Sunday 21 September 2008

වීථි ආලෝකකරණය Street Illumination.


චිර‍ාන්ගේ ‘විදුලිය පිරිමැසීම’ blog සටහන දුටුවිට විදුලි පිරිමැසීම ගැන මගේ මතය කියන්න හිතුනා.
ඇත්තටම මම කියන්න යන දේ විදුලිය පිරිමැසීමටත් වඩා වැදගත් වන දෙයක්.
ප්‍රදේශීය සභා, නගර සභා, මහනගර සභා යන පළාත් පාලන ආයතනවලට සභිකයින් පත්වුනුවිට ඒ කොයි කවුරුත්, තමන්ව පත්කර එවූ ජනතාවට යමක් කරන්න උත්සාහ කරනවා. ඒත් ලැබෙන ප්‍රතිපාදන ප්‍රමාණයෙන් ඇඟට දැනෙන දෙයක් කරන්න බෑ. කරන්න පුළුවන් ඉතින් ගෙවල් ළඟ ‘ලයිට් කනුවට ලයිට් එකක්වත්’ දාල දෙන්න තමා. අන්තිමටම විදුලි රැහැන් ඇද ඇති සෑම මාර්ගයක්ම මනාව ‘වීථි ආලොකකරණයට’ ලක්වෙලා. විදුලියබල මණ්ඩලයෙන් හෝ වෙනත් ආයතනයකින් පැණවූ නීතියක් තිබෙනවා වීථි පහන් සවිකළ යුත්තේ එක් කණුවක් හැර කණුවක පමණි කියා. එහෙත් එසේ කණුවක් මග ඇරී ඇත්නම් ඒ ඉතා අල්ප ලෙසය. පළාත් පාලන ආයතන නියෝජිතයින්ට අමතරව පළාත් සභා හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද තමන්ට වෙන්වන ප්‍රතිපාදන වලින් වැඩි ‘වැඩ ප්‍රමාණයක්’ ඉටුකිරීම සඳහා තෝරා ගන්නේ, අවමංගල්‍යාධාර සමිතිවලට පුටු ලබාදීම හැරුනු විට ‘වීථි පහන්’ ලබාදීමය.
කෙසේ හෝ අදවනවිට කොළඹ නගරයේ සිට, අගනගර, නගර, සුළු නගර, නියම්ගම්, ගම් පසුකොට හද්දා වනාන්තරයක් මැදින් මාර්ගයක් වැටී ඇත්නම් ඒ මාර්ගය දිගටමද ‘වීථි ආලෝකය’ සපයා ඇත.
“කොච්චර හොඳද? ගෑනියෙක්ට උනත් ඕනෙ රැයක බයක් නැතුව පාරෙ බැහැල යන්න පුළුවන්නෙ!” (සූසැටභරණින් සැරසීලා).
“කොහෙ හරි ගිහිල්ලා හදිස්සියේ රෑ උනත් බයවෙන්න දෙයක් නෑ, පාරෙ ලයිට් තියෙනවනේ”
“පාරට ලයට් දැම්මහම හොර හතුරො අඩු වෙනවා.”
වීථි ආලෝක කිරීම බහුතරයක් දකින්නේ මේ විදිහට.
එහෙත්, මෙලෙස රෑටත් ‘දවල් වගේ ලයිට් දැමීම’ නිසා වෙන හානි ගැන සොයා බැලුවද?
ජනප්‍රියම කාරණය ‘විදුලි අරපිරිමැස්ම. ඒක ගැන හැමෝම කථා වෙන නිසා අපි ඒක අමතක කරමුකො ටිකකට.
මාගේ මතය අනුව මෙලෙස මුළු රාත්‍රිය පුරා පරිසරය ආලෝකවත් කර තිබීමෙන් විශාල ලෙස හානි වන්නේ ‍ජෛව විවිධත්වයටයි. මුළු රාත්‍රියක් පුරා දැල්වෙන වීථි පහනක් යට දැවී පිලිස්සී ඇති කෘමි සතුන් ප්‍රමාණය කොතෙක්ද? (ඔබ එකම සතෙක්වත් ‘ජීවිතේට’ දැක නැත්නම් මා කියනා මේ හානියේ ප්‍රමාණය කොතරම්දැයි වටහා ගැනීමට තවත් අටුවා ටිප්පිනි අවශ්‍ය නැත)
‘මුළු ලොවම නිදනා රැයේ අහසේ අසිරිය’ බලන්නට උඩ බැළුවත් අද දිස්වන්නේ හාත්පස පැතිරුනු ‘වීථි පහනේ’ ආලෝකයයි. පසලොස්වක-අමාවක වෙනසක් නැතුවා සේය. (අළුත් කවියෝ මොනව ලියයිද මන් දන්නෑ)
දැන් එන්නේ, “එහෙනම් මොකද කරන්නෙ? පාරෙ ලයිට් දාන්න එපාද කියන්නනෙ?” කියන ප්‍රශ්නයට. ඇත්තටම ‘පාරෙ ලයට්’ නැතුවම තියෙනවනම් හොඳා - ඒත් අද ඒ තත්වෙට යන්න බැරි තරමට ඇබ්බැහි වෙලානේ ඉන්නේ. ඒනිසා ප්‍රායෝගික විසඳමක් ගැන හිතමු. 88-89 ‘පරිවර්තනයත්’ සමග අද වෙන විටත් රාත්‍රී සංචරනය බොහෝ සීමා වෙලා තියෙන්නේ. අද අති බහුතරයක් රෑ 9-10 වනවිට ‘ගෙවල් දොරවල් වහගෙන - ගෙදර ලයිට් නිමාගෙනත්’ අවසානයි. ඉතින් රෑ 10 සිට උදේ 5 පමණ වනතෙක් ‘වීථි ආලෝකය’ කාටද? පාරෙ යන සෑම වාහනයකටම විදුලි ආලොකය තිබෙනවා. (නැත්නම් දවල්ට උනත් පොලීසියෙන් අල්ලනවනෙ) රාත්‍රී ගමනක් යන කෙනෙක් විදුලි පන්දමක් (අද ගෘහ විදුලියෙන් ආරෝපණය කරණ විදුලි පන්දම් වෙළඳ පොලේ අනන්තවත්) රැගෙන යන්නේනම්!
එසේනම් කළ යුක්තේ කුමක්ද?
නිවසේ පහන් අනවශ්‍ය වේලාවට නිවන්නා සේ වීථියේ පහනත් අනව්‍ය වේලාවට නිවා දමනවානම්!

No comments: