ශ්‍රී ලංකාවේ මේදිනවල ජනප්‍රසිද්ධම මතෘකාව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි. ජනාධිපතිවරණයේ එක් පාර්ෂවයක ප්‍රධානම තේමා පාඨය වී තිබෙන්නේත් එයයි. අපේ රටට විධායක ජනාධිපති වරයෙකු අවශ්‍ය බවයි මාගේ මතය. එහෙත් ඒ තනතුරට වර්තමානයේ ආරෝපණය කොට තිබෙන්නා වූ අසීමිත බලයතල ඉවත් කළ යුතුයි. විශේෂයෙන් ජනාධිපති පාර්ලිමේන්තුවට/ව්‍යවස්ථාදායකයට හා අධිකරණයට ඍජුවම වගකිව යුතුයි. එසේම විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය එකිනෙකින් ස්වායත්ත ආයතන විය යුතුයි.
විධායකය ප්‍රධාන කොටස් තුනකින් සමන්විය යුතුයි.විධායකයේ නායකයා ජනාධිපති වේ. ජනාධිපති තෝරා ගන්නේ ව්‍යවස්ථාදායකය මගිනි. මෙහිදී සැලකිල්ලට ගත යුතු විශේෂ සාධකයක් පවතී. එය විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ පවතින ප්රබලව බෙදී ගිය දේශපාලන පක්ෂ ක්‍රමය නිසා ඇතිවූ තත්වයකි. සෑම විටම රාජ්‍ය පාලනය බාර ගන්නා පක්ෂය තම බලය පවත්වාගෙන යාමටත්, බලය අහිමි වූ පක්ෂ නැවත බලය ලබා ගැනීමටත් පමණක් කටයුතු කිරීම නිසා සෙක්කුවේ බැඳි ගොනා සේ වසර 60ක් තිස්සේ අපේ රට එකම තැන කැරකෙමින් පවතී. එබැවින් දේශපාලනයට පිවිසෙන සෑම දෙනෙකුටම සෑම විටම රටේ දියුණුව අභිවෘද්ධිය සඳහා යම් කාර්යය භාරයක් හිමි වූ පාලන ක්‍රමයක් රටේ තිබිය යුතුය. එවිට අනෙකාගේ කකුලෙන් ඇදීමෙන් බලය ලබා ගන්නවාට වඩා තමා කළ සේවය නිසා තවදුරටත්/වැඩිදුරටත් බලය ලබා දෙන ක්‍රමයක් නිර්මාණය කළ යුතුවේ.
මහ මැතිවරණයකින් බහුතරය ලබා ගන්නා පක්ෂයට/සංධානයට ව්‍යවස්ථාදායකයේ බලය හිමි විය යුතුය. එහි දී දෙවන ස්ථානයට පත්වන කණ්ඩායමෙන් යෝජනා කරන අයෙකු විධායකයේ නායකායා නොහොත් ජනාධිපති ලෙස පත් කරගත යුතුය. එවිට පළමු කොටම රටේ පාලනයට රටේ ප්‍රධානම දේශපාලන පක්ෂ/සංධාන දෙකම ඍජුවම හවුල් වී හමාරය. දෙවනුව පත්වන කිසිම ජනාධිපතිවරයෙක් තම පක්ෂයට ව්‍යවස්ථාදායකයේ බලය ලබා ගැනීම සඳහා ව්‍යවස්ථාදාය විසුරුවා නොහරිනු ඇත. එසේ කර එහි බලය අල්ලා ගත් විට තම පක්ෂයට හිමිව තිබූ විධායක නායකත්වය හෙවත් ජනාධිපතිකම අනෙක් පක්ෂයට හිමි වේ. එබැවින් නියමිත මැතිවරණයක් පවත්වන තුරු ජනාධිපති ව්‍යවස්ථාචායකය විසුරුවා හැරීමට පෙළඹෙන්නේ නැත.
විධායකයේ දෙවන කොටස ව්‍යවස්ථාදායකයේ පාලක කණ්ඩායමේ නායකයා විසින් තෝරා පත් කළ යුතුය. එය මණ්ඩලයක් විය යුතු අතර එහි එක් එක් සාමාජිකයා එක් විෂයක් පිළිබඳව පුද්ගලිකවද, මණ්ඩලය සාමූහිකවද ව්‍යවස්ථාදායකයට වග කිව යුතුය. මෙම මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව හා ඔවුනට පැවරෙන විෂයන් මොනවාද යන්න ව්‍යවස්ථාදායකය විසින් සම්මත කර ගත යුතුය. විධායකයේ තීරණ සඳහා ව්‍යවස්ථාදායකයේ අනුමැතිය හා ප්‍රතිපාදන ලබා ගැනීම මෙම විධායක මණ්ඩල සාමාජිකයින්ගේ හෙවත් ඇමතිවරුන්ගේ වගකීම වේ.
