Friday 13 May 2022

සිදු විය යුත්තේ කුමක්ද?

සිදු විය යුත්තේ කුමක්දැයි හඳුනා ගැනීමට පළමුවම පවතින තත්ත්වය තේරුම් ගත යුතුය.

අද 2022 මැයි 13 වෙනිදා. රටේ තත්ත්වය සීග්‍රයෙන් වෙනස් වෙමින් පවතිනවා. ඒත් මේ කතා කරන්නේ එසේ සීග්‍රයෙන් වෙනස්වන මතුපිට තත්ත්වය පිළිබඳව නෙමේ. කාලාන්තරයක් තිස්සේ එකතැන පග්වන අභ්‍යන්තර තත්ත්වය පිළිබඳව.

පවතින තත්ත්වය ඇති වූයේ කවදාද? එහි වයස කොමණද? එයට විවිධ අය විවිධ ආකාරයෙන් නිර්වචනය ඉදිරිපත් කරනවා. NPP/JVP එකට අනුව එහි වයස වසර 74 කි. ශ්‍රීලනිපයේ සමහරුන් අනුව 1977න් පසු ඇති වූ දෙයකි. UNP යට, 43 සේනාංකයට හා සජබයට අනුව එයට වයස වසර දෙකයි. පොහොට්ටුවට අනුව නම් වයස තවම මාසයයි. පොහොට්ටුවේම සමහරුන්ට අනුව දවස් දෙකකයි.

එයින් තේරුම් ගතයුත්තේ, ඒ ඒ අය පවතින තත්ත්වය තම තමන්ගේ වාසියට නිර්වචනය කරන බවයි. කිසි දිනක බලය හිමි නොවූ NPP/JVP එක මෙය බලයේ සිටි සැමගේ වැරැද්ක් ලෙස දකිද්දී තට්ටු මාරුවට බලයේ සිටි අය අනෙක් පාර්ෂවයේ වැරැද්දක් ලෙස දකී. අද බලයේ සිටින අය පෙර බලයේ සිටි අයගේ සහ හෙට බලයට ඒමට හදනා අයගේ වැරැද්දක් ලෙස දකී.

ඒ නිසාවෙන් පවතින තත්වය ඉතා ප්‍රවේශමෙන් නිර්වචනය කළ යුතුය. නොඑසේනම් අසරන වන්නේ නිර්වචනය කර්නාය.  නිර්වචනය කරන්නාට දේශපාලන ලේබලයක් අලවා ප්‍රස්තුතය යට ගැසීම අපේ රටේ දේශපාලන සාකච්ඡාවේ ස්වරූපයයි.

යටත් විජිතයක් වීමෙන් නිෂේධනය වූ වැඩවසම් යුගයත්, නිදහස ලැබීමෙන් නිෂේධනය වූ යටත් විජිත යුගයත් අද පවතින තත්වයට ඍජු හෝ ආසන්න බලපෑමක් ඇති නොකරනු ඇතැයි අනුමාන කළ හැකිය. එහෙත් නිදහස ඉල්ලන යුගයේ දී තිබූ සටන්පාඨ අතරින් අදටත් වලංගු හා පවතින සටන්පාඨ සහ අලුතින් එකතු වූ සටන්පාඨ පවතින තත්වය හා එම තත්වය හඳනා ගැනීමට හේතු වූ කරුණු හඳුනා ගැනීමට උදව්වක් වනු ඇත.

එදා ඉල්ලා තවමත් නොවිසඳුන එකම සටන්පාඨය ලෙස සමාන අයිතිය නැත්නම් සමානාත්මතාවය හඳුනා ගත හැකිය. එදා එය ජාතීන් අතර සමානාත්මතාවය ලෙස වර නැගුණද යුධ ජහග්‍රහනයත් සමගම එහි ජාතිවාදී ස්වරූපය යටපත් වී වෙනත් මුහුණුවරකින් ඉස්මතු වී ඇත.

නිදහසින් පසු ඇති වී වරින් වර ඇති වෙමින් නැති වෙමින් එහෙත් තවමත් පවතින අනෙක් සටන්පාඨය වන්නේ බඩවියත පිළිබඳ ප්‍රශ්නයයි. 1953 දී නාගරික හා අර්ධනාගරිකවද, 1970-77 දී සමස්ථයක් ලෙස මුළු රටේමද ඇති වී නැවත නැති වී ගිය බඩගිනි ප්‍රශ්නය නැවත 2021 වන විට නැවත මතු වෙමින් පවතී.

