කෙරෙහි කෙසේ කටයුතු කළද මගේ සිතේ කිසිදු වෛරයක් නොමැත.' යනුවෙන් සිතන්න. සමස්ථ ප්‍රථිඵලයම ඔබටය. ඔහුට ඇත්තේ ඔබෙන් සිදුවිය හැකි අවැඩක් නොසිදු වීමේ වාසිය පමණයි. (නොඑසේනම් සියළු සත්වයෝ සුවපත් වී බොහෝ කල්ය.)

Saturday, 12 January 2013

දොම්පෙට යන පාර හෙවත් e Hospital - Dompe ඔස්සේ ......

පළමුවම විනාඩි 10ක් වැය කරන්න පුළුවන්ද හිතන්න.....
පුළුවන්නම් බලන්න........



දැන් හිතන්න.....
ඔබේ රෝහලේත් මේ අවම පහසුකම්වත් තියෙනවාද...?
ඔබත් හිතනවානම් "ඔව් අපටත් ඕනෙ" කියල.... අපි කතා කරල බලමු....!

ඔබත් හිතන්න....
මේ තත්වය තවත් වැඩි දියුණු කර ගන්න ඔබටත් යමක් කරන්න හිතෙනවානම්.....
ඔව් අපි එකතු වෙලා ඒ දේ කරමු...!
උදාහරණයක් විදිහට:
SMS එකකින් හරි කොල් එකකින් හරි වෙලාවක් අරගෙන OPD එකෙන් බේත් ගන්න එන්න අවස්ථාව ලබා දෙන්න.....
නැත්නම්, නේවාසිකව ප්‍රතිකාර ගන්න එන හැම රෝගියෙක්ටම වෙනම වැසිකිලියක් ලබා දෙන්න...
හදිසි අසනීපයකදී රෝහලට යන්න ගිලන් රථයක් ගෙන්න ගන්න....
ඔබත් හිතනවානම් "ඔව් අපටත් පුළුවන් උදව් කරන්න" කියල.... අපි කතා කරල බලමු....!

Saturday, 10 November 2012

සභාවෙන් අවසරයි!

කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක, ක්‍රිපිටක වාගීස්වරාචාර්ය මහෝපාධ්‍යාය පණ්ඩිත අතිපූජ්‍ය වැලමිටියාවේ ධර්ම කීර්ති ශ්‍රී කුසලධම්මාභිධාන නාහිමිපාණන් වහන්සේ හා දොම්පෙ ගණේගොඩ ශ්‍රී සාරානන්ද මහා පරිවේනාධිපති, දොම්පෙ ගණේගොඩ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම මහා විහාරාධිපති, බුද්ධ ශාසන කීර්ති ශ්‍රී ,ත්‍රිපිටක ධර්මවේදී, සිරි සුගතවංසාලංකාර, සියනාදී සිව් කෝරළයේ ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රවේදී පූජ්‍ය දන්දෙණියේ ජිනවංසාභිධාන නාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයෙන් අවසරයි! දොම්පෙ ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා ප්‍රමුඛ, නියෝජ්‍ය අමාත්‍යතුමන්, පළාත් සභා මන්ත්‍රීතුමන්ලා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමන්ලා ඇතුළු මහජන නියෝජිත වරුනි, මස්සක්වත් නොවටිනා, අල්ලක් තරම්වත් නොවනා, බිම් කඩකටත් එක බඩවැල කඩාගෙන විත් එක පොළවේ වැලි කෙලී සොහොයුරා පවා මරා ගන්නා යුගයේ ලස්ස ගනනක් වටිනා භූමියක් 'ශ්‍රද්ධ්‍යාංශපූර්වංගමත්‍යාග චේතනාවෙන්' පූජා කොට පැතුවා වූ නිර්මිතය දැකීමෙන් මහත් වූ සොම්නසට පත්ව සිටින්නා වූ සුන්දර ආච්චී ඇතුළු මා දයාබර ප්‍රදේශවාසී ඥාති-මිත්‍රාදීවරුනි, අපේරෑන සමාජ සංස්කෘතික සංහිදේ නිර්මාතෘවර, සිංහල භාෂාව පිළිබඳ ප්‍රවීනාචාර්යය මා හිතවත් ප්‍රියන්ත ධර්මවංශ සොහොයුරා හා අපේරෑන සමාජ සංස්කෘතික සංහිඳෙහි ගරු සභාපති ධුරන්දර මහේෂ් රාජපක්‍ෂ සොහොයුරා ඇතුළු මා දයාබර සොහොයුරනි, සොහොයුරියනි, සම්ප්‍රදායානුකූලව මෙවන් උත්සවයක පිළිගැනීමේ කථාව පවත්වනු ලබන්නේ සභාපතිතුමන් වුවත්, අපේරෑන සමාජ සංස්කෘතික සංහිදේ ලේකම් වන මට මේ අවස්ථාවේ පිළිගැනීමේ කථාව පැවරුවේ යම් විශේෂත්වයක් නිසා බව විශ්වාස කරනවා.
මීට මාස කිහිපයකට පෙර දිනක සවස, මම රාජකාරි අවසන් කරල ගෙදර එන අතර, ප්‍රියන්ත ධර්මවංශ මට දුරකතනයෙන් කතා කර ඇසුවා "පොඩි වැඩකට මුණගැහෙන්න පුළුවන්ද" කියල. කොච්චර මහන්සි වෙලාවක් වුණත් ප්‍රියන්ත අයියට බෑ කියන්න බෑනෙ. මම ගෙදරට ගිහින් ටිකකින්, ප්‍රියන්ත අයියගේ කාරෙක පිටිපස්සෙන් ත්‍රී රෝද රථ හා යතුරු පැදි රෑනකුත් ආවා. මම ඇහුව ප්‍රියන්ත අයියගෙන් මේ රෑන කවුද කියල. "ඒ අපේරෑන" කියල කිව්වා.
"අපේරෑන කට්ටිය අවුරුදු 15ක් තිස්සේ රබර් කඩේ හන්දියේ බුදුපිළිමයක් තියන්න බලාපොරොත්තුවෙන් හිටියා. අද තමා ඉඩමක් හම්බ වුණේ. සුන්දර ආච්චි දුන්න ඉඩමක්. දැන් අපිට ඕනෙ ලස්සන සැලැස්මක්. අනිත් කාරණය තමා මේක ලංකාවේ එකම එක වෙන්න ඕනෙ. පස්සේ පළමු එක වෙයි, හර්යට අර සිරස වගේ, අපේරෑනයි පාර කියන්නේ කියන අභිමානය අපිට ඇති වෙන නිර්මාණයක් කරන්නයි අපේ කැමැත්ත. ඒකයි බන්දුල මල්ලි හොයාගෙන ආවේ." ඔන්න ඔය වගේ කථාවක් දිග ඇරෙන්න වුණා. මාව තෝර ගන්න හේතුයි, මෙතෙන්ට බුදු පිළිමයක අවශ්‍යතාවය ගැනයි බරපතල පැහැදිලි කිරීම් සිද්ධ වුණා. ඒත් හන්දිවල, පාරවල් අයිනේ තියෙන බුදු පිළිම ගැන මට තියෙන්නේ හොඳ හැගීමක් නෙමේ. ඉතින් මම කොහොමද ඒ වගේ දේකට සම්බන්ධ වෙන්නේ...! තව දවසකට සාකච්ඡාව කල් දැම්ම. එදා වෙනකම් මම කල්පනා කළා, මම කොහොමද මේ ගැටළුවට මුහුණ දෙන්නේ කියල.
අවසානයේ මම තීරණයකට ආවා. ඊළඟ දවසේ සාකච්ඡාවේදී මම පැහැදිලි කළා මගේ ස්ථාවරය. ඒය ඇසූ 'අපේ රෑන' වහ වහාම තපස්සු බල්ලුක දෙබෑයන්ගේ චෛත්‍ය කර්මාන්තයෙන් පටන් අරගෙන වසර දෙදහස් ගානක් තිස්සෙ පවතින අපේ නිර්මාණ සංස්කෘතියේ තවත් සංධිස්ථානයක් විය හැකි නිර්මාණයක් කරන්නට එකඟ වුණා. අපේරෑන කණ්ඩායම වෙනුවෙන් බුදු පිළිමයක් නිර්මාණය කිරීම සඳහා එකඟ වීමෙන් පසුව මාගේ කාලය වැය වුණේ ඊට අදාල අධ්‍යනය කටයුතු සඳහායි. මාගේ පළමු අවධානය යොමු වුනේ නිර්මාණය සඳහා යොදා ගන්නා මාධ්‍ය පිළිබඳවයි. එක් මොහොතද සිතුවා සම්පූර්ණ වීදුරු නිර්මාණයක් ගැන. අති නවීන තාක්‍ෂණය යොදා ගනිමින්, ප්‍රකාශ තන්තු ආධාරයෙන් කරන වර්ණවත් බුදු පිළිමයක් ගැන හිතුවා. මේ ආකාරයට විවිධ මාධ්‍ය ගැන අධ්‍යනය කරල අවසනෙයේ ශෛලමය බුදු පිළිමයකට යන්න තීරණය කළා.
ඊළඟ අවධානය බුදු පිළිමයේ ඉරියව්ව පිළිබඳවයි. මට බාර දුන්න අභියෝගය නැවතත් මතක් වුණා. 'ලංකාවේ පළමු එක!'. මංසන්ධිවල ඇති සෑම බුදු පිළිමයක්ම පාහේ හිඳි පිළිම. එසේනම් වෙනස් ඉරියව්වක් නිර්මාණය කළොත් එය බොහෝ විට 'ලංකාවේ පළමු එක!' විය හැකියි. ඒත් ඒ වගේ දුර්වල උපක්‍රමයකින් මාගේ අභියෝගය ජය ගැනීම මට ප්‍රමාණවත් නොවන බව මම විශ්වාස කළා. ඒ වගේම අපි හිටි පිළිමයක් ගැන බැලුවොත් මෙවැනි තැනක සිදු කළ හැකි නිර්මාණයේ ප්‍රමාණය අනුව පිළිමයේ මුහුණ ඉතා කුඩා වනු ඇත. එය මාගේ තවත් ඉලක්කයක්; ඒ මොකක්ද කියල තව ටිකකින් කියන්නම්, කඩා වැටීමට හේතු විය හැකියි කියල මට හිතුනා. ඒ නිසා හිඳි පිළිමයක් හෝ සැතපෙන පිළිමයක් යන විකල්ප දෙක ඉතිරි වුණා. ඔබ කවුරුත් දන්නා පරිදි සැතපෙන පිළිමයේ ආකාර ‍දෙකක් තියෙනවා. පරිනිර්වාන මංචකය හා සැතපී සිටිනා ඉරියව්ව. ඒ ඉරියව් දෙකම නැවතත් මාගේ තවත් ඉලක්කයකට; ඒකත් කියන්නම්, එරෙහි වෙන බව තේරුණා. මේ අනුව අවසන් තීරණය හිඳි පිළිමයක්.
මීට ප්‍රථම මෙවැනි නිර්මාණශීලී කාර්යයකට මට දායක වන්න අවස්ථාව ලැබුණේ මේ අල්ලපු වැටේ තියෙන අපි කාගෙත් මහා විහාරයේ අපේ නායක හාමුදුරුවන්ගේ ඉල්ලීම අනුව, ගනේගොඩ පන්සලේ ඉදි කළ චෛත්‍යරාජයානන් වහන්සේ නිර්මාණය කිරීමේදීයි. ඒ චෛත්‍ය කර්මාන්තයේ එක් අංගයක් වුණේ අටවිසි බුදුරජානන් වහන්සේලා නිර්මාණය කිරීම. එහිදී අපි කළේ ලංකාවේ තිබෙන්නා වූ හිඳි පිළිම 28ක අනුරූ නිර්මාණය කිරීමයි. මම හිතන්නේ අපේ මහානායක හාමුදුරුවෝ මෟට මොහොතකට පෙර පන්සලට වැඩම කළ අවස්ථාවේදී ඒ පිළිම දැකබලා ගන්නට ඇති. ඒ සඳහා බුදු පිළිම තෝරා ගැනීමේදී ලංකාවේ තිබෙන්නා වූ හිඳි පිළිම 59ක් පමණ අධ්‍යනය කළා. ඒ අවස්ථාවේ දී ලැබුණු දැනුම මෙම නිර්මාණයට මට ලොකු පිටු බලයක් වුණා.
ඊළඟ අභියෝගය පිළිමය නෙලීම සඳහා ශිල්පියෙක් තෝරා ගැනීමයි. අපේරෑන මල්ලිලාගේ ත්‍රීරෝද රථ පෙළට පිංසිද්ද වෙන්න අපිට නිර්මාණ ශිල්පීන් සොය සොයා ලංකාව පුරාම යන්න අවස්ථාව උදා වුණා. එක එක ආකාරයේ ගල් වඩුවෝ රාශියක් මුණ ගැසුනත් අපිට අවශ්‍ය දේ අපි කියන විදිහට කරල දෙන්න කැමති, දෙන්න පුළුවන්, නිර්මාණශීලී හා නම්‍යාශීලී එකම පුද්ගලයයි අපට හමු වුණේ. ඒ නිසා අපි නොපැකිලවම ඒ විකල්පය තෝරා ගත්තා. ඒ ගම්පොල ප්‍රදේශයේ කැටයම් වැඩපොලක ප්‍රධාන නිර්මාණ ශිල්පියා ලෙස කටයුතු කරන කොස්තා මහත්තයා. එයාගේ ගම නම් මේ මොරටුව හෝ රත්මලාන පැත්තේ. මට හරියටම මතක නෑ. කෙසේ වුවත් ඔහුගේ නම්‍යශීලී දැක්ම මාගේ නිර්මාණයට අවශ්‍යයම සාධකය බව අපි තේරුම් ගත්ත. තව වැදගත් කාරණයක්; මේ වැඩපොල; ලක්ප්‍රිය ට්‍රේඩ් සෙන්ටර් හිමිකරු ගුනරත්න මහත්මාගේ ව්‍යාපාරික ස්වරූපය අපිට වෙනත් තැනක් සොයා යන්නට ඉතුරු කළේ නෑ. ඔහු ඒ තරමටම සාධාරණ ව්‍යාපාරිකයෙක්.
අතිපූජ්‍ය නාහිමිපාණනි, මා දයාබර මිත්‍රවරුනි, මාගේ ඊළඟ අවධානය යොමු වුණේ බුදු පිළිමය තැම්පත් කරන ස්ථානය සකස් කරන්නේ කෙසේද යන්න පිළිබඳවයි.
බුදු පිළිම නිර්මාණය ජීවමාන බුදු සමයටම දිවයන බවටයි විශ්වාස කරන්නේ. ඒ අනුමානය කෙසේ වුවත් කවුරුන් හෝ බුදුරජානන්වහන්සේගේ රූපය නිර්මාණය කරන්නේ සැබැවින්ම ජීවමාන බුදුරජානන්වහන්සේගේ ස්වරූපය තමන්ගේ නිර්මාණයේ ආකාර නොවන බව හොදින්ම දැනගෙන බවයි මාගේ විශ්වාසය. එසේනම් එසේ නිර්මාණය කරන බුදු පිළිමයකින් නිර්මිත වන්නේ කුමක්ද? අපේ හාමුදුරුවනේ, මටනම් හිතෙන්නේ මේ නිර්මාණය වන්නේ නිර්මාණයට දායකවන අයගේ හිතේ තියෙන්නා වූ සද්ධාවයි. නැත්නම් භක්තියයි. ඔය හැම ලක්‍ෂණයකින්ම කියවෙන්නේ ඒ සද්ධාවයි. සද්ධාව වැඩි කමට ශරීරාංගවල ප්‍රමාණය පවා විශාල වෙනවා. සද්ධාව වැඩි කමට තව තවත් දේවල් සිද්ද වෙනවා. පළමුවෙන්ම පිළිමය හදනවා. ඊළඟට අවුවෙන් වැස්සෙන් බේර ගන්න වහලයක් ගහනවා. ඊළඟට පින්නෙන් සත්තුන්ගෙන් බේර ගන්න බිත්ති බැඳල ජනෙල් දොරවල් දානවා. ඊළඟට දූවිල්ලෙන් ආලෝකයෙන් බේර ගන්න තිර රෙදි දානවා. අන්තිමට සොර සතුරන්ගෙන් බේර ගන්න ඉබි යතුරු දානවා. සද්ධාව නිසාම නිර්මාණය කරපු බුදු පිළිමය සද්ධාව වැඩිකමටම තමන්ගෙන් ඈත් කර ගන්නවා. අඩුම ගානෙ අවුරුද්දකට එක වතාවක් වත් දකින්න ලැබෙන්නේ නෑ. යන එන වෙලාවක හැරිල බැලුවත් පේන්නේ කූඩුවක් තමා.
ඒ නිසා මම තීරණය කළා නිරාවරණය වුණ පිළිමයක් නිර්මාණය කිරීමට. මේ තීරණය ගන්න මට ගොඩක් උපකාරී වුණා, මේ වන විට ජපානයේ ජීවත් වෙන ජ්‍යේෂ්ඨ වරලත් වාස්තු විද්‍යාඥයෙක් මෙන්ම කීර්තිමත් ලාංකිකයෙක් වූ මාගේ හිතවත් කැසීන් මොන්ටි මහාචාර්තුමාගේ අත් දැකීම් හා අදහස්. අද මේ ස්ථානයට පළමු වතාවට වැඩම කරන ලැබුවා වූ, අතිපූජ්‍ය වැලමිටියාවේ ධර්ම කීර්ති ශ්‍රී කුසලධම්මාභිධාන නාහිමිපාණන් වහන්සේට දැනුනා සේම, මේ පිළිම වහන්සේ තැම්පත් කර ඇති ආකාරය දකින දකින වාරයක් පාසා සෑම කෙනෙකුටම සිතෙනවා සේම, මාගේ අදහස මේ අපේරෑනට ඉදිරිපත් කළ විට ඒ සැමටත් දැනුනා-හිතුනා නියතයි මෙහෙම, "ඒකනම් ඒ තරම් හොඳ නෑ; මොනව වුණත් අඩුම ගානෙ බුදුහාමුදුරුවෝ තෙමෙන්න දෙන්න හොඳ නෑ" කියල. එහෙම නේද? ඒත් අති බහුතරකට එහෙම හිතුනත්, මේ නම්‍යශීලී හා ප්‍රවර්ධනාත්මක අදහස් වලින් පිරුණ කොල්ලො කෙල්ලො ටිකට මගේ සංකල්පය තේරුම් කරල දෙන්න ඒ තරම් වෙහෙසක් දරන්න වුනේ නෑ. ඒ අනුව රබර් කඩේ හන්දියේ, පරිසරයට නිරාවරණය වූ බුදුපිළිමයක් තැම්පත් කිරීමට අපට හැකි වුණා. අපි අපේ හිතුවක්කාර කමට මෙහෙම දෙයක් කළත්, අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ අනුමාන කළා වගේම, බැරිවෙලාවත් අයාලේ යන කපුටෙක්, මස් වැදැල්ලක් අරනෙ ඇවිත්, බුද්ධ ශීර්ශයේ හෝ උරහිසේ වැහුවොතේ කුමක් කරන්නද? ඒ ගැනත් අපේරෑන නිර්මානාත්මකව සිතුවා. මේ වගේ අවාසනාවන්ත හේතුවක් නිසා පිළිම වහන්සේගේ මතුපිට කිලිටි වුවොත් වහාම නානුමුර මංගල්ලයක් පවත්වන්න අපි තීරණය කළා.
ඊළඟට මට අවශ්‍ය වුණා විශේෂ ආකාරයේ පිළිම ගෙයක් නිර්මාණය කරන්න. ඒ අනුව මම හිතුවා ලංකාවට අනන්‍ය වූ කිසියම් වූ නිර්මාණයක ආකෘතියකට අනුව පිළිම වහන්සේ තැම්පත් කරන ස්ථානය සකස් කරන්න. මාගේ හිතේ ඇඳී තිබුණේ පොළොන්නරුවේ තිබෙන්නා වූ නෙළුම් පොකුණයි. එය පිළිම ගෙයක් නොවේ, එය බො‍හෝ විට නාන පොකුණක් විය හැකියි. සමහර විට ගිහි නාන පොකුණක් විය හැකියි. එහෙත් ඒ නිර්මාණයේ, නිර්මාණ කරණයේ තියෙනවා අපටම, අපේ කලාවන්ටම සුවිශේෂ වූ ලක්‍ෂණ රාශියක්. එහි අපේ කලා නිර්මාණාවලියේ අනන්‍යතාවය හොඳින් ගැබ්ව ඇති බවට මා විශ්වාස කළා. අදවන විට නෙළුම් පොකුණ අපි අතර ජනප්‍රිය වචනයක් වුණත් මේ තීරණය ගන්නා කාලයේ නෙළුම් පොකුණ ගැන නොදන්නා බොහෝ දෙනෙක් අප අතර සිටියා. කෙසේ වෙතත් මාගේ අදහස් ඉදිරිපත් වුණු විට කවුරුත් නෙළුම් පොකුණ බලන්න යන්න එකඟ වුණා. අපි වහාම ගියා පොළොන්නරුවේ, නෙළුම් පොකුණේ මිනුම් ගන්ත. ඒ මිණුම්වලට සමානුපාතිකව මෙම ස්ථානයේ නෙළුම් පොකුණක් ඉදි කරන්න අපේ ගමේ තරුණ නිර්මාණ කරුවන්ට හැකි වුණා. නෙළුම් පොකුණෙන් මතු වී නෙළුම් දන්ඩක අගිස්සේ වූ නෙළුම් මලක් බඳු වූ ආසනයක බුදුරජානන්වහන්සේ වැඩ සිටිනෙ ආකාරය නිර්මාණය කිරීමට අපට හැකි වුණා.
මාගේ කථාවේ, මට මතක විදිහට අවස්ථා දෙකකදීම, පසුව පැහැදිලි කිරීම් කරන්න පොරොන්දු වුණා. ඒ වෙන දෙයක් නෙමේ. මේ පිළිම වහන්සේ මෙම ස්ථානයේ ස්ථාපනය කිරීම නිසා ඇති වියහැකි, ඇතිවිය යුතු සමාජ විපර්යාස පිළිබඳව ඉලක්ක. මෙතෙනට මේ ඇවිත් ඉන්න හා නොපැමිණි, මේ ප්‍රදේශයේ කවුරුවත් මා සමග අමනාප වෙන එකක් නෑ මෙහෙම කිව්වට, රබර් කඩේ හන්දිය හරහා එහා මෙහා වෙන්නේ සුන්දර දර්ශන පමණක්ම නොවන බව මේ අවට ඉන්න අපි කවුරුත් හොඳින් දන්නවා. මේ තත්වය යහපත් පැත්තට බර කරන්න මේ නිර්මාණය හරහා අවස්ථව උදාකර ගැනීම අපේ තවත් ඉලක්කයක් වුණා. යම් පුද්ගලයෙක් කිසියම් වූ විසම තත්වයකට පත් වෙලා, විසම හැසිරීමකින් මේ ස්ථානය පසු කරන්නට ආවොතින්, තමා දෙස විමසිල්ලෙන් බලා සිටිනා බුදු නෙත යම් වෙනසක් කරාවියැයි අපි විශ්වාස කළා. තමන් ඉදිරියේ, අහසේ පළඟ බැඳ වැඩ සිටිනා බුදුරජානන් වහන්සේ තමන්ව ආමන්ත්‍රණය කරනවා යන හැඟීම ඇති කළ හැකි යැයි අපි විශ්වාස කළා. තමා දෙසට යොමු කර සිටින්නා වූ වරද මුද්‍රාවෙන් වූ බුද්ධ හස්තය, තමාව ප්‍රශ්න කරන බව හැඟී යාවියැයි අපි විශ්වාස කළා. තමන්ගේ සිතේ ඇති වූ විසම තත්වයට විසඳුම ඇත්තේ තමන්ගේ සිතේමයැයි තථාගත බුදුරජානන්වහන්සේ දේශනා කරන බව, තමා දෙපා මුලට යොමුකළ භූමි ස්පර්ෂ මුද්‍රාවෙන් යුක්ත වූ මේ නිර්මාණය දෙස නෙත් යොමා සිටනා ඕනෑම කෙනෙකුට දැනේවියැයි අපි විශ්වාස කළා. බලාපොරොත්තු වුණා. අපේ ඒ විශ්වාසය, බලාපොරොත්තුව යතාර්ථයක් බවට පත් වූ බව අපට පසක් කර දිය යුත්තේත් මා දයාබර ප්‍රදේශවාසී මිත්‍රවරුනි, ඔබලාමයි. අතිගරු නායක හාමුදුරුවනේ, අද මේ ස්ථානයට පැමිණි මාගේ පියාණන් ඇතුළු බහුතරයකගේ එකම අභිලාෂය මාගේ මේ නිර්මාණය විවෘත කරන අවස්ථාවට සහභාගි වීම පමණක් නොවන බව මා පුද්ගලිකවම දන්නවා. එපමනදු නොවේ. ඒ මාගේ මේ කථාවට සවන් දීම නොවන බවත් මා හොඳින්ම දන්නවා. එසේ දැන දැනත් තව දුරටත් ඔබ වහන්සේගේ වටිනා කාලය වැය කිරීමටවත්, මා පියාණන් ඇතුළු සැමගේ සුන්දර බලාපොරොත්තුව වූ ඔබ වහන්සේගේ දේශනයට සවන් දීමේ මොහොත තව දුරටත් කල් දැමීමටවත් මම බලාපොරොත්තු වෙන්නේ නෑ.
එබැවින් මාගේ ජීවිතයේ කිසි දිනක මාගෙන් ඈත්ව නොයනා සුන්දර අත්දැකීමක්, සුන්දර මතකයක්, සුන්දර අභිමානයක් වූ මෙම සුන්දර නිර්මාණය සිදු කිරීම සඳහා මා හට මේ සුන්දර අවස්ථාව උදාකර දුන් සුන්දර ආච්චී ප්‍රමුඛ සෑම සියළු දෙනාටම මාගේ ශීර්ෂ ප්‍රනාම ස්තුතිය පුද කරමින් මාගේ කථාව අවසන් කරනවා. ඔබ සියළු දෙනාටම අජරාමර නිවන් සුවයම අත් වේවා!

