Saturday, 29 May 2010

කොණ්ඩෙ බැඳල පාසල් යමු...!

ලංකාවේ ක්‍රියාත්මක වන්නේ 'නිදහස්' අධ්‍යාපනයකි. අධ්‍යාපනයට මෙම 'නිදහස්' කෑල්ල එක්වන්නේ කන්නංගර යුගයේය. එතෙක් (වැඩිදුර) අධ්‍යාපනය ලැබීම සඳහා ගෙවීමක් කිරීමට සිදුවිය. එයින් නිදහස් කර නොමිලේ අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාව ලබා දීම නිසා අධ්‍යාපනයට 'නිදහස' එකතු විය. එසේ නිදහසේ ලබන්නට පින් ලැබුයේ එතෙක් පැවති මිෂනාරී අධ්‍යාපනයමයි. මෙම මිෂනාරී අධ්‍යාපනය 'නිදහසේ' ලැබිය හැකි එකක් නොවීය. එය අති මහත් නීති පද්ධතියක් යටතේ දැඩි පාලනයකින් යුතුව ලබා දුන් එකකි විය.

පාසල් නිල ඇඳුම එක් නීතියකි. මා ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ පාසලේදී අපට නිල ඇඳුමක් නොතිබුණු අතර නගරයේ පාසලට පැමිණි විගස ඇඳුම් ඇඳීමේ නිදහස සීමා විය. ඇඳුමේ පාට පමණක් නොව කලිසම් කුකලේ දිග, කමිස අතේ දිග, සපත්තුවේ පාට, මේස්වල උස ආදී සීමා රාශියක් විය.
කකුල් දෙකටම සපත්තු නොදැමීමේ නිදහස ද නැති විය. එක් කකුලක පමණක් තුවාලයක් තිබේනම් සෙරෙප්පු දැමිය හැක්කේ එම කකුලට පමණි. අනිත් කකුලට සපත්තුවක් දැමිය යුතුය.
හිස කෙස් වැවීමේ නිදහස ද නැති විය. අපගේ 'කොණ්ඩා මෝස්තරය' තීරණය කරන්නේ විනය භාර ආචාර්යවරයාය. මාගේ පුතාගේ ඉතා හුරුබුහුටි කොණ්ඩා මෝසතරය පාසලට ඇතුළත් කළ විගස 'දැඩි අවවාද කිරීම්' සහිතව වෙනස් කිරීමට සිදුවිය. දැනටද කෙස් වැවිය හැක්කේ කෙස් අතරින් අතැඟිලි යැවූ විට 'අතට අහු නොවන' ප්‍රමාණයටය.
මාගේ සොයුරියන් ගිය පාසලේ දී කොණ්ඩය දිගනම් කරල් දෙකට ගොතා නියම කළ වර්ණයෙන් හා නියම කළ පළලින් සහ දිගින් යුතු රිබන් පටිවලින් නියමිත ගැටය ගැසිය යුතුය. කොටට කපනවා නම් තවත් නීති පද්ධතියක් අදාල විය.
මේ 'නිදහස් අධ්‍යාපනයේ' නැතිව ගිය නිදහයෙන් කිහිපයක් පමණි.
අවාසනාවට හෝ වාසනාවට තවත් කොටසකට පමණක් නැතිව ගිය නිදහසක්ද වේ. එනම් විරුද්ධ ලිංගිකයින් සමග එකට සිට අධ්‍යාපනය ලැබීමේ නිදහස.
කෙසේ හෝ මෙවැනි දැඩි විනය පද්ධතියක් යටතේ අධ්‍යාපනය ලබන සියළු දෙනා සමාජයට පැමිණි විට එලෙසම විනයානුකූලව ජීවත් වීමේ ශික්‍ෂණය ලබා තිබේද යන්න පැහැදිලි නැත. මෙම නීති අවශ්‍ය වන්නේ ආයතන පරිපාලනය සඳහා පමණක් නම් තව දුරටත් මේ 'නිදහස නැති කිරීම' පවත්වාගෙන යායුතුද?

11 comments:

Kanishka | කණියා said...

මම නම් කියන්නේ මේ වගේ විනයක් පාසලකට අවශ්‍යයි.. මොකද ලොකු උනාම ළමයි හදන්න බෑ... පොඩි කාලෙමයි පුරුදු කරන්න ඕනා.. හැබැයි ඔය කියන වගේ නිදහස් අධ්‍යාපනයක් විශ්ව විද්‍යාල වල තියේ.. :)

Supun Sudaraka said...

ලංකාව තවමත් වැඩවසම් යුගයෙ කියන්නෙ මේකද මන්ද, මං හිතන්නෙ බොහෝ රටවල ‍මේ නීති අනුගමනය කෙරෙන්නෙ නෑ දැන්.

අනේ කාලේ, වනේ වාසේ කිව්වලු.

චානු said...

පාසල්වල විනය ගැනනම් කතා කරල වැඩක් නෑ. අවුරුදු 15 ලමයිනුත් මතට හුරුවෙලා.

ඉතින් නිල ඇඳුම ගැන විතරක් බලල වැඩක් නෑ.

ඒත් හැමෝටම එකම නිල ඇඳුමක් තියන එක හොඳයි. එතකොට හැමෝම අතර සමානකමක් තියනවනෙ. ඒත් ඒක පාසලෙන් පාසලට වෙනස්වෙන එකනම් එච්චර හොඳ දෙයක් නෙවේ. පාසල් පාසල් අතර භේද ඇතිවෙනව.

