ඇඟ කිලිපොලා යන සීතලක් නාස් පුඩුවලින් ඇතුල් වෙලා මුළු සර්වාංගය පුරාම දිව යන්නේ ගිනි ගත් දෙයක් නිවා දාන්න වගේ.
වෙනදා අහස පුරාවට නිසොල්මනේ බලා සිටින තරු කැට සියල්ලම අද අහසින් පහලට බැහැල හාත්පස සැරි සරන්නේ මේ ලෝකෙ වෙන්න බැරි දෙයක් නෑ කියනවා වගේ.
ඉර එළිය සැර බලා කරල අප වෙත ගේන සෞම්‍ය සඳ කිරණ ජල තලයට වැටිල දිලෙද්දී මැඩි-මසුන් ජල-තරංග ඇති කරන්නේ සියල්ල සජීවවත් බව කියා පාන්න වගේ.
පංසලේ ඝණ්ඨාරය තොරතෝංචියක් නැතිව ටාං ටාං ගාන්නේ රැහැයියෝ නගන කන් අඩි හිල් වෙලා යන සද්ද යටපත් කරල කවුරු කෑ ගැහුවත් අපි තමා ලොක්කො කියල කියන්න වගේ.
"ඇයි දන්නේ නෑ නායක හාමුදුරුවෝ අට පහුවෙලා එන්න කිව්වේ?" ඒකට පිළිතුරක් එයා ගාවත් පිළිතුරක් නැති බව දැන දැනම ආයෙත් ඇහුවේ පුරුද්දට වගේ.
"තවත් මොකක් හරි බිල්ඩිමක් හදන්න ප්ලෑන් එකක් අන්ද ගන්න ද දන්නේ නෑ...?" තවත් මොනව නම් හදන්නද කියල හිතා ගන්න වත් බැරුව හිස් අහස දිහා බැලුවේ හිතට දැනුන අපුල අහසට පා කරල අරින්න වගේ.
දෙන්නම නිශ්ශබ්ද වුණ නිසා ද කොහෙද අනිත් සද්දත් ඇහෙන්නේ නැතිව ගියේ වෙලාව ගත වෙන එක නොදැනෙන්න වගේ.
"යමුද දැන් අටත් පහු වෙලානෙ..?" ෴......෴
"පවුල් දෙකේම දෙන්න දෙමහල්ලෝම අාව එක හොඳයි. මම ටිකක් රෑ වෙලා එන්න කිව්වේ මහත්තුරුත් ගෙන්න ගන්න හිතාගෙනම තමා. වේලාසන එන්න කිව්වනම් නෝනල විතරක් ඇවිත් දුවල යන්න එනවානෙ. එහෙම නේද...?"
"එහෙමයි හාමුදුරුවනේ...!" කිව්වේ වෙන කියන්න දෙයක් නැතිව වගේ.
"මේක ඔය පවුල් දෙකට විතරක් අදාල දේකුත් නෙමේ. ඒත් මේක කියන්න ඕනෙ යමක් කමක් තේරෙණ කෙනෙක්ට නිසයි ඔය ඇත්තන්ට එන්න කීවේ.."
"එහෙමයි හාමුදුරුවනේ..!" මේ පාරනම් එහෙම කිව්වේ පොඩි සැනසිල්ලකුත් හිතුට දැනිල වගේ.
"අම්මලා සිල් පවාරනය කරල යන්න ඇති මගේ හිතේ..?"
"එහෙමයි හාමුදුරුවනේ, මම ගෙදර ගිහින් බස්සලයි ආයෙත් ආවේ" කියල කිව්වේ හැම පෝයටම අම්මව පංසල් එක්ක එනව වගේම හවසට ආපහු ගෙදර එක්ක යනව කියල ඔප්පු කරන්න වගේ.
"එහෙනම් අපි කතාවට බහිමුකො. දැන් පංසලේ පෝය දාට හැටක් හැත්තෑවක් සීල සමාදාන වෙනවා"
"එහෙයි හාමුදුරුවනේ...! අපි පෙබරවාරිවලට එන හැම නවම් පෝයකටම උපාසක දානෙ දෙනවනෙ. ඒ වගේ ගානක් ඉන්නවා හැමදාම" මේ සැරේ නම් අපිට කලින් අනෙක් කට්ටිය ඉක්මන් වුණේ අපිත් හොඳ බෞද්ධයෝ කියන්න වගේ.
"ඔය හැට හැත්තෑවෙන් අඩුම ගානෙ පනස් දෙනෙක්වත් අවුරුදු හැත්තෑව පැනපු අය. පොඩි උන් පස්-හය දෙනෙක් ඇරුණහම හයියක් කටක් තියෙන පස් දෙනෙක්වත් නෑ. මහලු මඩමක් වගේ. ......" හාමුදුරුවෝ කියන දේවල් ගන්නේ කනට නැත්නම් හිතට කියල හිතා ගන්නවත් ඉඩක් දෙන්නෙම නැතුව කියෝගෙන කියෝගෙන යන්නේ ඕවට දෙන්න උත්තර අපි ළඟ නැති බව උන්නාස්සෙත් දන්නවා වගේ.
"එහෙමයි හාමුදුරුවනේ, මට සති දෙකක් දෙන්න, මම මොකක්ද කරන්න පුළුවන් කියල හිතල ඇවිත් ඔබ වහන්සේ එක්ක කතා කරන්නම්." මම එහෙම කියද්දී, "එහෙයි හාමුදුරවනේ, ඒ වුණාට අපිට නම් කරන්න දෙයක් නෑ. ඒගොල්ලො වැඩ කරන්නේ ඒගොල්ලන්ට ඕනෙ විදිහට. අපි මොනාව කිව්වත් ඒ දෙන්නට වැරදියි. අපිත් ඉතින් ඉවසගෙන ඉන්නවා අම්ම තාත්තනෙ කියල. නැත්නම් ඉතින් මොනවයින් මොනව වෙයිද දන්නේ නෑ. කරුමෙ තමා හාමුදුරුවනේ." අනිත් දෙන්න දෙමහල්ලෝ නියෝජනය කරමින් නෝන මහත්තය කියෝගෙන කියෝගෙන ගියේ මුන්දැ මට බණ දෙසනවා කියල හාමුදුරවන්ට හිතා ගන්න කියනවා වගේ. ෴......෴
"ඇත්තනෙ අනේ, ගෙදරදිත් ඔහොමමනෙ. කිසි දෙයක පිළිවෙලක් නෑ. කිසි පිරිසිදුවක් නෑ. සමහර වෙලාවට ඇඳුමක් ඇඟේ තියෙනවද දන්නේ නෑ. ඇත්ත තමා, පොඩි හාමුදුරුවරුන්ටත් ලැජ්ජ ඇති." ගෙදර යන ගමන් මෙයත් එහෙම කිව්වේ, කවදාවත් හිතා-මතා මතු නොකලට නැන්ද-ලේලි අර්බුදේ ශිෂ්ඨාචාරයෙන්ම උරුම වෙච්චි දෙයක් බව ඔප්පු කරන්න වගේ.
"නෑ..ඔව්.. හාමුදුරුවෝ කියන කතාව ඇත්ත. අම්ම-තාත්ත වයසට ගියාම තමා අපි වැඩිපුර ඒ අය ගැන බලන්න ඕනෙ. අපිට නිවාඩු දවසේ ඒ දෙන්න සිල් ගන්න එක අපිට කොච්චර නිදහසක්ද කියලනේ අපි හිතන් ඉන්නේ."
"නැත්නම්, අදත් අපි අරහෙ ගියේ ඒ දෙන්න ගැන බලන්න ඕනෙ නැති නිසානෙ."
