Monday 6 December 2010

ජීවත් වෙමින් අධ්‍යාපනය හා ජීවත් වීමට අධ්‍යාපනය

ලොකු දුව අපොස සාපෙල විභාගෙට සූදානම්!
ගිය සතියේ දිනක විභාගයට පෙර අවසන් පාසල් දිනය පැවැත් වුණා! සියළුම දෙනාගේ සහභාගිත්වයෙන්. ගුරු දෙගුරු සැම දෙනා. විද්‍යාලයේ අධ්‍යක්‍ෂක හිමි, ජනාධිපති උපදේශක, ආචාර්ය බඳගිරියේ සෝමවංශ නායක හාමුදුරුවන්ගේ ප්‍රධානත්වයෙන්. උන්වහන්සේගේ දේශනයේදීත් පැහැදිලිව ප්‍රකාශ වුනේ මේ තියෙන අධ්‍යාපනයේ වැරදි ගැන.
අධ්‍යාපනය ගැන විද්‍යුත් සඟරාවකට මා විසින් ලියන ලද ලිපියක කොටස් කිහිපයක් මගේ මතය යටතේ නැවත පල කරන්න හිතුනා.
“... අධ්‍යාපනය; වචනයේ අර්ථයෙන් ගත් කළ එයින් කියවෙන්නේ යමක් හදාරා ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා බවකි. ඉගෙන ගන්නවා යන පදයෙන් ලැබෙන්නේ ද එවැනිම අර්ථයකි. යමක් උකහා ගන්නවා යන තේරුම ඉන් ලැබේ. ඉංග්‍රීසි භාෂාවෙන්
අධ්‍යාපනය යනු Educatinon ය. Educate යනු හික්මවනවා යන්නයි. ඉගෙන ගන්නවා යන පදයට සමාන අර්ථය දෙන්නේ Lraen යන පදයයි. ‍

වර්තමානය වන විට අපේ අධ්‍යාපනය රටේ සමස්ත ක්‍රියාවන්ටම ඍජුව බලපෑම් ඇති කරන තත්වයක් උද්ගත වී තිබේ. රජය ඍජුවම විශාල මුදලක් අධ්‍යාපනය සඳහා වියදම් කරන අතර තවත් විශාල මුදල් ප්‍රමාණයක් වක්‍රව අධ්‍යාපනය සඳහා වැය වේ. (ප්‍රවානය සඳහා දැවෙන ඉන්ධන ප්‍රමානයෙන් 40%ක් පමණ ‘පාසැල් වෑන්’, ‘පාසැල් බස් රථ’ හා ‘දරුවා පාසට ඇරලවන මෝටර් රථ’ සඳහා වන බව කියවේ.)
අධ්‍යාපනය සඳහා ඍජුව හා වක්‍රව කරන මෙම වියදම රටේ සමස්ථ ආදායමෙන් විශාල ප්‍රතිශතයකි.

එහෙත් මේසා විශාල ධනස්කන්දයක් වියදම් කර ලබා දෙන්නා වූ අධ්‍යාපනයෙන් හිමි වී තිබෙන ප්‍රතිඵලය කුමක්ද යන්න සලකා බැලිය යුතු වේ. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ ඉහලම බලාපොරොත්තුව උපාධියක් ලබා ගැනීමයි. ඒ උපාධිය හිමි කර ගත් කී දහසක් නම් අද රැකියාවක් නොමැත යැයි පවසමින් කල් මරත් ද? කී දහසක් නම් තමන් කරන රැකියාව තම අධ්‍යාපනයේ තත්වයට නොගැලපේ යැයි පවසමින්
පශ්චත්තාප වෙත් ද? ඉතා ඉහල ප්‍රතිශතයක් නිසි වයසේ දී පාසල් අධ්‍යාපනය ලැබීම සඳහා යොමු වුව ද අපොස සාමාන්‍ය පෙල කඩ ඉම පසු කරන්නේ කෙතරම් අඩු ප්‍රතිශතයක් ද? උසස් පෙල සමත් වන්නේ කෙතරම් අඩු ප්‍රතිශතයක් ද? උපාධිය සඳහා සුදුසුකම් ලබන්නේ කෙතරම් අල්ප සංඛ්‍යාවක් ද?

අනෙක් අතට බැලූ කළ කුමන මට්ටමක අධ්‍යාපනයක් ලැබුව ද, කොපමණ ඉගෙන ගත්තවුන් සිටිය ද අද අපේ රටේ, සමාජයේ සාර ධර්ම - ගුණ ධර්ම තිබෙන්නේ මොන මට්ටමේ ද? රටේ සිදුවන අති බිහිසුන අපරාධ මෙන්ම ඉහ වහා ගිය දූෂණය හා භීෂණය පමණක් නොව
සමාජයේ සෑම ස්ථරයකම සිදුවන සදාචාර විරෝධී ක්‍රියාවන් කෙරෙහි අධ්‍යාපනය ඇති කර ඇති බලපෑම කෙබඳු ද? නිවැරදි අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක වන්නේ නම් මෙම අවාසනාවන්ත තත්වයන් මේ තරමට උඩු දුවන්නේ කෙසේද? මෙම කරුණු කෙරෙහි අපගේ අවධානය යොමු විය යුතුය. සිදු කළ යුත්තේ කුමක්ද ද? විශාල වෙනසක් අවශ්‍යව ඇත. එය සිදු කළ හැකි වන්නේ කෙසේ ද?

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිපත්ති ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් වේ. අධ්‍යාපන ඇමතිගෙන් ඇමතිට වෙනස් වේ. කාලීන වෙනස් වීමක් විය යුතු බව සැබෑය. එහෙත් අපට වෙනස් නොවන මුත් වර්ධනය වන අරමුණක් තිබිය යුතුය.

අධ්‍යාපනයේ අරමුණ විය යුත්තේ කුමක් ද? අපේ අරමුණ විය යුත්තේ ජීවත් වෙමින් අධ්‍යපනය හා ජීවත් වීමට අධ්‍යාපනය යන්නයි. මේ සඳහා නව අධ්‍යාපන සැලැස්මක් යෝජනා කරන්නනෙමු. ...“

No comments: