Saturday 10 November 2012

සභාවෙන් අවසරයි!

කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක, ක්‍රිපිටක වාගීස්වරාචාර්ය මහෝපාධ්‍යාය පණ්ඩිත අතිපූජ්‍ය වැලමිටියාවේ ධර්ම කීර්ති ශ්‍රී කුසලධම්මාභිධාන නාහිමිපාණන් වහන්සේ හා දොම්පෙ ගණේගොඩ ශ්‍රී සාරානන්ද මහා පරිවේනාධිපති, දොම්පෙ ගණේගොඩ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම මහා විහාරාධිපති, බුද්ධ ශාසන කීර්ති ශ්‍රී ,ත්‍රිපිටක ධර්මවේදී, සිරි සුගතවංසාලංකාර, සියනාදී සිව් කෝරළයේ ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රවේදී පූජ්‍ය දන්දෙණියේ ජිනවංසාභිධාන නාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයෙන් අවසරයි! දොම්පෙ ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා ප්‍රමුඛ, නියෝජ්‍ය අමාත්‍යතුමන්, පළාත් සභා මන්ත්‍රීතුමන්ලා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමන්ලා ඇතුළු මහජන නියෝජිත වරුනි, මස්සක්වත් නොවටිනා, අල්ලක් තරම්වත් නොවනා, බිම් කඩකටත් එක බඩවැල කඩාගෙන විත් එක පොළවේ වැලි කෙලී සොහොයුරා පවා මරා ගන්නා යුගයේ ලස්ස ගනනක් වටිනා භූමියක් 'ශ්‍රද්ධ්‍යාංශපූර්වංගමත්‍යාග චේතනාවෙන්' පූජා කොට පැතුවා වූ නිර්මිතය දැකීමෙන් මහත් වූ සොම්නසට පත්ව සිටින්නා වූ සුන්දර ආච්චී ඇතුළු මා දයාබර ප්‍රදේශවාසී ඥාති-මිත්‍රාදීවරුනි, අපේරෑන සමාජ සංස්කෘතික සංහිදේ නිර්මාතෘවර, සිංහල භාෂාව පිළිබඳ ප්‍රවීනාචාර්යය මා හිතවත් ප්‍රියන්ත ධර්මවංශ සොහොයුරා හා අපේරෑන සමාජ සංස්කෘතික සංහිඳෙහි ගරු සභාපති ධුරන්දර මහේෂ් රාජපක්‍ෂ සොහොයුරා ඇතුළු මා දයාබර සොහොයුරනි, සොහොයුරියනි, සම්ප්‍රදායානුකූලව මෙවන් උත්සවයක පිළිගැනීමේ කථාව පවත්වනු ලබන්නේ සභාපතිතුමන් වුවත්, අපේරෑන සමාජ සංස්කෘතික සංහිදේ ලේකම් වන මට මේ අවස්ථාවේ පිළිගැනීමේ කථාව පැවරුවේ යම් විශේෂත්වයක් නිසා බව විශ්වාස කරනවා.
මීට මාස කිහිපයකට පෙර දිනක සවස, මම රාජකාරි අවසන් කරල ගෙදර එන අතර, ප්‍රියන්ත ධර්මවංශ මට දුරකතනයෙන් කතා කර ඇසුවා "පොඩි වැඩකට මුණගැහෙන්න පුළුවන්ද" කියල. කොච්චර මහන්සි වෙලාවක් වුණත් ප්‍රියන්ත අයියට බෑ කියන්න බෑනෙ. මම ගෙදරට ගිහින් ටිකකින්, ප්‍රියන්ත අයියගේ කාරෙක පිටිපස්සෙන් ත්‍රී රෝද රථ හා යතුරු පැදි රෑනකුත් ආවා. මම ඇහුව ප්‍රියන්ත අයියගෙන් මේ රෑන කවුද කියල. "ඒ අපේරෑන" කියල කිව්වා.
"අපේරෑන කට්ටිය අවුරුදු 15ක් තිස්සේ රබර් කඩේ හන්දියේ බුදුපිළිමයක් තියන්න බලාපොරොත්තුවෙන් හිටියා. අද තමා ඉඩමක් හම්බ වුණේ. සුන්දර ආච්චි දුන්න ඉඩමක්. දැන් අපිට ඕනෙ ලස්සන සැලැස්මක්. අනිත් කාරණය තමා මේක ලංකාවේ එකම එක වෙන්න ඕනෙ. පස්සේ පළමු එක වෙයි, හර්යට අර සිරස වගේ, අපේරෑනයි පාර කියන්නේ කියන අභිමානය අපිට ඇති වෙන නිර්මාණයක් කරන්නයි අපේ කැමැත්ත. ඒකයි බන්දුල මල්ලි හොයාගෙන ආවේ." ඔන්න ඔය වගේ කථාවක් දිග ඇරෙන්න වුණා. මාව තෝර ගන්න හේතුයි, මෙතෙන්ට බුදු පිළිමයක අවශ්‍යතාවය ගැනයි බරපතල පැහැදිලි කිරීම් සිද්ධ වුණා. ඒත් හන්දිවල, පාරවල් අයිනේ තියෙන බුදු පිළිම ගැන මට තියෙන්නේ හොඳ හැගීමක් නෙමේ. ඉතින් මම කොහොමද ඒ වගේ දේකට සම්බන්ධ වෙන්නේ...! තව දවසකට සාකච්ඡාව කල් දැම්ම. එදා වෙනකම් මම කල්පනා කළා, මම කොහොමද මේ ගැටළුවට මුහුණ දෙන්නේ කියල.
අවසානයේ මම තීරණයකට ආවා. ඊළඟ දවසේ සාකච්ඡාවේදී මම පැහැදිලි කළා මගේ ස්ථාවරය. ඒය ඇසූ 'අපේ රෑන' වහ වහාම තපස්සු බල්ලුක දෙබෑයන්ගේ චෛත්‍ය කර්මාන්තයෙන් පටන් අරගෙන වසර දෙදහස් ගානක් තිස්සෙ පවතින අපේ නිර්මාණ සංස්කෘතියේ තවත් සංධිස්ථානයක් විය හැකි නිර්මාණයක් කරන්නට එකඟ වුණා. අපේරෑන කණ්ඩායම වෙනුවෙන් බුදු පිළිමයක් නිර්මාණය කිරීම සඳහා එකඟ වීමෙන් පසුව මාගේ කාලය වැය වුණේ ඊට අදාල අධ්‍යනය කටයුතු සඳහායි. මාගේ පළමු අවධානය යොමු වුනේ නිර්මාණය සඳහා යොදා ගන්නා මාධ්‍ය පිළිබඳවයි. එක් මොහොතද සිතුවා සම්පූර්ණ වීදුරු නිර්මාණයක් ගැන. අති නවීන තාක්‍ෂණය යොදා ගනිමින්, ප්‍රකාශ තන්තු ආධාරයෙන් කරන වර්ණවත් බුදු පිළිමයක් ගැන හිතුවා. මේ ආකාරයට විවිධ මාධ්‍ය ගැන අධ්‍යනය කරල අවසනෙයේ ශෛලමය බුදු පිළිමයකට යන්න තීරණය කළා.
ඊළඟ අවධානය බුදු පිළිමයේ ඉරියව්ව පිළිබඳවයි. මට බාර දුන්න අභියෝගය නැවතත් මතක් වුණා. 'ලංකාවේ පළමු එක!'. මංසන්ධිවල ඇති සෑම බුදු පිළිමයක්ම පාහේ හිඳි පිළිම. එසේනම් වෙනස් ඉරියව්වක් නිර්මාණය කළොත් එය බොහෝ විට 'ලංකාවේ පළමු එක!' විය හැකියි. ඒත් ඒ වගේ දුර්වල උපක්‍රමයකින් මාගේ අභියෝගය ජය ගැනීම මට ප්‍රමාණවත් නොවන බව මම විශ්වාස කළා. ඒ වගේම අපි හිටි පිළිමයක් ගැන බැලුවොත් මෙවැනි තැනක සිදු කළ හැකි නිර්මාණයේ ප්‍රමාණය අනුව පිළිමයේ මුහුණ ඉතා කුඩා වනු ඇත. එය මාගේ තවත් ඉලක්කයක්; ඒ මොකක්ද කියල තව ටිකකින් කියන්නම්, කඩා වැටීමට හේතු විය හැකියි කියල මට හිතුනා. ඒ නිසා හිඳි පිළිමයක් හෝ සැතපෙන පිළිමයක් යන විකල්ප දෙක ඉතිරි වුණා. ඔබ කවුරුත් දන්නා පරිදි සැතපෙන පිළිමයේ ආකාර ‍දෙකක් තියෙනවා. පරිනිර්වාන මංචකය හා සැතපී සිටිනා ඉරියව්ව. ඒ ඉරියව් දෙකම නැවතත් මාගේ තවත් ඉලක්කයකට; ඒකත් කියන්නම්, එරෙහි වෙන බව තේරුණා. මේ අනුව අවසන් තීරණය හිඳි පිළිමයක්.