"මම දන්නේ නෑ කොහොමද කරන්නේ කියල. ඒත් අඩුම ගානේ පෝය දවසවත් අපි අම්ම තාත්ත වෙනුවෙන් වෙන් කරන්න ඕනෙ. මම කිව්වේ දෙපැත්තෙම." අන්තිමට එහෙම කිව්වේ කට වරද්ද ගත්තදෝ කියල හිතිල වගේ.
"ඔව් නේද, අපි පෝය දවස්වලට කට්ටියම අරගෙන කොහෙ කොහෙ හරි යමු. අපේ දෙන්නටත් එන්න කියන එකනෙ තියෙන්නෙ."
"ඔව් ඒකත් හොඳා, ඒත් සිල් ගන්නව වගේ දේවල් නතර කරන්න හදන්නත් හොඳ නෑ. අර හාමුදුරුවන්ගේ අදහසත් නරක නෑ නේද? ගෙදර පංසලක් කරන එක පෝය දාට. වැඩිම උණොත් අවුරුද්දට දහ-දොලොස් වතාවනෙ."
"නරකමත් නෑ. ඒත් ප්‍රායෝගිකද? මං කියන්නේ ඕවයේ වස් දොස් එහෙම තියේද දන්නේ නෑ. ගවල්වල කිලි එහෙමත් තියේනෙ" කියල කිව්වේ තමන්ගේ පාරම්පරික හා සම්ප්‍රදායික ඥානය සේරටම වඩා ඉහළයි කියන්න වගේ. ෴......෴
"සති දෙකක් ඉල්ලගෙන ගිහින් සති හතරකුත් යනකම් නැතුවහම මම ඒත් හිතුව මම කිව්ව දේ ගැන සැලකුවේ නැද්දවත් කියල...!"
" අනේ නෑ නායක හාමුදුරුවනේ, නොසැලකුව නෙමේ. ඔක්කම සැලසුම් කරලම ඔබ වහන්සේට දැනුම් දෙනව කියල හිතුව. ඒකයි පමා වුණේ. සමා වෙන්න ඒ ගැන."
"ඉතින් කියමුකො බලන්න..කොහොමද මේ වැඩිහිටි නිවාස රස්සාවෙන් මාව ගලව ගන්න සැලසුම් කළේ කියල."
"අමතරව වැඩි දෙයක් හිතුවේ නෑ හාමුදුරුවනේ, ඔබ වහන්සේ කිව්ව දේම ක්‍රියාත්මක කරන්නේ කොහොද කියල හිතල ඒ විදිහට සේරම ලෑස්ති කරපු එක විතරයි කළේ."
"ඒ කියන්නේ ...?"
"ඒ කියන්නේ හාමුදුරුවනේ, හෙට අපේ ගෙදර මැද සාලෙ පංසලක් කරනවා. වැඩේ ලස්සන වෙන්න ඕනෙ නිසා මම ගිය ඉරිදා සාලෙ තීන්තත් ගෑව. අවුරුදු ගානකින් කලර් වොෂ් කරල තිබුණෙත් නෑ. පුටු සැටිය කෑම කාමරේට ඇද්ද. දැන් ගෙදර යන ගමන් ලොකු බුදු පිළිමෙකුත් අරගෙන යන්නයි, නෑ මම කිව්වේ වඩම්මන් යන්යි හිතාගෙන ඉන්නෙ, සරසවි පූජා භාණ්ඩෙන්."
"ඒ කරල...?"
"ඒ කරල හාමුදුරවනේ, ටීවී එකත් සාලෙට දානව. අපේ ගෙදර ඒක තියෙන්නේ කුස්සියෙනෙ. තාම තාත්ත මොකුත් කිව්වේ නෑ. අම්මනම් කැමති කරව ගත්ත. මම කිව්වාට වැඩිය ගනන් ගත්ත බවක් පෙන්නුවේ නෑ. අරය කිව්ව අපිට ලැජ්ජ කරන්නද ඕනෙ කියල. අම්ම හා කිව්ව."
"එහෙමත් කිව්වද?"
