Thursday, 25 September 2008

සැලසුම් කළ නගර

කොළඹ අපේ අගනගරය!
ඒ සුද්ද රට පාලනය කළ යුගයේ සිට 1978 (වගේ මතක) ‍වනතුරුම.
රටක අගනගරය (පමණක් නොවේ සෑම ප්‍රධාන නගරයක්ම) සැලසුමකට අනුව සංවර්ධනය කළ යුතුය යන්න මගේ මතයයි.
අපේ රටේ කිසිම නගරයක් සැලසුමකට අනුව සංවර්ධනය කළ බවක් දැකිය නොහැකිය.
අපිට තිබූ හොඳම අවස්ථාව ශ්‍රී ජයවර්ධනපුර අගනගරය බවට පත්කිරීම.
ඒ දිනවල තිබුණු ප්‍රචාරක වැඩසටහන්වල නම් පුදුම සැලසුම් තිබුනා.
ඒත් අද එහි ඉදිකිරීම් ස්ථාපනය කරන ආකරය දුටු විට නම්, අපේ සැලසුම් ගැන පුදුම දුකක් ඇතිවෙනවා.
ඔය තියෙන්නේ 'සැලසුම් කළ' නගරයක්ද?
ඊ ළඟට ලැබුනු හොඳම අවස්ථාව 'කඩිනම් මහවැලි සංවර්ධන වැඩසටහන'.
තෙල්දෙනියේ සිට ත්‍රිකුණාමලය දක්වා සැලසුම් කළ නගර නිර්මාණය කරන බවයි ඒ කාලයේ කිව්වේ.
එහෙත් සැලසුම් සහගත කිසිම නගරයක් දක්නට නෑ.
ගම්උදාව සංකල්පය යටතේ 'නවනගර' කිහිපයක් බිහි'කළා'. ඒ එක නගරයක්වත් සැලසුම් සහගතව ඉදිකළ බවක් දක්නට නෑ.

ඒ අතීතය. අපට නිවැරදි කළ නොහැකි අතීතය.
එහෙත් වර්තමානය!
ඔව්, වර්තමානයේ ලංකාවේ දකුණු ප්‍රදේශය සංවර්ධනය වෙමින් පවතිනවා.
හම්බන්තොට ප්‍රධාන කොටගෙන නගර කිහිපයක්ම සංවර්ධනය වෙමින් පවතිනවා.
අනාගතය වෙනුවෙන් මෙම නගර නිවැරදි සැලසුමකට අනුව සංවර්ධනය කිරීමේ වගකීම අද අපේ වගකීමක් බවට පත්ව තිබෙනවා.
එසේ‍ නොවුනහොත් අනාගතයේ දරුවන් මෙම නගරවලදී (අද අප, දැන් තිබෙන නගරවල දහදුක් විඳින්නා සේ)
මාර්ග තදබදයට හසුවූ විට,
යම් ස්ථානයක් සොයාගැනීමට නොහැකි වූ විට,
යටිතල පහසුකම් නොමැතිවූ විට,
වැසි ජලයට යටවූවිට,
කසල එකතුවී ගඳගහන විට,
සුවපහසු පරිසරයක ජීවත්වනනට නොමැති වූවිට,
'ආරක්ෂාව' වෙනුවෙන් පැයගනන් කාලය කාදමන්නට වූ විට,
හුස්ම පොදක් ගන්න අපහසුවන විට,
අඩුපාඩු හදන්නට-සංවර්ධනය කරන්නට ගෙවල් දොරවල් කැඩෙනවිට,
(ගොඩක් තියෙනවා-ඒත් Post එක දිග වැඩිවෙනවා)
අපට සාප කරාවි.
එබැවින් අළුතින් සංවර්ධනය වන හම්බන්තොට වැනි නගර මනා සැලැස්මකට අනුව ඉදිකිරීම අද අපගේ වගකීමයි.

Monday, 22 September 2008

පරිගනකය හා සිංහල

රාජ්‍ය ආයතනවල පරිගනක සඳහා සිංහල හා වෛරස් නිවාරන මෘදුකාංග බලාගැනීම ගැන සටහන් කරන්න හිතුනා.
ඉතා විශාල වියදමක් දරමින් තවමත් බොහෝ රජ්‍ය ආයතන ලබාගන්නේ සිංහල යුනිකේත සහය නොදක්වන සිංහල මෘදුකාංග. අති බහුතරයක් තැන්වල (LGN වල පවා) වින්ඩෝස් මෙහෙයුම් පද්ධති භාවිතා කරන බැවින් වෛරස් නිවාරන මෘදුකාංග සඳහාද විශාල මිලක් දරනවා. (LGN වල සෝපෝස් තියෙනවා). වියදමටත් වඩා ප්‍රශ්නය එක ආයතනයක් තුල වෙන වෙන පරිගනකවලට වෙන වෙන වර්ගවල මෘදුකාංග යොදාගෙන විදින වදය.
සිංහල යුනිකේත හා නිදහස් මෙහෙයුම් පද්ධති හොඳම විසඳුම නොවේද? ඇයි ඒ තැනට යන්නේ නැත්තේ, හැමෝම එකමුතුව.

Sunday, 21 September 2008

වීථි ආලෝකකරණය Street Illumination.