මීට ප්‍රථම මෙවැනි නිර්මාණශීලී කාර්යයකට මට දායක වන්න අවස්ථාව ලැබුණේ මේ අල්ලපු වැටේ තියෙන අපි කාගෙත් මහා විහාරයේ අපේ නායක හාමුදුරුවන්ගේ ඉල්ලීම අනුව, ගනේගොඩ පන්සලේ ඉදි කළ චෛත්‍යරාජයානන් වහන්සේ නිර්මාණය කිරීමේදීයි. ඒ චෛත්‍ය කර්මාන්තයේ එක් අංගයක් වුණේ අටවිසි බුදුරජානන් වහන්සේලා නිර්මාණය කිරීම. එහිදී අපි කළේ ලංකාවේ තිබෙන්නා වූ හිඳි පිළිම 28ක අනුරූ නිර්මාණය කිරීමයි. මම හිතන්නේ අපේ මහානායක හාමුදුරුවෝ මෟට මොහොතකට පෙර පන්සලට වැඩම කළ අවස්ථාවේදී ඒ පිළිම දැකබලා ගන්නට ඇති. ඒ සඳහා බුදු පිළිම තෝරා ගැනීමේදී ලංකාවේ තිබෙන්නා වූ හිඳි පිළිම 59ක් පමණ අධ්‍යනය කළා. ඒ අවස්ථාවේ දී ලැබුණු දැනුම මෙම නිර්මාණයට මට ලොකු පිටු බලයක් වුණා.
ඊළඟ අභියෝගය පිළිමය නෙලීම සඳහා ශිල්පියෙක් තෝරා ගැනීමයි. අපේරෑන මල්ලිලාගේ ත්‍රීරෝද රථ පෙළට පිංසිද්ද වෙන්න අපිට නිර්මාණ ශිල්පීන් සොය සොයා ලංකාව පුරාම යන්න අවස්ථාව උදා වුණා. එක එක ආකාරයේ ගල් වඩුවෝ රාශියක් මුණ ගැසුනත් අපිට අවශ්‍ය දේ අපි කියන විදිහට කරල දෙන්න කැමති, දෙන්න පුළුවන්, නිර්මාණශීලී හා නම්‍යාශීලී එකම පුද්ගලයයි අපට හමු වුණේ. ඒ නිසා අපි නොපැකිලවම ඒ විකල්පය තෝරා ගත්තා. ඒ ගම්පොල ප්‍රදේශයේ කැටයම් වැඩපොලක ප්‍රධාන නිර්මාණ ශිල්පියා ලෙස කටයුතු කරන කොස්තා මහත්තයා. එයාගේ ගම නම් මේ මොරටුව හෝ රත්මලාන පැත්තේ. මට හරියටම මතක නෑ. කෙසේ වුවත් ඔහුගේ නම්‍යශීලී දැක්ම මාගේ නිර්මාණයට අවශ්‍යයම සාධකය බව අපි තේරුම් ගත්ත. තව වැදගත් කාරණයක්; මේ වැඩපොල; ලක්ප්‍රිය ට්‍රේඩ් සෙන්ටර් හිමිකරු ගුනරත්න මහත්මාගේ ව්‍යාපාරික ස්වරූපය අපිට වෙනත් තැනක් සොයා යන්නට ඉතුරු කළේ නෑ. ඔහු ඒ තරමටම සාධාරණ ව්‍යාපාරිකයෙක්.
අතිපූජ්‍ය නාහිමිපාණනි, මා දයාබර මිත්‍රවරුනි, මාගේ ඊළඟ අවධානය යොමු වුණේ බුදු පිළිමය තැම්පත් කරන ස්ථානය සකස් කරන්නේ කෙසේද යන්න පිළිබඳවයි.
බුදු පිළිම නිර්මාණය ජීවමාන බුදු සමයටම දිවයන බවටයි විශ්වාස කරන්නේ. ඒ අනුමානය කෙසේ වුවත් කවුරුන් හෝ බුදුරජානන්වහන්සේගේ රූපය නිර්මාණය කරන්නේ සැබැවින්ම ජීවමාන බුදුරජානන්වහන්සේගේ ස්වරූපය තමන්ගේ නිර්මාණයේ ආකාර නොවන බව හොදින්ම දැනගෙන බවයි මාගේ විශ්වාසය. එසේනම් එසේ නිර්මාණය කරන බුදු පිළිමයකින් නිර්මිත වන්නේ කුමක්ද? අපේ හාමුදුරුවනේ, මටනම් හිතෙන්නේ මේ නිර්මාණය වන්නේ නිර්මාණයට දායකවන අයගේ හිතේ තියෙන්නා වූ සද්ධාවයි. නැත්නම් භක්තියයි. ඔය හැම ලක්‍ෂණයකින්ම කියවෙන්නේ ඒ සද්ධාවයි. සද්ධාව වැඩි කමට ශරීරාංගවල ප්‍රමාණය පවා විශාල වෙනවා. සද්ධාව වැඩි කමට තව තවත් දේවල් සිද්ද වෙනවා. පළමුවෙන්ම පිළිමය හදනවා. ඊළඟට අවුවෙන් වැස්සෙන් බේර ගන්න වහලයක් ගහනවා. ඊළඟට පින්නෙන් සත්තුන්ගෙන් බේර ගන්න බිත්ති බැඳල ජනෙල් දොරවල් දානවා. ඊළඟට දූවිල්ලෙන් ආලෝකයෙන් බේර ගන්න තිර රෙදි දානවා. අන්තිමට සොර සතුරන්ගෙන් බේර ගන්න ඉබි යතුරු දානවා. සද්ධාව නිසාම නිර්මාණය කරපු බුදු පිළිමය සද්ධාව වැඩිකමටම තමන්ගෙන් ඈත් කර ගන්නවා. අඩුම ගානෙ අවුරුද්දකට එක වතාවක් වත් දකින්න ලැබෙන්නේ නෑ. යන එන වෙලාවක හැරිල බැලුවත් පේන්නේ කූඩුවක් තමා.