"එහෙමයි හාමුදුරුවනේ, එහෙමම කිව්වෙත් නෑ...!" කියල කිව්වේ කලින් කියපු දේ හාමුදුරවන්ට ඇහෙන්න කලින් ආපහු ඇදල ගිල ගත්ත වගේ.
"ටීවී එක...?"
"එහෙමයි හාමුදුරුවනේ, ඒකෙන් තමා සිල් දෙන්නෙ, දැන් චැනල් කීපයක්ම තියේනෙ. උදේම සිල් දෙන එකක් අල්ල ගන්නවා. එතන ඉඳන් දිගටම බණ, ධර්ම සාකච්ඡා, බුද්ධ පූජා, ගිලන්පස පූජා, කවි බණ, යුගාසන බණ වගේ ඕනෙ තරම් දේවල් යනවනෙ."
"අම්ම විතරද?"
"එහෙමයි හාමුදරුවනේ. නෑ අම්ම විතරක් නෙමේ, අපේ චූටි දුවත් සිල් ගන්නවා කිව්වා. ලොකු දුවයි පුතයි තමා උපස්ථාන කරන්න බාර ගත්තෙ. අද රෑටත් කියල බලනවා තාත්තට සමහර විට එයත් සිල් ගනීවි. චූටි දූ කිව්ව කොහොම හරි සීයව කැමති කරව ගන්නව කියල. තාත්ත එයාට පණ ඇරල හාමුදුරුවනේ."
"එහෙමයි නේද?"
"එහෙමයි හාමුදුරුවනේ... අරගොල්ලන්ගෙ අම්මටයි තාත්තටයිත් එන්න කිව්වා. අම්මව අද පාන්දර බස් එකට දානව කියල මස්සිනා කිව්ව. එයාටනම් සිල් ගන්න එන්න බැරි වෙයි. ඒත් ..."
"මෙහෙමයි, ඕවට නැකැත් නෑ. පහසුකම් තියෙන විදිහට කොයි වෙලාවෙ වුණත් මක් වෙනවද? නරක දෙයක්යැ...!" ෴......෴
"අපේ අම්මේ, නායක හාමුදුරවෝ කිව්වලු සිල් ගන්න නැකැත් ඕනෙ නෑ, පුළුවන් විදිහට ගත්තට පවු නෑ කියල. ඉතින් අපෙ අම්මත් මේ අම්මල එක්ම සිල් ගන්නකො."
"නෑ ළමයො, අද මම මෙහෙම මේ බණ ටිකක් අහගෙන අක්කලට උදව් කරගෙන ඉන්නම්, ලබන පෝයට නම් මම අනිවාරෙන්ම කලින් දවසෙ එනවා."
"අම්මනම් තවම ඒතරම් වයසක් නෑනෙ, පංසල් ගියත් කමක් නෑ. අපෙ අම්මල වගේ වයසක අයනෙ ප්‍රශ්නෙ." කියල කිව්වට පස්සෙයි තේරුණේ කට වරද්ද ගත් නේද කියල.
"අම්ම කොහොම හරි තාත්තවත් එක්ක එන්න. ඔය මෙහෙ තාත්තත් අගේට සිල් අරගෙන භාවනා කර කර ඉන්නේ.." කියල කිව්වේ වෙච්චි වැරද්ද හදා ගන්න වගේ.
"අපේ තාත්ත එනවනම් මල්ලිට වීල් එකේ දෙන්නව ගෙනත් දාන්න කියන්න වෙනවා. තාත්තට දැන් බස්වල යන්න බෑ."
"ඉතින් ඒ දෙන්නටත් පොඩි දෙන්න එක්ක එන්න කියන්න පුළුවන්නෙ, චූටි දූ සිල් ගන්න නිසා පොඩි දෙන්නත් සිල් ගනීවි."
"වීල් එකේ හය දෙනාම..?"
