Sunday, 1 March 2015

නික්ම යාමට කාලයයි...!

2015 වසරාවසානයේ දිනයක සැන්දෑවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදු වූ සිදුවීමක්....

ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට දේශනය සඳහා ආරාධනා කළේය.  ජනාධිපති ලේකම්  කොල කිහිපයක් (සූදානම් කළ කතාව හෝ පැවසිය යුතු කරුණු ටික හෝ විය යුතුය) පෝඩියම් එක මත තැබීය. එහෙත් ජනාධිපතිතුමා අතින් කළ සංඥාවකට අනුව එම කොළ වහාම ඉවත් කරන ලදී. එතුමා සුපුරුදු පරිදි කිසිදු 'ප්‍රොම්ට්' කිරීමකින් තොරව කතාව කළේය. එතුමාගේ කතාවේදී සාමාන්‍ය දේශපාලඥයෙක්ගෙන් අසන්නට නොලැබෙන ආකාරයේ කරුණක් අසන්නට ලැබුණි.
"මීට අවුරුදු 40 කට 50 කට විතර ඉස්සර අපේ ගම්වල, පොළොන්නරුව පැත්තේ, මේ මාසවල අපි එළි-පහළියේ ඇවිද්දේ කමිසයක් බැනියමක් නැතුව. හොඳටම පායනවා. ඒත් දැන් අවුරුදු ගානක ඉඳල වැහි කාල වෙනස් වෙලා. ඉස්සර පායපු කාලෙට දැන් වහිනවා. ඉස්සර වැහැපු කාලවලට දැන් පායනවා. මේ විද්‍යාඥයින්ගේ වගකීම තමා මේවා පිළිබඳව පරීක්‍ෂණ කරල දේශගුණික රටා වෙනස් වීම් පිළිබඳව ගොවි ජනතාව, ධීවරයෝ, ව්‍යාපාරිකයෝ වැනි සාමාන්‍ය ජනතාව දැනුවත් කරන එක. ඒක කරන්න සාමාන්‍ය ජනතාවටත් බෑ, දේශපාලකයින් වෙච්චි අපිටත් බෑ. මේ විශේෂඥයින්ට තමා ඒක කරන්න පුළුවන්.." 
ජනාධිපතිතුමා මේ කතාව කළේ ශ්‍රී ලංකා විද්‍යා පදනම විසින් සංවිධානය කරන ලද විද්‍යා හා තාක්‍ෂණ ජාතික සම්මාන ප්‍රධානෝත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වෙමිනි. මෙම සම්මාන උළෙලේ ප්‍රදානය කළ ප්‍රධාන සම්මාන 5 අතරින් 1ක් දොම්පෙ රෝහලට හිමිව තිබුණි. ඒ ‘සේවා හා ක්‍රියාදාමයන්හි ඵලදායීතාව හා ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සඳහා වූ 2014 ජාතික සම්මානයයි’. එලෙස සම්මානය හිමි වූයේ දොම්පෙ රෝහලේ ක්‍රියාත්මක කරන ලද 'ඉ-දොම්පෙ රෝහල' නම් වූ ව්‍යාපෘතිය හේත්වෙන් ඇති වූ සේවා ඵලදායීතාව හා ගුණාත්මකභාවය වැඩි වීම හේතුවෙනි. 

දොම්පෙ රෝහල වෙනුවෙන්, එවකට සිටි දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී වෛද්‍ය හජිත කුමාර හා ව්‍යාපෘතිය භාර නිලධාරී වෛද්‍ය සම්පත් කුලතිලක ජනාධිපතිතුමා අතින් සම්මානය ලබා ගනිද්දී එතන සිටි වඩාත්ම සතුටු වූ පුද්ගලයා මම විය යුතුයැයි මා ඉතා තදින් විශ්වාස කරමි. මෙම ව්‍යාපෘතිය දොම්පෙ රෝහලට ලබා දෙමින් මා ඔවුනට වූ පොරොන්දුවක් ඉෂ්ඨ වූ දිනයක් ලෙස මෙයින් මා ඉතා සතුටු වුණෙමි. 


"දොම්පෙ රෝහලට ජාතික මට්ටමේ සම්මානයක් ලැබෙන තැනට අපි වැඩ කරන්න ඕනෙ. ඔයගොල්ලන්ට ඒ අවස්ථාව හිමි වෙන තෙක් මම ඔබලා සමග සිටිනවා..."

අද දින ඒ පොරොන්දුව ඉටු වී ඇත. දැන් මට මෙයින් ඈත් විය හැකිය. නික්ම යාමට කාලයයි...! 