ඒ නිසා මම තීරණය කළා නිරාවරණය වුණ පිළිමයක් නිර්මාණය කිරීමට. මේ තීරණය ගන්න මට ගොඩක් උපකාරී වුණා, මේ වන විට ජපානයේ ජීවත් වෙන ජ්‍යේෂ්ඨ වරලත් වාස්තු විද්‍යාඥයෙක් මෙන්ම කීර්තිමත් ලාංකිකයෙක් වූ මාගේ හිතවත් කැසීන් මොන්ටි මහාචාර්තුමාගේ අත් දැකීම් හා අදහස්. අද මේ ස්ථානයට පළමු වතාවට වැඩම කරන ලැබුවා වූ, අතිපූජ්‍ය වැලමිටියාවේ ධර්ම කීර්ති ශ්‍රී කුසලධම්මාභිධාන නාහිමිපාණන් වහන්සේට දැනුනා සේම, මේ පිළිම වහන්සේ තැම්පත් කර ඇති ආකාරය දකින දකින වාරයක් පාසා සෑම කෙනෙකුටම සිතෙනවා සේම, මාගේ අදහස මේ අපේරෑනට ඉදිරිපත් කළ විට ඒ සැමටත් දැනුනා-හිතුනා නියතයි මෙහෙම, "ඒකනම් ඒ තරම් හොඳ නෑ; මොනව වුණත් අඩුම ගානෙ බුදුහාමුදුරුවෝ තෙමෙන්න දෙන්න හොඳ නෑ" කියල. එහෙම නේද? ඒත් අති බහුතරකට එහෙම හිතුනත්, මේ නම්‍යශීලී හා ප්‍රවර්ධනාත්මක අදහස් වලින් පිරුණ කොල්ලො කෙල්ලො ටිකට මගේ සංකල්පය තේරුම් කරල දෙන්න ඒ තරම් වෙහෙසක් දරන්න වුනේ නෑ. ඒ අනුව රබර් කඩේ හන්දියේ, පරිසරයට නිරාවරණය වූ බුදුපිළිමයක් තැම්පත් කිරීමට අපට හැකි වුණා. අපි අපේ හිතුවක්කාර කමට මෙහෙම දෙයක් කළත්, අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ අනුමාන කළා වගේම, බැරිවෙලාවත් අයාලේ යන කපුටෙක්, මස් වැදැල්ලක් අරනෙ ඇවිත්, බුද්ධ ශීර්ශයේ හෝ උරහිසේ වැහුවොතේ කුමක් කරන්නද? ඒ ගැනත් අපේරෑන නිර්මානාත්මකව සිතුවා. මේ වගේ අවාසනාවන්ත හේතුවක් නිසා පිළිම වහන්සේගේ මතුපිට කිලිටි වුවොත් වහාම නානුමුර මංගල්ලයක් පවත්වන්න අපි තීරණය කළා.
ඊළඟට මට අවශ්‍ය වුණා විශේෂ ආකාරයේ පිළිම ගෙයක් නිර්මාණය කරන්න. ඒ අනුව මම හිතුවා ලංකාවට අනන්‍ය වූ කිසියම් වූ නිර්මාණයක ආකෘතියකට අනුව පිළිම වහන්සේ තැම්පත් කරන ස්ථානය සකස් කරන්න. මාගේ හිතේ ඇඳී තිබුණේ පොළොන්නරුවේ තිබෙන්නා වූ නෙළුම් පොකුණයි. එය පිළිම ගෙයක් නොවේ, එය බො‍හෝ විට නාන පොකුණක් විය හැකියි. සමහර විට ගිහි නාන පොකුණක් විය හැකියි. එහෙත් ඒ නිර්මාණයේ, නිර්මාණ කරණයේ තියෙනවා අපටම, අපේ කලාවන්ටම සුවිශේෂ වූ ලක්‍ෂණ රාශියක්. එහි අපේ කලා නිර්මාණාවලියේ අනන්‍යතාවය හොඳින් ගැබ්ව ඇති බවට මා විශ්වාස කළා. අදවන විට නෙළුම් පොකුණ අපි අතර ජනප්‍රිය වචනයක් වුණත් මේ තීරණය ගන්නා කාලයේ නෙළුම් පොකුණ ගැන නොදන්නා බොහෝ දෙනෙක් අප අතර සිටියා. කෙසේ වෙතත් මාගේ අදහස් ඉදිරිපත් වුණු විට කවුරුත් නෙළුම් පොකුණ බලන්න යන්න එකඟ වුණා. අපි වහාම ගියා පොළොන්නරුවේ, නෙළුම් පොකුණේ මිනුම් ගන්ත. ඒ මිණුම්වලට සමානුපාතිකව මෙම ස්ථානයේ නෙළුම් පොකුණක් ඉදි කරන්න අපේ ගමේ තරුණ නිර්මාණ කරුවන්ට හැකි වුණා. නෙළුම් පොකුණෙන් මතු වී නෙළුම් දන්ඩක අගිස්සේ වූ නෙළුම් මලක් බඳු වූ ආසනයක බුදුරජානන්වහන්සේ වැඩ සිටිනෙ ආකාරය නිර්මාණය කිරීමට අපට හැකි වුණා.