1970 වන තෙක් දැවන්ත ප්‍රශ්නයක් නොවුවද, එතැන් සිට අද දක්වා ක්‍රමක්‍රමයෙන් වර්ධනය වී 2010 සිට සීග්‍රයෙන් වර්ධනය වී ආණ්ඩුකරණයේ මුල් බැස ගෙන ඇති වංචාව හා දූෂණය නැති කිරීම අද පවතින ප්‍රභලම සටන්පාඨයකි.

සහභාගීත්වය, එකඟත්වයන් අනුව කටයුතු කිරීම, විනිවිද භාවය, කාර්යක්ෂමතාවය සහ ඵලදායීත්වය, සමානාත්මතාව, නීතියේ ආධිපත්‍යය, මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, වගකීම, ප්‍රතිචාර දැක්වීම ආදී යහපාලන සාධක මගින් නියෝජනය වන සිවිල් අයිතීන් දිනා ගැනීම තවත් සටන් පාඨයකි. බලාපොරොත්තු වූ තරම් සාධනීය යථාර්ථයක් බවට පත් කිරීමට තබා යහපාලනය යන වචනය විහිළුවක් බවට පත් වීම වලක්වා ගැනීමටවත් 2015 දී බලය ඉල්ලා ගත් රෙජිමේන්තුව අසාර්ථක වීම හේතුවෙන් සහ 2019 දී ගෙන ආ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් තව දුරටත් අහිමි වීමට ලක් වූ සිවිල් අයිතීන් දිනා ගැනීමේ සටන්පාඨය තව දුරටත් වලංගුව පවතී.

දීර්ඝ කාලයක් දිස්සේ විවිධ මුහුණුවරින් මතු වී නැති වී ගිය මෙම අයිතීන් ඉල්ලා සිටීම ලෙහෙසියෙන් යටපත් කිරීමට නොහැකි මුහුණුවරකින් දැන් මතු වී ඇත. අරගලය යන සන්නාමයෙන් කරලියට පැමිණ ඇති මෙම තත්ත්වයේ අලුත්ම මුහුණුවර වන්නේ එයට දාර්ශණික ප්‍රවේශයක් ආරූඩ වී තිබීමයි.

සිද්ධාර්ථ ගෞතමයානන් වහන්සේ දේශනා කළ බව පවසන චතුරාර්ය සත්‍ය, අරගලයේ යටිතල තේමාව වී ඇති බව හොඳින් නිරීක්‍ෂණය කිරීමේදී පැහැදිල වේ.

භවාන්තර නැත්නම් ලෝකොත්තර විසඳුමකට හිර කොට ගොනු කොට තිබූ “දුක, දුකට හේතුව, දුක නැති කිරීමේ මාර්ගය, සහ දුක නැති කිරීම” යන ඒ මාහැඟි දහම, නිරාගමිකයන් ලෙස හංවඩු ගැසී සිටින අද පරම්පරාව විසින් කරලියට ගෙනැවිත් ඇත. ඔවුන් නිරගමිකයින් ලෙස හංවඩු ගසන්නේ සිද්ධාර්ථ ගෞතමයානන් පෙන්වා දුන් අඛාලික දහම ඇදැහීමටකට ලඝු කර බිහිකර ගත් බුද්ධාමේ මුරකරුවන්ය.

පීඩකයාගේ පීඩනයට යට වීම දුකක් බවත්, පසුගිය භවයන්ගේ අයහපත් ක්‍රියාවන් දුකට හේතුව බවත්, මේ භවයේ දී දන් දීම වැනි යහපත් ක්‍රියාවන් සිදු කිරීම දුක නැති කර ගැනීමේ එකම මාර්ගය බවත්, පරම සත්‍යය ලෙස දෙසද්දී, පීඩකයා සැප විඳින්නේ පූර්ව භවයන්හිදී සිදු කළ යහපත් ක්‍රියාවන්ගේ හේතුවෙන් විනා මේ භවයේදී සිදු කරන අයහපත් ක්‍රියාවන්ගේ ප්‍රථිපලයන්ගේ හේතුවෙන් නොවන බව ඒත්තු ගැන්වීමට උත්සාහ කරද්දී සහ අපේ පරම්පරාව ඊට ගොදුරු වෙද්දී අද පරම්පරාව එය ප්‍රතික්‍ෂේප කරමින් සිටී.

පීඩිතයාගේ දුකට හේතුව පීඩකයාගේ අයහපත් ක්‍රියාවන් බවත්, දුක නැති කර ගැනීමේ මාර්ගය පීඩකයා ඉවත් කිරීම බවත් ඔවුන් විසින් හඳුනා ගනු ලැබ ඇත. ඔවුන් එය හිස් මුදුනින් පිළිගෙන හමාරය. අපේ පරම්පරාවේ කාලීන ධර්ම දේශනා ඒ මතය වෙනස් කිරීමට තව දුරටත් ශක්තිමත් නොවේ.

විදෙස් සංචිත හීන වීම, රුපියලේ අගය බාල්දු වීම, අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිග වීම, බඩුමිල දරාගත නොහැකි වීම, ආදායම් මාර්ග ඇහිරීම, ජන ජීවිතය කඩා වැටීම, කැරලි-කෝලාහල සිදු වීම, ආදී ලෙස පිටතට පෙනෙන්නේ පීඩකයාගේ අයහපත් ක්‍රියාවන්ගේ ප්‍රථිපලයන්ය. ඒ පීඩිතයන් පූර්ව ආත්මයන්ගේ කළ ක්‍රියාවන් හේතුවෙන් විඳින්නට සිදු වූ දේවල් ලෙස තවදුරටත් පිළි ගැනීමට ඔවුන් සූදානම් නැත.

අපේ පරම්පරාව සිතුවේ සතර අගතියෙන් මිදීමට, අටලෝ දහමෙන් කම්පා නොවී සිටීමට, සතර බ්‍රහ්මවිහරණයන්හි හැසිරීමට මාර්ගඵල අවබෝධ කර ගත යුතු යැයි කියාය. පෘතග්ජන දිවියට ඒ ඕනෑම දෙයක් අනුගත කර ගත හැකි බව ඔවුන් විසින් අවබෝධ කර ගෙන හමාරය. කුමන පීඩනයක් ආවත් නොසැලී සිටින්නට ඔවුන්ට හැකි බව අද ඔප්පු කොට හමාරය.

ඔවුන් ඉල්ලන්නේ එකම දෙයකි. ඒ පීඩකයා ඉවත් කරන ලෙසය. ඔබට එය ඇසෙන්නේ ගෝ ගෝඨා ලෙස හෝ ගෝ මයිනා ලෙස හෝ 225ම පලයව් ලෙස නම් ඉන් කියවෙන්නේ ඔබත් තවම නියම පීඩකයා හඳුනාගෙන නොමැත.

එසේනම්, අද පවතින අවශ්‍යතාවය වන්නේ නියම පීඩකයා හඳුනා ගැනීමයි.

සෑම සත්වයෙකුටම ස්වභාවධර්මයෙන් නියම වූ වගකීමක් ඇත. එනම් තම සත්ව සංහතිය පවත්වාගෙන යාමයි. ඒ සඳහා ඉටු කළ යුතු කාර්යය දෙකකි. එකක් ජීවිතය පරම ආයුෂ තෙක් පවත්වාගෙන යාමයි. අනෙක වර්ගයා බෝ කිරීමයි. ඕනෑම සත්වයෙකුගේ ශරීරය නිර්මාණය වී ඇත්තේ ඒ අවශ්‍යතාවය ඉටු කිරීම සඳහාය. දියුණු ශරීරාංග ඇති සෑම සත්වයෙකුගේම ස්ත්‍රී සත්වයාගේ පරමායුෂ තෙක්ම ආර්තවය පවතින්නේ ඒ විශ්වීය අවශ්‍යතාවය ඉටු කිරීමට හැකි වන පරිදිය.