ගරු ජනාධිපතිතුමා පැවසූ පරිදි පොදු ජනතාව වෙනුවෙන්, ඔවුන්ට (පොදු ජනතාවට හා දේශපාලකයින්ට) කළ නොහැකි දෙයක්, අලුත් දෙයක් ගැන හිතන්න කාලය දැන් එළඹ ඇත. නැවුම් දෙයක් ගැන සිතීමට පෙර දොම්පෙ රෝහල සමග සිදු කළ මේ කාර්යෙන් සම්පූර්ණයෙන්ම නිදහස් විය යුතුය. ඒ සඳහා කළ යුත්තේ කුමක්ද? පළමුවෙන්ම සියල්ල සටහන් කර තැබීම සුදුසුය.

මූල බීජය

දශකයක පමණ කාලයක් තිස්සේ පෞද්ගලික අංශයේ කළ රැකියව අත හැර දමා රාජ්‍ය අංශයට සම්බන්ධ වී දශකයකට වඩා වැඩි කාලයක් නික්ම ගොසිනි. මෙම අංශ දෙකේම වැඩ කරන්නට සිදු වන්නේ ඒ ඒ ආයතනවල අභිප්‍රායන්ට කොටු වූ සිමාවන් තුළ සිටය. එහෙත් මා කුඩා කළ සිටම ඇලුම් කළේ මෙම 'කොටු' කඩාගෙන එළියට ඒමටය. එහෙත් 'සමාජයක්' තුළ එසේ හිතුවක්කාර ලෙසම කටයුතු කරන්නට නොහැකිය. අවශ්‍යනම් කළ යුත්තේ තමන්ට ස්වාධීන වූ කාර්යයක නිරත විය යුතුය. එය වෙළඳ ව්‍යාපාරයක් වුවහොත් මාගේ දෙවන අභිප්‍රාය වූ 'නොහැකිවුන්ට' උදව් කිරීම 'ඇඟට දැනෙන' මට්ටමින් කළ නොහැකිය. එසේනම් කළ යුත්තේ කිසියම් ස්වේච්ඡා සේවයක යෙදීමය. 

මේ අරමුණින් වරින් වර ක්‍රියාත්මක කළ ව්‍යාපෘති අතරින් එක් ව්‍යාපෘතියක් වූයේ 'අපෙන් එකෙක්වත් නොදෙමු' නමින් සිදු කළ ඩෙංගු මර්ධන වැඩසටහනයි. 'ඉ-දොම්පෙ රෝහල' නමින් පසුව හැඳින්වූ වැඩසටහනේ මූල බීජය මාගේ සිතේ පහළ වූයේ මෙම වැඩසටහන අතර තුරදීය.

දොම්පෙ රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යවරයා වූ වෛද්‍ය හජිත කුමාර මාගේ පාසල් සමයේ මිතුරෙක් වීම මේ සඳහා යොමු වීමට උත්පේරකයක් විය. හජිතත් රෝහල් කමිටුවේ සභාපති ලෙස කටයුතු කළ නන්දික රණතුංගත් මා සමග රෝහලට යාමට කැමැත්ත ප්‍රකාශ කළ ධනංජය රාජපක්‍ෂත් අපි සිවු දෙනාම පාසල් ගියේ එකම පාසල් බස් රථයේය. නන්දිකගේ නිවසේදී අප සිදු කළ පළමු සාකච්ඡාව අතීත සිහිවර්ජනාවන්ගෙන් රස ගැන් වූ අනුස්මරණිය එකක් විය. රෝහලේ පවතින තත්ත්වය හඳුනාගෙන කිසිවෙකුත් බලාපොරොත්තු නොවන මට්ටමේ කාර්යයක් සිදු කිරීම අප සිව් දෙනාගේ අවසාන එකඟතාවය විය.

මූල රෝගය

දෙවනුව අප හමු වූයේ රෝහලේදීය. යථා තත්ත්තවය හඳුනා ගැනීම අපගේ අරමුණ විය. රෝහල් කාර්ය මණ්ඩලය, බාහිර හා නේවාසික රෝගීන්, රෝගීන්ගේ භාරකරුවන් හා ඔවුන් වෙනුවෙන් පැමිණෙන්නන්, රෝහලට ආධාර උපකාර කරන්නන් හා සෞඛ්‍ය සේවයේ නිලධරයන් මුණ ගැසෙමින් දොම්පෙ රෝහල තුළත්, සෞඛ්‍ය සේවය තුළත් ඇති යථා තත්ත්වය හඳුනා ගැනීමට උත්සාහ කළෙමු.  සැලකිය යුතු විප්ලවීය වෙනසකට භාජනය නොවී දශක ගණනාවක් තිස්සේ පවත්වා ගෙන ආ සෞඛ්‍ය සේවය කෙතරම් උත්කෘෂ්ඨ සේවයක් සැපයුවද 'පාරිභෝගික සංතෘප්තිය' (Customer Satisfaction) ඉතා පහල මට්ටමක පවතින බව නිරීක්‍ෂණය කළෙමු. 'බාහිර පාරිභෝගිකයා' මෙන්ම 'අභ්‍යන්තර පාරිභෝගිකයාද' ඉතාමත්ම අතෘප්තිකරව සිටින බව අපගේ සාමූහික එකඟතාවය විය. මෙම කාර්ය වඩාත් සාර්ථක කර ගැනීම සඳහා ලංකාවේ සිටින ප්‍රවීන 'ක්‍රියාවලි ප්‍රතිනිර්මාණ' (Business Process Re-engineering -BPR) විශේෂඥයෙක් වූ හරීන් ගුණවර්ධන මහතාගේ සේවය නොමිලේම ලබා ගැනීමට අපට හැකි විය. මෙම අවබෝධය ලබා ගැනීමෙන් අනතුරුව අප පැමිණි එකඟතාවය වූයේ 'පාරිභෝගික අතෘප්තියට' හේතු වූ කරුණු අතරින් දොම්පෙ රෝහලට විශේෂ වූ එක් කරුණක් හා සමස්ථ සෞඛ්‍ය සේවයටම පොදු වූ එක් කරුණක් බැගින් ගෙන ඒවා විසඳීමට කටයුතු කළ යුතු බවයි.