ගෝලයාගේ වග...!

ඔබ ඔබගේ ගෝලයාව, ඔබගේ අමුත්තෙක්ට හඳුන්වා දෙන්නේ කෙසේද? ඔබ බලාපොරොත්තු වන්නේ 'ඉහල තැනක්නම්', ඔබ ඔබේ ගෝලයාව ඉහලින් තබා, අවංකවම අගය කර, හඳුන්වා දෙන්න. ගෝලයාගේ හැකියාවන් ‍පැහැදිලිව ප්‍රකාරශ කර, එය අගය කරන්න. ඔයුට දීමට හැකි ඉහලම තැන ලබා දෙන්න. ඔහුගේ හැකියාවන් හෝ ඔහු ලබා තිබෙන තත්වයන් ගැන කිසිවිටකත් නොසැලකිල්ලෙන් කතා නොකරන්න. ඔහුව ඉහලින් තබන්න. එවිට ඔ‍බේ තත්වය වඩාත් ඉහලට එසවෙනු ඇත. කිමද ඒ ඔබගේ ගෝලයා නිසාය. ඔබ ගෝලයාට වඩා ඉහලින් සිටින නිසාය. සටහන: මෙහි 'ගෝලයා යන්නට, ඔබට දෙවන වන ඕනෑම කෙනෙක්ව ආදේශ කර ගත හැකිය/යුතුය.

Thursday, 4 October 2012

කවුරු හෝ ඔබේ කකුළෙන් අදීද?

කවුරු හෝ ඔබේ කකුළෙන් අදීද? එසේනම් ඔහු සිටින්නේ ඔබේ දෙපා ළඟය. බලන්න ....... ඔබ සිටින්නේ දෙපයින් සිට ගෙනද? ඔබ දෙපයින් සිටගෙනනම්..., කකුලෙන් අදින්නා; ඔබේ ප්‍රධානියා වුවත් ... ඔහු සිටින්නේ ඔබේ දෙපා මුල ඇද වැටීය. සතුටු වන්න..! දැන් ඔබට විකල්ප දෙකකි. 1. ඔහුවත් නැගිටුවන්න - එවිට ඔහු ඔබේ දෙපයින් ඈත් වේවි! සැම විටම ඔහුටත් දෙපයින් නැගී සිටීම උදව් කරන්න; එවිට කිසි දිනක ඔහු ඔබගේ කකුලට ළං නොවනු ඇත. එසේ කිරීමට නොහැකිම නම්; 2. ඔහුගේ අතේ දුරින් ඈත් වන්න - එනම් තව පියවරක් ඉහලට යන්න! ප්‍රවේශම් වන්න; එතැනද තවත් ඇද වැටුනු අයෙක් සිටීමට හැකිය! බලන්න ....... ඔබ සිටින්නේ බිම ඇද වැටීද? නැවතත් ඔබට විකල්ප තුනකි. 1. වහා දෙපයින් නැගී සිටින්න; එවිට දෙකක් සිදු විය හැකිය. එනම්, i. ඔහු ඔබගේ කකුල අතහැර දමනු ඇත. නැත්නම්, ii. ඔහු ඇද වැටීමට ඉඩ ඇත. ප්‍රවේශම් වන්න. ඉහත විකල්පයකට යන්න. 2. ඔහුට අසුවී ඇති ඔබගේ සපත්තුව හෝ කලිසම ඔහුට දී ඔබ ඉවත් වන්න; එය වඩාත් වටින්නේ ඔහුටය. එසේ කිරීමට නොහැකිම නම්; 3. ඔහු ඔබව ඇදගෙන යන තැනට ඔහු සමගම යන්න ඔහු සමග එකඟ වන්න! ඔබටත් ඇවිදගෙන යන්නට හැකි නිසා ඔබව ඇදගෙන යාමට ඔහු වෙහෙස විය නොමැති බව වටහා දෙන්න.

Sunday, 5 August 2012

ඩනිෂ්කගේ දින පොත | Danishka's Diary: කණ්ඩියපිටවැව නාලන්දාවට වල් අලින්ගෙන් තෑග්ගක්

ඩනිෂ්කගේ දින පොත | Danishka's Diary: කණ්ඩියපිටවැව නාලන්දාවට වල් අලින්ගෙන් තෑග්ගක්: පසුගිය කාලයේ රටවටේ විවිධ වැඩසටහන් සඳහා එක් වුවත් ඊයේ පෙරෙදා උන සිදු වීම නම් ලියන්නම ඔන කියල හිතුනා. කණ්ඩියපිටවැව, නාලන්දා පාසලට...

Monday, 9 July 2012

මහවැලියේ ඓතිහාසික වැරැද්ද 2

මහවැලි ව්‍යාපාරයේ පමණක් නොවේ; බොහෝ ජනපද ව්‍යාපාරවල වී ගොවිතැන් කිරීම සඳහා එක් ගොවි පවුලකට කුඹුරු හෙක්ටයාර් එකක් (අක්කර 2.5) හා ගොඩ ඉඩම් අක්කර භාගයක් බැගින් බෙදා දී තිබෙනවා. මේ ප්‍රමාණ මීට වඩා වෙනස් වූ අවස්ථා තිබෙනවා. එහෙත් සාමාන්‍ය ප්‍රමාණය ලෙස මේ හෙක්ටයාර් එක සලකන්න පුළුවන්. මෙලෙස කුඹුරු ඉඩම් ලබා දීම නිසා අක්කර 1,000 ක කුඹුරු ඉඩම් ඇති ප්‍රදේශයකට ගොවි පවුල් 400ක් ඇතුළත් වෙනවා. එසේම බොහෝ ස්ථානවල මෙම කුඹුරු හෙක්ටයාර් 400 ප්‍රමාණය පැතිර පවතින්නේ හෙක්ටයාර් 500කට වඩා වැඩි ප්‍රදේශයක් තුළයි. ගොඩ ඉඩම් ලබා දීමේ රටාව අනුව මෙම පවුල් 400 යේ පැතිරීම විෂම වෙනවා. අධ්‍යනයේදී හඳුනාගත් පරිදි අතිබහුතරයක් ස්ථානවල මෙම පවුල් 400 වර්ග කිලෝමීටර් 4ක් 5ක් පුරා විසිර ජීවත් වෙනවා. මේ ආකාරයට සලකා බැලූ විට පෙනී යන කරුණ නම් මහවැලි ව්‍යාපාරය යටතේ සංවර්ධනය කළ කලාපවල හෙක්ටයාර් 500 ක භූමියෙන් වී අස්වැන්න ලැබෙන්නේ උපරිම හෙක්ටයාර් 400න් පමණි. එනම් 20%ක භූමි ප්‍රමාණයක් පරමාර්ථයෙන් ඈත් වී ඇත. මෙම කුඹුරු හෙක්ටයාර් 400 න් හොඳ අස්වැන්නක් ලැබුණු කන්නයක් සලකා බලන්න. ඊළඟ කන්නය වගා කිරීමට බලපාන සාධක විය හැක්කේ මොනවාද? හොඳ මිලකට වී අලෙවි කර ගන්නට හැකි වූ ගොවියෙකු, තමාට එළඹෙන කන්නය වගා කිරීමට අවශ්‍ය නොවේයැයි තීරණය කළ හැකිය. එසේම ඉතා අඩු මිලක් ලැබුණ ගොවීන්ට වී වගාව 'එපා' විය හැකිය. තවත් අයෙකුට වෙනත් වගාවත් කිරීමට සිත් ඇතිවිය හැකිය. යම් අයෙක් වගා කිරීමට නොහැකි තරම් අසනීප විය හැකිය. කොටසක් පලිබෝධ නාශක රසායන භාවිතා කරද්දී තවත් කොටසක් එයින් වැලකී සිටීමට හැකිය. එක් කොටසක් දෙමුහුන් වී ප්‍රභේද වගා කරද්දී අනෙක් අය 'පැරණි වී' වගා කිරීමට පුළුවන. රසායනික පොහොර යොදන අය, ඓන්ද්‍රීය පොහොර යොදන අය හා පොහොර නොයොදන අය විය හැකිය. සමහරු වැඩිවයස් වී ප්‍රභේද යොදද්දී සමහරු අඩු වයස් වී වගා කරනවා විය හැකිය. වගා කළ ගොවියෙක් අසනීප වීම නිසා හෝ මිය යාම නිසා හෝ කුඹුර විනාශ වීමට ඉඩ ඇත. මේ ආකාරයට මෙම හෙක්ටයාර් 400යේ ගොවි බිමේ 'නිෂ්පාදනය' කෙරෙහි බලපෑම් ඇති කරන තීරණ 400ක් තිබේ. එසේම අස්වැන්නට බලපෑම් ඇති කරනු ලබන එකිනෙකට වෙනස් තීරණ රාශියක් තිබිය හැකිය. මෙම තත්වය යටතේ නිශ්චිත කුඹුරු ප්‍රමාණයක වී වගාවෙන් බලාපොරොත්තු විය හැකි අස්වන්න ඉතා විශාල පරාසයක් තුළ විචලනය විය හැකිය. මෙලෙස ප්‍රමාණවත් නිවරද්‍යතාවයකින් යුතුව අස්වැන්න අනුමාන කිරීම නොහැකි වීම නිසා ඇතිවන අසාමාන්‍ය මිල වෙනස් වීම ඊළඟ කන්නයේ වී අස්වැන්නට බලපෑම් ඇති කරන ප්‍රධානම සාධකය විය හැකිය. මීට අමතරව මෙම 'වී නිෂ්පානදය' හා බැඳී ඇති අනෙක් අවසනාවන්ත තත්වය නම් මෙම වී නිෂ්පාදනය තවත් නිෂ්පාදනයක 'අමුදව්‍යයක්' පමණක් වීමයි. එබැවින් මෙම නිෂ්පාදනයේ මිල නියම වන්නේ අවසාන පාරිභෝගිකයා මත නොව ඊළඟ නිෂ්පාදකයා මතය. ඒ නිසා සැමදා 'වී' මිල අඩුය. 'හාල්' මිල වැඩිය. මහවැලි ගොවියා සහල් හා සහල් ආශ්‍රිත ද්‍රව්‍ය නිෂ්පාදයෙක් වූවානම් ..... මහවැලියේ ඓතිහාසික වැරැද්ද මෙතනය. තනි පුද්ගල නිෂ්පාදන රාශියක් වෙනුවට සමූහ නිෂ්පාදන වැඩපිළිවෙලකට යාමට තිබූ හොඳම අවස්ථාව මහවැලියයි. ඒ අනගි අවස්ථාව අත හැරීම 'මහවැලියේ එතිහාසික වැරැද්ද' යනු මාගේ මතයයි.

