Tuesday 14 April 2009

අවුරුදු කාගෙද.....?

ලැබූ අවුරුද්ද යහපත් බලාපොරොත්තු සියල්ල ඉටුවන සොඳුරු කාලයක් වේවා, සියළු දෙනාටම!

මේ අළුත් අවුරුද්ද කාගෙද? නැත්නම් කාගේ අවුරුද්ද අද අරම්භ වන්නේ?

මෙදා පාර අවුරුද්දට පෙර දින කිහිපයක නිවාඩුවක් ලැබුණා. ඒ නිසා වැඩි කාලයක් නිවසේ රැඳෙන්නත්, දරුවන් සමග වැඩි කාලයක් ගත කරන්නත් ලැබුණා.

ඒ වගේම අවුරුදු ගානකට පස්සේ මගේ අතිජාත මිත්‍රයෙක් මුන ගැසුණා. තිලක්. අපි එකට ඉගෙන ගත්තා. තිලක් වැඩිදුර ඉගෙන ගැනීමට යොමු වුණා.හොඳ රස්සාවකුත් ලැබුණා. දැන් වරලත් ඉංජිනේරුවෙක්. ළඟදී ලංකාවට ආවා.

"අවුරුද්දට ආව එක හොඳා. කොහොමද එහෙදි අවුරුදු?"
"තියෙනවා. මෙහෙන් කට්ටිය යනවනේ අවුරුද්ද අල්ල. ටීවී චැනල්, රේඩියෝ චැනල් දෙක තුනකින්ම යනවා. පන්සලක අවුරුදු උත්සවයක් තියෙනවා. කට්ටිය සෙට් වෙන නිසා අපිත් අනිවාර්යෙන්ම යනවා."
"නෑ මම ඇහුවේ නැකැත් ගැන"
"ආ.. ඒව බොරු වැඩනෙ. මම කොහොමත් ඔය පිස්සු වැඩ කරන්නේ නෑනෙ. නූගත් මිනිස්සුන්ගේ වැඩ"
"ලමයි එහෙමනම් ආස ඇති..?"
"ඔව්. ඒත් ඉතින් ඉගෙනගෙන යමක් කමක් දැන ගනිද්දී ඕව ගැන තියෙන ආසාව නැතුව යනවා."

දැන්නම් මාව කරකවල අත ඇරිය ගනන්!.

"කොහොමත් මේ සැරේ අවුරුද්ද දවසට ගෙදර ඉන්නවනෙ..?"
"නෑ මචං. ඒ දවස් ටිකේ ‍පොඩි රවුමක් දාන්න ඉන්නෙ. යමුද ෆැමිලි දෙකම?"
"යන්න තිබුණනම් හොඳා. ඒත් අවුරුදු නැකැත් වලට ගෙදර ඉන්න එපෑ මචං."
"ඕව මෝඩ වැඩ මචං."

මට හිතුන මේ 'උගත්-නූගත්' අවුරුදු සැමරුම ගැන තව ටිකක් හෙව්වොත් හොඳා කියල.

තිලක්ගෙ මල්ලි තමා ගෙදර ඉන්නේ. එයාට වැඩිදුර ඉගෙන ගන්න බැරි උණා. සා.පෙළත් ඇන ගත්ත වගේ මතක. හැබැයි නියම වැඩකාරය. මේසන්, වඩු, විදුලි, යාන්ත්‍රික, ඉලෙක්ට්‍රොනික් ඕනෙම වැඩක් පුළුවන්. දැන් ගෙවල් හදන්න කොන්ත්‍රාත් ගන්නවා. මිනිහ අවුරුදු සමරන හැටි කොහොමද බලන්නත් එක්ක, තිලක් 'රවුම' ගියාට පසු දා ගියා.

"මචං කොහොමද? කෝ අයිය?"
"ආ අයියෙ. එයාල නුවර ගියානේ. කිව්වෙ නැද්ද?"
"යනව කිව්ව. අදම යයි කියල හිතුවේ නෑ."
"ඊයෙ ගියේ. එන්න අයියෙ ගෙට"
"නෑ මචං මම යන්නම්. කොහොමද අවුරුදු? කෝ නංගි, ලමයි එහෙම?"
"ඉන්නවා. නැවුන්ද කොහෙද හදනවා. යංකො ගෙට. කැවුමක් එහෙම කාල යන්න පුළුවන්නෙ"
"නෑ එපා."

එහෙම කියාගෙනම මමත් කුස්සියටම ගියා. එයාගෙ බිරිඳයි ලමයි දෙන්නයි කැවුම් හදනවා.

"ආ එන්න අයියා. අපිනම් වැඩ."
"ඒක තමා. කැවුම් විතරද හදන්නේ?"
"ඔව් අයියේ. ගොඩක් දේවල් හදන්න වෙලා නෑ, කොකිස් ටිකක් බැද්ද. මුං කැවුන් ටිකකුයි, අතිරසයි හැදුවා. අළුව හරි මොනව හරි හෙට දිහෑ හදා ගන්නවා. දූ මේක හපල බලන්න රස කොහොමද කියල"

අම්ම තරමට උස ගියාට තවම වයස අවුරුදු දොලහක් ඇති දුවට. පළවෙනියට නැත්නම් දෙවෙනියට පුච්චපු කැවුම අරගෙන දුව රස බැලුවා. හපල හොඳට රස කරල ගිලින්නෙ නැතුව එළියට දැම්ම. කටත් හෝදල දැම්ම.

