Tuesday 25 November 2008

පරිගනක කියන්නේ වින්ඩෝස්ද?

විජය පරිගනක සඟරාව 'පරිගනක දැනුම සරල සිංහලෙන්' ලබාදීම සඳහා නිකුත්කරන Easy Guide සඟරා පෙලේ මෙවර කලාපය 'QA - එදිනෙදා පරිගනක භාවිතයේදී මතුවන ප්‍රශ්නවලට පිළිතුරු' ලෙස නිකුත්කර තිබෙනවා.
පිටු 32 යි. පරිච්ඡේද 10යි. ප්‍රශ්න 146යි. දසවැනි පරිච්ඡේදය 'විවිධ මාතෘකා'. ඒ යටතේ තිබෙන 3වන ප්‍රශ්නය මෙසේයි.
-උපුටා ගැනීම-
වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය හැර තිබෙන වෙනත් මෙහෙයුම් පද්ධති වන ලිනක්ස්, යුනික්ස්, මැක් ඕඑස් යනාදීයේ විශේෂත්ව මොනවාද?

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය නිපදවා ඇත්තේ තනි පුද්ගලයෙකුට වුවද තම පරිගනකයේ ක්‍රියාකාරකම් පහසුවෙන් ඉටුකරගත හැකිවන පරිද්දෙන් හෙවත් 'යූසර් ෆ්‍රෙන්ඩ්ලි' ක්‍රමයටය. ලෝකයේ හැම පරිගනක දහයකින් නවයකම වින්ඩෝස් භාවිතා කරන නිසා ලෝකයේ බොහොමයක් මෘදුකාංග නිපදවා තිබෙන්නේ වින්ඩෝස් සඳහා ගැළපෙන සේය.
ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය විවෘත මෘදුකාංගයක් හෙවත් 'ඕපන් සෝස්' මෘදුකාංගයක් වන අතර එය බොහෝවිට භාවිතා කරන්නේ ආයතනවල පරිගනක ජාල හැසිරවීම වැනි කටයුතු සඳහාය. එහෙත් එය පෞද්ගලික පරිගනකවල භාවිතාකළ හැකි මෙහෙයුම් පද්ධතියක් වශයෙන්ද ජනප්‍රිය අතර වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට තරම් වයිරස් හා වෙනත් අනතුරුදායක වැඩසටහන් ලිනක්ස්වෙත නැත. එනිසා වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට වඩා බොහෝ ස්ථායී හා ආරක්ෂිත අන්දමින් පරිගනකය මෙහෙයවීමට එමගින් පුළුවන. එහෙත් ලිනක්ස් සඳහා ගැළපෙන මෘදුකාංග වින්ඩෝස්වලට වඩා අඩුය.
......
-උපුටා ගැනීම අවසන්-

'පරිගනක දැනුම සරල සිංහලෙන්' ලබාදීම සඳහා නිකුත් කළ සඟරාවක, 'එදිනෙදා පරිගනක භාවිතයේදී මතුවන ප්‍රශ්නවලට පිළිතුරු' ලබාදීමේදී, ප්‍රශ්න 146කින් 'වින්ඩෝස් හැර වෙනත් මෙහෙයුම් පද්ධතියක්' ගැන ඇතිවූ එකම ප්‍රශ්නය හා එයට ලබාදුන් පිළිතුරයි ඒ.

මෙම තත්වය වහ වහා වෙනස් විය යුතුය යන්න මාගේ මතයයි.

ඒ සඳහා විවෘත හා නිදහස් මෘදුකාංග අගය කරන්නන් මීට වඩා යමක් කළ යුතුයැයි සිතමි. 'නිදහස අගයන සමාජයක් වෙනුවෙන්' දිනකට එකක්වත් විවෘත හා නිදහස් මෘදුකාංගවල අගය පහදා දෙන සටහනක් සින්ඩිකේටරයේ පලවන්නේනම් අගනේය...!

14 comments:

Malinthe Samarakoon said...

මේක විජය පරිගණක සඟරාව මගින් කරපු දෙයක් නිසා පුදුම වෙන්න දෙයක් නෑ :D

Pahan said...
This comment has been removed by the author.
Pahan said...
This comment has been removed by the author.
Pahan said...

