Monday 22 March 2010

බෞද්ධ දරුවන්ට දහම් පාසල් මොකටද?

අද දහම් පාසල් දවසනෙ. උදේම ගියා පොඩි කට්ටිය අරගෙන දහම් පාසලට. අද පන්සලක් නෑ. එතනත් පාසලක්. ගේට්ටුව අවට වාහන 75ත් 100ත් අතර සංඛ්‍යාවක් තිබුණා. 'දහම්පාසල් බස්රථ' තුනකුත් තිබුණා. ගේට්ටුව ළඟ ශිෂ්‍ය නායක අයිල දෙන්නයි, අක්කල දෙන්නයි. 'නිල ඇඳුම', 'බැජ් එක' පරීක්ෂා කරනවා. "මල්ලිගේ කොණ්ඩේ වැඩියි" එක අයියා කෙනෙක් අපේ පුතාට කිව්වා. "එයත් ප්‍රිෆෙට්" අනෙක් අයියා කිව්වා. මල්ලිත් හිනා උණා මිසක් මොකුත් කිව්වෙ නෑ. ප්‍රශ්නෙ දුර දිග ගියෙත් නෑ. ඇතළට යන්න බෑ දෙමාපියන්ට. යන්න තහනම් නෙමේ වෙන්න ඕනෙ. අර පාසලේ වගේ කියල හිතාගෙන යන්නෙ නෑ වගේ. කොහොමත් 20ක් 30ක් ගේට්ටුව අවට ඉන්නවා.
මට හැමුදුරුවෝ බැහැදකින්න ඕනෙ. ඉතින් මම ඇතුළට ගියා. බාධාවක් වුනේ නෑ. ඇතුළට යද්දි මෙන්න පොත් 'සල්පිලක්'. ඩෙස් බංකු රාක්ක පුරෝල පොත්. "ආ මට තාත්තාට කියන්න අමතක උණා අද පොත් ගන්න සල්ලි ගේන්න කිව්වනෙ". පුතා කීව. "පුතාට මොකක් හරි පොතක් ඕනෙද?" "නෑ. නෑ. අර ගේන්න කිව්ව එකයි මම කිව්වෙ" "හරි මොකක්ද දැන් කරන්න ඕනෙ" "යමක් දැක්ක පළියට ගතයුතු නොවේ. අවශ්‍ය දේ පමණක් සෑහේ" පුතා කීවා. "ආ මතකයි නේද". ඒ එක පවුලක තීරණය විතරයි. ඒත් තව කී දෙනෙක් 'පොත් ගන්න' සල්ලි ගේන්න ඇතිද?
7.30ට ඝණ්ඨාරය නාද වුණා. පාසලේ වගේමයි. ලමයි පෝලින් උණා. මල් පෙරහැර ආවා. ගියා. ‍පන්ඩිත හාමුදුරු‍වෝ සිල් දුන්නා. නිවේදන ටික කියෙව්වා. අන්තර් නිවාස තරඟවලි ගැන කිව්වා. අන්තර් දහම්පාසල් තරඟාවලි ගැන කිව්වා. ශිෂ්‍ය නායක දිනයක් ගැන කිව්වා. විනාඩි 10ක් 15ක් අතර 'ආගමික වතාවත්' අවසන්. ළමයි පන්තිවලට ගියා.
පන්තිවලට ගුරුවරු ගියා. පොඩි හාමුදුරුවරු දෙතුන් නමයි. විශ්‍රාමික ගුරුවරු දෙන්නයි. වසර 30ක් පමණ කාලයක් තිස්සේ දහම්පාසලේ ඉගැන්වීම කරණ වැඩිහිටි 'දහම්පාසල් ගුරුතුමියයි'. දහම්පාසල් අවසානය හා ධර්මාචාර්ය සමත් වැඩිහිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් කණ්ඩායමයි. ඔක්කොම පන්ති 10ක් නැත්නම් 11ක් තියෙනවා. ආරම්භක පන්තිය 1 නෙමේ. පාසලේ 1 වසරේ ඉන්න අය දහම්පාසලේ මුල් පන්තියේ. ඒ පන්තියේ සිට පන්ති 4ක ළමයි 50 බැගින් විතර ඉන්වා. ඊළඟ පන්තියේ 20ක් විතර. ඊළඟ පන්තියේ ඒ කියන්නේ පාසලේ 5ට සමාන්තර පන්තියේ ඉන්නේ 12ක් විතර. 6, 7, 8 පන්තිවල ළමයි 30, 40 විතර ඉන්නවා.
ගුරුවරු නම් ලකුණු කරනවා. අච්චු පොත අරගෙන පාඩමක් කරනවා. ඒ හැම පාඩමක්ම වගේ පාසලේ බුද්ධාගමට උගන්න ඒවා. පාලි වගේ ඒවා බොහොම උඩින් පල්ලෙන් යන්නේ. 10 විතර වෙනකොට විවේකය. ආයෙත් අච්චු පොත හා පාඩම්. තෝරගත්ත ළමයි ටිකක් අරගෙන 'තරඟ' වලට සූදානම් කරනවා. 11ට ආයත් පෝලින්. ගාථාවක් කියනවා ගෙදර යවනවා.