චිර‍ාන්ගේ ‘විදුලිය පිරිමැසීම’ blog සටහන දුටුවිට විදුලි පිරිමැසීම ගැන මගේ මතය කියන්න හිතුනා.
ඇත්තටම මම කියන්න යන දේ විදුලිය පිරිමැසීමටත් වඩා වැදගත් වන දෙයක්.
ප්‍රදේශීය සභා, නගර සභා, මහනගර සභා යන පළාත් පාලන ආයතනවලට සභිකයින් පත්වුනුවිට ඒ කොයි කවුරුත්, තමන්ව පත්කර එවූ ජනතාවට යමක් කරන්න උත්සාහ කරනවා. ඒත් ලැබෙන ප්‍රතිපාදන ප්‍රමාණයෙන් ඇඟට දැනෙන දෙයක් කරන්න බෑ. කරන්න පුළුවන් ඉතින් ගෙවල් ළඟ ‘ලයිට් කනුවට ලයිට් එකක්වත්’ දාල දෙන්න තමා. අන්තිමටම විදුලි රැහැන් ඇද ඇති සෑම මාර්ගයක්ම මනාව ‘වීථි ආලොකකරණයට’ ලක්වෙලා. විදුලියබල මණ්ඩලයෙන් හෝ වෙනත් ආයතනයකින් පැණවූ නීතියක් තිබෙනවා වීථි පහන් සවිකළ යුත්තේ එක් කණුවක් හැර කණුවක පමණි කියා. එහෙත් එසේ කණුවක් මග ඇරී ඇත්නම් ඒ ඉතා අල්ප ලෙසය. පළාත් පාලන ආයතන නියෝජිතයින්ට අමතරව පළාත් සභා හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද තමන්ට වෙන්වන ප්‍රතිපාදන වලින් වැඩි ‘වැඩ ප්‍රමාණයක්’ ඉටුකිරීම සඳහා තෝරා ගන්නේ, අවමංගල්‍යාධාර සමිතිවලට පුටු ලබාදීම හැරුනු විට ‘වීථි පහන්’ ලබාදීමය.
කෙසේ හෝ අදවනවිට කොළඹ නගරයේ සිට, අගනගර, නගර, සුළු නගර, නියම්ගම්, ගම් පසුකොට හද්දා වනාන්තරයක් මැදින් මාර්ගයක් වැටී ඇත්නම් ඒ මාර්ගය දිගටමද ‘වීථි ආලෝකය’ සපයා ඇත.
“කොච්චර හොඳද? ගෑනියෙක්ට උනත් ඔනෙ රැයක බයක් නැතුව පාරෙ බැහැල යන්න පුළුවන්නෙ!” (සූසැටභරණින් සැරසීලා).
“කොහෙ හරි ගිහිල්ලා හදිස්සියේ රෑ උනත් බයවෙන්න දෙයක් නෑ, පාරෙ ලයිට් තියෙනවනේ”
“පාරට ලයට් දැම්මහම හොර හතුරො අඩු වෙනවා.”
වීථි ආලෝක කිරීම බහුතරයක් දකින්නේ මේ විදිහට.
එහෙත්, මෙලෙස රෑටත් ‘දවල් වගේ ලයිට් දැමීම’ නිසා වෙන හානි ගැන සොයා බැලුවද?
ජනප්‍රියම කාරණය ‘විදුලි අරපිරිමැස්ම. ඒක ගැන හැමෝම කථා වෙන නිසා අපි ඒක අමතක කරමුකො ටිකකට.
මාගේ මතය අනුව මෙලෙස මුළු රාත්‍රිය පුරා පරිසරය ආලෝකවත් කර තිබීමෙන් විශාල ලෙස හානි වන්නේ ‍ෛජව විවිධත්වයටයි. මුළු රාත්‍රියක් පුරා දැල්වෙන වීථි පහනක් යට දැවී පිලිස්සී ඇති කෘමි සතුන් ප්‍රමාණය කොතෙක්ද? (ඔබ එකම සතෙක්වත් ‘ජීවිතේට’ දැක නැත්නම් මා කියනා මේ හානියේ ප්‍රමාණය කොතරම්දැයි වටහා ගැනීමට තවත් අටුවා ටිප්පිනි අවශ්‍ය නැත)
‘මුළු ලොවම නිදනා රැයේ අහසේ අසිරිය’ බලන්නට උඩ බැළුවත් අද දිස්වන්නේ හාත්පස පැතිරුනු ‘වීථි පහනේ’ ආලෝකයයි. පසලොස්වක-අමාවක වෙනසක් නැතුවා සේය. (අළුත් කවියෝ මොනව ලියයිද මන් දන්නෑ)
දැන් එන්නේ, “එහෙනම් මොකද කරන්නෙ? පාරෙ ලයිට් දාන්න එපාද කියන්නනෙ?” කියන ප්‍රශ්නයට. ඇත්තටම ‘පාරෙ ලයට්’ නැතුවම තියෙනවනම් හොඳා - ඒත් අද ඒ තත්වෙට යන්න බැරි තරමට ඇබ්බැහි වෙලානේ ඉන්නේ. ඒනිසා ප්‍රායෝගික විසඳමක් ගැන හිතමු. 88-89 ‘පරිවරිතනයත්’ සමග අද වෙන විටත් රාත්‍රී සංචරනය බොහෝ සීමා වෙලා තියෙන්නේ. අද අති බහුතරයක් රෑ 9-10 වනවිට ‘ගෙවල් දොරවල් වහගෙන - ගෙදර ලයිට් නිමාගෙනත්’ අවසානයි. ඉතින් රෑ 10 සිට උදේ 5 පමණ වනතෙක් ‘වීථි ආලෝකය’ කාටද? පාරෙ යන සෑම වාහනයකටම විදුලි ආලොකය තිබෙනවා. (නැත්නම් දවල්ට උනත් පොලීසියෙන් අල්ලනවනෙ) රාත්‍රී ගමනක් යන කෙනෙක් විදුලි පන්දමක් (අද ගෘහ විදුලියෙන් ආරෝපණය කරණ විදුලි පන්දම් වෙළඳ පොලේ අනන්තවත්) රැගෙන යන්නේනම්!
එසේනම් කළ යුක්තේ කුමක්ද?
නිවසේ පහන් අනවශ්‍ය වේලාවට නිවන්නා සේ වීථියේ පහනත් අනව්‍ය වේලාවට නිවා දමනවානම්!

රාජ්‍ය සේවය හා මානව සම්පත් කළමණාකරණය.