  • ඒ සඳහා අප තෝරා ගත් දොම්පෙ රෝහලටම විශේෂිත වූ ගැටලුව වූයේ, රෝහල් පරිශ්‍රය තුළ විවිධ ඒකක ස්ථාපනය කර ඇති අවිධිමත් භාවයයි. ඒ් හේතුවෙන් බොහෝ ස්ථානවල දැඩි තදබදයක් ඇති වී තිබූ අතර, රෝගීන්ට, කාර්ය මණ්ඩලයට හා අමුත්තන්ට දරා ගැනීමට නොහැකි තරම් වූ දුරක් සෑම විටම ඇවිද යන්නට සිදු වී තිබුණි. මෙම තත්ත්වය දොම්පෙ රෝහලේ 'පාරිභෝගික අතෘප්තියට' හේතු වී ඇති බව හඳුනා ගත්තෙමු. 
  • සමස්ථ සෞඛ්‍ය සේවයට පොදු වූ හා දොම්පෙ රෝහලේ 'පාරිභෝගික අතෘප්තියට' හේතු වූ කරුණු අතරින් අප තෝරා ගත් කරුණ වූයේ දුර්වල 'දත්ත කළමණාකරනයයි'. රෝගීන්, ‍ඖෂධ, ප්‍රතිකාර හා 'සම්පත්' (Resources) සම්බන්ධව විධිමත් දත්ත කළමණාකරනයක් නොමැති බැවින් අවශ්‍ය අවස්ථාවන්හිදී අවශ්‍ය තොරතුරු අවශ්‍ය පුද්ගලයින් වෙත ළඟා වීමේ දුර්වලතාවය දොම්පෙ රෝහලේ 'පාරිභෝගික අතෘප්තියට' හේතු වී ඇති බව හඳුනා ගත්තෙමු. 

ප්‍රතිකාරය

පළමු ගැටලුව සඳහා ප්‍රතිකර්මය ලෙස අප තෝරා ගත්තේ රෝහල් පරිශ්‍රය 'භෞතිකව ප්‍රති-ව්‍යුහගත කිරීම' නම් වූ විසඳුමයි. එහිදිී අප දුටු එක් විශේෂ අවස්ථාවක් වූයේ, පළල අඩි 6ක් පමණ වූ පටු කොරිඩෝවක් හරහා රෝහලේ ප්‍රධාන කාර්යයන් 10ක් සිදු වූ බවයි. එනම්;

  1. රෝගීන් ඇතුළත් කිරීම
  2. වෙනත් රෝහලක් වෙත මාරු කර යැවීම
  3. රෝගීන් බැලීම සඳහා අමුත්තන් පැමිනීම
  4. සුව වූ රෝගීන් 'ටිකට් කපා' පිටත් කර යැවීම
  5. හදිසි ප්‍රතිකාර කාමරය වෙත හදිසි අනතුරු වලට ලක් වූවන් රැගෙන යාම
  6. බාහිර රෝගීන්ට අංක නිකුත් කිරීම
  7. බාහිර රෝගීන් වෛද්‍ය කාමරය වෙත කැඳවන තුරු රැඳී සිටීම
  8. 'සැරහුම් කාමරයට' (Dressing Room) හා 'නික්‍ෂේපන කාමරයට' (Injection Room) ගමන් කිරීම
  9. 'බෙහොත් ශාලාව' (Dispensary) වෙත ගමන් කිරීම
  10. අභ්‍යන්තර කාර්ය මණ්ඩලය රාජකාරි සඳහා වාර්තා කිරීමට පැමිණිම
මෙම කොරිඩෝව හරහා සිදු නොවූ එකම කාර්යය වූයේ මෘතශරීරාගාරයෙන් (Mortuary) මෘතශරීර නිකුත් කිරීම පමණි.