මාගේ කථාවේ, මට මතක විදිහට අවස්ථා දෙකකදීම, පසුව පැහැදිලි කිරීම් කරන්න පොරොන්දු වුණා. ඒ වෙන දෙයක් නෙමේ. මේ පිළිම වහන්සේ මෙම ස්ථානයේ ස්ථාපනය කිරීම නිසා ඇති වියහැකි, ඇතිවිය යුතු සමාජ විපර්යාස පිළිබඳව ඉලක්ක. මෙතෙනට මේ ඇවිත් ඉන්න හා නොපැමිණි, මේ ප්‍රදේශයේ කවුරුවත් මා සමග අමනාප වෙන එකක් නෑ මෙහෙම කිව්වට, රබර් කඩේ හන්දිය හරහා එහා මෙහා වෙන්නේ සුන්දර දර්ශන පමණක්ම නොවන බව මේ අවට ඉන්න අපි කවුරුත් හොඳින් දන්නවා. මේ තත්වය යහපත් පැත්තට බර කරන්න මේ නිර්මාණය හරහා අවස්ථව උදාකර ගැනීම අපේ තවත් ඉලක්කයක් වුණා. යම් පුද්ගලයෙක් කිසියම් වූ විසම තත්වයකට පත් වෙලා, විසම හැසිරීමකින් මේ ස්ථානය පසු කරන්නට ආවොතින්, තමා දෙස විමසිල්ලෙන් බලා සිටිනා බුදු නෙත යම් වෙනසක් කරාවියැයි අපි විශ්වාස කළා. තමන් ඉදිරියේ, අහසේ පළඟ බැඳ වැඩ සිටිනා බුදුරජානන් වහන්සේ තමන්ව ආමන්ත්‍රණය කරනවා යන හැඟීම ඇති කළ හැකි යැයි අපි විශ්වාස කළා. තමා දෙසට යොමු කර සිටින්නා වූ වරද මුද්‍රාවෙන් වූ බුද්ධ හස්තය, තමාව ප්‍රශ්න කරන බව හැඟී යාවියැයි අපි විශ්වාස කළා. තමන්ගේ සිතේ ඇති වූ විසම තත්වයට විසඳුම ඇත්තේ තමන්ගේ සිතේමයැයි තථාගත බුදුරජානන්වහන්සේ දේශනා කරන බව, තමා දෙපා මුලට යොමුකළ භූමි ස්පර්ෂ මුද්‍රාවෙන් යුක්ත වූ මේ නිර්මාණය දෙස නෙත් යොමා සිටනා ඕනෑම කෙනෙකුට දැනේවියැයි අපි විශ්වාස කළා. බලාපොරොත්තු වුණා. අපේ ඒ විශ්වාසය, බලාපොරොත්තුව යතාර්ථයක් බවට පත් වූ බව අපට පසක් කර දිය යුත්තේත් මා දයාබර ප්‍රදේශවාසී මිත්‍රවරුනි, ඔබලාමයි. අතිගරු නායක හාමුදුරුවනේ, අද මේ ස්ථානයට පැමිණි මාගේ පියාණන් ඇතුළු බහුතරයකගේ එකම අභිලාෂය මාගේ මේ නිර්මාණය විවෘත කරන අවස්ථාවට සහභාගි වීම පමණක් නොවන බව මා පුද්ගලිකවම දන්නවා. එපමනදු නොවේ. ඒ මාගේ මේ කථාවට සවන් දීම නොවන බවත් මා හොඳින්ම දන්නවා. එසේ දැන දැනත් තව දුරටත් ඔබ වහන්සේගේ වටිනා කාලය වැය කිරීමටවත්, මා පියාණන් ඇතුළු සැමගේ සුන්දර බලාපොරොත්තුව වූ ඔබ වහන්සේගේ දේශනයට සවන් දීමේ මොහොත තව දුරටත් කල් දැමීමටවත් මම බලාපොරොත්තු වෙන්නේ නෑ.
එබැවින් මාගේ ජීවිතයේ කිසි දිනක මාගෙන් ඈත්ව නොයනා සුන්දර අත්දැකීමක්, සුන්දර මතකයක්, සුන්දර අභිමානයක් වූ මෙම සුන්දර නිර්මාණය සිදු කිරීම සඳහා මා හට මේ සුන්දර අවස්ථාව උදාකර දුන් සුන්දර ආච්චී ප්‍රමුඛ සෑම සියළු දෙනාටම මාගේ ශීර්ෂ ප්‍රනාම ස්තුතිය පුද කරමින් මාගේ කථාව අවසන් කරනවා. ඔබ සියළු දෙනාටම අජරාමර නිවන් සුවයම අත් වේවා!