රාජ්‍ය සේවය යැයි පැවසූ සැනින් අපගේ මතකයට එන්නේ ලක්ෂ ගනනක් වූ රාජ්‍ය සේවකයින්ය.
එනම් රාජ්‍ය සේවයේ මානව සම්පතය. ඇත්තටම ‘රාජ්‍ය සේවය’ කියා වැඩි වශයෙන්ම සිදුවන්නේද මේ අති විශාල ‘සම්පත’ කළමණාකරණය කිරීමය. රජයේ කාර්යාලයක් ගත්විට එහි සිටින ‘රාජ්‍ය සේවකයින්ගෙන්’ 40% දෙනා කරන්නේ ‘මානව සම්පත් කළමණාකරණ’ වැඩය.
කාර්යාල වල භාවිතා වන වචන වලින් කියනවානම් ‘පරිපාලන සේවා’, ‘සේවා කොන්දේසි’, ‘පුද්ගලික ලිපිගොනු’, ‘සාමාන්‍ය පාලන’, ‘පාලන’. මේ ආදී තවත් වචන රාශියකින් හැඳින්වුවද මේ කුමන විශයෙන් වුවද සිදුවන්නේ ‘මානව සම්පත් කළමණාකරණ’ රාජකාරියක්ය. මෙම රාජකාරී වලින් 95% කට වැඩි ප්‍රමාණයක් නිතිපතා නැවත නැවතත් සිදුකරන ඒකාකාරී දේවල්ය.
රාජ්‍ය සේවයේ මානව සම්පත් කළමණාකරණය සම්බන්දව පැන නගින ගැටළු කිහිපයකි.1. සමස්ථ රාජ්‍ය සේවයෙන් 40% ක්ම සිදුකරන්නේ අභ්‍යන්තර කටයුක්තක් නම් රාජ්‍ය සේවයේ ‘සේවාලාභීන්’ එනම් ‘මහජනතාව’ විසින් නඩත්තු කරනු ලබන්නේ ‘සුදු අලියෙක්ද’?
2. මෙම ‘මානව සම්පත් කළමණාකරණය’ නිසි ආකාරව සිදු වෙනවාද?3. මෙම ඒකාකාරී රාජකාරී ඉටුකිරීම සඳහා මීට වඩා සාර්ථක ක්‍රමවේදයක් නොමැතිද?
ඒ සඳහා ‘තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය’ භාවිතා කළ හැකිබව මාගේ මතයයි. රාජ්‍ය සේවයේ ‘මානව සම්පත් කළමණාකරණය’ සඳහා ‘තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය’ භාවිතා කරන අවස්ථා මේ වන විටත් තිබෙනවාද කියා මම නොදනිමි. (එවැනි අවස්ථා ඇත්නම් ඒ සම්බන්ධව තොරතුරු ඉදිරිපත් කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.)
කෙසේ වුවද, මේ සඳහා ‘තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය’ භාවිතා කිරීමෙන්
1. රාජ්‍ය සේවයේ ඇති විශාල බරක් සැහැල්ලු කර ගැනීමට හැකිවනු ඇත.
2. මටද ඇතුළුව සෑම රාජ්‍ය සේවකයෙකුටම (අවම වශයෙන් එකක් වත්) ඇති නොවිසඳුනු සම්ප්‍රදායික ගැටළු පහසුවෙන් නිරාකරනය කරගත හැකි වනු ඇත.
3. එමගින් ඇතිවන මානසික සහනය වඩාත් යහපත් සේවයක් ලබා දීමට හොඳ පෙළඹවීමක් වනු ඇත.
4. මානව සම්පත් කළමණාකරණය සඳහා යොදවා ඇති මනව සම්පත රාජ්‍ය සේවයේ ඵලදායී අංශ කරා යොමු කළ හැකිය.
ඒ අනුව රාජ්‍ය සේවයේ ‘මානව සම්පත් කළමණාකරණය’ සඳහා ‘තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය’ භාවිතා කිරීම ඉ-රාජ්‍ය සංකල්පයේ ‘ප්‍රශස්ත මහජන සේවයක්’ ලබාදීමක්ම වනු ඇත.