"අපෝ ඇහැකි, පොඩි උන් දෙන්න අපේ ඔඩොක්කුවලට ගත්තාම ඉඩ ඇතී.." කියල අම්ම කිව්වේ වැඩේට උපරිම කැමැත්තෙන් වගේ.
"එහෙනම් ලබන පෝයටත් මෙහෙම ලෑස්ති කරන්න, ඊළඟ පාර මම අපේ ගෙදර ලෑස්ති කරන්නම්" ලොකු නංගි වැඩේ වෙන පැත්තකට හැරෙව්වෙ හරියට ඇපෙන් ගැලවෙන්න වගේ.
"ඔයා එහෙම කළොත්නම් පොඩි නංගිත් ලෑස්ති වෙයි එහෙත් කරන්න."
"අපෝ එ් ගෙදර...? එ් ගෙදර පුළුවන්ද පංසලක් කරන්න. අපාය වගේ කුණු ගොඩක්නෙ."
"නෑ පුතේ එහෙම තැන් තමා මේවගේ හරි ගස්සල ගන්න ඕනෙ. ඒකම ලොකු පිනක්"
"හා එහෙනම් ලොකු නැන්දලෑ එකට පස්සේ පෝයට පොඩි නැන්දලෑ දිහෑ කරමු. අපි ගිහිල්ල කලින් දවසක ගේ හෝදල සුද්ද කරල දෙමු."
"ඉන්න, සෙරටම කලින් එයාලට හිතෙන්න එපෑ. මොකද ඒ ගොල්ල අර අසපු-මධ්‍යස්ථාන වලට සිල් ගන්න යන අයනෙ."
"ඔව් හැබෑමයි. ඒ දෙන්නත් සිල් ගන්න අයනෙ. ඒ වගේ අයගෙන් හාමුදුරුවරුන්ට අවුලකුත් නැතිව ඇතිනෙ."
"මේ අන්න නායක හාමුදුරුවෝ වඩිනවා." කවුරුත් පාර දිහා බැලුවේ පුදුමයෙන් වගේ.
"ඉස්තෝප්පුවේ පුටවකට රෙද්දක් දාන්නද, නැත්නම් සාලෙම ආසනයක් පනවන්නද?"
"අද අපේ සාලෙ ඉතින් පංසලනෙ, අපි හාමුදුරුවන්ව අපේ පංසලටම වඩම්මමු."
"මමත් සිල් ඇත්තන්ට ටීවී එකේ ධර්ම සාකච්ඡාවක් දාල දීල මේ පැත්තට අවේ මහත්තේලෑ පංසල් ගෙදර බලන්නත් එක්ක"
"එහෙමයි අවසර, මට මෙතන දාහෙන් සම්පතයි," කියල අම්ම මගේ මූණ දිහා බැලුවේ එහෙම කිව්ව එක අවුල් ද අහනව වගේ.
"නෑ මම කිව්වේ අවසර, අත-පය වැඩිය වාරු නැති මං එතෙන ඉන්න අනිත් අයටත් කරදරයක්නෙ, මට ඕක දැනිල සෑහෙන කාලයක්. මම අපේ මහත්තයටත් කීව. එයැයිනම් කීවේ සිල් මොනාටද අපි කරපු පිං මදිද කියල, ඒත් අපේ හාමුදුරුවනේ යන තැනකට යමක් කර ගන්න වයසනේ අපි ඉන්නේ. නේද මං කියන්නේ අවසර?" අම්ම කියෝගෙ කියෝගෙන යන්නේ නායක හාමුදුරුවෝ මේලෝ බණක් දන්නේ නෑ කියල හිතා ගෙන වගේ.
