Monday 9 July 2012

මහවැලියේ ඓතිහාසික වැරැද්ද 2

මහවැලි ව්‍යාපාරයේ පමණක් නොවේ; බොහෝ ජනපද ව්‍යාපාරවල වී ගොවිතැන් කිරීම සඳහා එක් ගොවි පවුලකට කුඹුරු හෙක්ටයාර් එකක් (අක්කර 2.5) හා ගොඩ ඉඩම් අක්කර භාගයක් බැගින් බෙදා දී තිබෙනවා. මේ ප්‍රමාණ මීට වඩා වෙනස් වූ අවස්ථා තිබෙනවා. එහෙත් සාමාන්‍ය ප්‍රමාණය ලෙස මේ හෙක්ටයාර් එක සලකන්න පුළුවන්. මෙලෙස කුඹුරු ඉඩම් ලබා දීම නිසා අක්කර 1,000 ක කුඹුරු ඉඩම් ඇති ප්‍රදේශයකට ගොවි පවුල් 400ක් ඇතුළත් වෙනවා. එසේම බොහෝ ස්ථානවල මෙම කුඹුරු හෙක්ටයාර් 400 ප්‍රමාණය පැතිර පවතින්නේ හෙක්ටයාර් 500කට වඩා වැඩි ප්‍රදේශයක් තුළයි. ගොඩ ඉඩම් ලබා දීමේ රටාව අනුව මෙම පවුල් 400 යේ පැතිරීම විෂම වෙනවා. අධ්‍යනයේදී හඳුනාගත් පරිදි අතිබහුතරයක් ස්ථානවල මෙම පවුල් 400 වර්ග කිලෝමීටර් 4ක් 5ක් පුරා විසිර ජීවත් වෙනවා. මේ ආකාරයට සලකා බැලූ විට පෙනී යන කරුණ නම් මහවැලි ව්‍යාපාරය යටතේ සංවර්ධනය කළ කලාපවල හෙක්ටයාර් 500 ක භූමියෙන් වී අස්වැන්න ලැබෙන්නේ උපරිම හෙක්ටයාර් 400න් පමණි. එනම් 20%ක භූමි ප්‍රමාණයක් පරමාර්ථයෙන් ඈත් වී ඇත. මෙම කුඹුරු හෙක්ටයාර් 400 න් හොඳ අස්වැන්නක් ලැබුණු කන්නයක් සලකා බලන්න. ඊළඟ කන්නය වගා කිරීමට බලපාන සාධක විය හැක්කේ මොනවාද? හොඳ මිලකට වී අලෙවි කර ගන්නට හැකි වූ ගොවියෙකු, තමාට එළඹෙන කන්නය වගා කිරීමට අවශ්‍ය නොවේයැයි තීරණය කළ හැකිය. එසේම ඉතා අඩු මිලක් ලැබුණ ගොවීන්ට වී වගාව 'එපා' විය හැකිය. තවත් අයෙකුට වෙනත් වගාවත් කිරීමට සිත් ඇතිවිය හැකිය. යම් අයෙක් වගා කිරීමට නොහැකි තරම් අසනීප විය හැකිය. කොටසක් පලිබෝධ නාශක රසායන භාවිතා කරද්දී තවත් කොටසක් එයින් වැලකී සිටීමට හැකිය. එක් කොටසක් දෙමුහුන් වී ප්‍රභේද වගා කරද්දී අනෙක් අය 'පැරණි වී' වගා කිරීමට පුළුවන. රසායනික පොහොර යොදන අය, ඓන්ද්‍රීය පොහොර යොදන අය හා පොහොර නොයොදන අය විය හැකිය. සමහරු වැඩිවයස් වී ප්‍රභේද යොදද්දී සමහරු අඩු වයස් වී වගා කරනවා විය හැකිය. වගා කළ ගොවියෙක් අසනීප වීම නිසා හෝ මිය යාම නිසා හෝ කුඹුර විනාශ වීමට ඉඩ ඇත. මේ ආකාරයට මෙම හෙක්ටයාර් 400යේ ගොවි බිමේ 'නිෂ්පාදනය' කෙරෙහි බලපෑම් ඇති කරන තීරණ 400ක් තිබේ. එසේම අස්වැන්නට බලපෑම් ඇති කරනු ලබන එකිනෙකට වෙනස් තීරණ රාශියක් තිබිය හැකිය. මෙම තත්වය යටතේ නිශ්චිත කුඹුරු ප්‍රමාණයක වී වගාවෙන් බලාපොරොත්තු විය හැකි අස්වන්න ඉතා විශාල පරාසයක් තුළ විචලනය විය හැකිය. මෙලෙස ප්‍රමාණවත් නිවරද්‍යතාවයකින් යුතුව අස්වැන්න අනුමාන කිරීම නොහැකි වීම නිසා ඇතිවන අසාමාන්‍ය මිල වෙනස් වීම ඊළඟ කන්නයේ වී අස්වැන්නට බලපෑම් ඇති කරන ප්‍රධානම සාධකය විය හැකිය. මීට අමතරව මෙම 'වී නිෂ්පානදය' හා බැඳී ඇති අනෙක් අවසනාවන්ත තත්වය නම් මෙම වී නිෂ්පාදනය තවත් නිෂ්පාදනයක 'අමුදව්‍යයක්' පමණක් වීමයි. එබැවින් මෙම නිෂ්පාදනයේ මිල නියම වන්නේ අවසාන පාරිභෝගිකයා මත නොව ඊළඟ නිෂ්පාදකයා මතය. ඒ නිසා සැමදා 'වී' මිල අඩුය. 'හාල්' මිල වැඩිය. මහවැලි ගොවියා සහල් හා සහල් ආශ්‍රිත ද්‍රව්‍ය නිෂ්පාදයෙක් වූවානම් ..... මහවැලියේ ඓතිහාසික වැරැද්ද මෙතනය. තනි පුද්ගල නිෂ්පාදන රාශියක් වෙනුවට සමූහ නිෂ්පාදන වැඩපිළිවෙලකට යාමට තිබූ හොඳම අවස්ථාව මහවැලියයි. ඒ අනගි අවස්ථාව අත හැරීම 'මහවැලියේ එතිහාසික වැරැද්ද' යනු මාගේ මතයයි.