"ම්.. හොඳා අම්මා"
"ආ. එහෙනම් ඔය කැවුම් ටිකක් අවුරුදු කුමාරයට අරන් තියල මේ මාමටත් දෙන්නකෝ"

තෙල් බේරෙන කොණ්ඩ කැවුම හරිම රසයි.

"ඉතින් දූ. දැන් අවුරුද්දට ලෑස්තිද?"
"තව ගේ හේදුවේ නෑ මාමෙ"
"මේ මකුළු දැල් කඩලා දූවිලි ගිහින් මෙයාට හතියට වගේ ආවනෙ අයියා. මම කීවෙ හෙට දිහා මමවත් හෝදන්නම් කියල"
"නෑ නෑ මම හෝදන්නම්"

තාත්තා වැඩේ බාර ගත්ත.

"පුතා අළුත් ඇඳුම් ගත්තද?"
"අපෝ අයිය රෙදි ගන්න ගිහින් නම් හොඳ පන ගියා අයියා."

අම්ම ඉස්සර උනා.

"ඒත් මේ පාර වැඩිය‍ සෙනග නෑ අයියේ. ගිය පාරට කලින් සැරේ පමුනුවේ වාහනේ දාපු තැනින් ගන්න බැරිව රෑ වෙනකම් හිටියා"

ඒ තාත්තාගේ අත්දැකීම.

"මේ සැරේ නැකැත් වෙලාවල් හරි නෑ වගේ නේද අයියා."
"ඇයි..? උදේ පාන්දර නිසාද?"
"නෑ ඒකනම් හොඳා. ඒත් ගිනි මොලවලා අනුභව කරන්න වෙලාව මදි"
"මෙයැයිල අයියේ ඉස්සරෝම අනුභව කරලනෙ ඉන්නෙ, අපේ අහනම් වැඩ අල්ල, ගනුදෙනු කරල තමා ආහාර අනුභවේ. ඊට පස්සේ කෑම මේසෙ අලේ කරන්නත් තියෙනවානෙ. මෙහෙ එහෙම කරන්නේම නෑනෙ."
"ගණදෙනු කරන්න කොහෙටද යන්නෙ.."
"ළිඳට.."
"ළිඳට..?"
"ඔව් ළිඳට. ළිඳත් එක්කනෙ ඉස්සරෝම ගනුදෙනු කරන්නෙ. ‍අයියලත් ළිඳත් එක්ක ගනුදෙනු කරන්නනේ නෑනෙ?"
"ආ ඔව් මේ පැත්තේ ඒ සිරිත නෑ. නංගිලා කොහොමද ඒක කරන්නේ?"
"ගියාවුරුද්දෙ ගනුදෙනු කරපු වතුර එක ගහක් ළඟට දමලා, සුදු රෙදි කෑල්ලක අඟුරු කෑල්ලකුයි, කාසියකුයි, සුදු මලුයි, තව වී එහෙමත් ගන්නවා. ඒවා පොට්ටනිය බැඳල ළිඳට දාල අළුත් වතුර එකක් ඇද ගන්නවා. ඒ වතුර අර භාජනේට දාල අරන් තියනවා."
"අවුරුද්දක්ම?
"ඔව් අයිය. කන්න තව කැවුමක්"
"වැඩ අල්ලන්නේ කොහොමද?"
"ඒකෙනම් වෙනසක් නෑ අයියා. මෙහෙ වගේම තමා. සමහරු කිරි ගහකට කොටනවා. නැත්නම් තම තමන් කරන කර්මාන්තෙ වැඩක් මොකක් හරි අල්ලනවා. ඉගෙන ගන්න ලමයි පොත් කියවනවා. අකුරු ලියනවා. වෙනසක් නෑ"
...................................

දැන් තමා ප්‍රශ්නෙ...!
අවුරුද්ද කාගෙද?
උගතගේ ද? නූගතාගෙද? දෙන්නගෙමද?

2 comments:

Narada said...

සුභ අලුත් අවුරුද්දක් වේවා මචං. ස්තුති වේවා ලිපියට, මටවත් අමතක වෙච්ච එවා මතක් වුණේ. ඇත්තටම මට ඔය සිරිත් විරිත් අමතක වෙලා තිබ්බේ. අපි පුරුදු වෙලා තිබ්බේ දැන් සමරන මිඩීයා අවුරුදු නොවැ. කොහොමත් මට දැන් සමරන්න අමාරුයි විදේශ ගත වෙලා නිසා.

තිලක්ගේ නම දැම්මා වගේ එයාගේ මල්ලීගේයි හැකිනම් ඒ නංගිගේයි බිරිඳගෙයි නම් දාන්න. ඔවුන්ටයි ගරු කරන්න ඕනේ.

Bandula - බන්දුල said...

තිලක්ගේ මල්ලිගේ නම ප්‍රසාද්. මල්ලිගේ බිරිඳ සුනීතා. තිලක්ට නංගි කෙනෙක් නෑ. මම එහෙම කියල තියෙනවාද?
"නෑ මචං මම යන්නම්. කොහොමද අවුරුදු? කෝ නංගි, ලමයි එහෙම?"

මේ නංගි කීවේ ප්‍රසාද්ගේ බිරිඳට. සුනීතා.