Saturday, 7 July 2012

මහවැලියේ ඓතිහාසික වැරැද්ද...

මහවැලියේ සිදු කෙරුන විශාලම වැරැද්ද මොකක්ද කියල කිහිප දෙනෙක්ගෙන්ම ඇහුවා. පුදුමය කියන්නේ හැමෝම දුන්නේ එකම උත්තරය. අනිවාර්යයෙන්ම ඔබගේ සිතෙත් ඒ පිළිතුරම නලියනවා. මම හරි නේද? ඒ නිසා ඒ මොකක්ද කියල මම ලියන්නේ නෑ. ඒත් මගේ තක්සේරුවේ හැටියට ලොකුම වැරැද්ද එය නෙමේ. එහෙනම් මොකක්ද? මහවැලි යෝජනා ක්‍රමයේ ප්‍රධාන ඉලක්ක දෙකක් තියෙනවා. 1. ජලවිදුලිය නිෂ්පාදනය. 2. වී ගොවිතැන. තවත් විවිධ අරමුණු විවිධ මුහුණුවරින් ඉදිරිපත් කළත්, මේ අරමුණු දෙක ඉතා පැහැදිලියි. මහවැලි යෝජනා ක්‍රමය කඩිනම් කළත් නොකළත් අවසාන ඉලක්ක වුණේ ජලවිදුලියයි ගොවිතැනයි. ඉහල මට්ටමේ ජලාශවලින් ජල විදුලිය නිපදවා අවසානයේ මිනිපේ සිට බෙදා හරින (හා පොල්ගොල්ලෙන් හැරී යන) ජලයෙන් මධ්‍යම, උතුරු මැද, නැගෙනහිර හා උතුරු පළාත්වල වී වගා කිරීම සඳහා ජලය ලබා දීම මෙම ව්‍යාපාරයේ අරමුණ වුණා. මෙම අරමුණුවල හෝ ඒ අරමුණු කරා කඩිනමින් ළඟා වීම සඳහා කඩිනම් කිරීම වැරැද්දක් ලෙස මා දකින්නේ නෑ. එහෙනම් මොකක්ද මහවැලියේ සිදු වූ ඓතිහාසික වැරැද්ද? ..............

Sunday, 1 July 2012

රඹුටන් කන්න - දොම්පෙට එන්න

රඹුටන් කිව්ව ගමන් කාගෙත් මතකයට එන්නේ මල්වානයි. එහෙත් අද තෙත් කලාපය පුරාම රඹුටන් වවා ඇත. විශේෂයෙන් ගම්පහ, කොළඹ, කෑගල්ල දිස්ත්‍රික්කවල රඹුටන් වගාව බහුලව දැකිය හැකිය. කෙසේ වුවත් රඹුටන් හා මල්වාන අතර තිබෙන්නා වූ යාවජීව බැඳීම නොබිදී තබා ගැනීමට 'මල්වාන ස්පෙෂෙල්' සමත් වී ඇත. ලංකාවේ රඹුටන් අතර ඉදිරියෙන්ම සිටින්නේ මල්වාන ස්පෙෂල් විශේෂයයි. දීප්තිමත් රතු පැහැති, රවුම් හා රඹුටන් අතර විශාලම ප්‍රමාණයේ ගෙඩි මල්වාන ස්පෙෂල්වල ඇති විශේෂත්වයයි. 2012 වාරය මාගේ මතකයේ හැටියට ලංකාවේ වැඩිම රඹුටන් ඵලදාවක් ඇති වූ වර්ෂය විය යුතුයි. 2011 වර්ෂයේ රඹුටන්වලට දිලීර රෝග ඇති වීම නිසා අස්වැන්න ඉතා අඩු විය. එහෙත් මෙවර දිලීර හානිය පවා ඉතා අවම මට්ටමක පවතී. රඹුටන් අස්වැන්න වැඩි වීම නිසා මිල පවා අඩු මට්ටමක පවතී. මේ දිනවල ඇදහැලෙන නිරිත දිග මෝසම නිසා රඹුටන් ගෙඩි කුණු වීමේ ප්‍රවණතාවක් ඇති වී තිබෙන බව දැනගන්නට ඇත. එසේ වුවහොත් ඉදිරි කාලය තුලදී රඹුටන් මිල වැඩි වීමට ඉඩ තිබේ. ලංකාවේ රඹුටන් නිශ්පාදනයෙන් වැඩි ප්‍රතිශතයක් අලෙවි වන්නේ දේශීය වෙළඳ පොල තුලය. මාගේ අනුමානය අනුව අපනයනය කරනු ලබන්නේ 5%ත් අඩු ප්‍රමාණයකි. ඕස්ට්‍රේලියාව, යුරෝපය, ඇමෙරිකාව, මැදපෙරදිග ආදී රටවලදී දක්නට ලැබෙන්නේ තායිලන්තය, මැලේසියාව වැනි රටවල රඹුටන් නිෂ්පාදන බව දැනගන්නට ඇත. රඹුටන් රටේ ආර්ථිකයට දායක කර ගැනීමට කටයුතු කිරීම අපට ඇති හොඳ අවස්ථාවක් බව මාගේ මතය වේ. ඒ කෙසේ වුවත් මේ කියවන ඔබට දීමට ඇත්තේ වෙනත් පණිවුඩයකි. එනම් රඹුටන් කන්න ඕනෙනම් දොම්පෙට එන්න!. මල්වානේ පැණි රඹුටන් වැඩිපුරම තියෙන්නේ දොම්පෙ ප්‍රදේශයේය. විශේෂයෙන් මල්වාන ස්පෙෂෙල් වැඩිපුරම තිබෙන්නේ දොම්පෙය. දොම්පෙ, දෙකටන, කළුකොඳයාව, මාපිටිගම, කිඹුල්විලවත්ත, ඉන්දොලමුල්ල, මාළිඳ, කපුගොඩ, පූගොඩ ආදී ප්‍රදේශවල මේ දිනවල රඹුටන් 'වැහි වැහලාය'. නිරිතදිග මෝසමේ වැහි තවත් වහින්න පෙර දොම්පෙට ඇවිත් හිතේ ඇති තරම් රඹුටන් කන්න ආරාධනා කරන්නෙමු.

Wednesday, 27 June 2012

දොම්පෙට යන පාර

.... පොඩිහාමිනේ අවුරුදු නිවාඩුවට ගෙදර ආවේ වෙසක් පෝයට පෙර නැවත සේවයට පැමිණෙන පොරොන්දුව පිටය. කෙසේ කීවත් නිවාඩුවට ගෙදර ගිය පොඩිහාමිනේ කියප දිනයට ආපසු පැමිණි අවස්ථාවක් නැති තරම්ය. එහෙත් මෙවර වෙසක් පොහොය දිනට පසු දිනම පොඩිහාමිනේ ආපසු කැඳවාගෙන එන්නට සේදවත්තේ ගේබ්‍රියෙල්; අලුතෙන් ආ රියදුරු ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වූයේ ඇයිදැයි ස්වාමි දුවටනම් අරුමයක් නොවීය. ඒ බව වටහා ගත්තත් නොගත්තත් මහත්තයා වැඩේට එක පයින් අනුමැතිය දුන්නේ ආයා නැති ගෙදර පාළුව දරා ගන්නට බැරි නිසාමය. උදේ පාන්දරම ගල්කිස්සෙන් පිටත් වූ ගේබ්‍රියෙල් මද්දහන් වෙද්දී දෙල්ගොඩ ප්‍රදේශයට සේන්දු වුණත් පොඩිහාමිනේ ගෙදරට යන පාර සොයා ගැනීමට නොහැකි විය. අන්තිමේ පොඩිහාමිනේගේ නිවස පිහිටි දොම්පෙට යන පාර අසන්නට ගිය ගේබ්‍රියෙල්ට සිදු වී දෙය මේ වන විටනම් ලංකාවේ කිසි කෙනෙකුට රහසක් නොවේ. 1900 පමණ කාලයේ දී පවා කොළඹ ජීවත් වූ ඉංග්‍රීසි ප්‍රභූ පැළැන්තියට අවශ්‍ය සේවා සැපයීමට හැකියාව ඇති පිරිස් ජීවත් වූ ප්‍රදේශයක් ලෙසට දොම්පෙ ප්‍රසිද්ධය. දොම්පෙ ආයලා, දොම්පෙ ඇලකට, දොම්පෙට යන පාර ආදී ලෙස දොම්පෙ සිංහල ජන සාහිත්‍යයට එක් වන්නේ ලංකාවේ තවත් අද්විතීය ප්‍රදේශයක් ලෙසය. මේ ජන සාහිත්‍ය අංගයන් තමන්ගේ අත්දැකීම් හා දැනුවත්කම්වලට සාපේක්‍ෂව විවිධ අන්දමින් නිර්වචනය කරගන්නා අවස්ථා සුලබ වේ. .......

Monday, 25 June 2012

උගත් පාඩම් .....

පසුගිය සටහන අවසන් කළේ පොරොන්දුවක් සමගය. අපි බහුතරයක් පොරොන්දු විශ්වාස කරන නිසාත්, බොහෝ දෙනෙක් සටහනේ ඇති දෙයට වඩා අවසානයේ වූ පොරොන්දුව ගැන සැලකිලිමත් වූ බව ලැබුණු දුරකතන ඇමතුම් ප්‍රමාණයෙන්ම පැහැදිලි වුණු නිසාත්, මගේ මතය මමම ප්‍රකාශ කළ යුතු නිසාත් නැවතත් ලියමින් ........

'අපෙන් එකෙක්වත් නොදෙමු' වැඩසටහනේ දී ඩෙංගු රෝගය හඳුනා ගන්නා ආකාරය පිළිබඳව හා රෝගය වැළඳුනු විට කළ යුතු දෑ පිළිබඳව දැනුවත් කිරීම සඳහා දොම්පෙ රෝගලේ වෛද්‍යවරියක් සහභාගි වූවාය. එහිදී ඇගෙන් කියවුණු එක් දෙයක් පිළිබඳව මාගේ දැඩි අවධානය යොමු වුණා. 'යම් රෝගියෙකුට වැළඳී ඇත්තේ ඩෙංගු යැයි අප තුල කුඩා හෝ සැකයක් ඇති වුවහොත් අපි ඒ රෝගියා ගම්පහ මහරෝහල වෙත මාරු කරනවා.'

මෙලෙස සීග්‍රයෙන්, වසංගතයක් සේ භයානක රෝගයක් පැතිරෙද්දී, එවැනි රෝගියෙකුගේ ජීවිතය බේරා ගැනීම සඳහා ප්‍රදේශයේ දිස්ත්‍රික් රෝහලට අවශ්‍ය පහසුකම් නොමැතිද? එසේනම් දොම්පෙ රෝහල දිස්ත්‍රික් රෝහලක් වීමෙන් ඇති ඵලය කුමක්ද? මේ සඳහා ප්‍රදේශයේ ජනතාව ලෙස අපට කළ හැක්කේ කුමක්ද? මේ සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා නැවත වරක් මා අපගේ කණ්ඩායම කැඳවා ගත්තා. බොහෝ දෙනාගේ අදහස වූයේ යමක් කළ හැකි නම් හොඳ බවයි. ඒ අනුව දොම්පෙ දිස්ත්‍රික් රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී (DMO) අපේ විහාරස්ථානය වෙත කැඳවා ගත්තා. එතුමා සමග කළ කතාබහේදී, ඩෙංගු වැනි මාරාන්තික රෝගයකදී කළයුතු අවම ප්‍රතිකාර ප්‍රමාණයවත් සිදු කිරීමේ මට්ටමට දිස්ත්‍රික් රෝහලක් පත්කිරීම 'පවතින තත්ව යටතේ' ඉතා අපහසු කාර්යයක් බව සහභාගි වූ සෑම දෙනාගේම මතය වුණා. රටේ ආර්ථික තත්වයටත් වඩා සෞඛ්‍ය ක්‍ෂේත්‍රයත් සමග සම්බන්ධිත විවිධ සේවාවන්ගේ බල අධිකාරිත්වය හා අපේ සෞඛ්‍ය ප්‍රතිපත්තියත්, ප්‍රදේශයේ දේශපාලන අධිකාරියේ ආකල්පත් එයට තදින් බලපානු ලබන බව පැහැදිලි වුණා.

එහෙත් දොම්පෙ රෝහල දැනට පවතින මට්ටමට වඩා දියුණු තත්වයකට පත් කිරීමට අපටද යමක් කළ හැකි බව මාගේ අදහස වූ අතර, එය මගේ පාසල් සමයේ මිතුරෙකු වූ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීතුමගේ ද අදහස වුණා.

මේ ප්‍රවේශයත් සමග 'අපෙන් යමක් රෝහලට' යන තේමාව යටතේ කටයුතු කිරීමට මාගේ තවත් පාසල් සමයේ මිතුරෙකුවන ධනංජය රාජපක්‍ෂ සමග දොම්පෙ රෝහලට ගියා. අවස්ථා කිහිපයකදීම රෝහලේ කළමණාකාරිත්වය සමග අප සාකච්ඡා කළා. එහිදී ඇති කරගත් එකඟතාවයට අනුව රෝහල පිළිබඳව පූර්ණ අධ්‍යනයක් සිදු කිරීමට තීරණය වුණා. මුළු සතියක් පුරා සිදු කළ ඒ අධ්‍යයනය, මගේ සිතුවිලි වෙනස්ම අන්තයකට ගෙන යාමට සමත් වුණා. අවසානයේ මට ඇති වූ හැඟීම නම් 'ඇයි මෙච්චර කාලයක් මම මෙම රෝහලට නොපැමිණියේ' යන පසුතැවීමයි. ගෙවී ගිය කාලය නැවත ලබා ගැනීමට නොහැකි නිසා දැන් කළ යුත්තේ කුමක්දැයි සිතන්නට අපට සිදු වුණා.

'තුවාල වාට්ටු' ලෙස ප්‍රසිද්ධ, ශෛල්‍ය වාට්ටු රෝගීන්ගෙන් පිරී යද්දී, ප්‍රසව වාට්ටුවේ ඇඳන් සියල්ලම හිස්ව පැවතුණා. ළමා වාට්ටුවද රෝගී වූ දරුවන්ගෙන් පිරී තිබුණා. වෛද්‍ය (Medical)වාට්ටු වැඩි තදබදයක් නැති ස්ථානයක් වුණා. මෙම වාට්ටුවල සිටි රෝගීන් බහුතරයක් අඩු ආදායම් ලාභීන් වූ අතර වයෝවෘධ අය බහුලව සිටියා. පූර්ව ප්‍රසව සායන (Antenatal Clinic), සුවදරු සායනය (WBC- Well Baby Clinic), සුවනාරී සායනය (WWC - Well Women Clinic), මනෝ වෛද්‍ය සායනය (Psychiatry Clinic), දන්ත සායනය (Dental Clinic), වෛද්‍ය සායනය (Medical Clinic) සහ පවුලේ වෛද්‍ය සායනය (FMC - Family Medical Clinic) යනුවෙන් සායන 7ක් ක්‍රියාත්මක වෙනවා. පවුලේ වෛද්‍ය සායනය හැර අනෙක් සෑම සායනයකම විශාල තදබදයක් තිබුණා. බොහෝ සායන සඳහා හිමිදිරි පාන්දර ගෙදරින් පිටවී ආ රෝගීන් වූවා. දවසේ වරු දෙකක ක්‍රියාත්මකවන බාහිර රෝගී අංශයක් (OPD) වන අතර, උදේ වරුවේ දී විශාල තදබදයක් දක්නට ලැබුනා. මීට අමතරව හදිසි ප්‍රතිකාර ඒකකයක් (ETU - Emergency Treatment Unit)තිබෙන අතර හදිසි තත්ව යටතේ පැමිණෙන රෝගීන් කෙරෙහි ක්‍ෂණිකව අවදානය යොමු කර අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමේ කාර්යය ප්‍රශස්ථ මට්ටමක පැවතුනා. එසේ වූවද, රෝහල් සේවාව පිළිබඳව ප්‍රදේශවාසීන් තුල පැහැදීමක් නොමැති බව හඳුනා ගන්නට ලැබුණා. බොහෝ කාලයක සිට පවත්වාගෙන ආ සමහර ක්‍රියාකාරකම් ජනතාව දැඩි අපහසුතාවයට පත් කරන බව හඳුනා ගත්තා. උදාහරණයක් ලෙස, භාහිර රෝගී අංශයේ විවිධ කොටස් ස්ථාපනය කොට තිබූ ආකාරය රෝගලට පැමිණෙන සෑම දෙනාම දැඩි අපහසුතාවයට පත් කළා. එක් පටු ස්ථානයකින් විවිධ කාර්යයයන් සඳහා නිතර ගමන් කිරීමට සිදු වූ නිසා එම ප්‍රදේශය තුළ දැඩි තදබදයක් ඇති වී තිබුණා. මෙම අධ්‍යනයේදී හඳුනා ගත් පරිදි රෝහලේ ක්‍රියාකාරකම්, ඍජුව රෝගීන්ට සම්බන්ධ වන ක්‍රියාවලි හා පරිපාලන ක්‍රියාවලි යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්විය හැකියි. ඉන් ඍජුව රෝගීන්ට සම්බන්ධ වන ක්‍රියාවලි හයක් හඳුනා ගත හැකි වුණා. 1. රෝගීන් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය 2. හදිසි රෝගීන් සම්බන්ධව කටයුතු කිරීමේ ක්‍රියාවලිය 3. භාහිර රෝගීන් සම්බන්ධව කටයුතු කිරීමේ ක්‍රියාවලිය 4. නේවාසික රෝගීන් සම්බන්ධව කටයුතු කිරීමේ ක්‍රියාවලිය 5. ලේඛනගත රෝගීන් සම්බන්ධව කටයුතු කිරීමේ ක්‍රියාවලිය 6. ඖෂධ නිකුත් කිරීම සම්බන්ධව කටයුතු කිරීමේ ක්‍රියාවලිය මෙම අධ්‍යනය අවසන් කළ දිනවල පැවති 'ජාතික ඵලදායිතා දිනයේදී' සමස්ත රෝහල් කාර්මණ්ඩලයට රෝහලේ ඵලදායීතාවය පිළිබඳව දේශනයක් පැවැත්වීමේ අවස්ථාව මට හිමි වීම අපගේ කාර්යය සාර්ථක කර ගැනීමට මහඟු අනුබලයක් වුණා. එම අවස්ථාව දේශණ ස්වරූපයෙන් මිදී සැමගේ පූර්ණ සහභාගිත්වය සහිත සාකච්ඡාවක් පැවැත්වීමේ අවස්ථාව උදාකර ගැනීමට මට හැකි වූණා. රෝහලට පැමිණෙන රෝගීන්ගේ හා රෝගීන්ගේ සම්බන්ධිත අයගේ තෘප්තිමත්භාවය රෝහලේ මුඛ්‍ය පරමාර්ථය බවට මෙම සාකච්ඡාවෙදී රෝහල් කාර්ය මණ්ඩලයට ඒත්තු ගැන්වී තිබුණා. මෙම තත්ත්වය උදාකරගැනීම සඳහා කැපවීමෙන් කටයුතු කරන්නට රෝහලේ ප්‍රධානියාගේ සිට සෑම සේවකයෙක්ම පාහේ එකඟතාවය ප්‍රකාශ කළා. වෙනස් වීමේ අකමැත්ත නැමති රෝගයෙන් පෙළෙන කිහිප දෙනෙක් එවැනි වෙනස් කමක් කරන්නේ කෙසේදැයි විමතිය ඵල කළත් අති බහුතරයකගේ දැඩි කැමැත්ත හා ක්‍රියාකාරී ඉදිරිපත් වීම 'දැනෙන' යමක් කිරීමට මා තුළ දැඩි පෙළඹවීමක් ඇති කළා. ඒ අනුව ගත් ක්‍රියාමාර්ග තවත් වරක ලියන්නට බලාපොරොත්තුවෙන් ......

