Saturday 11 April 2009

බල්ලෝ

විජය ලංකාවට ගොඩ වැදී, එය මිනිස් වාසයක් සහිත භූමියක් බව තහවුරු කරගත්තේ බල්ලෙක් දැකීමෙන් බව වංශකථාවල කියවේ.
මිනිසා විසින් හීලෑ කරගත් පළමු සත්වයා බල්ලා බවත් කියවේ.

එසේම, ලංකාවේ දිනකට 2,000 කට අධික සංබ්‍යාවක් බල්ලන සපා කෑම නිසා ප්‍රථිකාර ලබා ගන්නා බව පසුගිය දිනක පුවත් පතක පලවී තිබුණි. එවැනි ‍අවස්ථාවක ලබාදෙන ජලභීතිකා රෝගය සඳහා වූ එන්නත සඳහා වියදම රුපියල් 35,000.00 ක් පමණ වන බවද එහි සඳහන්ව තිබුණි.

ඇති කරන බල්ලන් වර්ග කිහිපයකි. සුරතලට ඇති කරන බල්ලන්, දඩයමට (සහයෝගයට) ඇතිකරන බල්ලන්, ලොකුකමට ඇති කරන බල්ලන්, (නිවසේ) ආරක්ෂාවට ඇති කරන බල්ලන් ආදී ලෙස 'ඇතිකරන බල්ලන්' ඒ විශේෂ කිහිපයකි. එහෙත් බොහෝවිට මෙම සපා කෑම් සිදුකරන්නනේ මෙම ඇති කරන බල්ලන්ටත් වඩා 'දඩාවතේ යන බල්ලන්'ය. ලංකාවේ ක්‍රියාත්මක නීති අනුව දඩාවතේ යන බල්ලන් සම්බන්ධව ක්‍රියා කළ යුත්තේ පළාත් පාලන ආයතනය. එනම්, මහනගර සභාව, නගර සභාව හෝ ප්‍රාදේශීය සභාව ය. ඉංග්‍රීසි පාලන කාලයේ ගෙන ආ තවමත් වලංගු ජලභීතිකා රෝග ආඥාපනත හා සුනඛයින් ලියාපදාංචි කිරීමේ ආඥාපනත යටතේ දඩාවතේ යන බල්ලන්ට අමතරව ඇති කරන බල්ලන් සම්බන්දවත් ක්‍රියා කිරීමේ බලතල පළාත් පාලන ආයතන සතු වේ. ඊට අමතරව පළාත් පාලන ආයතනවල කර්තව්‍ය තුලද තම බල ප්‍රදේශයේ ජනතාවගේ සුඛ විහරණය, පහසුව හා සැප පහසුව පිළිබඳ වගකීම සතුවන බව සඳහන් වේ.

"තම බල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය, මහජන උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ සියළු කාරණා විධිමත් කිරීමද පාලනය කිරීමද පරිපාලනය කිරීමද සාමාන්‍ය මහජනතාවගේ සැප පහසුකම් සහ සුභසාධක කටයුතු හා බල ප්‍රදේශයේ සුඛ විහරණ ක්‍රම ආරක්ෂා කිරීමද ප්‍රවර්ධනය කිරීමද පළාත් පාලන ආයතනයක කර්තව්‍ය වේ."

"ඉරිදා අතිරේක පන්ති පැවැත්වීම තහනම් කිරීම", "ජංගම දුරකථන සන්නිවේදන කුළුණු ඉදි කිරීමට විරුද්ධ වීම", "‍ලාහෝර් ප්‍රහාරය හෙලා දැකීම" වැනි 'කර්තව්‍යයන්' අතරට 'දඩාවතේ යන බලු ප්‍රශ්ණය' ඇතුළත් කරගන්නා පළාත් පාලන ආයතන මොනවාද යන්න ගැටළුවකි.

'බල්ලාගේ වැඩේ' කරන්නට සිටින අය 'බූරුවාගේ වැඩ' කිරීමට යාම මෙම ගැටළුවට එක් හේතුවක් බව මාගේ මතයයි.

3 comments:

Narada said...

හික්ස්, කොහොම වුනත් සිරා කතාව.

සුභ අලුත් අවුරැද්දක් වේවා!

රයිගමයා said...

දඩාවතේ යන බල්ලන්ගෙන් සිදුවන තවත් ලොකු කරදරයක් තියෙනවා. පාරක් පාරක් ගානේ, හන්දියක් හන්දියක් ගානේ මලපහ කිරීම. මම ගෙදරින් පිටත්වෙන්නේ පාන්දර. කරුවලේ. පාරට අඩිය තියපු වෙලාවේ සිටම පන බයේ යන්නේ බලු පැටව් පෑගෙයි කියල. පෑගුනොත් ආපහු ගෙදර තමා. ගඳ ගගහ වාහනවල යන්නයෑ. අනිත් අතට වාහනවලට අහුවෙලා යන ඒවා කොහෙ කොහෙ යනවද දන්නවද? මල ජරාව.
"සුඛ විහරනය, සුව පහසුව හා පහසුව"

budhajeewa said...

මම යන පාරක අයිනෙ ගෙදරක බල්ලො රංචුවක් ඉන්නවා. ඒ අතර කකුල් හතරෙ බල්ලෙකුත් ඉන්නවා. ඒ කකුල් හතරෙ බල්ලගෙ විනෝදාංශෙ පාරෙ යන පාපැදි පසු පස හඹා යාම සහ හැකි නම් සපාකෑම.

බල්ලන්ට කකුල් හතරෙ බල්ලගෙ වැඩ ගැන ගානක් නෑ.