"ඔව් නෝනමහත්තයෝ, අපි ලෝකෙත් එක්ක වෙනස් වෙන්න ඕනෙ. මේ එක දෙයක්වත් සදාකාලිකවම එක විදිහට වෙන්නේ නෑ. බුදුහාමුදුරුවෝ වදාරල තියෙන්නෙත් මේ ටිකකට කලින් තිබුණ තොටුපොල නෙමේ මේ දැන් තියෙන්නේ, ඒක නෙමේ තව ටිකකින් තියෙන්නේ කියල. ඒ කියන්නේ මොහොතින් මොහොත සියල්ල වෙනස් වෙනව කියල. ඒ වෙනස්වෙන ලෝකෙ අපි හැමදාම එක විදිහට සිල් ගන්න ඕනෙ නෑ. දැන් මේ තියෙන පහසුකම් එක්ක, අපි කාටත් පහසු විදිහට මේ වගේ ගෙවල් දොරවල් සූදානම් කරල, දුවා දරුවොත් එක්ක එකදු-පහදු වෙලා වැඩිහිටියන්ට ඇප උපස්ථාන කරගෙන මාසෙකට දවසක්වත් ධාර්මිකව ගත කරනවනම් ඒක කොච්චර දෙයක්ද? නේද මහත්තයෝ?"
"එමෙහයි අපේ හාමුදුරුවනේ, මේව අනිත් අයත් උපහැරණෙට ගන්නවනම් තමා හොඳ."
"උපහැරණෙට අරන් හරි යන්නේ නෑ. ඒ ගොල්ලත් කරන්න ඕනෙ. මම අද සිල් පවාරනේ කරද්දි මේ කතාව කියනවා. කොටින්ම මම කියන්න හිතාගෙන ඉන්නේ මීට පස්සේ මම සිල් දෙන්නේ අතපය හතර හිය හත්තිය තියෙන උන්ට විතරයි කියල. දුවා-දරුවෝ නැති අම්ම-අප්පලා ඉන්නවානම් මඩම් වලට පලයල්ල, මම ඒවට වැඩල සිල් දෙන්නම් කියනවා. ඇත්තමයි මහත්තයෝ මගේ අම්ම තාත්ත නැතිවුන දවසේ ඉඳන් මගේ පැන්ෂන් පඩිය මම වියදම් කළේ පොඩි ඇත්තන්ගෙ අධ්‍යාපනේටයි, පංසලේ දියුණුවටයි. පොඩි ඇත්තන්ගෙ වියදම් තියාගෙන මීට පස්සේ ඉතිරි සේරම මහලු මඩම් වලට වියදම් කරනවා, ගමේ ඉන්න ළමයි සලකන්නේ නෑ කියන කට්ටිය ඒවට ගෙනෙහුන් දානව."
"එහෙමයි හාමුදුරුවනේ"
"එහෙමයි නෙම්, පුළුවන්නම් එන්න බලන්න ඒ වෙලාවට පංසලට."
"එහෙමයි, කොහොමත් මල් පූජාවට කට්ටියම එක්ක පංසල් එන්න තමයි හිතාගෙන ඉන්නේ හාමුදුරුවනේ"
"වෙන පෝයවලට නාවට,.... එහෙමද එහෙනම්" කියල හාමුදුරුවෝ කීවේ ඇනුම් පදයකට වගේ.
"එහෙමයි හාමුදුරුවනේ.... නෑ ඇත්තටම එන්න තරම් විවේකයක් තිබුණේ නෑ හාමුදුරුවනේ" කියල, කියල දැම්මේ පංසල් ගිහින් ඇවිත්ම පංසිල් රකිනවා කියලා හිතාගෙන වගේ. ෴......෴
"තාත්තේ ඕකට කියන්නේ ඇමීබා තියරි එක කියල" පුතා විස්තර කරන්න පටන් ගන්නේ මහාචාර්යවරයෙක් වගේ.
"අපේ ගෙදරින් පටන් ගත්තා, එතනින් ගමේම පැතිරුනා. අපේ ගෙදරින් ලොකු නැන්දලෑ ගෙදරට ගියා. එතනින් ඒ ගමේම පැතිරුනා. මාමලෑ ගෙදරට ගියා. එතනින් අම්මලෑ ගමේම පැතිරුනා. "
"කාටද ආඩම්බර.. නේද?"