Bandula - බන්දුල said...

එකවගේ වෙනවට වඩා විවිධත්තවය හරි ලස්සනයි. ඔය කියන සමානාත්මතාව අද තියෙන නිල ඇඳුමේ තියෙනවාද? ගම්බද පාසල්වල ලමයින්ගේ නිල ඇඳුමේ ‘නිල‘ වැඩි ඇයි?

niroshinie said...

යම් යම් නීති තියන එක හොඳයි. නැත්තම් සමහරු ඉස්කෝල කෝලම් මඩු කර ගනීවි. හැබැයි ඉතින් සමහර නීති ගොඩක් අන්තවාදී විදියට පනවල තියෙනවා.
උදාහරණයක් විදියට මම ගිය ඉස්කෝලේ දැන් කොණ්ඩ කරල් එකක් විතරක් ගොතන එක තහනම් කරලා කියල ආරංචියි. අනිවාර්යෙන්ම දෙකක් ගොතන්න ඕනෙලු. ඕක ඉතින් සමහරුන්ට ලස්සන උනාට සමහරුන්ට සිරාවට ගොන් පාටයි. හික්ස්.
ඉතින් නීතිවලින් කරන්න ඕනේ විනය ඇති කරන එක මිසක් විහින් ළමයින්ව කැත කරන එක හෝ ළමයින්ව අසහනයට පත් කරන එක නොවෙයි.

@ චානු
නිල ඇඳුම පාසල් අතර බේද ඇතිකරනවා කියල හිතන්න අමාරුයි නේ. අනික පාසල් හැමෝටම එකම ඇඳුම තිබ්බොත් ළමයින්ව පිටදී වෙන් කරලා අඳුනගන්න අමාරුයි. අඩු ගානේ නිල ඇඳුමෙන් ඉන්දෙද්දී වත් යමර වැඩ නොකර ඉන්න හිතනවනේ.

@Bandula - බන්දුල:
ගම්බද පාසල් 'නිල' වැඩි කියල කිව්වේ නගරබද පාසල් වල නිල ඇඳුම හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑ කියන එකද?

Bandula - බන්දුල said...

නෑ නිරෝෂිණී, ‘නිල‘ කිව්වේ සුදු ඇඳුමට දාන නිල් ගැන. බොහෝ ගම්පද දරුවෝ/අම්මලා ඉතා තදින් නිල් දානව සුදු පාට පාසල් නිල ඇඳුමට. හේතුව මොකක්ද දන්නවාද? ඒවා හුඟක් පරණයි. කහ ගැහිල. ඒක වහගන්න නිල් දානව. සමහර ඇඳුම් දම් පාටයි.

kolu said...

පිරිමින්ට දිගට කොන්ඩය වැවීම බයීබලේ තහනම් කරලා තියෙනවා. ඒ නිසා පිරිමින්ගෙ දිග කොන්ඩ අපේ සංස්කෘතියට ඔබින්නේ නැහැ ඕන්. මහ මගත් රතිකෙලියේ යෙදෙන බටහිර රටවල් වාගේ වෙන්නද හදන්නේ.

budhajeewa said...

පාසල් වල පවතින හරයක් - පදනමක් නැති, ගුරුවරුන්ට සිසුන් අපයෝජනය කිරීම සඳහා තනා ඇති සම්ප්‍රදායයන්, නීති ආදිය ගැන වෙනම පර්යේෂණකයක් කළ හැකි තැනකි!

chanux said...

සම්මත විනය පද්ධතියක් පාසලක තිබීම අවශ්‍ය යයි මම නම් විශවාස කරන කරුණක්. නමුත් තුවාලයක් සිදු වූ විට එක පයක සෙරෙප්පුවක් සහ අනෙකෙහි සපත්තු දැමීම මහ අමන නීතියක්.

පාසල් කාලයේ තිබුණු මෙවන් නීති වලට මමත් එරෙහි වී තිබෙනවා. නමුත් නිල අඳුමෙන් දක්වන සමානතාවය මම එදා සිටම අගය කළා. නිල ඇඳුම් රෙදි නොමිලේ ලබා දෙන නිසා මෙය අනවශ්‍ය බරක් ලෙස කිසිවෙකුට තර්ක කරන්න බැහැ (මම හැම දේම නොමිලේ දීම අනුමත කරන්නෙත් නෑ).

gayan said...

මම හිතන්නේ ඒ වගේ විනය පද්ධත්යක් තිබීම සුදුසුයි කියලා මොකද එතකොට පාසල් ලමයින් අතර සමානතාව පවතිනවා.

Bandula - බන්දුල said...

හිතවත් ගයාන්,
ඔය වගේ නීති වලින් විවය පවත්වාගෙන යන්න බෑ. ඕවට කියන්නේ ‘විනය පද්ධති‘ කියල නෙමේ; නීති පද්ධති කියල. ඇඳුමෙන් විතරක් ඇති කරන සමානාත්මතාවය කුමටද?
මගේ දුවගේ පන්තියේ ළමයින්ගේ නිල ඇඳුමේ ලක්‍ෂණ වලින්ම අසමානකම් ඇති කණ්ඩායම් 3-4ක් හඳුනා ගත හැකියි.
පළවෙනියා-අන්තිමයා තෝරන අධ්‍යාපන ක්‍ර‍මයේ මොන සමානාත්මතාවයක්ද?
කෙසේ වුවත් මා ඔබගේ අසට ගරු කරනවා.