Tuesday, 20 March 2012

අපෙන් එකෙක්වත් නොදෙමු!

‘ඩෙංගු නැවතත් හිස ඔසවයි’  සියලුම මාධ්‍ය හරහා රට පුරා විශාල ප්‍රචාරයක් දෙන යුගයයි. ඩෙංගු නිසා මරුවාට ගොදුරු වූ සංඛ්‍යාව දවසින් දවස එකතු කරමියන් ඉදිරියට ගෙන එයි. තම පරිශ්‍රයේ ඩෙංගු මදුරුවන්ට විසීමට අවස්ථාව ලබා දීම නිසා නීතියට ගොදුරු වූ සංඛ්‍යාවද දවසින් දවස ඉහල යයි. වෛද්‍යවරුන්, විදුහල්පතිවරුන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන්, ජනප්‍රිය පුද්ගලයින් ආදී වශයෙන් සමාජයේ විවිධ ආකාරයේ පුද්ගලයින් මරුවාට හෝ නීතියට ගොදුරු වෙමින් පවතී.
මේ ව්‍යසනයට අපත් ගොදුරු විය යුතුද? මේ සඳහා කළ යුත්තේ කුමක්ද? අනතුරු දෙකකි. එකක් ඩෙංගු බෝ වීමේ අවදානම. අනෙක මදුරුවන් බෝවන ස්ථාන තමන් භාරයේ පැවතීම. මේ අවදානම් දෙකෙන් මිදිය හැක්කේ කෙසේද? ඩෙංගු මදුරුවන් හෝ වෙනත් මදුරුවන්  හෝ ජීවත් වන ස්ථාන නැති කිරීම කළ නොහැකි දෙයක් වුවත් මදුරුවන් බෝවන ස්ථාන නැති කිරීම කළ හැකි දෙයක් බව අවබෝධ විය. එම අභියෝගය ජය ගත හොත් අවදානම් දෙකෙන්ම අත්මිදිය හැකිය.
කවුරුත් එකාවන්ව කටයුතු කළොත් ළඟා විය නොහැකි ඉලක්කයක් නොවේ. තවමත් අපේ ගමේ බහුතරය ඒකරාශී කළ හැකි එකම ස්ථානය පන්සල බැවින්, පන්සලේ නායක හාමුදුරුවෝ මුණ ගැසී කථා කළෙමි. මේ සාකච්ඡාව සඳහා ගමේ ක්‍රියාකාරී තරුණයින් කිහිප දෙනෙකු සහභාගි කර ගැනීමට හැකිවීම හොඳ ආරම්භයක් විය. නායක හාමුදුරුවෝද අවශ්‍යතාව මැනවින් වටහා ගත් අතර අවශ්‍ය සෑම තැනකදීම නායකත්වය දැරීමට කැමැත්ත ප්‍රකාශ කළ සේක.
පළමු සාකච්ඡාවේ වූ සාර්ථකත්වය නිසාම ඇති වූ ගැම්මත් සමගින් දෙවන සාකච්ඡාව සඳහා බහුතරයකට ආරාධනා කළෙමු. පොලිස් ස්ථානාධිපති, දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී, විදුහල්පතිවරුන් දෙදෙනා, මහජන සෞඛ්‍ය පරීක්‍ෂක, ග්‍රාම නිලධාරීන් දෙදෙනා, කෘෂිකර්ම පර්යේෂණ හා නිශ්පාදන සහකාරවරුන් දෙදෙනා, සමෘද්ධි නියමකවරුන් දෙදෙනා, ඇතුළු ප්‍රදේශයට ඍජුවම සම්බන්ධ වන රාජ්‍ය නිලධාරීන් සියලුම දෙනාට ආරාධනා කළෙමු. එසේම ඒ සෑම නිලධාරියේකුගේම ඉහල නිලධාරියාටද, තම නිලධාරියා සහභාගි කරවන ලෙස ඉල්ලා ලිපි යොමු කළෙමු.
අති සාර්ථක සහභාගිත්වයකින් යුතුව අවසන් වූ දෙවන සාකච්ඡාවෙන් පසුව ප්‍රදේශයේ ජනාකීර්ණ ස්ථාන දෙකක ‘අපෙන් එකෙක්වත් නොදෙමු’ යනුවෙන් බැනර් දෙකක් ප්‍රදර්ශනය වන්නට විය. ‘අපෙන් එකෙක්වත් නොදෙමු, අගෝස්තු 7වන සෙනසුරාදා උදේ 9ට හා හවස 3ට විහාරස්ථානයේදී.’ මේ පිළිබඳව ගමේ සියලුම දෙනා දැනුවත් කිරීම සඳහා වහ-වහා ලිපි සකස් කළෙමු. ග්‍රාම නිලධාරී වසම් දෙක සඳහා උදේ හා සවස ලෙස අවස්ථා දෙකකදී! මෙම අවස්ථාව සඳහා සෑම නිවසකින්ම එක් අයෙක්වත් සහභාගි විය යුතු අතර, කිසිවෙක් හෝ සහභාගි නොවන නිවෙස් පසු දින සිට දැඩි පරීක්‍ෂාවට භාජනය කරන අතර උපරිම ලෙස නීතිමය කටයුතු කරන බව දන්වා යවන ලිපියකට පුද්ගලිකවම අත්සන් තැබීමට පොලිස් ස්ථානාධිපති නිර්භය විය. ප්‍රදේශයේ මුළු නිවාස සංඛ්‍යව 827ක් වූ අතර, සෑම නිවසක් වෙතම ගොස් ලිපිය භාර දීමට තරුණ පිරිස හා ත්‍රීරෝද රථ හිතවත්හු කටයුතු කළහ.  
7දා උදෑසන පටන් විහාරස්ථානය කරා පිරිස් ඇදී එන්නට වූ අතර හදිසියේ ඇති වූ දැඩි වර්ෂාව නිසා එළිමහනේ පැවැත්වීමට සූදානම් කොට තිබූ වැඩසටහන ධර්ම ශාලාව තුලට ගෙන යාමට සිදු විය. පැමිණි සියලු දෙනා ලියාපදිංචි කළ අතර, නොපැමිණීම සියයට පහක් පමණක් විය. ඉතා හොඳින් සැලසුම් කළ පැය දෙකක වැඩසටහනක් තුළදී, අපට ඇති අවදානම් දෙක පිළිබඳවත් ඒ එකකටවත් අපේ එකෙක්වත් ගොදුරු වීමට ඉඩ නොතබා කටයුතු කළ යුතු අන්දම පිළිබඳවත් ජනතාව දැනුවත් කිරීම සඳහා, දිස්ත්‍රික් රෝහලේ වෛද්‍යවරිය හා පිරිසත්, පොලිස් ස්ථානාධිපතිවරයාත්, මහජන සෞඛ්‍ය පරීක‍්‍ෂකවරයාත් ප්‍රශංසනීය දායකත්වයක් ලබා දුන්නේය.
උදේ හා සවස සැසිවාර දෙක අවසන් වන විට මුළු ප්‍රදේශයම ඉදිරි සතිය තුළ තමන් ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව හොඳින් දැනුවත් වී ඇති සෙයක් ඔවුන්ගේ නොයෙකුත් ඉල්ලීම් වලින් හා ප්‍රශ්න කිරීම් වලින් පැහැදිලි විය. තම නිවෙස්වල හා ඉඩම්වල ඇති සියලුම අබලි ද්‍රව්‍ය හා කුණු කසල එකතු කර දිරා යන හා නොදිරන යනුවෙන් වෙන් කොට තැබීමටත්, ඉඩම්වල ඇති සියලුම ළඳු කැලෑ එලිපෙහෙලි කොට ඒවා දැමීමට තැනක් නොමැතිනම් ඒවාද ගෙන යාමට හැකි ආකාරයට සූදානම් කොට තැබීමටත් කවුරුත් එකාවන්ව එකඟ වූහ.
ඉනික්බිතව එළඹුන ඉරිදා-15දා ප්‍රදේශයේ ඉසුලුවේ කඩි ගුලක ස්වරූපයකි. පෙර දිනයේ රාත්‍රියේ ප්‍රදේශය පුරා සැරිසැරූ ප්‍රචාරක රථයක් කාට කාටත් තම යුතුකම් හා වගකීම් නැවතත් මතක් කර දුන්නේය. ඉරිදා උදේ පටන්, ප්‍රාදේශීය සභාවෙන් සපයා දී තිබූ ටැක්ටර් හා සේවකයින් ගම පුරා සැරි සරමින් නිවාස ඉදිරිපිට ගොඩ ගසා තිබූ කුණු රොඩු, අබලි ද්‍රව්‍ය හා කැලි කසල එකතු කිරීමේ යෙදුනි. මුළු ප්‍රමාණය ටැක්ටර් ලෝඩ් 15 ඉක්මවා යාම ප්‍රදේශය පැවති තත්වය තේරුම් ගැනීමට හොඳ නිදර්ශකයක් විය. හිමිකරුවන් ප්‍රදේශයේ නොමැති ඉඩම් ශුද්ධ කිරීම සඳහා ජාතික සහායක බලකායේ සෙබලුන්ගේ දායකත්වය ලබා ගැනීමට කටයුතු කළෙමු.
එදින සවස්වන විට අවසන් කළේ එක් උත්සාහයක් පමණක් වූ නමුදු වසරකුත් මාස 7ක් ගෙවී අවසන් වන මේ මොහොත දක්වාම අපෙන් එකෙක්වත් ඩෙංගු මාරයාට හෝ නීතිය හමුවට ගෙන යාමට අපේ ගමේ කවුරුවත් ඉඩ නොදුන්හ.

මේ සටහන නැවත තබන්නට සිත් වූයේ අද උදෑසන දොම්පෙ රෝහලේදී ඇති වූ තවත් සාකච්ඡාවක් නිසායි. ඒ සම්බන්ධව තවත් සටහනක් තබන්නම්!

Tuesday, 13 March 2012

හොඳම දේ කාටද?

ඇගේ වයස අවුරුදු 72යි. අක්‍ෂි ස්නායුවක හට ගත් ආබාධයක් සඳහා කළ යුතු එකම ප්‍රතිකර්මය ශල්‍යකර්මයක් බව වෛද්‍යවරුන් තීරණය කරනවා. ඇයට දරුවෝ 5 දෙනයි. සැත්කමට සියල්ල සූදානම්, ඒත් ඇය හැර!

කෝ මගේ දරුවෝ...?
ලොකු අක්කා කෝ පුතේ? පුතාව පන්ති එක්ක ගිහින් අම්මේ. අම්ම බලන්න එන්නම් කිව්වා.
ලොකු මල්ලි..? අම්මෙ එයා වැඩට ගිහින්, ඕෆ් වුන ගමන් එන්නම් කිව්ව. මට එන්න කිව්ව. ලේලි කිව්ව.
එතකොට චූටි මල්ලි..? බබාල ගන්න ගිහින් ඉස්කෝලෙට.
එතකොට නංගි කෝ මගේ දුවේ..? පොඩි අය කුස-බපා බලන්න එක්ක යනවා කිව්ව අම්මෙ, අම්ම කලබල නැතුව ඉන්නකො ඒ ගොල්ලො පුළු පුළුවන් වෙලාවට එයි.

ඔවු දුවේ ඒ ගොල්ලෝ එයි. මගේ මෝඩ කමට මම මග බලාගෙන හිටියට ඒ අයටත් ළමයි ඉන්නවනෙ මගෙ පුතේ.

අද අපි සියල්ල කරන්නේ දරුවන් වෙනුවෙන්ය. හොඳම දේ දරුවන්ටය. නෑ සියල්ලම දරුවන්ටය. පළමුවම අමතක වන්නේ තමාය. තමා අමතක කර සියල්ල දරුවන්ට දෙයි. ඊළඟට තමාගේ සහකරුවා හෝ සහකාරිය අමතක කර සියල්ල දරුවන්ට දෙයි. තමා සමග එක බඩවැල කඩාගෙන ආ සහෝදර සහෝදරයින් අමතක කර සියල්ල දරුවන්ට දෙයි. තමන් මොළොවට ජාතක කළ, හදා වඩා ගත් අම්ම තාත්තා අමතක කර සියල්ල දරුවන්ට දෙයි. එක සෙල්ලම් ගෙයි වැලිබත් ඉව් යහලු යෙහෙලියන් අමතක කර සියල්ල දරුවන්ට දෙයි. ගුරුවර වැඩිහිටයන් අමතක කර සියල්ල දරුවන්ට දෙයි. හෙට දිනය බාර ගැනීමට සිටින ළමා පරපුර අමතක කර සියල්ල දරුවන්ට දෙයි. සියල්ල තම දරුවන්ටය.

සියල්ල දී හදා වඩා ගත් දරුවන්ද, සියල්ල දරුවන්ට දීම සඳහා ගොස්ය. ඇයට සිදු වූයේද එයමය.

Thursday, 8 March 2012

දහම් පාසලක් කුමකටද?

එක්තරා දිනක බැහර ප්‍රදේශයක දහම් පාසලක 'ශිෂ්‍ය නායක පදක්කම් පැළඳවීමේ නිල උත්සවය'කට සහාගි වීමට සිදු විය. දැනුම් දී තිබූ පරිදි නියමිත වේලාවට 'දහම් පාසල' වෙත පැමිනෙද්දීම 'තව විනාඩි 30න් පමණ' උත්සවය ආරම්භ කරන බව ශබ්ද විකාශන යන්ත්‍රය හරහා ප්‍රසිද්ද කරන ලදී. 'නියමිත වේලාව' ළඟා වන තුරු පන්සලේ නායක හාමුදුරුවන් මුණ ගැසීමට ගියෙමි. "නායක හාමුදුරුවනේ, දහම් පාසලක ශිෂ්‍ය නායකයෝ මොකද්ද කරන්න ඕනෙ." "මහත්තයෝ, මටත් ඕක ප්‍රශ්නයක්; අපි කරන කාලෙ පන්ති නායකයෙක් පත් කර ගත්ත, සම්බන්ධීකරන වැඩ වගේ දේවල් වලට. නැතුව ශිෂ්‍ය නායකයෝ කියල ජාතියක් හිටියේ නෑ." උත්සවය ආරම්භ වීමට සූදානම් බැවින් නායක හාමුදුරුවෝ සමග එම ස්ථානයට ගියෙමි. 'දහම් පාසලේ විනය භාර නියෝජ්‍ය ප්‍රධානාචාර්යතුමා' සභාව මෙහෙයවමින් 'දහම් පාසල් ශිෂ්‍ය-ශිෂ්‍යාවන්' 'එක විදිහකට' තබා ගැනීමට සෑහෙන වෙසෙක් ගත්තේය. "කියන දේ නාහන අයට දැඩි දඬුවම් විදින්නට" සිදුවන බව මතක් කර දුන් එතුමා ඉල්ලා සිටියේ මෙම උත්සවයට සහභාගිවීමට පැමිණ සිටින දෙමාපියන්ට ආදර්ශයක් වන ලෙස 'දහම් පාසල් ශිෂ්‍යයින්' හැසිරිය යුතු බවයි. කෙසේ හෝ මා පුල-පුලා බලා සිටි අවස්ථාව එළඹියේ ඉන් අනතුරුවයි. දැඩි වෙහෙසක් දරා 'මනා ලෙස සංසුන්' කර ගත් ශිෂ්‍ය-ශිෂ්‍යාවන් අමතමින් ශිෂ්‍ය නායක නායිකාවන්ගේ වගකීම් හා කාර්ය-භාරය පැහැදිලි කළේය.