"ඇත්තටම ආඩම්බරේ යන්න ඕනෙ නායක හාමුදුරුවන්ට. උන්නාන්සෙ තමා බයක්-හැකක් නැතුව මේ තීරණේ ගත්තේ. වෙන හාමුදුරවරු පෝයට සිල් ගත්ත ගාන ගැන පාරම් බාන්නනේ බලන් ඉන්නේ. දැන් දහ-දොලොස් දෙනෙක්වත් නෑනේ පංසලේ සිල් ගන්න අය."
"ඒ තියෙන්නෙත් සීල සාමාදානයක්ම නෙමේනෙ. භාවනා වැඩසටහනක් වගේ එකක්නෙ. හිතේ ප්‍රශ්නයක් හරි මොකක් හරි තියෙනවා නම්, ඒ ගැන සාකච්ඡා කරල උපදෙස් දෙනවනෙ. පණ්ඩිත හාමුදුරුවෝ තමයි මෙහෙයවන්නේ"
"නායක හාමුදුරුවෝ පංසලේ නෑනෙ පෝය දාට, පොඩි හාමුදුරුවරුත් එක්ක ගමේ පංසල් ගෙවල් වලට යන හින්දා බණ කියන්න. දානෙ ගන්නෙත් ඒ ගෙදරකින්නෙ."
"විනාඩි පාලොවකට හරි හාමුදුරුවෝ වඩින එක වටිනව. ත්‍රිවිධ රත්නත්තරේම එතකොට තියෙනවානෙ"
"ඔව් දැන් ඒ හැම ගෙයක්ම පෝය දාට පංසලක් වගේ"෴......෴෴......෴෴......෴
(පින්තූර අන්තර්ජාලෙන්...Images from Internet.)
4 comments:
ඒ හාමුදුරුවො කැමති වුණාට මේ හාමුදුරුවො කැමති වෙයිද ???
කැමති වුණොත් කාටත් හොඳයි...!
මලේ මේක මිනිස්සු පන්සලෙන් ඈත් කරන සංකල්පයක් කියලා පේන්නත් ඉඩ තියෙනවා. ඒක නිසා පරිස්සමින් සමාජ ගත කළ යුතුයි කියලා මට හිතෙනවා ...
ගාමිණි අයියේ, මේ අදහස මතු කරපු එක ගැන බොහොමත්ම පිං.
'මිනිස්සු පංසලෙන් ඈත් වීම' ගැන මට තියෙන්නේ වෙනස් අදහසක්....
අපේ රටේ මේ වන විට පංසල් වර්ග දෙකක් තියෙනවා. එකක් 'ගමේ පංසල'. අනික 'රටේ පංසල'. ගමේ පංසල ගමට විතරයි. රටේ පංසල් එහෙම නෙමේ. ඒවාට සීමා මායිම් නෑ. ගම්-නියම්ගම් පුරා අතු-පතුර පතුරමින් ඒවා වැඩි වර්ධනය වෙනවා. ඒවායේ තියෙන ආකර්ෂණීය ලක්‍ෂණ වලට ඔරොත්තු දෙන්න බැරිව ගමේ පංසල ඇකිලෙනවා. ගමේ පංසලේ ඉතිරි වෙන්නේ රටේ පංසල්වලට කිට්ටු වෙන්න බැරි ශාරිරිකව හෝ ආර්ථිකව හෝ දුර්වල වූ කොටස් විතරයි. මේ දුර්වල කණ්ඩායමත් එක්ක වැඩ කරන්න ගිහින් ගමේ පංසලේ ස්වාමීන් වහන්සේලාටත් අන්තිමට පංසල එපා වෙනවා. උන්වහන්සේලාටත් විකල්ප සොයාගෙන යන්න සිද්ද වෙනවා. බහුතරයක් තෝරා ගන්න විකල්පය වන්නේ, රටේ පංසල්වල තියෙන ආකර්ෂණීය ක්‍රියාකාරකම් ගමේ පංසලටත් ගෙන ඒමට උත්සාහ කිරීම. ඒත් ඒවා ඉතා මිල අධිකයි. ඒවාට සහභාගි වෙන්න පුළුවන් ආර්ථික වශයෙන් හයි කාරයින්ට විතරයි. අන්තිමට වෙන්නේ ගමේ පංසලනුත් ආර්ථික වශයෙන් දුර්වල කණ්ඩායම විතැන් වෙනවා. අන්තිමටම වෙලා තියෙන්නේ 'දුප්පත් මිනිස්සු' ගමේ පංසලෙන් ඈත් වීමයි. ඒ අයට රටේ පංසලත් නෑ, ගමේ පංසලත් නෑ.