මඟ පෙන්නන්න ඕන අයත් අඳුරේ අතපත ගානවා.හික් හික්.
මම දැනට ලියපු එකක් මෙතන තියෙනවා. තව ශාකුන්තලගේ සටහනුත් බලන්න.

* කලින් comment දෙක මගේ පොඩි පොඩි අතපසු වීම් නිසා මමම delete කරා සමාවෙන්න හො‍ඳේ.

ශාකුන්තල | Shaakunthala said...

මටනම් ඇත්තටම දුකයි විජය පරිගණක සඟරාව ගැන. මම පරිගණකය ගැන ඉගෙනගත්තෙ විජය ළමා පත්තරේ කියවල. පරිගණක සඟරාවෙනුත් ගොඩක් දේ ඉගෙනගත්ත. ඒත් ඔය කඩේ යෑම නිසා මම දැන් විජය පරිගණක කියවන්නෙ නෑ.

ලංකාවෙ ලිනක්ස් පාවිච්චි කරන්නන්ගෙ සංඛ්‍යාව වැඩි වෙමින් පවතිනව. අඩු ගානෙ බොහෝ දෙනා පෙරට වඩා දැන් ලිනක්ස් ගැන උනන්දුයි. ඒ ලිනක්ස් පරිශීලකයින් වෙනුවෙන් යමක් පළ කරනව වෙනුවට දිගින් දිගටම Microsoft එකට කඩේ යාම නම් කණගාටුවට කරුණක්.

FOSS ගැන අනෙක් අයව දැනුවත් කිරීම හැකි උපරිමයෙන් කරනවා. ඒත් ඒක බ්ලොග් වලට පමණක් සීමා නොවිය යුතුයි.

Anonymous said...

හොර පිටපත් නැතුව මුදල් ගෙවා ගන්න වූ දාට තමයි වින්ඩෝස් වල රඟේ දැනෙන්නෙ

ම.ම.ගි said...

ලෝකෙ මොනදේ වුනත් හැම දාම නොමිලෙ ලැබෙන්නෙ නැහැනෙ. ඒක නිසා ඕපන් සෝස් සොෆ්ට්වෙයාර්ස් පාවිච්චියට ගන්න එක සමූහයක් වශයෙන් ලෝක වාසීන්ට වාසිදායක වෙනවා. නමුත් එක දෙයක් කියන්න ඕන ඔය මයික්‍රොසොෆ්ට් විරෝධී කව්රු වුනත් අමතක කරන්න එපා ආධුනිකයො මුලින්ම කම්පියුටර් එකේ ඉගෙනගත්තෙ වින්ඩෝස් වලින් බව. අනෙක මේක නිර්මාණය කරන්න කොච්චර බිල්ගේට්ස් වෙහෙසෙන්න ඇතිද. ඒවායෙ ප්‍රතිලාභ භුක්තිවිද්න්න එයාට සම්පූර්ණ අයිතිය තියෙනවනෙ. තවදෙයක් මෙච්චර කල් හොරෙන් හරි (මම කියන්නෙ ලයිසන් නැතිව) අපි පාවිච්චි කල එකටම අපි එයාට කොච්චර ණය ගැතිද මම නම් කියන්නෙ මේ හිතට එකඟව.

ශාකුන්තල | Shaakunthala said...

@මම මචන්,
මුලින්ම කියන්න ඕන Open Source කියන එකෙයි 'නොමිලයේ' කියන එකෙයි සම්බන්ධයක් නැති බව.
ආධුනිකයො හැටියට අපි මුලින්ම ඉගෙනගත්තෙ වින්ඩෝස් වලින් බව ඇත්ත. හැබැයි ඒක අපේ රටේ නීති පද්ධතියෙ යම් යම් අඩුපාඩු වලත්, මයික්‍රොසොෆ්ට් සමාගමේ වෙළඳ උපක්‍රම වලත් ප්‍රතිඵලයක්. The Matrix බලල තියෙනවද? අපි ඇත්ත දැනගත් දාට ඇත්ත පිළිගත යුතුයි.
වින්ඩෝස් වලට බිල් ගේට්ස් වෙච්ච මහන්සිය ගැන මෙහෙම කියන්නම්. වින්ඩෝස් පරිණාමය වුණේ MS-DOS වලින්. බිල් ගේට්ස් MS-DOS හැදුවෙ සියැටල් සමාගමේ 86-DOS පද්ධතියෙ නම වෙනස් කරල -- නැතුව අමුතුවෙන් hard code කරල නෙවෙයි. ඒ වගේම අමතක කරන්න එපා, GNU/Linux මුළු මහත් මානව සංහතියේම දැනුම හා බුද්ධිය නියෝජනය කරන බව. FOSS දියුණු කළොත් එහි ප්‍රතිපල මුළු මහත් මානව වර්ගයාටමයි. එහෙම නැතුව නීතිවිරෝධී ලෙස ව්‍යාපාර කරන තනි සමාගමකට නෙවෙයි.
ලයිසන් නැතිව අපි වින්ඩෝස් පාවිච්චි කරපු එක ගැන අපි යම්තාක් මට්ටමකට Microsoft එකට ණයගැතියි.