1. අනෙක් ශිෂ්‍ය-ශිෂ්‍යාවන්ට පැය භාගයකට පෙර දහම් පාසලට පැමිණිය යුතුය.
2. පැමිණීමේ ලේඛණය අත්සන් කර තමාට නියමිත රාජකාරියට වාර්තා කළ යුතුය.
(රාජකාරී:- මල් පූජාව සංවිධානය කිරීම, ශබ්ද විකාශන පද්ධතියේ රාජකාරී, මල් පූජාව සඳහා නියම කළ භාණ්ඩ රැගෙන ආවාදැයි පරීක්‍ෂා කිරීම, ගේට්ටු අසල රාජකාරී, දහම් පාසල් නිල ඇඳුම පරීක්‍ෂා කිරීම, දහම් පාසල් පදක්කම පැළඳ ඇත්දැයි පරීක්‍ෂා කිරීම, ශිෂ්‍යයින් ජෙල් ආලේප කර ඇත්දැයි පරීක්‍ෂා කිරීම, ශිෂ්‍යාවන් කරල් දෙකට කොණ්ඩය ගොතා ඇත්දැයි පරීක්‍ෂා කිරීම, පන්ති පවත්වන ස්ථාන අතුගා ඇත්දැයි පරීක්‍ෂා කිරීම, (පන්සල් මිදුල පන්සලේ ස්වාමීන් වහන්සේලා හිමිදිරියේම ඇමද ඇති බැවින් එය පරීක්‍ෂා කිරීම රාජකාරී ලැයිස්තුවට ඇතුළත් නොකරන්නට ඇත.) නියමිත වේලාවට සීනුව (ඝාණ්ටාරය) නාද කිරීම, මල් පූජාව සඳහා ශිෂ්‍ය-ශිෂ්‍යාවන් පෙල ගැස්වීම, ආගමික වතාවත් සඳහා පෙළ ගැස්වීම, ශිෂ්‍යයින්ගේ හා ශිෂ්‍යාවන්ගේ පේළි නිවැරදිව ස්ථානගත වී ඇත්දැයි පරීක්‍ෂාකාරීවීම, පමා වී පැමිණෙ ශිෂ්‍ය-ශිෂ්‍යාවන් අව්වේ පේළි ගැස්වීම, ආගමික වතාවත් අතර තුරදී නිශ්ශබ්දතාවය ආරක්‍ෂා කර ගැනීම, කලන්තය සැදෙන අය ශාලව වෙත ගොස් වාඩි කරවීම, උදෑසන රැස්වීම සංවිධානය කිරීම, ගුරුවරු නොමැති පන්ති පාලනය කිරීම, පන්සලේ ගස්-අතු, මල්, ගෙඩි, පොකුණ හා සුරතල් මසුන් ආදිය ආරක්‍ෂා කිරීම, විවේක කාලයේදී ආරවුල් ඇති වන්නේ දැයි පරීක්‍ෂාවෙන් සිටීම, ශිෂ්‍ය-ශිෂ්‍යාවන් විනය විරෝධීව හැසිරෙන්නේ දැයි පරීක්‍ෂාවෙන් සිටීම, විනය කඩ කරනු ලබන අය විදුහල්පති ස්වාමීන් වහන්සේ වෙත ඉදිරිපත් කිරීම, දහම් පාසල අවසන් කිරීමේ රැස්වීම සංවිධානය කිරීම, පේළි සකස් කිරීම, ගේට්ටු අසල රාජකාරී .......) - මෙහි දැක්වූයේ විනය භාර නියෝජ්‍ය ප්‍රධානාචාර්යතුමා පැහැදිලිව හා පිළිවෙලට ඉදිරිපත් කළ රාජකාරී ලේඛනයෙන් මගේ මතකයේ රැඳුනු හා සටහන් කර ගැනීමට හැකිවූ ඒවා කිහිපයක් බව කරුණාවෙන් සලකන්න.

3. විදුහල්පති ස්වාමීන් වහන්සේ, විනය භාර නියෝජ්‍ය ප්‍රධානාචාර්යතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය පවරනු ලබන ඕනෑම රාජකාරියක් ඉටු කිරීමට සූදානමින් සිටිය යුතුය.
4. දහම් පාසලේ කීර්තිනාමය ආරක්‍ෂාවන අයුරින් කටයුතු කළ යුතුය.
5. සෑම විටම අනෙක් ශිෂ්‍ය-ශිෂ්‍යාවන්ට වඩා ප්‍රියමනාප ආකාරයෙන් සැරසී සිටිය යුතුය.
6. සෑම විටම ශිෂ්‍ය නායක පදක්කම පැළඳ සිටිය යුතුය.
7. දහම් පාසල පැවැත්වෙන සෑම දිනකම දහම් පාසල් පැමිණිය යුතුය.
8. දහම් පාසල විසින් සංවිධානය කරනු ලබන සෑම අවස්ථාවකටම අනිවාර්යයෙන් සහභාගි විය යුතුය.
9. සෑම විටම විනය ගරුකව සිටිය යුතු අතර කිසිම විටක අනවශ්‍ය සම්බන්ධතා නොපැවැත්විය යුතුය.
10. සෑම විටම ආගමට දහමට හා ස්වාමීන් වහන්සේලාට ගෞරව කළ යුතුය.

මා මෙම කරුණු සටහන් කර ගන්නවා දුටු නායක ස්වාමීණ්වහන්සේ "මහත්තයා දේශනයට කරුණු ලියා ගන්නවාද?" කියා විමසා, "මටත් දේශනයක් කරන්න කිව්වනෙ; මේ මම පොඩි සටහනක් ගහ ගත්තා" යැයි මා අත කොළ කෑල්ලක් තැබූ සේක. නායකත්වයේ ලක්‍ෂණ: මාතෘකාව යටතේ අරහං ආදී බුදුගුණ හා ඒවායේ සරල තේරුමත්, නායකයෙකු සතුව එම ගුණ තිබිය යුතු ආකාරයත් කෙටියෙන් සඳහන්ව තිබුණි.
"හාමුදුරුවනේ මෙතන නායකයෝ පත් කරන බවක් පේන්න නෑනෙ"
"ඔව් මහත්තයො, ආචාර්ය මණ්ඩලයට වහල්ලු ටිකක්නෙ මේ තෝරගෙන තියෙන්නෙ"
"හාමුදුරුවනේ මේ ළමයි දැන් ගොඩක් වෙලා හිටගෙන ඉන්න නිසා මම දේශනයක් කරන්න අදහසක් නෑ, මම බැජ් පළන්දල ඉවර වුණහම යන්නම්"
"හොඳ විදිහක් මහත්තයො, මමත් නායකයෝ ගැන නෙමේ සේවකයෝ ගැන කතා කරන්න හිතුව"

මේ අතර සභාව පදක්කම් පැළඳවීමේ අවස්ථාව එළඹ තිබුණි. තෝරා ගත් ශිෂ්‍ය නායක නායිකාවන් පෙළකට සිටි අතර ඔවුගේ මව හෝ පියා හෝ දෙදෙනාම හෝ පැමිණ සිට අය ඔවුන් ඉදිරි පිට සිටගෙන සිටී. දැන් ඔවුන් සූදානම්ව සිටින්නේ කම දරුවන්ට 'ශිෂ්‍ය නායක' පදක්කම් පළඳවන්නටයි. මා සිතාගෙන සිටියේ මට ආරාධනා කළේ ඒ කාර්ය සඳහා කියාය. කෙසේ වුවත් මව, පියා හෝ 'භාරකරුවෙක්' පැමිණ නොසිටි දරුවෙකුට පදක්කම පැළඳවීමට මටත් අවස්ථාව උදා විය. ඒ අතර "බැජ් එක පැළැන්දපු ගමන් මම යනවා" යැයා කීවේ ඊ ළඟට මම කුමක් කළ යුතුදැයි දැන ගැනීමේ අදහසිනි. "අපෝ බෑ, ළමයින්ට නායකත්වය ගැන දේශනයක් කරන්න ඕනෙ ඔබතුමා" ආරාධනා කරද්දි කිව්වනම් තමා වඩා හොඳ; කමක් නෑ කියා කියන්න තිබුණත්, "ළමයි ගොඩක් වෙලා හිටගෙන නේද?" කියා පමණක් කීවෙමි.

දේශනය ආරම්භ කිරීමට ප්‍රථම විදුහල්පති ස්වාමීන් වහන්සේගේ අවසරය ඇතිව අභිනව ශිෂ්‍ය නායක-නායිකාවන්ට මංගල 'රාජකාරිය' පැවරුවෙමි. ඔවුන් රැගෙන ආ පැදුරුවල ඉඳගත් දහම් පාසල් දරුවන්ගෙන් මා පළමුවම විමසා සිටියේ "ඔබ දහම් පාසල් පැමිණෙන්නේ ඇයි" කියා. ඔබත් දන්නා පරිදි හා මමත් බලාපොරොත්තු වූ පරිදිම සම්ප්‍රදායික පිළිතුරු කිහිපයක් ලැබුණි. අනතුරුව මම විමසුවේ "දහම් පාසලේ හා පාසලේ වෙනස" කුමක්ද යන්නයි. ලැබුණේ පිළිතුරු දෙකක් පමණි. එක් පිළිතුරක් වූයේ 11.30 ට අවසන් වන බවයි. අනෙක් පිළිතුර වූයේ නිවාඩු දවසක පවත්වනවා යන්නයි. මාගේ ඊළඟ ප්‍රශ්නය වූයේ එසේනම් දහම් පාසලක් කුමකටද යන්නයි.

Wednesday, 7 March 2012

මට හරි අමාරුයි....!

මගේ මතයනම් මේ කෙනෙක් ජීවිතයට එක් වරක් පමණක් කළ යුතු ප්‍රකාශයකි.


එහෙත් අවසනාවක මහත! අපේ රටේ බහුතරයක් දවස පුරාවට කීවතාවක් නම් මේ කතාව කියනවාද! මගේ ඔළුව කකියනවා, ඔළුව බරයි, කලන්තෙ වගේ, කැරකිල්ල වගේ, හරි මහන්සියි, බෙල්ල රිදෙනවා, අත කකියනවා, අතන රිදෙනවා, මෙතන රිදෙවා ......

අප නිතරම සිතන දෑ අපට හිමවේ. !

Sunday, 4 March 2012

ගෙවී ගියේ මතයක් නැති කාලයක් වගේ!

"වෙලාවක් නැ..!" මේ අමූලික බොරුවක්නෙ. මොනව නැති වුනත් නැති වෙන්නෙ නැති දේ තමා වෙලාව.
ආයෙත් ලියන්න වෙලාව ඇවිත්.

Wednesday, 20 April 2011

රියලිටි ෂෝ ගැන මාගේ මතය!

මේ මා බොහෝ කලක සිටි ලියන්නට සිතාගෙන සිටි මාතෘකාවකි. එහෙත් වාසනාවට දෝ එය ලිවීමට සුදුසු අවස්ථාවක් නො-එළඹුනි.
වාසනාවට යැයි මා කිව්වේ, මා ලීවානම් රියලිටි ෂෝ ගැන කෙසේ වෙතත් රියලිටි ෂෝ අතරේ අතරමං වූ නාලිකා ගැනනම් හොඳක් ලියවෙන්නේ නැත. එසේ ලිය වුනත් කම් නැත; එහෙත් දැන් නම් කියන්නට යන්නේ හොඳක් ගැනමය.

රිවිඳු රාජපක්‍ෂ මා දන්නේ කවදා සිටදැයි මට මතක නැත. ඒ, ඒ තරම් කාලයක සිට දන්නා නිසාය. ඒ දවස්වල රිවිඳුට ගෙවල් දෙකක් තිබිණි. එකක් තාත්තාගේ මහ ගෙදරය. අනෙක අම්මලාගේ මහ ගේ ළඟ රිවිඳුගේ තාත්තා හදා ගත් ගෙදරය. මේ කොයි නිවසේ සිට අනෙකට ගියත් රිවිඳු යන්නේ අපේ ගෙවල් හරහාය. එනම් අපේ ගේ පිහිටා තිබුණේ මේ ගෙවල් දෙක මැද්දේය. ඒ නිසාම අපි නිතර මුණ ගැසුනෙමු.

ඒ දවස්වල රිවිඳු කොච්චර ගී කීවත් ඔහු දක්‍ෂ ගායකයෙක් වේ යැයි මට තේරුණේ නැත. ඒ ඔය සංගීතය ගැන මට මෙලෝ දැනුමක් නොතිබුනු නිසාය. එහෙත් රිවිඳුගේ තාත්තා - දේසිංහ අයියා හොඳ ගායකයෙක් බව අපි කවුරුත් දැනගෙන සිටියෙමු. ඒ යුගයේ රියලිටි ෂෝ නොතිබුණු නිසාදෝ දේසිංහ රාජපක්‍ෂගේ ගායන හැකියාව දැන ගෙන සිටියේ ගමේ අපි හැරෙන්නට පුරාවිද්‍යා කාරයෝ පමණක් විය හැකිය. ඒ දේසිංහ රාජපක්‍ෂ පුරාවිද්‍ය කාරයෙක් නිසාය.

හැබැයි රිවිඳුට පුදුම සංගීත උනක් තිබුණු බවනම් තේරුම් ගෙන සිටියෙමි. ඒ සංගීතය, කණ හරහා හදවතට ගෙන රසවින්ඳනයට පමණක් සීමා වූ මේ මාව ද බලහත්කාරයෙන්ම ‘බෑන් ෆැක්ටිස්‘ ඇදගෙන ගිය නිසා පමණක්ම නොවේ. කදයක් දාගෙන ඉන්නට රිවිඳුගේ කාමරයට ගිය වෙලාවට ඉඳගන්න වෙන්නේ එක්කෝ ජිල් එක උඩ, නැත්නම් බුම් එක උඩ, ඒත් නැත්නම් රවිකිඤ්ඤයේ නිසාය.

රිවිඳුට හුඟක් කලින් මම රස්සාවක් හා පරස්තාවක් සොයා ගත් බැවින් මට ටික කාලෙකට ගමෙන් පිට නිවැසන්නට සිද්ද විය. ඒ කාලයේ දිනක මුණ ගැසුනු විට රිවිඳුගෙන් දැන් මොනවාද කරන්නේ කියා ඇසූ විට කී දේ මට දැන් දැන් මතක් වේ. රස්සාවට සංගීතය කරනවා මචං, විනෝදෙට බෑන්ඩ් එකක සෙල්ලන් කරනවා කිව්වේ ඇත්තටමද කියා තාම පැහැදිලි නැත. කොහොම වුණත් රිවිඳුගේ අසල්වැසියෝ බොහෝ දෙනක් හොඳ සංගීත රසවතුන් වීමත් ඉතිරි අය ශ්‍ර‍වණාභාධිතයින් නිසාත් ඒ දෙකම; රස්සාව හා විනෝදාංශය වැඩි කරදරයක් නැතුව කරගන්නට ඔහුට හැකිවිය.

දැන් යන්නේ සිරස සුපර්ස්ටාර් හතරවන වාරයයි. සිරස කියන විදිහට හතරවන පරම්පරාවයි. ඔය පරම්පරා හතරටම මම සිරස සුපර්ස්ටාර් හතර වතාවකට වඩා බලන්නට නැතුව ඇත. ඒ හතරෙන් තුන් වතාවක්ම හතරවන පරම්පරාවේ රිවිඳු පෙනී සිටි වැඩසටහන් විය.

රිවිඳු ගැයූ ගීතයක් රාජකාරී යෙහෙළියක් සමග රසවඳිමින් සිටිද්දී මෙතන බොරු දෙකක් තිබෙන බව ඇය සොයා ගත්තාය. පළමු බොරුව රිවිඳු ‘ආධුනික ගායකයෙකු‘ බව පැවසීමයි. ඇය කියන්නේ රිවිඳු රියලිටි ෂෝ වලට යාමට අවශ්‍ය තරම් ආධුනිකයෙකු නොවන බවයි. අනෙක් බොරුව රිවිඳුගේ වසයි. බොරු වයස කියන්න රිවිඳු ගෑනියෙක් නොවන බව කී විට ඇය කීවේ ගෑනියක් නොවුනත් රිවිඳුගේ ඇක්‍ෂන් හරි ලස්සනයි කියාය.

ෂෙල්ටන් පෙරේරා තව කවුරුද ඉන්නේ කියා අහන්නේ රිවිඳු ගැනද කියාත් සිතේ. එගොඩහ යන්නෝ තව ඉන්නා බව අවුරුදු හතලිහක් වෙනකම්ම සවනට නෑසුනේ ඇයි දැයි හිතාගන්නවත් බැරිය.

මදු මාධවල ඩොරින්ල කිව්ව නිසාවෙන්ම නොවෙයි ඇත්තටම හැකියාව තියෙන නිසාම
මා සනසා.. මා නලවා..
මෙහෙම කියන්නෙ;
සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයදී...හෙටත් සඳ උදාවී රැයක් පැමිණි මොහෙතේ

21 බ්‍ර‍හස්පතින්දා රාත්‍රී 9 සිට ජංගම දුරකතන වලින් sss හිස්තැනක් 1 ටයිප් කරල 7788 ට send කරන කණ්ඩායමට එකතු වෙන්න ....
කැමතිනම් විතක් මදු පෙරා ගෙනල්ලා - මුවට යා ක(ර)ලා ඇසක් ඉඟිමරා රුඟුම් පා.....
සහයෝගයක් දෙමු!
22 උදේ 9ට පස්සෙ සිහින ලොවක පාවී ඊළඟ 12 දෙනා අතර රිවිඳුත් ඉඳීවි කියන එක රියලිටි එකක්ම වෙයි!

Monday, 6 December 2010

ජීවන ශික්ෂතණය සඳහා අධ්‍යාපනය.

සෑම සත්වයකුම මෙලොව උපදින්නේ යම් සහජ ගති ලක්ෂ ණ ප්‍රමාණයක් උරුම කොට ගෙනය. ඒවායින් සමහරක් තම සමාජයට, තම පරිසරයට අහිතකරය; තවත් සමහරක් සමාජයට ඉතා අගනේය. ශික්ෂණයකින් තොරව වැඩෙනා ඒ සත්වයා නිරුත්සාහයෙන් තම හැඟීම්
මුදා හරී. සිත් සේ ක්‍රියා කරයි. ඒවා හිතකර වේ නම් සමාජ ට වාසියක් වේ. අහිතකර වේ නම් සමාජය විනාශ වේ. එම සත්වයාත් විනාශ වේ. මෙම ධර්මතාවය මිනිසාට ද එලෙසම අනුකූලවන අතර විශ්වයේ බලය අයිති කරගෙන සිටින මිනිසා විශ්වයටම මෙම බලපෑම මුදා හරී.