7 comments:

Anonymous said...

බන්දුල අය්යේ කලකට ඉස්සර පොලොන්නරුව ගොවීන් අතර කුඩා පරිමාන සහල් නිෂ්පාදකයින් හිටියා. ඒත් මෑතකදී මහ පරිමාන වී මෝල්ලු දෙතුන් දෙනෙක් දේශපාලන සවියෙන් ඒකාධිකාරය පවරගෙන වී මිල තීරණය කරනවා. එක දේශපානයෙ නිපුන මෝලෙක් මේ ලඟදි ප්‍රකෝටි ගනණකට පොලොන්නරුවෙ තියෙන තරු පංතියේ හෝටල් දෙකක් සල්ලි වලට ගත්තා. කුඩා පරිමාන වී මෝල් නැත්තටම නැතිවෙලා.

මේක එයිතිහාසික වරදක්ම නෙමෙයි. මෑතකදි හිතා මතාම නිර්මාණය කරපු වරදක් කියලා මට හිතෙන්නෙ.

අය්යේ word verification අයින් කරන්න. ඒක නම් මල වදයක්.

දූපත් වැසියා said...

එහෙම ඉඩම් බෙදන්නේ නැතුව මිනිස්සු පදිංචි කරන්නෙ කොහොමද?

Bandula - බන්දුල said...

දූපත් වැසියා, මම කියන්නම් කොහොමද කරන්නේ කියලා. මට වෙලාව දෙන්න; කරුණාකරල

Anonymous said...

කලාතුරකින් කියවන්න ලැබෙන post එකක්,පේරා Ceylon room එකේ තියනවා ලංකාවේ නුතන ගොවි ජනපද ඇති කිරිමේ ඉතිහාසය ගැන ගොඩක් වාර්ථා. ඒ අතර තිබුනා 1900 - 1940 අතර මින්නේරියේ නැවත අස්වැද්දිමේ උත්සාහයන් ගැන. හැකිනම් සොයාගෙන කියවන්න, රුසියවේ අය සාමූහික ගොවිතැන ගැන කියන්නේ ඓතිහාසික වැරැද්දක් කියායි.

Bandula - බන්දුල said...

ඔබ කියවා ඇති දෙයින්ම පෙනෙනවා ඔබ කොතරම් ඒ සම්බන්ධව දැනුවත්ද කියා. ඒ දැනුම අනුව ඔබ සිතන ආකාරය නිවැරදියි. මම මෙයින් කියන්නේ නිර්මාණශීලී ලොවේ (Creative World) කළ යුතු දෙයක් ගැනයි. තරඟකාරී ලොවේ (Competitive World) සිදුවන දේ වැරදීමට විනා හරියාමට පුළුවන් කමක් නැත. රුසියාවේ තිබුනේ සමූහ ගොවිතැනක් දැයි මම සොයන්නට හෝ හිතන්නට යන්නේ නෑ. රුසියාවේ සමස්ථයම ඓතිහාසික වැරැද්දක් බව මාගේ හැඟීමයි. රුසියාව කියවා ඇති අය කියන පරිදි අංගසම්පූර්ණයෙන්ම ධනවාදී වැඩපිළිවෙලක් ගැනයි මා කියන්නේ.

Dude said...

බන්දුල මමත් ඔය මහවැලි සී කලාපෙ ගුරුවරයෙක් හැටියට හිටියා අවුරුදු ගානක්. ඒ සමහර අත්දැකීම් මම HeyDude
වගෙම මට හිතෙන හැටි බ්ලොග් එකෙත් ලියලා තියෙනවා. ඉස්සරහටත් ලියනවා.
ඔය කියන විශාලම ඓතිහාසික වැ‍රැද්දට අමතරව තව පොඩි පොඩි වැරදි රාශියකුත් දැක්කා ඒ කාලෙ.

බන්දුල මේ කමෙන්ට් ෆෝම් එක පෝස්ට් එකට යටින් දැම්මා නම් මේ බ්ලොග් එක මීටත් වඩා user friendly.

henryblogwalker the Dude

Sameeraj said...

ඉතා අගේ ඇති ලිපියක් බන්දු
අපට මේ වැනි කතා මීටත් වඩා වග කියයුත්තන්ටත් දැනෙන ලෙස ප්‍රකාශ විය යුතු ක්‍රමවේදයක් අවශ්‍ය බවයි මගේ හැඟීම/

අපේ බ්ලොග් ලියන හුඟාක් සොයුරු සොයුරියන්ගේ අතින් ලියැවෙන ජාතික වශයෙන් සහ පුරවැසියන්ගේ පාර්ශවයෙන් අතිශය සංවේදී වැදගත් කතා බහ මහජනතාව වෙත ගෙන යන්නට ක්‍රම වේදයක් හිතන්න ඕන.
නැති නම් මැරෙන්න පෙර අපේ හෘද සාක්‍ෂියට එකඟව කොහේ හරි අපිට දැනෙන දේ ලියලවත් තියලා යනවා කියන තැන ඉඳගෙනම ඉන්නයි වෙන්නේ.
වෙලාවක අපි මේ ගැනත් සාකච්ඡා කරමු (රාජකාරි මට්ටමින් නොවේ,කණ්ඩායමක් ලෙස)