Pahan said...

@ මම මචන්
"ඒවායෙ ප්‍රතිලාභ භුක්තිවිද්න්න එයාට සම්පූර්ණ අයිතිය තියෙනවනෙ. "
ඔබ තුමා දන්නේ නැති උනාට විවෘත Open Source මෘදුකාංග සමාගම් ඒවායේ ප්‍රතිලාභ ලබනවා. මම කියන දේ විශ්වාස නැතිනම් Liferay, Inc., Red Hat, MySQL AB වැනි ආයතන ගැන පොඩ්ඩක් හොයල බලන්න.

Homo Erectus said...

@ බන්දුල,
වැඩිපුර කථාකළ යුතු මාතෘකාවක්.

@ මලින්ත
කියන්නේ විජය පරිගනක = මයික්‍රොසොෆ්ට් කියලද?

@ ශාකුන්තල
මමත් එමම තමා. පරණ සඟරා ටිකක් අරගෙන බැලුවා. ඒ කාලේ නිදහස් හා විවෘත මෘදුකාංග ගැන මීට වඩා කථා තරල තියෙනවා. දැන් තමා මේ කඩේ යාම පටන් අරං තියෙන්නේ.
බ්ලොග් විතරක් නෙමේ, අපිට තව ගොඩක් දේ කරන්න ඉතිරි වෙලා තියෙනවා. එන්න එක්වෙමු.