Friday, 19 September 2008

මිනිරන් සෙවීම

















ලංකාවේ මිනිරන් නිධි සෙවීම සඳහා රජය කටයුතු ආරම්භ කරන බවට තොරතුරක් අද ලංකාදීපෙ තිබුණා.
ප්‍රගතිශීලී අදහසක්!
ලංකාවේ මිනිරන් වැඩි කාබන් ප්‍රතිශතයක් සහිත හොඳ වෙළඳ පොලක් තියෙන සම්පතක්.
පසුගිය දිනක බෝගල මිනිරන් පතලට යාමේ අවස්ථාව ලැබුනා.
(ගලිගමුව ප්‍රාදේශීය ලේකම් වන්නිනායක මැතිතුමාගේ හා බෝගල ග්‍රැපයිට් ලංකා පුද්ගලික ආයතනයේ සාමාන්‍යාධීකාරී ඊ. එස්. දයනායක මැතිතුමාගේ කාරුණික අනුග්‍රහයෙන්)
එහිදී දැනගත් කරුණු අනුව ලංක‍ාවේ තවත් මිනිරන් නිධි රාශීයක් තිබිය හැකිබවට තද විශ්වාසයක් විද්‍යාඥ්ඥයින් තුල තිබෙනවා.
අනුරාධපුර යුගයට (ක්‍රි.ව. 400 - 500) අයත්යැයි පුරාවිද්‍යාත්මකව තහවුරු කළ මිනිරන් නිශ්පාදන සීගිරි අවටින් සොවාගෙන ඇත. http://www.gk-graphite.lk/graphite-supplier.html

ලංකාවේ මිනිරන් සඳහා කැනීම් ආරම්භ වී ඇත්තේ ක්‍රි.ව. 1840-1850 කාලයේය.

මේවන විට වසර 170ක් පමණ පැරණි මෙම කර්මාන්තය විධිමත් ලෙස කළමණාකරණය කරන්නේනම් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ලංකාවට ඇදලැනීමට හොඳ අවස්ථාවක් බව මගේ මතයයි.

Thursday, 18 September 2008

තනි තනිව වැඩ කරන රජයේ සේවකයෝ

ඉ-ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ රාජ්‍ය ප්‍රති-නිර්මාණ අංශයේ වැඩසටහන් ප්‍රධානි වසන්ත දේශප්‍රිය මහත්මයාගේ
ටීකාව ඉතා අගය කොට සලකනවා.
ස්තුතියි.

මම කියන්න උත්සාහ කළේ අපේ රාජ්‍ය සේවයේ සිටින බහුතරයකගේ -අති බහුතරයකගේ ආකල්පයක් ගැන.
'මම මගේ වැඩේ කරනවා!', 'ඒක මගේ වැඩක් නෙමේ!'
බැලු බැලුමට බොහොම සාධාරන වගේ පෙනෙන, 'ඔව් ඒ මදෑ'කියල හිතෙන, ආකල්පයක්.
ඒත් ඒක හරිද?

ආයතනයක වැඩ තනි තනිව කරල සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන්ද?

මම අත්දැකල තියෙන බහුතරයක් -අති බහුතරයක් පෞද්ගලික ආයතනවල කටයුතු කරන්නේ සාමූහිකව.
ඒ ඒ රාජකාරියට ඍජුව වගකියන අයෙක් සිටිනවා.
ඒත් කළමණාකරනය විසින් ඒ සියළු අංශ හොඳින් සමායෝජනය කරනවා.
අවසාන ප්‍රතිඵලය සාර්ථකයි.

කරුමයක මහත.
රාජ්‍ය අංශයේ අති බහුතරයක් ආයතනවල එම සහභාගිත්ව කළමණාකරනය ඇත්තෙම නෑ.

වසන්ත මහත්මයා කියන ආකාරයට 'තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය'ට පුළුවන් වෙයිද මේ ආකල්පමය වෙනස ඇති කරන්න?

'තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය' අප ආයතනයේ ඵලදායීතාව වර්ධනය කිරීම පිණිස යොදා ගැනීමට
ගන්නා උත්සාහයට හරස් වී තිබෙන්නෙත් මේ 'කාලකන්ණි' ආකල්පයමයි.
('කාලකන්ණි' කිව්වට 'කන්නෙ' කාලය විතරක් නෙමේ. ශ්‍රමය, ධනය, කීර්ති නාමය වගේසම්පත් විශාල ප්‍රමාණයක් මේ ආකල්පය නිසා විනශ වෙනවා)

Wednesday, 17 September 2008

තනි තනිව වැඩ කරන රාජ්‍ය සේවය!

ආයුබෝවන්ඩ!
මේ දවස්වල නගරයේ තාප්පයක් තාප්පයක් පුරා තියෙන්නෙ "රාජ්‍ය සේවය පිණිසයි!"
ඒ මොබිටෙල් ජංගම දුරකථන "උපහාරය".
ඇත්තටම රාජ්‍ය සේවය කියන්නෙ මොකක්ද?
State Service.
එතකොට public Service කියන්නෙ?
මහජන සේවයද?
public කියන්නෙ පොදු.
State කියන්නෙ රාජ්‍ය, නැත්නම් රාජකීය.
කොහොම උනත් අද තියෙන මේ රාජ්‍ය සේවය හඳුන්වන්න හොඳම යෙදීම,
"මහජන සේවය" විය යුතුයි.
ලංකාව වැනි යටත් විජිතවූ රටවල,
යටත් විජිත පාලකයින්ගේ වුවමනාවන් ඉටුකරගැනීම සඳහා ඇති කළ යාන්ත්‍රනය
අද වන විටත් ඒ ආකාරයටම පවතිනවා.
නමුත් ඒ යටත් විජිත පාලනයක් නෙමේ අද තියෙන්නෙ.
තමන්ගේ කටයුතු යම් සම්මතයකට අනුව සිදුකර ගැනීම සඳහා
තමන් වෙනුවට තමන්ගේ නියෝජිතයෙක්ව පත්කරගෙන,
තමන්ට අවශ්‍ය විදිහට, තමන්ගේ කටයුතු කරගන්නා
ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් අද තියෙන්නේ.
ඒ කියන්නෙ 'රාජ්‍ය' නැත්නම් 'රාජකීය' නෙමේ.
'පොදු'. Public Service.
ඇත්තටම අද තියෙන්නේ පොදු සේවාවක්ද?
එයින් සේවා ලාභියගේ අවශ්‍යතාවන් ඉටු වෙනවාද?
කවුද සේවා ලාභියා?
යටත් විජිත යුගයේ රාජ්‍ය සේවකයාගේ සේවාව ලැබුවේ රජය.
නැත්නම් යටත් විජිත පාලකයින්.
අද 'පොදු සේවකයාගේ' සේවා‍ව ලබන්නා විය යුත්තේ මහජනතාව.
එහෙත් සිදුවන්නේ එයද?
අන්තර්ගතයේ පමණක් සුළු සුළු වෙනස්කම් කිහිපයක් පමණක් සිදුවූ
අවුරුදු 200ක් පමණ සිට ස්ථාවරව පවත්වාගෙන එන ලංකාවේ
රාජ්‍ය සේවය අදටත් යල්පැනගිය,
'පරයන්ගේ වැඩක් කරනවා' යන හැඟීමමත පවත්වාගෙන යන 'රැකියාවක්' පමණි.
'තනි තනිව වැඩ කරන රාජ්‍ය සේවය' ගැන හෙට බලමු.

සුභ දවසක්!

Tuesday, 16 September 2008

මේ මගේ මතය!

එක්කෙනා එක්කෙනා
එක දෙයක් ගැන
වෙන වෙනස් විදිහට හිතන ලෝකේ
මට හිතෙන හැටිත් ලියල තියන්න හිතුනා.
ඒ මගේ මතය.
මගේ මතය ගැන
ඔබේ මතය මට කියන්න.