මෙම කතාවේ කියවෙන සංකල්පයට අනුව සිද්ද වෙන්නේ 'ශාරීරිකව දුර්වල' කණ්ඩායමත් ගමේ පංසලෙන් ඉවත් කිරීම නේද කියල දැන් අදහසක් මතු වෙනවා. ඇත්ත. ඒක තමා සිද්ද වෙන්නේ. මේ කතාවේ ඉන්න නායක හාමුදුරුවන්ට අවශ්‍ය වුනෙත් ඒක තමා. උන්වහන්සේ කියන්නේ, තමන්ගේ ශාරික ඕනෑ එපාකම් ටිකවත් තනියෙන් කර ගන්න බැරි වයසක අම්මලා-තාත්තලා ගමේ පංසලට ගෙනත් දාල 'යමක්-කමක්' පුළුවන් අය රටේ පංසල්වල පිහිට පතන එක තමා මෙතන සාකච්ඡා කරන ගැටළුව වන්නේ. උන්වහන්සේ යෝජනා කරන්නේ ගමේ පංසලට එන්න බැරි අයට, තමන්ගේ ගෙදර පංසලක් කරල දීල, පෝය දාට රටේ පංසලට යන අය 'ගෙදර පංසල' නඩත්තු කරන්න කියලයි. ඊට අනුග්‍රහයක් විදහට ගමේ පංසලේ හාමුදුරුවේ ගමේ තියෙන ගෙදර පංසලක් ගානේ වඩිනවා.
පංසල් ක්‍රමයට අනුව ගිහියන්ගේ 'නිවාඩු දවස්' වෙන්නේ හතර පෝය. තමන්ගේ ආර්ථික ක්‍රියාවලීන්ට බලපෑමක් නොවෙන්නත්, නිතර නිතර පංසල් යන්නත් තෝර ගන්න පුළුවන් දවස් වුණේ මේ පෝය දින හතර. මිශනාරි ක්‍රමයට 'නිවාඩු දවස්' වෙන්නේ 'සති අන්තය'. රටේ පරිපාලනය මිශනාරී ඌරුවට සිද්ද වෙනකොට අපිට හතර පෝයේ නිවාඩුව නැතුව ගියා. සති අන්ත නිවාඩුව හිමි වුණා. ඒත් පෝය හතරෙන් එකක් අමතර නිවාඩුවක් විදිහට ඉතුරු වුණා. දැන් 'පෝය' කියන්නේ ඒ 'පසලොස්වක පෝයට'.
යමක් කර ගන්න හයි-හත්තිය තියෙන අයට සම්මත සති අන්ත නිවාඩු 'රටේ පංසලට' යන්න තියගෙන 'අමතරව' හිමි වුණ පෝය නිවාඩුව, 'හයි-හත්තිය නැති'තමන්ගේ දෙමාපියන් වෙනුවෙන් යොදවන්න කියලයි මේ හාමුදුරුවෝ යෝජනා කරන්නේ.
අවසාන වශයෙන් මට දැනෙන්නේ මේ සංකල්පය මිනිස්සු තව තවත් පංසලට ළං කරන ක්‍රියාදාමයක් වේවි කියලයි.
Post a Comment