@මචං
මයිකොසොෆ්ට් විරෝධී හා මයිකොසොෆ්ට් හිතවාදී කියල කණ්ඩායම් දෙකක් ඉන්නවාද? ඔබ හා විජය පරිගනක කණ්ඩායම මයිකොසොෆ්ට් හිතවාදී පක්ෂයේ බව පැහැදිලියි. ඒත් ඔබ යමෙකු මයිකොසොෆ්ට් විරෝධී කියල තේරුම් ගන්නේ කොහොමද? මම නම් මයිකොසොෆ්ට් විරෝධී නෑ. ඒ වගේම මම නීති විරෝධීත් නෑ. මයිකොසොෆ්ට් ඉදිරිපත් කරන ගිවිසුම මේ ළඟක් වෙනකම් ලංකාවේ වලංගු නෑ. ඒ බව දන්නා නිසා හා ලෝකයේ සෑම දෙනාටම පරිගනකයේ අයනු ආයනු වින්ඩෝස් වලින් කියවිය යුතු නිසා මයිකොසොෆ්ට් අපේ රට ඇතුළු පරිගනක භාවිතය අඩු රටවල නීතිවාරෝධී පිටපත් පැතිරෙන්ට ඉඩ හැර මොකුත් නොදන්නවා වාගේ බලාගෙන හිටියා. ඉතින් ඔබත් මාත් ඇතුළුව ලෝකයේ බහුතරයක් පරිගනක ඉගෙන ගත්තේ වින්ඩෝස් වලින් තමා. ඒ ඔබුන්ටු වලින් හෝ ෆෙදොරා වලින් හෝ පරිගනක ඉගෙන ගැනීමට නොහැකි නිසා නොවේ. පරිගනක උගන්වන ආයතන වලට නොයෙක් සහතික, නම්බුනාම ආදිය ලබා දී, හා ඒවාට ගුරුවරු පුහුණුකර දී සෑම දෙනාටම පරිගනක උගන්වන්න වින්ඩෝස් භාවිතා කිරීමේ පරිසරයක් නිර්මානය කිරීමට තරම් බිල් ගේට්ස්ගේ අලෙවිකරණ හැකියාව ප්‍රබල වුණු නිසයි. එම අලෙවිකරණ ව්‍යාපෘතියේම තවත් කොටසක් තමා විජය පරිගනකය හා ලවක් දෙවක් නැතිව පරිගනක උගන්වන පොත් ලියන කණ්ඩායම් හරහා සිදු කරන්නේ. ඔබටත් මේ අත්දැකීම ලබන්නට අවශ්‍යනම් පරිගනක උගන්නවන පොතක් දෙකක් ප්‍රකාශයට පත් කරන්න. බේරේ වැවේ සුළං වැදි වැදි නොමිලේම මයිකොසොෆ්ට් අලෙවිකරණ පුහුණුවක් ලබාගත හැකියි.
මයිකොසොෆ්ට් අලෙවිකරණ ව්‍යාපෘතියේ තවත් කොටසක් තමා ඔබ ඇතුළු මයිකොසොෆ්ට් හිතවාදී පක්ෂය කරන්නේ. බිල්ගේට්ට ණය ගෙවිය යුතු බව කියමින් ධර්ම දේශනා කිරීම එක ක්‍රමයක්. අනෙක් ක්‍රමය ලිනක්ස්වලට හුඟක් ඩ්‍රයිව්ස් සෆෝට් කරන්නේ නෑ ආදී මත පැතිරවීම. (මට මතකයි කාගේ හෝ බ්ලොග් එකක හෝ කමෙන්ට් එකක සෆෝට් නොකරන ඩ්‍රයිව්ස් මොනවද කියා අසා තිබුණා. ඒත ඔබලා කවුරුවත් ප්‍රසිද්ධීයේ කියා තිබූ වගක්නම් මතක නෑ.) කරුමයක මහතනම් ඔබ පවසන පරිදි (...අනෙක මේක නිර්මාණය කරන්න කොච්චර බිල්ගේට්ස් වෙහෙසෙන්න ඇතිද. ඒවායෙ ප්‍රතිලාභ භුක්තිවිද්න්න එයාට සම්පූර්ණ අයිතිය තියෙනවනෙ... ) බිල්ගේට්ස් තම වෙහෙසේ ප්‍රතිලාභ හොඳින් භුක්ති විඳිද්දී ඔහු වෙනුවෙන් කඩේ යන ඔබලාගේ වෙහෙසට ප්‍රමාණවත් ප්‍රතිලාභ ඔබලාට නොලැබීමයි. ඔබ හාඩ්වෙයාර් සඳහා පමණක් මුදල් ගෙවා පරිගනකයක් භාවිතා කරන දවසක ඒ බව අපටත් කියන්න. අපිත් එනවා ඔබ සමග ඒ අවස්ථාව සමරන්න.
@බන්දුල
සමාවෙන්න ඔබේ බ්ලොග් එකේ මෙපමණ දිග කමෙන්ට් එකක් දාන්න වීම ගැන. ඔබ පවසන පරිදි අපි කවුරුත් එක ෆෝසට් එක බැගින් හෝ මේගැන ලිවිය යුතුයි. දැනටමත් එසේ ලියූ සෑම දෙනාටම පින්.

ම.ම.ගි said...

@ ශකුන්තල-
Open Source කියන එකෙයි 'නොමිලයේ' කියන එකෙයි සම්බන්ධයක් තියෙන බව මම කොහෙවත් සඳහන් කරලා නැහැ ඒක තේරුම් ගැනීමේ හුටපටයක්.

@ පහන් -
ඇත්ත මම පිළිගන්නවා. Open Source මෘදුකාංග සමාගම් ඒවායෙ ප්‍රතිලාභ භුක්ති විදින්නෙ නැහැ කියලා අදහස් කරලා නැහැ.

@ හෝමෝ එරෙක්ටස් -
මයිකොසොෆ්ට් විරෝධී හා මයිකොසොෆ්ට් හිතවාදී කියල කණ්ඩායම් දෙකක් ඉන්නවාද? ඒක බුද්ධියෙන් තේරුම් ගත යුතු දෙයක්. ඔබ තුමාගෙ අදහස් වලටත් මම ගරු කරනවා. ඔබ තුමා තර්කාණුකූලව කරුණු ඉදිරිපත් කිරීමට වඩා පුද්ගල අපහාසට මුල් තැන දී ඇති බවයි මට නම් පෙනෙන්නෙ.