අපගේ ප්‍රති-ව්‍යුහගත කිරීම යටතේ විවිධ අංශ වෙත විවිධ ප්‍රවිශ්ඨ ලබා දුන් අතර සමහර අංශ වෙනස් ස්ථාන වල ප්‍රතිස්ථාපනය කිරීම සිදු විය. ඊට අමතරව ස්ථාන නම් කිරීම හා යොමු කිරීම් පැහැදිලිව හා නිවැරදිව ප්‍රදර්ශනය කිරීම තුළින් 'මානව චලන' ප්‍රමාණය අවම කිරීමට කටයුතු කළෙමු.

දෙවන ගැටලුව සඳහා අප තෝරා ගත් ප්‍රතිකර්මය වූයේ 'තොරුතුරු හා සන්නිවේදන තාක්‍ෂණික විඳුමක්' (Information & Communication Technology Solution) හඳුන්වා දීමයි. (මෙම විසඳුමේ ඇති බරපතලතාව හේතුවෙන් හා වර්තමාන සමාජයේ ඊට ඇති ආකර්ෂණය හේතුවෙන් දොම්පෙ රෝහල වෙනුවෙන් අප සිදු කළ සමස්ථ කාර්යයම 'ඉ-දොම්පෙ රෝහල් ව්‍යාපෘතිය' ලෙස හැඳින් වීමෙන් සමස්ථ කාර්යයට යම් අසාධාරනයක් සිදු වූ බවට මා අදටත් විශ්වාස කරමි.) 


සහයෝගය

'භෞතිකව ප්‍රති-ව්‍යුහගත කිරීම' කාර්ය සඳහා රෝහලෙන් හෝ පළාත් සභාවෙන් හෝ රජයෙන් හෝ කිසිදු ප්‍රතිපාදනයක් නොලැබෙන බව වේලාසනින්ම හඳුනා ගත්තෙමු. එබැවින් මේ සඳහා විවිධ පාර්ෂවයන්ගේ සහයෝගය ලබා ගැනීමට මුල සිටම කටයුතු කළෙමු. දොම්පෙ රෝහල අවට ස්ථාපනය කර ඇති කර්මාන්ත ශාලා තමන් කාර්ය මණ්ඩලයට අවශ්‍යවන හදිසි ප්‍රතිකාර සඳහා තෝරාගෙන ඇති ස්ථානය දොම්පෙ රෝහල බැවින් ඔවුනගේ සහයෝගය ලබා ගැනීමට හැකි විය. (එම ආයතන සෑම වර්ෂයකම කිසියම් සහයෝගයක් රෝහල වෙත ලබා දීම සිරිතක් සෙල සිදු කළ මුත්, සැබෑ අවශ්‍යතාවයන් සඳහා ඒවා යොමු කිරීමක් නොවීමෙන් වැඩි ප්‍රයෝජනයක් හිමි වී නොතිබුණි.)

ඊට අමතරව රෝහල් කමිටුව විසින්ද ප්‍රදේශයේ දානපතියන් මේ සඳහා ය‍ොමු කරමින් විශාල කාර්යයක් ඉටු කරන ලදී. එසේම මා සභාපති ලෙස කටයුතු කළ 'අපේරෑන සමාජ සංස්කෘතික සංහිඳ' නම් වූ සංවිධානය හරහා පූර්ණ ලෙස ශ්‍රම දායකත්වය ලබා ගැනීමට හැකි විය.

'තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය' යොදා ගැනීම යනු ඉතාමත් වියදම් අධික විසඳුමකි. පරිගණක යන්ත්‍ර හා ජාල පද්ධතිය වැනි ද්‍රෘඩකාංග (Hardware) සඳහා මෙන්ම පරිගණක වැඩසටහන් හෙවත් මෘදුකාංග (Software) සඳහා වියදම් කරන්න සිදු වන්නේ මිලියන් ගනන් වලින් බව අප දැන සිටයෙමු. වඩාත් සුදුසු විසඳුම සොයා ගැනීම හා ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම අප හමුවේ වූ විශාලම අභියෝගය විය. මූලික ඇස්තමේන්තුව වූයේ මිලියන 10කි...!

ඒ සඳහා ක්‍රියාත්මක වූ මා මුලින්ම ගියේ ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය සම්බන්ධ ඉහලම ආයතනය (Apex Body) වු ශ්‍රී ලංකා තොරතුරු හා සන්නංවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) රාජ්‍ය අංශ ප්‍රතිනිර්මාණ වැඩසටහනේ අධ්‍යක්‍ෂ වසන්ත දේශප්‍රිය මහතා වෙතය. රාජකාරී මට්ටමින් අප හා තිබූ සම්බන්ධතාවය මේ හමුව සඳහා පහසුකම් සැපයූවේය. මෙම කාර්ය සඳහා දායකත්වය දැක්වීමට වසන්ත මහතා ඉතා උනන්දුවෙන් කැමැත්ත දැක්වුවද, පවත්නා ව්‍යුහය යටතේ එය කිරීම අපහසු විය. කොටින්ම පවසන්නේ නම් මේසා මුදලක් දොම්පෙ රෝහල වෙත විශේෂයෙන්ම ලබා දෙන්නේ කෙසේද යන්නයි. එසේ වුවද රෝහල් 10ක් සඳහා අප යෝජනා කරන ආකාරයේ විසඳුම් ලබා දීමේ ව්‍යාපෘතියක් ඇති කිරීමටත් ඊට දොම්පෙ රෝහල ඇතුළත් කිරීමටත් වසන්ත මහතා එකඟ විය. (එහෙත් අවසානයේ සිදු වූයේ එවකට 'දැයට කිරුළ ප්‍රදර්ශනය' පැවැත්වූ ප්‍රදේශයෙන් ඒ සඳහා රෝහල් තෝරා ගැනීමයි.)

එම උත්සාහ අසාර්ථක වූ විට මාගේ අවධානය යොමු වූයේ එම ICTA ආයතනයේම තවත් අංශයක් වූ 'ඉ-සමාජ වැඩසටහන' වෙතයි. එම වැඩසටහනේ අධ්‍යක්‍ෂිකාව වූ චිත්‍රාංගනී මුබාරක් මහත්මිය සමග පැවැත්වූ සාකච්ඡාවෙන් පසුව 'ඉ-සමාජයක්' ලෙස අප ලබා දෙන ව්‍යාපෘති වාර්තාවක් සදහා මූල්‍ය සහාය ලබා දීමට ඇය එකඟ විය. ඒ අනුව අප කණ්ඩායම 'ඉ-සමාජයක්' ලෙස සංවිධානය වී ඉදිරිපත් කළ ව්‍යාපෘතියට රුපියල් මිලියන 4ක් පමණ ලබා දෙන ලදී. මෙම කාර්ය සඳහා එම අංශයේ ව්‍යාපෘති කළමණාකරුවෙකු ලෙස කටයුතු කළ ශ්‍රියානන්ද රත්නායක මහතා දැක්වූ දැඩි කැපවීම විශේෂයෙන්ම සඳහන් කළ යුතුය. ශ්‍රියානන්ද සමග එක්ව මෙම කාර්යයන් ඉතා ඉහල මට්ටමින් සම්බන්ධිකරණය කළ වෛද්‍ය සම්පත් කුලතිලක නොවන්නට මුදල් ගෙවා ව්‍යාපෘති කළමණාකරුවෙකු දොම්පෙ රෝහල වෙත ලබා ගැනීමට අපට සිදු වනවා නොඅනුමානය.

තවත් මිලියන 6ක් ලෙස ඇස්තමේන්තු ගත වූ පිරිවැය පියවා ගැනීමේ අභියෝගය ද ජය ගත්තෙමු. එහිදී අපගේ උපායමාර්ගය වූයේ විවිධ ආයතනවල 'ආයතනික සමාජ සත්කාරක සේවා' (Cooperate Service Responsibility -CSR) අප වෙත යොමු කරවා ගැනීමයි. කොටින්ම අප විසින් තෝරා ගත් 'උපකරණ සැපයුම්කරු් වූ ශ්‍රී ලංකා ටෙලිකොම් ස්ර්විස් ආයතනයේ ව්‍යාපාරික ලාභය අප වෙනුවෙන් කපා හරින්ට එකඟ කර ගැනීමට අපට හැකි විය. එම ආයතනයට අවශ්‍ය වන ශ්‍රම වියදම හා යන්ත්‍ර සූත්‍ර කාර්යයන් අපගේ 'සුභ පතන්නන්ගෙන්' ලබා දීම හේතුවෙන් මිලියන 6.5ක් පමණ වූ භාන්ඩ හා සේවා ප්‍රමාණයක් මිලියන 4කින් පමණ ලබා ගැනීමට සමත් වීමු.

ඊට අමතරව පුහුණු කිරීම් හා දැනුවත් කිරීම සඳහා මොරටුව විශ්ව විද්‍යාලය වැනි ආයතනයන්ගේ සහයෝගය නොමිලේ ලබා ගනිමින් වියදම් අවම කර ගත්තෙමු.

වෙනස් කළමණාකාරණය

දොම්පෙ රෝහල් ව්‍යාපෘතියේ යම් සාර්ථකත්වයක් ඇත්නම් එහි රහස සාර්ථක 'වෙනස් කළමණාකරණයයි' (Change Management). මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ අරමුණින් දොම්පෙ රෝහගට පය තැබූ පළමු මොහ‍ොතේ සිටම අප කටයුතු කළේ වෙනස් කළමණාකරනය පිළිබඳව දැඩි අවධානයෙන් යුතුවයි. සෑම විටම අප කටයුතු කළේ මෙම ව්‍යාපෘතිය 'තමන්ගේම වැඩක්' බව ඔවුන්ට හැඟී යන ආකාරයෙනි.

ඊට අමතරව සේවා 'ස්ථානයෙන් බාහිර පුහුණු වැඩසටහන්' (Outbound Training Programs) රාශියක් සංවිධානය කරමින් කණ්ඩායම් හැඟීම වර්ධනය කිරීමට කටයුතු කළෙමු. ආයතන ප්‍රධානියා වූ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිගේ සිට ගිලන් රථ රියදුරු ද ඇතුලුව සනීපාරක්‍ෂක කම්කරුවන් දක්වා සෑම සියලු දෙනාටම (මාගේ මතකය අනුව 106 දෙනෙක්) පරිගණක භාවිතය හා අන්තර්ජාලය භාවිතය පිළිබඳව පුහුණුව ලබා දීමට කටයුතු කළෙමු.

අමාක්‍යංශ ලේකම්, ආයතන ප්‍රධානීන් වැනි ඉහල මට්ටමේ රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුට පමණක් ලබා දී තිබුණු 'ලැප් ටොප්' පරිගණක ‍රෝහලේ සියලුම වෛද්‍යවරුන් වෙත ලබා දීමට කටයුතු කළෙමු.

චිරස්ථතිය

ඊළඟට මගේ වැඩිම අවධානය හා කැපකිරීම යොමු වූයේ මෙම ව්‍යාපෘතියේ ස්ථාර පැවැත්මයි. දියුණු රටවල්ද ඇතුලුව ලොව සෑම රටකම මේවන විට පවතින තත්ත්වය වන්නේ ඉ-රාජ්‍ය ව්‍යාපෘති වලින් 85%ක් සම්පූර්ණයෙන්ම හෝ ආංශිකව හෝ අඩාල වී තිබීමයි. 'ඉ-දොම්පෙ රෝහල් ව්‍යාපෘතියට' ඒ දේ සිදු නොවන බවට සහතික වීම මා හමුවේ තිබූ විශාලම අභියෝගයයි. ඒ සඳහා විවිධ උපායමාර්ග අනුගමනය කළ අතර ඒවායේ ස්වභාවය අනුව මෙවැනි විවෘත ලේඛනයක සඳහන් කිරීමට තවමත් කාලය එළඹ නැතැයි සිතමි. (කෙසේ වුවද මෙහි චිරස්ථතිය පිළිබඳ සෑහීමකට පත් වූ දිනෙක ඒවාද සඳහන් කරන්නෙමි.)

ඇගයීම

ඉ-දොම්පෙ රෝහල් ව්‍යාපෘතියෙන් ඈත් වීමට ප්‍රථම මාගේ තවත් වගකීමක් වන්නේ ඒ සඳහා මාහට සහයෝගය දැක්වූ සියලු දෙනා ඇගයීමයි. එසේම එය දැඩි අවධානමක් සහිත කාර්යයක් බවද මා හොඳින් දනිමි. කිසියම් අයෙකු මග හැරුණ හොත් සිදුවන හානිය සේම, තමන් ගැන කළ ඇගයීම තමන් බලාපොරොත්තු වූ මට්ටමෙන් නොවීම නිසා ඇතිවන කළ කිරීම ගැන හොඳ අවබෝධයකින් මෙය සිදු කළ යුතුය. ඒ හේතුවෙන් පළමුවම මෙලෙස ප්‍රකාශ කරමි.

"ඔබ කිසිවෙක් මට අමතක නැත. අමතක කරන්නේද නැත. මා මේ පසු කරන්නේ මෙම ලිපිය ලියා අවසන් කිරීමේ හදිස්සියෙන් හා මධ්‍යම රාත්‍රියද පසු වී ඇති නිසා වූ දැඩි වෙහෙසකර හෝරාවකි. එබැවින්ම ඔබගේ නම නොලියවෙන්නට ඇත. ඔබ කළ කාර්යය සඳහන් නොවන්නට ඇත. එය එසේනම්, මට සමා කරන්න. සමාව දෙන්න නොහැකිනම් දුරකතනයෙන් අමතා හෝ මුණ ගැසී හෝ මට බනින්න. කරුණාකර 'හිතේ තියාගෙන ඉන්න' නම් එපා. "

  • ගනේගොඩ ශ්‍රී පුන්‍යවර්ධනාරාමාධිපති, සියනාදී සිව් කෝරලයේ ප්‍රධාන සංඝනායක දන්දෙණියේ ජිනවංශාභිධාන නාහිමියෝ ලබා දුන් මග පෙන්වීම හා මා මෙන්ම ධනංජය ද යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීමට කළ කැප කිරීමට අමතරව සඳහන් කළ යුතුය.
  • මාගේ අදහස ඇසූ දිනයේ සිට දිගින් දිගටම මා සමග සිටිමින්, මොරටුව විශ්ව විද්‍යාලය හා පුද්ගලික ආයතන සම්බන්ධීකරණය කරමින් කටයුතු කළ මාගේ අතිජාත මිත්‍ර ධනංජය රාජපක්‍ෂ
  • සම්ප්‍රදායික රාජ්‍ය ආයතන ප්‍රධානියෙකු නම් කිසිදා නොගන්නා තීරණයක් ගනිමින් මෙවැනි විප්ලවීය ව්‍යාපෘතියක් තම ආයතනයේ ක්‍රියාත්මක කිරීම සඳහා නොබියව ඉදිරිපත් වූ මාගේ පාසල් සමයේ මිත්‍රයා වූ වෛද්‍ය හජිත කුමාර
  • තම ව්‍යාපාර සඳහා යෙදවීමට ඇති කාලය හා ධනය යොදවමින් අප සමග ඕනෑම කාර්යයක් සඳහා යාමට නොපැකිලව ඉදිරිපත් වූ දොම්පෙ රෝහල් කමිටුවේ ගරු සභාපති මාගේ පාසල් සමයේ මිත්‍ර නන්දික රණතුංග
  • ඉ-දොම්පෙ ව්‍යාපෘතියේ නියමුවා (Project Champion) ලෙස එදා සිට මේ දක්වා ස්වේච්ඡාවෙන් කටයුතු කරන, මෙවැනි කෙටි වැකියකින් කියා නිම කළ නොහැකි තරම් සේවයක් හා කැප කිරීමක් සිදුකළ වෛද්‍ය සම්පත් කුලතිලක
  • මාගේ සෙවනැල්ලක් ලෙස සිටිමින් ගමේ තරුණ තරුණියන් එක් රැස් කර, මෙම කාර්ය සඳහා අවශ්‍ය ශ්‍රම දායකත්වය ලබා ගැනීම සඳහා පූර්ණ සහයෝගය ලබා දුන් 'අපේරෑන සමාජ සංස්කෘතික සංහි‍ෙඳේ' ගරු ලේකම් මහේෂ් රාජපක්‍ෂ හා එහි සමස්ථ සාමාජිකත්වය
  • වෛද්‍යවරුන්ට ලැප්ටොප් පරිගණක ලබා දීමට අනුමැතිය ලබා දීම වැනි විප්ලවීය තීරණ ගනිමින් සහයෝගය දැක් වූ, එවකට බස්නාහිර පළාතේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් චන්දන ‍‍රුද්‍රිගෝ මහත‍ා
  • ශ්‍රී ලංකා තොරතුරු හා සන්නංවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) රාජ්‍ය අංශ ප්‍රතිනිර්මාණ වැඩසටහනේ අධ්‍යක්‍ෂ වසන්ත දේශප්‍රිය මහතා
  • ශ්‍රී ලංකා තොරතුරු හා සන්නංවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) ඉ-සමාජ  වැඩසටහනේ අධ්‍යක්‍ෂිකාව වූ චිත්‍රාංගනී මුබාරක් මහත්මිය
  • ශ්‍රී ලංකා තොරතුරු හා සන්නංවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) ඉ-සමාජ  වැඩසටහනේ ව්‍යාපෘති කළමණාකරු වූ මා හිතවත් ශ්‍රියානන්ද රත්නායක මහතා
  • සමහර ඉහල නිලධාරීන් ප්‍රතිවිරෝධතා දක්වද්දී නොබියව අපට එකඟතාව දැක්වූ ගම්පහ දිස්ත්‍රික් වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කළ වෛද්‍ය ලින්ටන් පත්මසිරි මහතා
  • මාගේ ඉල්ලීම කාරුණිකව පිළිගනිමින් කිසිදු අය කිරීමකින් තොරව 'පද්ධති අධ්‍යනය' සිදු කර 'ක්‍රියාවලි ප්‍රති-නිර්මාණ වාර්තාව' සකස් කර දුන් හරීන් ගුණවර්ධන මහතා
  • පරිගණක මෘදුකාංගය ඉතා අඩු මුදලකට ලබා දෙමින් සහයෝගය දැක්වූ වෛද්‍ය පෝල් මහතා ඇතුලු ඔහුගේ කාර්ය මණ්ඩලය
  • දොම්පෙ රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය, හෙඳ කාර්ය මණ්ඩලය හ‍ෙ කණිෂ්ඨ‍ ස්වක කාර්ය මණ්ඩලය
  • ටෙලිකොම් සේවා ආයතනය
  • මොබිටෙල් ආයතනය



4 comments:

තිලකසිත said...

බන්දුල ,මේ සටහන දෙතුන් වතාවක් කියෙව්වා. පුද්ගලිකව මටත් තව බොහෝ දෙනෙකුටත් ඉතා ප්‍රයෝජනවත් ලිපියක් . මෙය වැඩි පිරිසකගේ ඇස ගැටේවා යැයි පතනවා. දොම්පේ රෝහල වෙනුවෙන් කළ මහගු සේවය මෙන්ම එය මෙසේ ලියා තැබීමත් ඉතා ඉහලින් අගය කරනවා .

තිලකසිත said...

බන්දුල ,මේ සටහන දෙතුන් වතාවක් කියෙව්වා. පුද්ගලිකව මටත් තව බොහෝ දෙනෙකුටත් ඉතා ප්‍රයෝජනවත් ලිපියක් . මෙය වැඩි පිරිසකගේ ඇස ගැටේවා යැයි පතනවා. දොම්පේ රෝහල වෙනුවෙන් කළ මහගු සේවය මෙන්ම එය මෙසේ ලියා තැබීමත් ඉතා ඉහලින් අගය කරනවා .

Bandula - බන්දුල said...

බොහොමත්ම ස්තුතියි තිලක්. මේ ටිකක් පරන ‍සටහනක්. බොහො දෙනෙක්ගේ 'ඇස ගැටිල' නෑ වගෙයි සංඛ්‍යලේඛන බලද්දී දැක්කේ..!

ICTD&D said...

බන්දුල.. මේ ආකාරයෙන් ඉතිහාසය සටහන් කර තැබීම ඉතා වටිනවා, ඇත්තටම මා දකින ආකාරයට බන්දුලගේ යෝජනාව ඉෂ්ට උන දවස පසුගිය 31 වැනි දිනයි. නමුත් දුක නම් ඔබේ යෝජනාව ක්‍රියාවට නංවන දවසේ ඔබ නොසිටිමයි. බන්දුල 2011දී ව්‍යාපෘති යෝජනාවක් අරගෙන ICTA අවේ රෝගීන්ට ගෙදර ඉඳන් ඉස්පිරිතාලයෙන් වෙලාවක් වෙන් කරගන්න හැකි ඇපොඉන්මෙන්ට් සිස්ටම් එකක් හදා ගන්නයි. ව්‍යාපෘති යෝජනාව මා ලඟට අවේ "සලකා බලන්න" ලෙස සටහනක් සමගින්. මෙවැනි ව්‍යාපෘතියක් සඳහා තාක්ෂණික සහ මුල්‍යමය ආධාර දෙන්න ක්‍රමයක් තිබුනේ නෑ. නමුත් මේ වෙද්දී අපි HHIMS v.1.0 නියමු ව්‍යාපෘතියක් ලෙස එක් රෝහලක සාර්ථකව ක්‍රියාත්මක කර තිබුණා. මේ කාලයේදී Replication Assistance Programme එක කළමනාකරණ වගකීම තිබුනේ මට. බන්දුලත් එක්ක කරපු සාකච්චා කීපයකින් පස්සේ බන්දුල කැමති වුණා තම යෝජනාව පැත්තකින් තියල HHIMS replicate කරන්න proposal එකක් ඉදිරිපත් කරන්න. කීපවතාවක් කෙටුම්පත් කල යෝජනාව බාරගෙන රුපියල් මිලියන 4.3ක මුදලුත් HHIMS මෘදුකාංගයත් තාක්ෂණික සහයත් ලබා දුන්න. රෝහලේ පරිගණක ජලය ස්ථාපිත කරන්න hardware ගන්නත් මේ මුදල් බන්දුල වෛද්‍ය හජිත වෛද්‍ය සම්පත් ඇතුළු පිරිස එවකට සිටි ලින්ටන් පද්මසිරි මහත්මය සමග එක්ව ඉතා අරපිරිමැස්මෙන් භාවිතා කල බව කියන්න ඕන. බන්දුල මුලින්ම ගෙන ආ යෝජනාව ඊළඟ අදියරේදී ක්‍රියාත්මක කරන බවට මා පොරොන්දු උනත් ඒ අදියරට එන්න අවුරුදු 6ක් ගත උනා.

රෝහලක් ඩිගිටල්කරණයට පෙර එහි ඇති සියලු බෞතික සම්පත් උපරිම මට්ටමකින් බවිතා කරන තත්වයකට ගෙන ආ යුතුයි. Business process reengineering සහ BPM ගැන අවබෝදයක් ගත යුතුයි. ඉතින් දොම්පේ රෝහලේදී මේ සඳහා පුරෝගාමී උනේ බන්දුල. දොම්පේ කියන්නේ මා අත්හදා බැලු එක මොඩලයක්. එහි විශේෂත්වය නම් සහභාගිත්ව සංවර්ධනයයි. සහබගිත්ව ව්‍යාපෘති කළමනාකරණයයි.