Sunday, 26 April 2020

කුලයේ අභිමානය වෙනුවෙන් නොනැවතී ඉදිරියට


Chamal Akalanka Polwaththage ගේ ෆේස්බුක් බිත්තියේ පලවූ "මිලියන ගණනකට විශ්වවිද්‍යාල දොරටු විවර කළ ඇමරිකානු කළු කෙල්ල" ලියවිල්ල මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති Mahinda Deshapriya මැතිතුමා "තවත් එකක් , සමාජ යුක්තිය ගැන . මෙය සුරැකිව තබාගනිමු . සමාජ සාධාරණත්වය , සමාජ යුක්තිය , සියල්ලන් ඇතුළත් වියයුතු බව යනාදි ඉදිරි කටයුතු සදහා ගන්න ඇහැක් වේවි" යනුවෙන් සටහනක් යොදමින් මැතිවරණ කොමිෂම් ෆේස්බුක් ජන සමූහය වