Tuesday 19 February 2019

සතුටු කිරීමෙන් සතුටු වීම හෙවත් ජීවත් වීම

ජීවත් වෙනවා යනු තෝරා ගනු ලබන  පිරිසකගේ සතුට වෙනුවෙන් කටයුතු කිරීමෙන් සතුටු වීමයි. .................

සෛල නැත්නම් පඨක වර්ධනයට අවශ්‍ය රසායන මුඛයෙන් හා නාසයෙන් ලබා ගැනීමට අමතරව ජීවත් වෙනවා කියා තවත් දෙයක් තිබේද? මුඛයෙන් රසායනයන් ලබා ගන්නවා හෙවත් ආහාර සොයා ගැනීම පහසු කර ගැනීම සඳහාත්, එසේ ආහාර ගන්නා තවත් සත්වයෙකුගේ ගොදුරක් බවට පත්වීමෙන් ආරක්‍ෂා වීම සඳහාත්, පාරිසරක සාධක හේතුවෙන් ශරීරය විනාශ වීමෙන් සිදු විය හැකි අවසානය වලක්වා ගැනීම සඳහාත් නිර්මාණය වී ඇති ඉන්ද්‍රියන් කිහිපයක ක්‍රියාකාරිත්වය හේතුවෙන් 'ජීවිත' තවත්  කාලයකට දිග් කර ගැනීමේ අවස්ථාව ද සත්වයාට හිමි වී ඇත. ‍මෙම සරල ක්‍රියාදාමයේ යෙදෙන සත්වයෙකුට ජීවත් වෙනවා කියා වෙනත් දෙයක් නැත.

එහෙත් ජන්මයෙන් එන වාර්ගික හැකියාවන්ට එහා ගිය 'බුද්ධියක්' හේතුවෙන්, ආහාර සොයා ගැනීමටත්, ආරක්‍ෂාවටත් ලබා දුන් ඉන්ද්‍රියන් 'අදාල නොවන' වෙනත් කාර්යයන් යොදවන්නට පටන් ගත් මිනිසාට කල් යත්ම ජීවත් වෙනවා යන්න වෙනත්ම දෙයක් බවට පත්විය. වැඩි වෙහෙසක් නොමැතිව ආහාර සොයා ගැනීමට හැකි වීමත්, වෙනත් සත්වයෙකුගේ ගොදුරක් වීමේ අවදානම අඩු වීමත් හේතුවෙන් ලැබුණු නිදහස හේතුවෙන් මිනිසාට ඇස, කණ, නාසය, දිව හා හම යන ඉන්ද්‍රියන්ගෙන් නිරායාසයෙන් ලැබෙන සංවේදනාවන්ට එහා ගිය සංවේදනා සොයා යාමේ අලුත් අවස්ථාවක් හිමි විය.