මෙතෙක් ලොව පහල වූ සෑම ආගමකින් ම හෝ දහමකින් ම උත්සාහ කොට ඇත්තේ මිනිසාගේ සහජ ගති ලක්ෂණවලින් සමාජයට වන අහිතකර බලපෑම පාලනය කිරීමට හෝ අවම කිරීමටයි. එබැවින් ජීවන ශික්ෂණය සඳහා අධ්‍යාපනය ලබා දිය යුත්තේ තම ආගම
මගිනි. නොහොත් ආගමික ස්ථාන මගිනි.

මෙම නව අධ්‍යාපන සැලැස්මට අනුව රටේ කිසිම ස්ථානයක මොන්ටිසෝරියක් හෝ පෙර පාසලක් පැවැත් වීමට ඉඩ ප්‍රස්තා නොමැත. ආබාධිත දරුවන් සමාජයට අනුගත කිරීම සඳහා මොන්ටිසෝරි මැතිණිය ආරම්භ කළ ආකාරයේ මොන්ටිසෝරි (වෛද්‍ය උපකාරක
මධ්‍යස්ථාන) පමණක් පවත්වනු ලැබේ.

රටේ සෑම දරුවෙකුම
• වයස අවුරුදු 3 දක්වා දිනකට පැයක් ද,
• වයස අවුරුදු 3 සිට දිනකට අවම පැය 2 ක් ද,
• වයස අවුරුදු 4 සිට දිනකට අවම පැය 3 ක්ද,
• වයස අවුරුදු 5 සිට දිනකට අවම පැය 4 ක්ද,
• වයස අවුරුදු 6 සිට සෑම දරුවෙකුම දිනකට අවම පැයක් ද

ලෙස තම ග්‍රාමයේ පිහිටි, තම දෙමාපියන්ගෙන් එක් අයෙකු හෝ අදහන ආගමේ පූජා ස්ථානයක පවත්වාගෙන යන ජීවන ශික්ෂනණය සඳහා අධ්‍යාපනය ලබා දෙන මධ්‍යස්ථානයක ගත කළ යුතුය. තම ආගමට අදාල පූජා ස්ථානයක් තම ග්‍රාමයේ නොමැතිනම් පමණක්
ආසන්නම ග්‍රාම රාජ්‍යයක පිහිටි ජීවන ශික්ෂණය සඳහා අධ්‍යාපනය ලබා දෙන මධ්‍යස්ථානයකට ඇතුළත් කළ යුතුය.

දරු උපතක් සිදුවූ විට උපත් ලියාපදිංචිය සමගම අදාල ග්‍රාමයේ අදාල පූජා ස්ථානයේ ලියාපදිංචි කළ යුතුය. එසේ ඇතුළත් කළ වසරට පසු එළඹෙන ලිත් වර්ෂයේ ආරම්භයේ සිට වසරකට දින 250ක් අවම වශයෙන් මෙම ස්ථානයේ දරුවා ගත කර තිබිය යුතුය. එම පූජා ස්ථානයේදී දරුවා ඇසුරු කරන්නේ තම ආගමේ පූජ්‍ය/පූජක උතුමෙක් වන අතර උන්වහන්සේ/එතුමා අධ්‍යාපන අමාත්‍යංශයේ ජීවන ශික්ෂණ
අධ්‍යාපන දෙපාර්තමෙන්තුවේ වෘත්තීය සඳහා අධ්‍යාපනය (ඉදිරියේ දී සාකච්ඡා කෙරේ) ලැබූ අයෙක් වේ. මෙම ජීවන ශික්ෂණ අධ්‍යාපනය ලබා දීම සඳහා අවශ්‍ය සියලුම පහසුකම් ජීවන ශික්ෂණ අධ්‍යාපනය දෙපාර්තමෙන්තුව විසින් සපයනු ලබන අතර උන්වහන්සේගේ/එතුමාගේ පැවත්ම සඳහා වූ අවශ්‍යතාවයන් ශික්ෂණය ලබන දරුවන්ගේ දෙමාපියන් ප්‍රමුඛ ග්‍රාම වැසියන් විසින් සපයා දිය යුතු වේ.

මෙම අධ්‍යාපන කාල සීමාව තුලදී දරුවාගේ සහජ ගති ලක්ෂතණ පිළිබඳ පැහැදිලි අවබෝධයක් පූජ්‍ය/පූජක උතුමා විසින් ලබා ගත් යුතු අතර එයින් සමාජ හානිකර ගති ලක්ෂණ අක්‍රිය කිරීමටත්, සුවිශේෂී ගති ලක්ෂණ හා විශේෂ කුසලතා හඳුනාගෙන ඒවා වර්ධනය කර ගැනීමට උදව් කිරීමටත් ඒවා පිළිබඳ වාර්තා අධ්‍යාපන අමාත්‍යංශයට හා දෙමාපියන්ට ලබා දීමටත් කටයුතු කළ යුතුය. කාලාන්තරව පවත්වන ග්‍රාම රාජ්‍ය වැසියන්ගේ එකමුතු රැස්වීම් වලදී දරුවන්ගේ ජීවන ශික්ෂණය අගය කිරීම සඳහා කටයුතු කළ යුතුය. එසේම සෑම දරුවෙකුගේම තොරතුරු, ජීවන ප්‍රවර්ධන තොරතුරු ජාතික දත්ත පදනමට නිතිපතා ඇතුළත් කළ යුතුය. අධ්‍යාපන අමාත්‍යංශයේ ජීවන ශික්ෂණ අධ්‍යාපන දෙපාර්තමෙන්තුවේ ජීවන ප්‍රවර්ධන තොරතුරු ඒකකය විසින් මෙම දත්ත නිරන්තරයෙන් අධ්‍යනය කරනු ලබන අතර සුවිශේෂී දක්ෂතා සහිත දරුවන් පිළිබඳ තොතරතුරු ජාතික විශේෂ කාර්ය දෙපාර්තමේන්තුවට ලබා දෙනු ලැබේ. ඒ ඒ කුසලතාවන්ට අදාලව ජාතික තලයේ හා ජාත්‍යන්තර මට්ටමේ පුද්ගලයින් බිහිකිරීම මෙම ජාතික විශේෂ කාර්ය දෙපාර්තමේන්තුවේ කාර්යය වේ.

ජීවන ශික්ෂ්ණය සඳහා අධ්‍යාපනය තුලින් සමස්ථ දරුවන් තුල යහපත් ගුණධර්ම සමුදායක් වගා කළ යුතුවේ.

• වේලාවට වැඩ කිරීම
• අවසාන ඉලක්කයක් කරා කටයුතු කිරීම
• ඒකාග්‍රතාවය
• අනෙකාට ගරු කිරීම
• සත්‍යගරුක වීම
• යුක්තිගරුක වීම
• නීතිගරුක වීම
• අවංක වීම
• ස්ථානෝචිතව ඉදිරිපත් වීම
• පරාර්ථයට කටයුතු කිරීම
• සාමූහිකත්වය
• අධිෂ්ඨානශීලී බව
• දානශීලී බව
• වගවීම

මේ ආදී වූ ගුණධර්ම ජීවිතයට හුරුවන ආකාරයේ ක්‍රියාකාරකම් සමගින්, තම ආගම පිළිබඳ දැනුම ද, ජීවන ශික්ෂණය ද ලබා දෙමින් පූජ්‍ය/පූජක උතුමෙක් මෙම දරුවන් සමග කාලය ගත කළ යුතු වේ. එබැවින් තව දුරටත් දහම් පාසල් හෝ ඉරිදා පාසල් පවත්වාගනෙ යාමක් අවශ්‍ය නොවේ.

උපන් දරුවෙකු සඳහා වෙහෙසෙන්නා සේම නූපන් එනම් උපදීමට සිටිනා දරුවන් සඳහා ද එලෙසම අවධානය යොමු කළ යුතු වේ. ඉදිරි ‘ලියවිල්ලක’ දී සාකච්ඡා කරන පරිදි අපේ රටේ උපදින සෑම සත්වයෙක්ම රටේ සම්පතක් සේ සලකනු ලැබේ. එබැවින් යම් මවක් ගැබ්බර වූ දින සිටම රටට හිමිවීමට නියමිත සම්පත රැක බලා ගැනීම රජය විසින් සිදු කරනු ඇත. ඒ යටතේ ගැබට සති 12 කි පිරුණු දින සිට සෑම මවක්ම තම ආගමික මධ්‍යස්ථානයේ පවත්වනු ලබන ‘සදහම් සායන’ සඳහා සහභාගි විය යුතුය.

නව අධ්‍යාපන සැලැස්ම

මූලික සංකල්ප තුනක් මත පිහිටා මෙම සැලැස්ම සකස් කර ඇත.
1. උපදින සෑම අයෙකුටම මරණය දක්වා අධ්‍යාපනය ලැබීමට අවස්ථාව හිමි විය යුතුය.
2. අධ්‍යාපනය ලැබීම තුළින් අරමුණු තුනක් ඉටු විය යුතුය.
ජීවන ශික්ෂාණය ලැබිය යුතුය.
දැනුම ලැබිය යුතුය.
වෘත්තීය හැකියාවන් ලැබිය යුතුය.
3. අධ්‍යාපනය ලැබීම අගය කළ යුතු වේ. එහෙත් ඇගයිය යුතු නොවේ.
No appraisal; only admire.

මෙම පරමාර්ථ ඉටුකර ගැනීම පිණිස අධ්‍යාපන ක්‍රම තුනක් මගින් ලබා දෙයි.
1. ජීවන ශික්ෂණය සඳහා අධ්‍යාපනය
2. දැනුම සඳහා අධ්‍යාපනය
3. වෘත්තිය සඳහා අධ්‍යාපනය

ජීවත් වෙමින් අධ්‍යාපනය හා ජීවත් වීමට අධ්‍යාපනය

ලොකු දුව අපොස සාපෙල විභාගෙට සූදානම්!
ගිය සතියේ දිනක විභාගයට පෙර අවසන් පාසල් දිනය පැවැත් වුණා! සියළුම දෙනාගේ සහභාගිත්වයෙන්. ගුරු දෙගුරු සැම දෙනා. විද්‍යාලයේ අධ්‍යක්‍ෂක හිමි, ජනාධිපති උපදේශක, ආචාර්ය බඳගිරියේ සෝමවංශ නායක හාමුදුරුවන්ගේ ප්‍රධානත්වයෙන්. උන්වහන්සේගේ දේශනයේදීත් පැහැදිලිව ප්‍රකාශ වුනේ මේ තියෙන අධ්‍යාපනයේ වැරදි ගැන.
අධ්‍යාපනය ගැන විද්‍යුත් සඟරාවකට මා විසින් ලියන ලද ලිපියක කොටස් කිහිපයක් මගේ මතය යටතේ නැවත පල කරන්න හිතුනා.
“... අධ්‍යාපනය; වචනයේ අර්ථයෙන් ගත් කළ එයින් කියවෙන්නේ යමක් හදාරා ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා බවකි. ඉගෙන ගන්නවා යන පදයෙන් ලැබෙන්නේ ද එවැනිම අර්ථයකි. යමක් උකහා ගන්නවා යන තේරුම ඉන් ලැබේ. ඉංග්‍රීසි භාෂාවෙන්
අධ්‍යාපනය යනු Educatinon ය. Educate යනු හික්මවනවා යන්නයි. ඉගෙන ගන්නවා යන පදයට සමාන අර්ථය දෙන්නේ Lraen යන පදයයි. ‍

වර්තමානය වන විට අපේ අධ්‍යාපනය රටේ සමස්ත ක්‍රියාවන්ටම ඍජුව බලපෑම් ඇති කරන තත්වයක් උද්ගත වී තිබේ. රජය ඍජුවම විශාල මුදලක් අධ්‍යාපනය සඳහා වියදම් කරන අතර තවත් විශාල මුදල් ප්‍රමාණයක් වක්‍රව අධ්‍යාපනය සඳහා වැය වේ. (ප්‍රවානය සඳහා දැවෙන ඉන්ධන ප්‍රමානයෙන් 40%ක් පමණ ‘පාසැල් වෑන්’, ‘පාසැල් බස් රථ’ හා ‘දරුවා පාසට ඇරලවන මෝටර් රථ’ සඳහා වන බව කියවේ.)
අධ්‍යාපනය සඳහා ඍජුව හා වක්‍රව කරන මෙම වියදම රටේ සමස්ථ ආදායමෙන් විශාල ප්‍රතිශතයකි.

එහෙත් මේසා විශාල ධනස්කන්දයක් වියදම් කර ලබා දෙන්නා වූ අධ්‍යාපනයෙන් හිමි වී තිබෙන ප්‍රතිඵලය කුමක්ද යන්න සලකා බැලිය යුතු වේ. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ ඉහලම බලාපොරොත්තුව උපාධියක් ලබා ගැනීමයි. ඒ උපාධිය හිමි කර ගත් කී දහසක් නම් අද රැකියාවක් නොමැත යැයි පවසමින් කල් මරත් ද? කී දහසක් නම් තමන් කරන රැකියාව තම අධ්‍යාපනයේ තත්වයට නොගැලපේ යැයි පවසමින්
පශ්චත්තාප වෙත් ද? ඉතා ඉහල ප්‍රතිශතයක් නිසි වයසේ දී පාසල් අධ්‍යාපනය ලැබීම සඳහා යොමු වුව ද අපොස සාමාන්‍ය පෙල කඩ ඉම පසු කරන්නේ කෙතරම් අඩු ප්‍රතිශතයක් ද? උසස් පෙල සමත් වන්නේ කෙතරම් අඩු ප්‍රතිශතයක් ද? උපාධිය සඳහා සුදුසුකම් ලබන්නේ කෙතරම් අල්ප සංඛ්‍යාවක් ද?

අනෙක් අතට බැලූ කළ කුමන මට්ටමක අධ්‍යාපනයක් ලැබුව ද, කොපමණ ඉගෙන ගත්තවුන් සිටිය ද අද අපේ රටේ, සමාජයේ සාර ධර්ම - ගුණ ධර්ම තිබෙන්නේ මොන මට්ටමේ ද? රටේ සිදුවන අති බිහිසුන අපරාධ මෙන්ම ඉහ වහා ගිය දූෂණය හා භීෂණය පමණක් නොව
සමාජයේ සෑම ස්ථරයකම සිදුවන සදාචාර විරෝධී ක්‍රියාවන් කෙරෙහි අධ්‍යාපනය ඇති කර ඇති බලපෑම කෙබඳු ද? නිවැරදි අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක වන්නේ නම් මෙම අවාසනාවන්ත තත්වයන් මේ තරමට උඩු දුවන්නේ කෙසේද? මෙම කරුණු කෙරෙහි අපගේ අවධානය යොමු විය යුතුය. සිදු කළ යුත්තේ කුමක්ද ද? විශාල වෙනසක් අවශ්‍යව ඇත. එය සිදු කළ හැකි වන්නේ කෙසේ ද?

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිපත්ති ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් වේ. අධ්‍යාපන ඇමතිගෙන් ඇමතිට වෙනස් වේ. කාලීන වෙනස් වීමක් විය යුතු බව සැබෑය. එහෙත් අපට වෙනස් නොවන මුත් වර්ධනය වන අරමුණක් තිබිය යුතුය.

අධ්‍යාපනයේ අරමුණ විය යුත්තේ කුමක් ද? අපේ අරමුණ විය යුත්තේ ජීවත් වෙමින් අධ්‍යපනය හා ජීවත් වීමට අධ්‍යාපනය යන්නයි. මේ සඳහා නව අධ්‍යාපන සැලැස්මක් යෝජනා කරන්නනෙමු. ...“

Monday, 9 August 2010

අපෙන් එකෙක් නොදෙමු!

ඩෙංගු සම්බන්ධව දෙවන සටහනත් ඉක්මනින්ම ලියන්න සිද්ද වෙලා!
ගෙවී ගිය ඇසල පෝය දවස්වල ගනේගොඩ පන්සලේ අටවිසි බුද්ධ පූජා මාලාවක් පැවැත්වුණා. ඒ සඳහා ප්‍රදේශයේ ජනතාව විශාල වශයෙන් සහභාගි වූ අතර ප්‍රදේශයේ කිහිප දෙනෙක් (4 දෙනෙක්) ඩෙංගු රෝගයට ගොදුරු වෙලා කියන ආරංචියත් පන්සලට ලැබුණා. මේ සම්බන්ධව සාකච්ඡා කළ පන්සලේ ලොකු හාමුදුරුවෝ, සියනැදී සිව්කෝරළයේ ප්‍රධාන සංඝ නායක දන්දෙනියේ ජිනවංශාභිධාන නායක හාමුදුරුවෝ සහ ප්‍රදේශයේ තරුණ පිරිස තීරණයකට ආව!
අපෙන් එකෙක් නොදෙමු! ඒ තීරණයේ සාරාංශය වුනේ එයයි. ඩෙංගු මාරයටත්, ඩෙංගු මදුරුවා බෝවන ස්ථාන පවත්වාගෙන යාම හේතුවෙන් පොලීසියටත් අපේ ගමේ කිසිම අයෙක් රැගෙන යාමට නොදෙමු කියන දැඩි තීරණයට එළඹියා.

ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව තීරණය ගැනීමේ සාකච්ඡාව ජූලි 31 දා පැවැත්වුණා. දොම්පෙ පොලිස් ස්ථානාධිපති ප්‍රභාත් පරණවිතාරණ මහත්තයා, දොම්පෙ රෝහලේ වෛද්‍යවරියක් හා හෙඳ නිලධාරිනියක්, මහජන සෞඛ්‍ය පරීක්ෂක රාමනායක මහත්තයා, ප්‍රදේශයේ සමෘධි නිලධාරිනියන්, කෘ.ප.නි.ස. නිලධාරීන්, දොම්පෙ මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා, දායක සභාවේ නිලධාරීන් හා ප්‍රදේශයේ තරුණ පිරිස කිහිප දෙනෙක් පැමින සිටියා.