ඔක්කොම ළමයි 700-800 ක් විතර ඉන්නවා. ඒත් පන්සලේ එපමණ ළමයි ප්‍රමාණයකට ඔය මිශනාරී ක්‍රමයේ පන්ති කාමර අධ්‍යාපනය දෙන්න ඉඩ මදි. ඉතින් ලොකු හාමුදුරුවෝ පන්සල් වත්ත පුරා මඩු ගහනවා. ගස් ඉර ඉරා ඩෙස් බංකු හදනවා.

අපේ දරුවන්ට ඕනෙ මේ ආකාරයේ දහම්පාසල් අධ්‍යාපනයක්ද? හරියටම තවත් පාසල් දිනයක් වගේ! ‍අච්චුපොත් පාඩම් විනා සාරධර්ම වර්ධනයක් හෝ ආගමික ගුණවගාවක් ඇති කිරීමේ හැකියාවක් මේ දහම්පාසල් අධ්‍යාපන ක්‍රමයෙන් ලැබෙන්නනෙ නෑ.

ළමයා හා පන්සල අතර හොඳ සම්බන්ධතාවයක් ඇතිවන, ළමයාතුළ යහපත් ගුණධර්ම වර්ධනය කිරීමට හැකි හොඳින් සංවිධානය කළ පෝදා වඩසටහන් 1ක් මේවගේ දහම් පාසල් දින 4ට වඩා හොඳ බව මාගේ මතයයි.

Sunday 14 March 2010

ඊළඟ යුගය කුමක්ද? What will be the next Age?

මානව පරිනාමය විවිධ යුගවලට වෙන් කර දක්වා ඇත. ගල් යුගය, එ‍ඬේර යුගය, ගොවි යුගය, කාර්මික යුගය, තාක්ෂණ යුගය ආදී ලෙස (වෙනස් ආකාරයේ කොටස් කිරීම් හා නාම ද තිබේ) පැමිණ අදවන විට තොරතුරු තාක්ෂණ යුගයේ සිටින්නේ යැයි පැවසේ. එළඹෙන යුගය කුමක් විය හැකිද?

ඉහත දැක්වූ යුග සියල්ල ප්‍රධාන යුග දෙකක අනු යුග නොඑසේනම් උප යුග ලෙස මම සිතමි. ගල් යුගය, එ‍ඬේර යුගය හා ගොවි යුගය අයත්වන්නේ 'ආහාර යුගය' නම් ප්‍රධාන යුගයටය. එම යුගයේ මිනිසාගේ ප්‍රධාන සම්පත වී තිබුණේ ආහාරය. කාර්මික යුගය, තාක්ෂණ යුගය හා තොරතුරු තාක්ෂණ යුගය අයත් වන්නේ 'දැනුම යුගය' නම් ප්‍රධාන යුගයටය. මේ යුගයේදී මිනිසා තම ජීවිතය සැපවත් කර ගන්නේ දැනුම රැස් කර ගැනීමෙනි. දැනුම ඇති තැනැත්තා එය 'විකුණාගෙන කයි'. දැනුම නොමැත්තා දැනුම මිලදී ගනියි. නැත්නම් දැනුම ඇත්තාට කඹුරයි. එනම් මේ දැනුම සම්පත වූ යුගයේ තමාට දැනුම තිබීම හා අනෙකාට දැනුම නොතිබීම අපේ අවශ්‍යතාවයයි. අපේ සැපවත් බවේ රහස එයයි. මෙය අනෙක් පස පෙරළුනොත් කුමක් සිදු වේද? අනෙකාට දැනුම නොමැති කම මට අපහසුවක් වේ නම් දැනුම මාගේ සම්පත නොවනු ඇත. මා අසීමිතව දැනුම සොයමින් නොවෙහෙසෙනු ඇත. මාගේ දැනුම මාගේ සැපපහසුව උදෙසාම අනෙකාටද ලබා දෙනු ඇත. එවිට මිනිසා නව ප්‍රධාන යුගයක් කරා පිය නගනු ඇත.

එම ප්‍රධාන යුගය කුමක් විය හැකිද? එම යුගයේ සම්පත 'ගුණ ධර්ම' වැනි යමක් විය හැකි බව මාගේ මතයයි.