ස්වභාවධර්ම‍ෙයේ තවත් එක් සත්වයෙක් වන මිනිසාටද මෙම විශ්ව සත්‍යය පොදුය. මිනිසාගේ ගැහැණු සත්වයාගේ ආර්තවය වයස 45 – 50 පමණ වන විට අවසන් වේ. ඉන් තේරුම් ගත යුත්තේ මිනිසාගේ ස්වභාවික පරමායුෂ වසර 45 ක් 50 ක් පමණ වන බවයි. අද ලෝකය පුරා මිනිසුන් ඊට වඩා වැඩි කාලයක් ජීවත් වන්නේ ස්වභාවය ඉක්මවා යමින් නිර්මාණය කර ගත් වෙනත් තත්වයන්ගේ ශක්තියෙනි. කොටින්ම 50 ඉක්මවූ අයෙක් ගෙවා දමන්නේ විද්‍යාවේ දියුණුව නිසා හිමි වූ බෝනස් වයසකි.

එසේනම් මිනිස් දිවියේ වඩාත් සක්‍රියම කාලය වන්නේ වැඩිහිටියෙකු වූ අවස්ථාවේ සිට වයස 45 – 50 පමණ වන කාලයේය. කොටින්ම ඇස් පෙනීම කණ් ඇසීම වැනි සංවේදනයන් පවා 40 – 50 වන විට හීන වෙමින් මිනිසා ක්‍රමිකව දුර්වල තත්වයට පත් වේ.

ප්‍රස්තුතයෙන් පිට ගියායැයි හැඟී ගියත් නියම පීඩකයා හඳුනා ගැනීමට මෙම විශ්ව සත්‍යය තේරුම් ගත යුතුය. ඔබ සිතන්න, කිසියම් සත්ව කොටසක නායකත්වය හිමි විය යුත්තේ රැලේ ශක්තිමත් එකෙකුටද, නැතිනම් හොට බිම ඇනුනු එකෙකුටද? මිනිසා විසින් නිර්මාණය කළ ජාතක කතා වැනි කතාන්දරවල හැර හොට බිම ඇණුනු නාකි, නායකත්වය දරන කිසිදු සත්ව කොට්ටාශයක් ඔබ දැක ඇතිද? එසේනම් මේ මිනිසුන්ට පමණක් නාකි නායකයින් කුමකටද?

මිනිස් දිවියේ වඩාත් සක්‍රිය කාලය ගත කරන, ජවය ඇති තරුණයින් පසෙකට කර, තීන්දු තීරණ ගන්නේද, පාලනය කරන්නේද, “නිර්මාණ” කරන්නේද, ප්‍රශ්න ඇති කරන්නේද, ප්‍රශ්න විසඳන්නේද, සියල්ලම කරන්නේ වචනාර්තයෙන්ම නොහැකි උන් නොහොත් නාකින්ය.

තමන්ගෙ හොඳ කාලය අවසන් වූ පසු හොඳ කලයේ කර ගන්නට නොහැකි වූ දේ නොහැකි කාලයේ කර ගන්නට තටමන මෙම නාකින් පිළිනොගන්නා සත්‍යය නම් තමන්ගේ හොඳ කාලයේ තමන්ට අවශ්‍ය දෙය කර ගන්නට බැරි උණේ එදා සිටි නාකින්ගේ බලපෑම නිසා බවය. එහි ඇරියස් එක අද පරම්පාරවෙන් අල්ලන ආගද චක්‍රයට අද පරම්පරාව හෙට ඇද දමන්නේද මේ නාකින්මය.

එසේනම් තේරුම් ගත යුත්තේ පීඩකයා වන්නේ කල්පැන ගිය දින ඉක්මවූ නායකත්වයයි. එසේනම් ඉවත් කළ යුත්තේ ගෝටා හෝ මහින්ද හෝ රනිල් පමණක් නොවේ. 225 ද නොවේ. ඉවත් කළ යුත්තේ විශ්‍රාම යාමේ වයසක් නැති, තරුණයන්ට නිශ්චිත අවස්ථාවක් නැති, සක්‍රිය කාලයේ සීමාවක් නැති මේ දේශපාලන ව්‍යුහයයි.

එම ව්‍යුහය ඉවත් කර ඇති කළ යුතු ව්‍යුහය පිළිබඳව ඔබේ අදහස් මොනවාද?

-බන්දුල රණතුංග-