මෙම රැස්වීමේදී එළඹි ප්‍රධාන තීරණ වුණේ,
1. හැකි ඉක්මණින් රෝගය පිළිබඳවත්, රෝගය බෝ කරන මදුරුවාගේ බෝවීම වලක්වා ගැනීම පිළිබඳවත්, එසේ කටයුතු නොකරන අයට එරෙහිව ගන්නා නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳවත් ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමේ රැස්වීමක් පැවැත්වීම (2010. 08. 07 දින)
2. තම නිවස හා ගෙවත්ත පිරිසිදු කිරීමට සතියක කාලයක් ලබා දී, එම කාල තුල එකතුවන මදුරුවන් බෝවන ද්‍රව්‍ය හා කසල එක් දිනකදී දොම්පෙ ප්‍රාදේශීය සභාවේ සහයෝගයෙන් එක් රැස් කර බැහැර කිරීම (2010. 08. 15)
3. පිරිසිදු කිරීමෙන් පසුව ම.සෞ.ප. හා පොලීසියේ නිලධාරීන් සමග ප්‍රදේශය පරීක්ෂා කර මදුරුවන් බෝවන ස්ථාන තවදුරටත් තිබෙන නිවැසියන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්ම කිරීම.
4. මාස 6ක පමණ කාලයක් වරින් වර පරීක්ෂා කිරීම් සිදු කිරීම හා නීත්‍යානුකූලව කටයුතු කිරීම.

මෙම ව්‍යාපෘතියේ පළමු අදියර - දැනුවත් කිරීමේ රැස්වීම් 2010. 08. 07 දින ගනේගොඩ පන්සලේදී පැවැත්වූවා. උදේවරුවේ ගල්වලගොඩ ග්‍රාම නිලධාරී කොට්ඨාශය සඳහා. සවස් වරුවේ ගනේගොඩ ග්‍රාම නිලධාරී කොට්ඨාශය සඳහා. රැස්වීම් සඳහා කැඳවීමේ ලිපි සියළුම ගෘහමූලිකයින්ගේ නමටම මුද්‍රණය කොට සෑම නිවසකටම බාර දුන්නා. මේ ලිපි බෙදා දීම සඳහා ප්‍රදේශයේ තරුණ කණ්ඩායම හා ක්ෂේත්‍ර නිලධාරීන් පූර්ණ සහයෝගය ලබා දුන්නා.
රැස්වීමට පැමිණීම ඉතා ඉහල අගයක් ගත්තා. ගල්වලගොඩ නිවාස 351 න් 333 කින් පැමිණියා. 94.7%ක්. ගනේගොඩ 476 න් 456 ක්. 95.8%ක්.
නොපැමිණි අයගේ නිවෙස් පරීක්ෂා කිරීම අද (2010. 08. 09) උදේ සිට ආරම්භ කළා. ම.සෞ.ප. හා පොලීසිය ක්‍රියාත්මකයි.

ඊයේ සවස් වන විට ප්‍රදේශය පුරා සෑම තැනකින්ම දුම් රොටු අහසට නැගුණා. ඉරිදා දිනයේ බොහෝ දෙනෙක් වැඩ පටන් අරගෙන වගේ.
අපෙන් එකෙක්වත් නොදෙමු...!

Thursday, 5 August 2010

පොතේ නැති බෙහෙත්...!

මුලදීම ඩෙංගු රෝගයකි. ඊළඟට වසංගතයකි. දැන් ව්‍යසනයකි. ඒඩ්ස් මාරාන්තිකයි. ඩෙංගු මරණය නියතයි!. රිජ්වේ ළමා රෝහලේ පමණක් නොවේ, ලංකාවේ සෑම මූලික රෝහලකම ළමා වාට්ටුව අද පිරී ඇත්තේ ඩෙංගු හෝ ඩෙංගු යැයි සැක කරන උණකින් පෙළෙණ අහිංසක හුරුබුහුටි දරුවන්ගෙන්. මාගේ ඥාති පුත්‍රයෙක් දවස් කීපයක් රෝහලේ ඇඳකට වෙලා අපි සැවොම හැඪෙව්වා! උණ හැදිල දවස් තුනකින් පේට්ලට් නවුන්ට් එක ලක්ෂ 1යි. ඊළඟ දවසේ 87 දාහයි. ඊළඟ දවසේ 79 දාහයි. .... මෙහෙම ගියොත් පළමුව පුතාට කම්පණය. ඊළඟට අපට කම්පණය.
පසුගිය දිනවල සියළුම මාධ්‍යවලින් වාර්තා කළා, ගස්ලබු කොළ ඉස්මවලින් පේට්ලට් අගය වහා ඉහල නගිනවා කියල. ඒත් තවමත් වෛද්‍යවරු ඒ ගැන කතා කරන්නේ නෑ. ‍කළ යුත්තේ කුමක්ද! අහිංසක රෝගීන්ගේ ඥාතීන් මොනව කරන්නද?. වාසනාවන්ත දරුවෝ කිහිප දෙනෙක් සුවපත් වෙලා, ගෙවල් වලට යන්න සූදානම.
"ඇත්තටම ඔය ගස්ලබු කොල ඉස්ම වැඩේ ඇත්තද දන්නෑ නේද?"
"අනේ දන්නේ නෑ අනේ. අපි මැල්ලුම් හදලනම් දුන්න. හරි තිත්තයි. ටිකයි කෑවේ"
"ඒකත් එහෙමද?"
දරුවා දිහා බලන් ඉන්න බෑ. තොල් කිව්ටෙක්ස් ගාල වගේ, යටි පතුල් රතු පාටයි. අත-පය රතු වෙලා.
"මට රිපෝට් එක ගන්න යන්න දුන්නෙ නැත්නම් මම උපවාස කරනවා"
"මොකක්ද කරන උපවාසෙ?"
"ඒක කිව්වොත් කරන්න දෙන්නෙ නෑනෙ!"
කම්පනය නිසා විකාරෙන්ද, නැත්නම් අද ඩෙන්ඩ් එකද?
"දැන් කොහොමද පුතාට?"
"අනේ මන්ද"
"අපේ අර නැන්දට අන්තිම වෙලා අයිසීයූ දැම්මනෙ, අපි ගස්ලබු කොල ඉස්ම දුන්න. දවසෙන් රිකවර්"
"දොස්තරල මොකද කිව්වෙ?"
"කිය කිය හිටියෙ නෑ. අපි දුන්න"
"ඒකත් එහෙමද?"
40 දාහටත් අඩු වුනොත් භයානකයි. තවත් බලන් ඉන්නවාද?
"ඕනෙ එකක් වෙන්න අපිත් දෙමුද?"
"දෙමු අයියෙ, වහ නෙමේනෙ"
......
"පේට්ලට් කවුන්ට් එක ලක්‍ෂෙ පැනලලු. හෙට යන්න පුළුවන් වෙයි කිව්ව."
පැය අටකින් තත්වය තනිකරම අනිත් පැත්ත හැරුණ.
........
'තිසුරි සිහිසුන්ව සිටි නිසා ගස්ලබු ඉස්ම දෙන්න බැරි වුණා: අම්මට පෙවූ පසු දින දෙකකින් සුව වුණා. ඩෙංගු වැළඳී මියගිය හත් හැවරිදි දැරියගේ මරණය ගැන ඥාතිවරියක් කියයි' (2010 අගෝස්තු 5 ලංකාදීපයේ 11 පිටුවෙන් උපුටා ගත්තෙ)
......
වෛද්‍යවරු පොතේ නැති බෙහෙත් දෙන්නෙ කොහොමද? එහෙමයි කියල මැරෙණකම් බලන් ඉන්නෙත් කොහොමද?
ඩෙංගු රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා ගස්ලබු කොළ ඉස්ම ලබාදීම පිළිබඳව වහා තීරණයක් අදාල බලධාරීන් විසින් ගත යුතු බව මාගේ මතයයි.

Saturday, 29 May 2010

කොණ්ඩෙ බැඳල පාසල් යමු...!

ලංකාවේ ක්‍රියාත්මක වන්නේ 'නිදහස්' අධ්‍යාපනයකි. අධ්‍යාපනයට මෙම 'නිදහස්' කෑල්ල එක්වන්නේ කන්නංගර යුගයේය. එතෙක් (වැඩිදුර) අධ්‍යාපනය ලැබීම සඳහා ගෙවීමක් කිරීමට සිදුවිය. එයින් නිදහස් කර නොමිලේ අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාව ලබා දීම නිසා අධ්‍යාපනයට 'නිදහස' එකතු විය. එසේ නිදහසේ ලබන්නට පින් ලැබුයේ එතෙක් පැවති මිෂනාරී අධ්‍යාපනයමයි. මෙම මිෂනාරී අධ්‍යාපනය 'නිදහසේ' ලැබිය හැකි එකක් නොවීය. එය අති මහත් නීති පද්ධතියක් යටතේ දැඩි පාලනයකින් යුතුව ලබා දුන් එකකි විය.

පාසල් නිල ඇඳුම එක් නීතියකි. මා ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ පාසලේදී අපට නිල ඇඳුමක් නොතිබුණු අතර නගරයේ පාසලට පැමිණි විගස ඇඳුම් ඇඳීමේ නිදහස සීමා විය. ඇඳුමේ පාට පමණක් නොව කලිසම් කුකලේ දිග, කමිස අතේ දිග, සපත්තුවේ පාට, මේස්වල උස ආදී සීමා රාශියක් විය.
කකුල් දෙකටම සපත්තු නොදැමීමේ නිදහස ද නැති විය. එක් කකුලක පමණක් තුවාලයක් තිබේනම් සෙරෙප්පු දැමිය හැක්කේ එම කකුලට පමණි. අනිත් කකුලට සපත්තුවක් දැමිය යුතුය.
හිස කෙස් වැවීමේ නිදහස ද නැති විය. අපගේ 'කොණ්ඩා මෝස්තරය' තීරණය කරන්නේ විනය භාර ආචාර්යවරයාය. මාගේ පුතාගේ ඉතා හුරුබුහුටි කොණ්ඩා මෝසතරය පාසලට ඇතුළත් කළ විගස 'දැඩි අවවාද කිරීම්' සහිතව වෙනස් කිරීමට සිදුවිය. දැනටද කෙස් වැවිය හැක්කේ කෙස් අතරින් අතැඟිලි යැවූ විට 'අතට අහු නොවන' ප්‍රමාණයටය.
මාගේ සොයුරියන් ගිය පාසලේ දී කොණ්ඩය දිගනම් කරල් දෙකට ගොතා නියම කළ වර්ණයෙන් හා නියම කළ පළලින් සහ දිගින් යුතු රිබන් පටිවලින් නියමිත ගැටය ගැසිය යුතුය. කොටට කපනවා නම් තවත් නීති පද්ධතියක් අදාල විය.
මේ 'නිදහස් අධ්‍යාපනයේ' නැතිව ගිය නිදහයෙන් කිහිපයක් පමණි.
අවාසනාවට හෝ වාසනාවට තවත් කොටසකට පමණක් නැතිව ගිය නිදහසක්ද වේ. එනම් විරුද්ධ ලිංගිකයින් සමග එකට සිට අධ්‍යාපනය ලැබීමේ නිදහස.
කෙසේ හෝ මෙවැනි දැඩි විනය පද්ධතියක් යටතේ අධ්‍යාපනය ලබන සියළු දෙනා සමාජයට පැමිණි විට එලෙසම විනයානුකූලව ජීවත් වීමේ ශික්‍ෂණය ලබා තිබේද යන්න පැහැදිලි නැත. මෙම නීති අවශ්‍ය වන්නේ ආයතන පරිපාලනය සඳහා පමණක් නම් තව දුරටත් මේ 'නිදහස නැති කිරීම' පවත්වාගෙන යායුතුද?

Monday, 22 March 2010

බෞද්ධ දරුවන්ට දහම් පාසල් මොකටද?

අද දහම් පාසල් දවසනෙ. උදේම ගියා පොඩි කට්ටිය අරගෙන දහම් පාසලට. අද පන්සලක් නෑ. එතනත් පාසලක්. ගේට්ටුව අවට වාහන 75ත් 100ත් අතර සංඛ්‍යාවක් තිබුණා. 'දහම්පාසල් බස්රථ' තුනකුත් තිබුණා. ගේට්ටුව ළඟ ශිෂ්‍ය නායක අයිල දෙන්නයි, අක්කල දෙන්නයි. 'නිල ඇඳුම', 'බැජ් එක' පරීක්ෂා කරනවා. "මල්ලිගේ කොණ්ඩේ වැඩියි" එක අයියා කෙනෙක් අපේ පුතාට කිව්වා. "එයත් ප්‍රිෆෙට්" අනෙක් අයියා කිව්වා. මල්ලිත් හිනා උණා මිසක් මොකුත් කිව්වෙ නෑ. ප්‍රශ්නෙ දුර දිග ගියෙත් නෑ. ඇතළට යන්න බෑ දෙමාපියන්ට. යන්න තහනම් නෙමේ වෙන්න ඕනෙ. අර පාසලේ වගේ කියල හිතාගෙන යන්නෙ නෑ වගේ. කොහොමත් 20ක් 30ක් ගේට්ටුව අවට ඉන්නවා.
මට හැමුදුරුවෝ බැහැදකින්න ඕනෙ. ඉතින් මම ඇතුළට ගියා. බාධාවක් වුනේ නෑ. ඇතුළට යද්දි මෙන්න පොත් 'සල්පිලක්'. ඩෙස් බංකු රාක්ක පුරෝල පොත්. "ආ මට තාත්තාට කියන්න අමතක උණා අද පොත් ගන්න සල්ලි ගේන්න කිව්වනෙ". පුතා කීව. "පුතාට මොකක් හරි පොතක් ඕනෙද?" "නෑ. නෑ. අර ගේන්න කිව්ව එකයි මම කිව්වෙ" "හරි මොකක්ද දැන් කරන්න ඕනෙ" "යමක් දැක්ක පළියට ගතයුතු නොවේ. අවශ්‍ය දේ පමණක් සෑහේ" පුතා කීවා. "ආ මතකයි නේද". ඒ එක පවුලක තීරණය විතරයි. ඒත් තව කී දෙනෙක් 'පොත් ගන්න' සල්ලි ගේන්න ඇතිද?
7.30ට ඝණ්ඨාරය නාද වුණා. පාසලේ වගේමයි. ලමයි පෝලින් උණා. මල් පෙරහැර ආවා. ගියා. ‍පන්ඩිත හාමුදුරු‍වෝ සිල් දුන්නා. නිවේදන ටික කියෙව්වා. අන්තර් නිවාස තරඟවලි ගැන කිව්වා. අන්තර් දහම්පාසල් තරඟාවලි ගැන කිව්වා. ශිෂ්‍ය නායක දිනයක් ගැන කිව්වා. විනාඩි 10ක් 15ක් අතර 'ආගමික වතාවත්' අවසන්. ළමයි පන්තිවලට ගියා.
පන්තිවලට ගුරුවරු ගියා. පොඩි හාමුදුරුවරු දෙතුන් නමයි. විශ්‍රාමික ගුරුවරු දෙන්නයි. වසර 30ක් පමණ කාලයක් තිස්සේ දහම්පාසලේ ඉගැන්වීම කරණ වැඩිහිටි 'දහම්පාසල් ගුරුතුමියයි'. දහම්පාසල් අවසානය හා ධර්මාචාර්ය සමත් වැඩිහිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් කණ්ඩායමයි. ඔක්කොම පන්ති 10ක් නැත්නම් 11ක් තියෙනවා. ආරම්භක පන්තිය 1 නෙමේ. පාසලේ 1 වසරේ ඉන්න අය දහම්පාසලේ මුල් පන්තියේ. ඒ පන්තියේ සිට පන්ති 4ක ළමයි 50 බැගින් විතර ඉන්වා. ඊළඟ පන්තියේ 20ක් විතර. ඊළඟ පන්තියේ ඒ කියන්නේ පාසලේ 5ට සමාන්තර පන්තියේ ඉන්නේ 12ක් විතර. 6, 7, 8 පන්තිවල ළමයි 30, 40 විතර ඉන්නවා.
ගුරුවරු නම් ලකුණු කරනවා. අච්චු පොත අරගෙන පාඩමක් කරනවා. ඒ හැම පාඩමක්ම වගේ පාසලේ බුද්ධාගමට උගන්න ඒවා. පාලි වගේ ඒවා බොහොම උඩින් පල්ලෙන් යන්නේ. 10 විතර වෙනකොට විවේකය. ආයෙත් අච්චු පොත හා පාඩම්. තෝරගත්ත ළමයි ටිකක් අරගෙන 'තරඟ' වලට සූදානම් කරනවා. 11ට ආයත් පෝලින්. ගාථාවක් කියනවා ගෙදර යවනවා.

ඔක්කොම ළමයි 700-800 ක් විතර ඉන්නවා. ඒත් පන්සලේ එපමණ ළමයි ප්‍රමාණයකට ඔය මිශනාරී ක්‍රමයේ පන්ති කාමර අධ්‍යාපනය දෙන්න ඉඩ මදි. ඉතින් ලොකු හාමුදුරුවෝ පන්සල් වත්ත පුරා මඩු ගහනවා. ගස් ඉර ඉරා ඩෙස් බංකු හදනවා.

අපේ දරුවන්ට ඕනෙ මේ ආකාරයේ දහම්පාසල් අධ්‍යාපනයක්ද? හරියටම තවත් පාසල් දිනයක් වගේ! ‍අච්චුපොත් පාඩම් විනා සාරධර්ම වර්ධනයක් හෝ ආගමික ගුණවගාවක් ඇති කිරීමේ හැකියාවක් මේ දහම්පාසල් අධ්‍යාපන ක්‍රමයෙන් ලැබෙන්නනෙ නෑ.

ළමයා හා පන්සල අතර හොඳ සම්බන්ධතාවයක් ඇතිවන, ළමයාතුළ යහපත් ගුණධර්ම වර්ධනය කිරීමට හැකි හොඳින් සංවිධානය කළ පෝදා වඩසටහන් 1ක් මේවගේ දහම් පාසල් දින 4ට වඩා හොඳ බව මාගේ මතයයි.