විධායකයේ තෙවන කණ්ඩායම විධාකයයේ නායකයා හෙවත් ජනාධිපති විසින් තෝරා ගන්නා නිලධාරී මණ්ඩලයක් වේ. මේ සඳහා ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි රාජ්‍ය සේවය සඳහා අවශ්‍ය සුදුසුකම් සහිත ඕනෑම කෙනෙකු තෝරා ගත හැකි අතර ඒ ව්‍යවස්ථාදායකයේ සාමාජිකයෙකු වුවහොත් ඔහුගේ ව්‍යවස්ථාදායක සාමාජිකත්වය අහෝසි වනු ඇත. එසේම මේ සෑම ලේකම් වරයෙකුම රජයේ නිලධාරියෙකු බවට පත්වන අතර ඔහු රාජ්‍ය නිලධාරියෙකු යටත්වන සියළුම නීති රෙගුලාසි වලට යටත්ව සේවය කළ යුතුය. ව්‍යවස්ථාදායකය විසින් සම්මත කර ගත් සෑම විෂයක් සඳහාම මෙම ලේකම්වරු පත්වන අතර එම අමාත්‍යංශය විධායකයේ නියමයන්ට අනුව පරිපාලනය කිරීම ඔහුගේ වගකීම වේ.
ජනාධිපතිවරයා විසින් ගන්නා ලබන සියළුම ප්‍රතිපත්තිමය තීරණ, විධායක මණ්ඩලයේ එකඟතාව ඇතිව හෝ නොමැතිව, අදාල අමාත්‍යවරයා ලව හෝ පුද්ගලිකව තමා විසින් හෝ ව්‍යවස්ථාදායකයට ඉදිරිපත් කොට අනුමත කර ගත යුතු වේ. එම තීරණය විධායක මණ්ඩලය විසින්, එනම් අනෙක් කණ්ඩායමේ එකඟතාව ලබා දී ඇත්නම් තම කණ්ඩායමේ එකඟතාවද සමගින් පහසුවෙන් අනුමත කර ගත හැකිවේ. විධායක මණ්ඩලයේ එකඟතාවයකින් තොරව ඉදිරිපත් කරණ යෝජනාවක් වුවත් සාමූහික වගකීම හා විශේෂයෙන්ම තමන්ද නියෝජනය කරන රජයේ සැලැසුම් කෙරෙහි ඇති වගවීම හේතුවෙන් ව්‍යවස්ථාදායකයේ අනුමැතිය ලබා ගත හැකි විය යුතුය. මෙවැනි අවස්ථාවල මෙම ප්‍රධාන පක්ෂ/සංධාන දෙකටම අයත් නොවන ස්වාධීන හා සුළුතර නියෝජිතයින්ගේ මතය තීරණාත්මක වනු ඇත. එබැවින් විශේෂයෙන් අඩු ජනගයනයක් සහිත ජනවර්ග ඍජුවම නියෝජනය කරන නියෝජිතයින්ට තමන්ගේ අවශ්‍යතාවන් සඳහා ප්‍රධාන පක්ෂ සමග සංධාන ගත නොවී තම අනන්‍යතාව සුරැකෙන අයුරින් තම ශක්තිය පෙන්විය හැකිය.
4 comments:
ඒකත් මරු අදහස. එක්කො අරක, එක්කො මේක. දෙකම බෑ.හැබැයි උනුත් එකයි මුනුත් එකයි කියන අයට මොකද වෙන්නේ
පළමුවම එන අදහස ‘අපෝ ලංකාවේ කොහොමද ඕව කරන්නේ‘ කියන එක. මම දන්නවා ඒක ඉතාම පසුගාමී අදහසක් කියල. ඒත් අපි තාමත් හිතන් ඉන්නේ ‘අපේ රටේ මිනිස්සු එක්ක ඔය වගේ දේවල් කරන්න බෑ‘ කියල.
හැබැයි කළොත් නම් නියම වැඩේ...!
දැන් තියෙන විදිහට ගත්තහම දේශපාලනය කරන්න එන කෙනෙක් තමන් බලාපොරොත්තු වෙන සේවය දෙන්න අනිවාර්යයෙන්ම ආණ්ඩුවේ ඉන්න ඕනෙ. දැන් බලන්න රනිල්. මහින්දට වඩා කී දෙනාද අඩු එයාට කැමති අය. ඒත් රනිල්ට රටට සේවයක් කරන්න තවත් කාලාන්තරයක් බලන් ඉන්න වෙනවා. (හරියට අර එවරෙඩි බැටරි අරගෙන දූපතේ හැංගුන හොරා අල්ලන්න පොලිසියට බලන් ඉන්න වෙනවා වගේ.) ඒත් මනාප 2,500 ක් විතර ගත්ත මර්වින් සිල්වා දැන් අවුරුද් ගානක් ‘මහජන සේවේ‘. තවත් කාලාන්තරයක් ඉන්නයි කල්පනාව.
බන්දුල මහත්තයෝ ඕක විජේදාස රාජපක්ෂටයි තිස්ස විතාරණටයි කියන්න. ඒගොල්ල සලකලා බලයි.
"අපේ රටට විධායක ජනාධිපති වරයෙකු අවශ්‍ය බවයි මාගේ මතය. එහෙත් ඒ තනතුරට වර්තමානයේ ආරෝපණය කොට තිබෙන්නා වූ අසීමිත බලයතල ඉවත් කළ යුතුයි"
එතකොට විධායක ජනාධිපති ක්‍රමයක් නෑ නේද ?
විධායක කියන්නේ අසීමිත බලතල තියෙනවා කියන එක නෙමේ.
Post a Comment