@ තුන්කට්ටුවටම -
මම ඒ අදහස් ඉදිරිපත් කලේ මයික්‍රොසොෆ්ට් මෘදුකාංග භාවිතා කරන පුද්ගලයකු වශයෙන් කෙලෙහිගුණ දැක්වීමක් වශයෙන් මිස එම ආයතනයෙන් මුදල් හෝ වෙන යම් ප්‍රතිලාභ ලබා පෙනී සිටින්නෙකු ලෙස නොවේ. අනෙක් කාරණය මා Open Source මෘදුකාංග ප්‍රතික්ෂේප කරන්නෙකු නොවන බව කිවයුතුයි. කොටින්ම කිවුවොත් මම කියන්නෙ මේකයි අපි විවෘත මෘදුකාංග භාවිතා කලයුතුයි. නමුත් මෙතෙක් කල් භාවිතා කල මයික්‍රොසොෆ්ට් මෘදුකාංග හා අනෙකුත් Closed Source මෘදුකාංග වලට අපහාස / අවඤා නොකල යුතුයි.

තිලිණ said...

මගේ නම් දැන්ම වින්ඩෝස්‌ අතහරින්න අදහසක්‌ නැහැ (I'm a PC) hik.. මොකද මම භාවිතා කරන්නට පුරුදු වී සිටින මෘදුකාංග සියල්ලම පාහේ වින්ඩෝස්‌ වල මට ලිනක්‌ස්‌ වලට වඩා පහසුවෙන් හැසිරවීමට හැකි නිසායි. අනික්‌ කරුන මම සැහෙන්න පරිඝනක ක්‍රීඩා වලට යොමු වුන කෙනෙක්‌. කාලයක්‌ මගේ රස්සාව වුනෙත් පරිඝනක ක්‍රීඩා කිරීම. බොහොමයක්‌ පරිඝනක ක්‍රීඩා වින්ඩෝස්‌ සඳහා නිසා (ලිනක්‌ස්‌ මත වෙනත් ක්‍රම වලින් කරන්න පුලුවන් වුනත්) වින්ඩෝස්‌ මගේ ප්‍රියතම මෙහෙයුම් පද්දතිය ලෙස තව කල් රැදී තියේවි. ලෝකය තවත් වෙනස්‌ වී ලිනක්‌ස්‌ තවත් පහසු වූ විට මම ලිනක්‌ස්‌ තෝරගන්නවා. දැනටත් මගේ පරිඝනකයේ ලිනක්‌ස්‌ පිහිටුවාගෙන ඉන්නේ. උදාහරණයක්‌ ලෙස මගේ වයි ෆයි එක සදහා ලිනක්‌ස්‌ ධාවක හරියට ක්‍රියාත්මක වන්නෙ නැහැ. ෆෝරම වල ටිකක්‌ විපරම් කලා. විසදුම් කිහිපයක්‌ උත්සාහ කලත් හරි ගියේ නැහැ. තව ටිකක්‌ විපරම් කලා නම් විසදුමක්‌ හොයගන්න තිබුනා. නමුත් මීට වඩා පහසුවෙන් ලිනක්‌ස්‌ ක්‍රියාත්මක වෙන දවසක මම අනිවාර්යෙන් ලිනක්‌ස්‌ තෝරා ගන්නවා.

said...

මටනම් ලෝකල් හොස්ට් එක කියන්නේ නම් වින්ඩෝස් හැබැයි වෙබ් හොස්ට් එක නම් ලිනක්ස්. මට ජීවත් වෙන්න ඔය දෙකම ඕනේ.

Bandula - බන්දුල said...

පටල ගන්න එපා කවුරුවත්!
වින්ඩෝස් වලට කැමති අය පුළුවන් තරම් කල් පාවිච්චි කරමු. හැබැයි අනියමින් හෝ අනිත් අයට, විශේෂයෙන් ආධුනිකයින්ට බලපෑම් නොකළ යුතුයි.