Sunday, 14 March 2010

ඊළඟ යුගය කුමක්ද? What will be the next Age?

මානව පරිනාමය විවිධ යුගවලට වෙන් කර දක්වා ඇත. ගල් යුගය, එ‍ඬේර යුගය, ගොවි යුගය, කාර්මික යුගය, තාක්ෂණ යුගය ආදී ලෙස (වෙනස් ආකාරයේ කොටස් කිරීම් හා නාම ද තිබේ) පැමිණ අදවන විට තොරතුරු තාක්ෂණ යුගයේ සිටින්නේ යැයි පැවසේ. එළඹෙන යුගය කුමක් විය හැකිද?

ඉහත දැක්වූ යුග සියල්ල ප්‍රධාන යුග දෙකක අනු යුග නොඑසේනම් උප යුග ලෙස මම සිතමි. ගල් යුගය, එ‍ඬේර යුගය හා ගොවි යුගය අයත්වන්නේ 'ආහාර යුගය' නම් ප්‍රධාන යුගයටය. එම යුගයේ මිනිසාගේ ප්‍රධාන සම්පත වී තිබුණේ ආහාරය. කාර්මික යුගය, තාක්ෂණ යුගය හා තොරතුරු තාක්ෂණ යුගය අයත් වන්නේ 'දැනුම යුගය' නම් ප්‍රධාන යුගයටය. මේ යුගයේදී මිනිසා තම ජීවිතය සැපවත් කර ගන්නේ දැනුම රැස් කර ගැනීමෙනි. දැනුම ඇති තැනැත්තා එය 'විකුණාගෙන කයි'. දැනුම නොමැත්තා දැනුම මිලදී ගනියි. නැත්නම් දැනුම ඇත්තාට කඹුරයි. එනම් මේ දැනුම සම්පත වූ යුගයේ තමාට දැනුම තිබීම හා අනෙකාට දැනුම නොතිබීම අපේ අවශ්‍යතාවයයි. අපේ සැපවත් බවේ රහස එයයි. මෙය අනෙක් පස පෙරළුනොත් කුමක් සිදු වේද? අනෙකාට දැනුම නොමැති කම මට අපහසුවක් වේ නම් දැනුම මාගේ සම්පත නොවනු ඇත. මා අසීමිතව දැනුම සොයමින් නොවෙහෙසෙනු ඇත. මාගේ දැනුම මාගේ සැපපහසුව උදෙසාම අනෙකාටද ලබා දෙනු ඇත. එවිට මිනිසා නව ප්‍රධාන යුගයක් කරා පිය නගනු ඇත.

එම ප්‍රධාන යුගය කුමක් විය හැකිද? එම යුගයේ සම්පත 'ගුණ ධර්ම' වැනි යමක් විය හැකි බව මාගේ මතයයි.

Sunday, 14 February 2010

ප්‍රේමවන්තයිට තවත් දිනයක් දෙමු!

අද ප්‍රේමවන්තයින්ගේ දිනයද?
ඔවු! අද ප්‍රේමවන්තයින්ගේ දිනය.
ප්‍රේමවන්තයින්ටත් දිනයක් ඕනෙද?
ඔව්! ප්‍රේමවන්තයින්ටත් දිනයක් ඕනෙ!
අඩුම ගානෙ එදාටවත් එකිනෙකාට ප්‍රේම කරන්න.
ඇත්තටම ප්‍රේම කරන්න.
අද ඇත්තටම ප්‍රේම කළොත් තවත් දවසක් වෙන් කරල දෙන්න බලමු!
ප්‍රේමවන්ත දවසක් වේවා!

Wednesday, 20 January 2010

සහෝදරකම

මගේ මතය අනුව ලොව ඇති රැකගතයුතුම ඥාතිකම නම් සහෝදරකමයි. අපගේ ජීවිත කාලයට සමාන වූ කාලයක් අප සමග එකට හුස්ම ගන්නා ඥාතියා සහෝදරයා වේ. අම්මා හා තාත්තා අපට බොහෝ කළකට පෙර ඉපිද බොහෝ විට අපට බොහෝ කලකට පෙර අපෙන් වෙන්ව යයි. දූ දරුවන් සම්බන්ධව එහි අනෙක් පැත්තයි. අපිට බොහෝ කලකට පසු ඉපිද බොහෝවිට ඔවුනට පෙර අපි ඔවුන්ගෙන් වෙන්ව යයි. බිරිඳ හා ස්වාමියා වුවද අපේ ජීවිතයට එක්වන්නේ අප ඉපිද බොහෝ කලකට පසුවය. එහෙත් සහෝදර සහෝදරියෝ අප උපන් සමයේම ඉපිද බොහෝ විට අප මියෙනා කාලයේ අපත් සමගම මොලොව හැර යයි.

සහෝදරකම ගැන මේ සටහන තියන්න හිතුනේ අද උදේ එෆ්.එම්. සේවාවකින් ඇසුනු දෙයක් නිසා.
ඒකත් සඳහන් කරන්නම්.
"දිනක් උදයේ අම්මා ස‍හෝදරයින් දෙදෙනාට රොටී පුළුස්සමින් සිටියා. ඒ තැටියේ එක් වරකට දැමිය හැක්කේ එක් රොටියක් පමණි. ඒ නිසා අයියා පළමු රොටිය සබා ගැනීමේ අරමුනින් මෙසේ පැවසුවා.
"මම තමා වැඩිමලා. මම ලොක්කා. මම ඉස්සෙල්ලම ලෝකෙට ආවේ. ඒ නිසා පළමු රොටිය අයිති මටයි."
මල්ලි එකඟ උනේ නෑ.
"නෑ එහෙම වෙන්නේ කොහොමද? මම පොඩියි. තවමත් මම පොඩියි. ඒ නිසා මටයි ඉස්සෙල්ල කන්න ඕනේ. එතකොටයි මටත් ඔයාට වගේ ලොකු වෙන්න පුළුවන්."
අම්මට තේරුණා වැඩේ හරි යන්නනේ නැති බව. අම්මා කිව්වා මෙහෙම.
"දරුවනේ මෙකන දෙවියෝ හිටියානම් දෙවියෝ කියන්නේ 'පළමු රොටිය මගේ සහෝදරයාට දෙන්න' කියලයි."

මල්ලිට පොට පෑදුනා. මල්ලි කිව්වා
"එහෙනම් අයියා දෙයියො වෙන්න".

Friday, 15 January 2010

ජනමාධ්‍යයේ කැත වැඩ

ජනමාධ්‍ය යනු රටේ මතවාදය හසුරුවන ප්‍රධාන ධාරාවකි. රටකට නිවැරදි මතවාදයක් නොමැති තාක් කල් බොහෝ දෙනා අයාලයේ යන මතවාද ජන විඥ්ඥානය තුළ තැම්පත් කිරීම වැලැක්විය නොහැකිය. එහෙත් ජනතාව එපා නොකියන නිසා තමන්ට හිතෙන හිතෙන දේ ජනමාධ්‍ය හරහා බෙදා දීමට ජනමාධ්‍ය කටයුතු නොකළ යුතුය. කොහේ හෝ සිදුවන දෙයක යම් කුණු රසයක් තිබේනම් එය ප්‍රවෘත්තියක් ලෙස ඉදිරිපත් කිරීම අද ජනප්‍රිය ජනමාධ්‍ය සම්ප්‍රදාය වී තිබේ. මෙය සිදු නොවිය යුතු දෙයක් බව මාගේ මතයයි.
විශේෂයෙන් තවත් කාල පරිච්ඡේදයකට තම නායකයා තෝරා ගැනීමේ භාරධූර කාර්යය මහජනයාට පැවරී ඇති මේ මොහොතේ, නිවැරදි තීරණයක් ගැනීමට උපකාරීවන තොරතුරු ඉදිරිපත් කරනවා වෙනුවට ඉතා පහත් මට්ටමේ කූටෝපායන් සඳහා තම ගුවන් කාලය හා පිටු වෙන් කිරීම ජනමාධ්‍ය සිදු කරන ඉතා පහත් පෙළේ කැත වැඩක් බව මාගේ මතයයි.

Friday, 18 December 2009

යුතුකම් හා අයිතිවාසිකම්

යුතුකම් කියන්නේ ක්‍රියාවක්. අයිතවාසිකම් කියන්නේ ප්‍රතිඵලයක්.
යුතුකම් කියන්නේ එක් අයෙකු විසින් ඉටු කළ යුතු කාර්යයක්. අයිතිවාසිකම් කියන්නේ ඒ පුද්ගලයා යුතුකම් ඉටුකිරීම නිසා තවත් අයෙකුට ලැබෙන ප්‍රතිඵලය.
ඒත් අපි ඔය දෙක මාරු කරගෙන ඉන්නේ.
අපි හිතන් ඉන්නේ අයිතිවාසිකම් කියන්නේ තියෙන දෙයක්. යුතුකම් කියන්නේ කළ යුතු දෙයක් කියල.
සේවකයා හිතන් ඉන්නවා සේව්‍යයා තමන්ට වැඩි පඩි ලබා දිය යුතුයි; එය තමන්ගේ අයිතිවාසිකමක් කියල. එහෙත් එතන තියෙන්නේ වැඩි පඩි ලබා දීම සේව්‍යයාගේ යුතුකම. ඔහු එය ඉටු කළොත් එහි ප්‍රතිඵලය සේවකයාට ලැබෙනවා. ඒ විදිහටම තමා සේවකයාගේ යුතුකම-වගවීමෙන් සේවය කිරීම හා සේව්‍යයාගේ අයිතිවාසිකම-බලාපොරොත්තු වන ලාබය ලැබීම.
දෙමාපියන් හා දරුවන් ගත්තත් එසේමැයි. සිඟාලෝවාද සූත්‍රයේ හොඳින් කියනවා ඒ ගැන. සෑම පාර්ෂවයකටම තියෙන්නේ යම් යුතුකමක්. එය ඉටුකිරීමෙන් ප්‍රතිපාර්ෂවයට යමක් ලැබෙනවා. නමුත් එය ප්‍රතිඵලයක් විනා නයමයක් නොවේ.

Friday, 11 December 2009

විපක්‍ෂ නායක ජනාධිපති කරන නව ව්‍යවස්ථාවක්

ශ්‍රී ලංකාවේ මේදිනවල ජනප්‍රසිද්ධම මතෘකාව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි. ජනාධිපතිවරණයේ එක් පාර්ෂවයක ප්‍රධානම තේමා පාඨය වී තිබෙන්නේත් එයයි. අපේ රටට විධායක ජනාධිපති වරයෙකු අවශ්‍ය බවයි මාගේ මතය. එහෙත් ඒ තනතුරට වර්තමානයේ ආරෝපණය කොට තිබෙන්නා වූ අසීමිත බලයතල ඉවත් කළ යුතුයි. විශේෂයෙන් ජනාධිපති පාර්ලිමේන්තුවට/ව්‍යවස්ථාදායකයට හා අධිකරණයට ඍජුවම වගකිව යුතුයි. එසේම විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය එකිනෙකින් ස්වායත්ත ආයතන විය යුතුයි.

විධායකය ප්‍රධාන කොටස් තුනකින් සමන්විය යුතුයි.විධායකයේ නායකයා ජනාධිපති වේ. ජනාධිපති තෝරා ගන්නේ ව්‍යවස්ථාදායකය මගිනි. මෙහිදී සැලකිල්ලට ගත යුතු විශේෂ සාධකයක් පවතී. එය විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ පවතින ප්‍රබලව බෙදී ගිය දේශපාලන පක්‍ෂ ක්‍රමය නිසා ඇතිවූ තත්වයකි. සෑම විටම රාජ්‍ය පාලනය බාර ගන්නා පක්‍ෂය තම බලය පවත්වාගෙන යාමටත්, බලය අහිමි වූ පක්‍ෂ නැවත බලය ලබා ගැනීමටත් පමණක් කටයුතු කිරීම නිසා සෙක්කුවේ බැඳි ගොනා සේ වසර 60ක් තිස්සේ අපේ රට එකම තැන කැරකෙමින් පවතී. එබැවින් දේශපාලනයට පිවිසෙන සෑම දෙනෙකුටම සෑම විටම රටේ දියුණුව අභිවෘද්ධිය සඳහා යම් කාර්යය භාරයක් හිමි වූ පාලන ක්‍රමයක් රටේ තිබිය යුතුය. එවිට අනෙකාගේ කකුලෙන් ඇදීමෙන් බලය ලබා ගන්නවාට වඩා තමා කළ සේවය නිසා තවදුරටත්/වැඩිදුරටත් බලය ලබා දෙන ක්‍රමයක් නිර්මාණය කළ යුතුවේ.

මහ මැතිවරණයකින් බහුතරය ලබා ගන්නා පක්‍ෂයට/සංධානයට ව්‍යවස්ථාදායකයේ බලය හිමි විය යුතුය. එහි දී දෙවන ස්ථානයට පත්වන කණ්ඩායමෙන් යෝජනා කරන අයෙකු විධායකයේ නායකායා නොහොත් ජනාධිපති ලෙස පත් කරගත යුතුය. එවිට පළමු කොටම රටේ පාලනයට රටේ ප්‍රධානම දේශපාලන පක්‍ෂ/සංධාන දෙකම ඍජුවම හවුල් වී හමාරය. දෙවනුව පත්වන කිසිම ජනාධිපතිවරයෙක් තම පක්‍ෂයට ව්‍යවස්ථාදායකයේ බලය ලබා ගැනීම සඳහා ව්‍යවස්ථාදාය විසුරුවා නොහරිනු ඇත. එසේ කර එහි බලය අල්ලා ගත් විට තම පක්‍ෂයට හිමිව තිබූ විධායක නායකත්වය හෙවත් ජනාධිපතිකම අනෙක් පක්‍ෂයට හිමි වේ. එබැවින් නියමිත මැතිවරණයක් පවත්වන තුරු ජනාධිපති ව්‍යවස්ථාචායකය විසුරුවා හැරීමට පෙළඹෙන්නේ නැත.

විධායකයේ දෙවන කොටස ව්‍යවස්ථාදායකයේ පාලක කණ්ඩායමේ නායකයා විසින් තෝරා පත් කළ යුතුය. එය මණ්ඩලයක් විය යුතු අතර එහි එක් එක් සාමාජිකයා එක් විෂයක් පිළිබඳව පුද්ගලිකවද, මණ්ඩලය සාමූහිකවද ව්‍යවස්ථාදායකයට වග කිව යුතුය. මෙම මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව හා ඔවුනට පැවරෙන විෂයන් මොනවාද යන්න ව්‍යවස්ථාදායකය විසින් සම්මත කර ගත යුතුය. විධායකයේ තීරණ සඳහා ව්‍යවස්ථාදායකයේ අනුමැතිය හා ප්‍රතිපාදන ලබා ගැනීම මෙම විධායක මණ්ඩල සාමාජිකයින්ගේ හෙවත් ඇමතිවරුන්ගේ වගකීම වේ.

විධායකයේ තෙවන කණ්ඩායම විධාකයයේ නායකයා හෙවත් ජනාධිපති විසින් තෝරා ගන්නා නිලධාරී මණ්ඩලයක් වේ. මේ සඳහා ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි රාජ්‍ය සේවය සඳහා අවශ්‍ය සුදුසුකම් සහිත ඕනෑම කෙනෙකු තෝරා ගත හැකි අතර ඒ ව්‍යවස්ථාදායකයේ සාමාජිකයෙකු වුවහොත් ඔහුගේ ව්‍යවස්ථාදායක සාමාජිකත්වය අහෝසි වනු ඇත. එසේම මේ සෑම ලේකම් වරයෙකුම රජයේ නිලධාරියෙකු බවට පත්වන අතර ඔහු රාජ්‍ය නිලධාරියෙකු යටත්වන සියළුම නීති රෙගුලාසි වලට යටත්ව සේවය කළ යුතුය. ව්‍යවස්ථාදායකය විසින් සම්මත කර ගත් සෑම විෂයක් සඳහාම මෙම ලේකම්වරු පත්වන අතර එම අමාත්‍යංශය විධායකයේ නියමයන්ට අනුව පරිපාලනය කිරීම ඔහුගේ වගකීම වේ.

ජනාධිපතිවරයා විසින් ගන්නා ලබන සියළුම ප්‍රතිපත්තිමය තීරණ, විධායක මණ්ඩලයේ එකඟතාව ඇතිව හෝ නොමැතිව, අදාල අමාත්‍යවරයා ලව හෝ පුද්ගලිකව තමා විසින් හෝ ව්‍යවස්ථාදායකයට ඉදිරිපත් කොට අනුමත කර ගත යුතු වේ. එම තීරණය විධායක මණ්ඩලය විසින්, එනම් අනෙක් කණ්ඩායමේ එකඟතාව ලබා දී ඇත්නම් තම කණ්ඩායමේ එකඟතාවද සමගින් පහසුවෙන් අනුමත කර ගත හැකිවේ. විධායක මණ්ඩලයේ එකඟතාවයකින් තොරව ඉදිරිපත් කරණ යෝජනාවක් වුවත් සාමූහික වගකීම හා විශේෂයෙන්ම තමන්ද නියෝජනය කරන රජයේ සැලැසුම් කෙරෙහි ඇති වගවීම හේතුවෙන් ව්‍යවස්ථාදායකයේ අනුමැතිය ලබා ගත හැකි විය යුතුය. මෙවැනි අවස්ථාවල මෙම ප්‍රධාන පක්‍ෂ/සංධාන දෙකටම අයත් නොවන ස්වාධීන හා සුළුතර නියෝජිතයින්ගේ මතය තීරණාත්මක වනු ඇත. එබැවින් විශේෂයෙන් අඩු ජනගයනයක් සහිත ජනවර්ග ඍජුවම නියෝජනය කරන නියෝජිතයින්ට තමන්ගේ අවශ්‍යතාවන් සඳහා ප්‍රධාන පක්‍ෂ සමග සංධාන ගත නොවී තම අනන්‍යතාව සුරැකෙන අයුරින් තම ශක්තිය පෙන්විය හැකිය.