ඒ අනුව කල් යත්ම මිනිසාට අදාලව 'ජීවත් වෙනවා' යන්න වෙනම දෙයක් බවට පත්විය. ජීවත් වීමේ මූලික හරය වූ රසායනයන් ලබා ගනිමින් සෛල වර්ධනය දෙවන තැනට ඇද දමමින් ජීවත් වෙනවා යනු ඉන්ද්‍රියන් පිනවීම බවට පත් විය. කොටින්ම ආහාර ගන්නවා යනු දිව නැමති ඉන්ද්‍රිය පිනවීම යන තැනට පත්ව ඇත. වායුමය වශයෙන් පවතින රසායනයන් ශරීරය තුලට ගැනීම ස්වභාවිකව සිදුවන ක්‍රියාවක් පමණක් වී නායයේ කාර්යය විවිධ ගන්ධයන් ආග්‍රහනය කර ගැනීම බවට පත්ව ඇත. තම ගොදුර හෝ තමාව ගොදුරු වීම හෝ හඳුනා ගැනීම සඳහා දැනෙන 'ඉව' නැතිව ගොස් මනසෙන් කෙරෙන සංසන්දනයක් සඳහා ග්‍රාහකයන් සම්පාදනය නාසයේ කාර්යය වී ඇත. මෙලෙස ඇස, කණ, නාසය, දිව හා හම යන පංචේන්‍ද්‍රියන් පිනවීම හේතුවෙන් මනසේ නිර්මානය වන සිතුවිලි සමුදායක් නඩත්තු කරගෙන යාම 'ජීවත් වීම' බවට පත්ව ඇත. මෙම තත්වය තවත් වර්ධනය වෙමින් විවිධ ග්‍රහණයන්ගේ සංකලනයක් මත ඇතිවන චිත්ත රූප නඩත්තු කර ගෙන යාම 'ජීවිත් වීම' බවට පත් වී ඇත. කනට ඇසෙන ශබ්ද, ඇසට පෙනෙන රූප ප්‍රමුඛව ගන්ධ, රස හා ස්පර්ෂය හරහා ඇතිවන සංවේදනයන් මගින් පිනා යාමෙන් ඔබ්ට ගොස් ඒ මත ඇතිවන සිතුවිලි පදනම්ව ඇතිවන පහන් හැඟීම වෙනුවෙන් කටයුතු කිරීම ජීවන් වීම බවට පත් විය. සරලව ගතහොත්, ජීවත් වෙනවා යනු සිතේ ඇතිවන සතුට වෙනුවෙන් කටයුතු කිරීමයි.

ශිෂ්ටාචාරය  ලෙස හඳුන්වන්නේ, ක්‍රමක්‍රමයෙන් ස්වභාවිකත්වයෙන් ඈත් වෙනමින් 'ජීවත් වීම' යන්නට නව ඇරුතක් ගෙන ආ මිනිසා ඒ තුළින් ඇතිවී තත්වයන් හේතුවෙන් ඇති කළ වෙනස විය හැකිය. කණ්ඩායම් ලෙස කාලය ගත කිරීමේදී, තනි තනිව හෝ සාමූහිකව හෝ සිදු කරන කාර්යයන්ගේ ප්‍රථිපල ලෙස ඇතිවන තත්ත්වයන් හේතුවෙන් සිතේ ඇතිවන සතුට විවිධාකාර වූවා සේම සතුටේ ප්‍රථිවිරුද්ධ තත්ත්වය ලෙස දුක නැතිනම් කණගාටුව යනුවෙන් තත්ත්වයක් ද නිර්මාණය විය. කෙසේ හෝ ශිෂ්ටාචාරයේ ඉදිරියට යන මිනිසා 'ජීවත් වීම' යන්නට තව තවත් අරුත් එක් කිරීමට සමත් විය.

එවැනි එක් අරුතකට අනුව, 'ජීවත් වෙනවා' යනු 'තෝරා ගනු ලබන  පිරිසකගේ සතුට වෙනුවෙන් කටයුතු කිරීමෙන් සතුටු වීමයි'. මෙය තව දුරටත් මෙසේ පැහැදිලි කර ගත හැකිය. අනෙක් සත්වයන් මෙන් නොව මිනිසා 'රසායනිකව සෛල වර්ධනය සඳහා කටයුතු කරනවාට' අමතරව තවත් විවිධ කාර්යයන්හි යෙදේ. ඒ එක් එක් කාර්යය වෙන් වෙන්ව ගත හොත් ඒ ඕනෑම දෙයක් කරන්නේ කිසියම් කොටසක්-කණ්ඩායමක් සතුටු කිරීම සඳහාය. අදලා පුද්ගලයා මේ සන්දර්භය තුල ලබන්නේ තමන් විසින් තෝරා ගත් කණ්ඩායමේ සතුට දැක සතුටු වීමේ අවස්ථාවයි. මෙහිදී අවබෝධ කර ගත යුතු අනෙක් වැදගත් කරුණ නම් එක් කාර්යයකින් සතුටු කිරීම සඳහා තෝරා ගන්නා කණ්ඩායම තවත් කාර්යයකදී තෝරා ගන්නා කණ්ඩායම නොවීමට හැකි බවයි.