5 comments:

Nimal (Desertfrog) said...

සාදු! සාදු!
මෙය උදාර කටයුත්තක්

Dude said...

ඔන්න මේක දැනගත්තෙ මේ පෝස්ට් එක නිසායි. මමත් මේක දකිනවා තව සති කීපයකින්.

henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

Bandula - බන්දුල said...

පිං සිද්ද වේවා නිමල්!
බලාපොරොත්තුවෙන් ඉන්නවා මුණ ගැහෙන්න හෙන්ඩ්‍ර්ි!

දයානන්ද රත්නායක said...

මොන තරම් උදාර කටයුත්තක්ද? මේවා මහත්ඵල මහානිසංස ගෙනදෙන පිංකම්. මේ කඨින චීවර පූජෝත්සව සමයේ.

මම හන්දියක් හන්දියක් ගානේ බුදු පිළිම දකින්න අකමැති වුවත් මේක නම් විහ්මිත වැඩක් කියල හිතුනා වාස්තු විදයාත්මක ඇසකින් මට මේ ගැන විග්‍රහ කරන්න නොහැකි වුවත් ඔබේ කැපවිම හා ඥානය මෙහෙයවිම සහ සොයාම ගවේෂණය පිලිබඳ මට සතුටුයි.

සාධූ සාධූ සාධු...

Bandula - බන්දුල said...

ඇවිත් බලන්න ආරාධනා කරනවා රත්නායක, කට්ටියටම!