ඔබ මෙම 'අර්ථය' තවමත් තේරුම් නොගත්තේ නම් ඔබට 'ජීවත් වෙනවා' යන්න 'තමන්ගේ සතුට වෙනුවෙන් කටයුතු කිරීම' යනුවෙන් සිතෙනවා නොඅනුමානය. සරල උදාහරණයක් ගෙන බලමු. ඔබ ඇඳුම් අඳින්නේ ඇයි? ඔබේ සමට දැනෙන සංවේදනාවන් පහසු කර ගැනීමෙන් සතුටු වීමටද? නැතිනම් කැඩපත් ඉදිරියට ගොස් දකින රුවෙන් ඔබගේ ඇස පිනවා ගැනීමටද? එසේත් නැතිනම් ඔබව දකින 'කණ්ඩායමේ' ඇස පිනවීමටද? ඇඳුම් ඇඳීමට අදාලව සියළුම කැපකිරීම් ඔබ කරන්නේ ඔබ විසින් තෝරා ගත් කණ්ඩායම (ඔබව දකින කණ්ඩායම) සතුටු වීමෙන් ඔබේ සිත සතුටු කර ගැනීමටය. ඔබේ එම කණ්ඩායම, ඔබේ ඇඳුම් ඇඳීමට අදාලව සතුටුවන ආකාරය විවිධ විය හැකිය. එක් කොටසක් වර්ණ සංකලනයෙන් සතුටු වේ. තවත් කොටසක් ඇඳුමෙන් ආවරණය නොවූ කොටසින් සතුටු වෙද්දී තවත් කොටසක් ආවරණය වූ ප්‍රමාණය ගැන සතුටු විය හැකිය. ඔබේ ඇඳුමේ කිසියම් සාධකයක් පිළිබඳව යම් අයෙක් නොසතුටු වන්නේ නම් ඒ අය 'ඔබගේ කණ්ඩායමේ' සාමාජිකයින් නොවේ.

මෙම ඇඳුම් ඇඳීමේ උදාහරණය අප කතා කරන 'අර්ථය' සරලව විග්‍රය කරන සාධකයකි. එහෙත් බොහෝ සාධක ඍජුවම යම් කණ්ඩායමක් සතුටුවන කාර්යයන් නොවේ. ඊට හොඳ උදාහරණයක් වන්නේ ඔබේ ආහාර ගැනීමේ කාර්යයි. ඔබ ආහාර ගන්නේ ඇයි? මුලින්ම සඳහන් කළ පරිදි සෛල පෝෂණය සඳහාද? එසේනම් ඔබ  සෛල පෝෂණය කරමින් ශරීරය රැක ගන්නේ කුමක් සඳහාද? ඔබ මේ ජීවිතය අත හැරීමට උත්සාහ කළොත් සිදු වන්නේ කුමක්ද? ඔබ දිගින් දිගටම ආහාර ගැනීම වර්ජනය කළහොත් සිදු වන්නේ කුමක්ද? ඔබ ආහාර ගැනීම සඳහා තෝරා ගන්නේ මොනවාද? ඒවා තෝරා ගැනීමට හේතු කවරේද? ඔබට වඩාත්ම රසවත් ආහාරයක් ඔබ කිසියම් දිනක ඉතා රහසේ භුක්ති විඳි තිබේද? එසේ තිබේනම් ඒ බව මේ වන තෙක් වෙනත් කිසිවෙක් හෝ නොදන්නේද? මෙ‍ම කරුණ සඳහා ඔබගේ අවංක පිළිතුරු ඔබට මෙම 'අර්ථය' තේරුම් ගැනීමට උපකාරී වනු ඇත.

මේ මගේ මතය. ඔබට මොකද හිතෙන්නේ...!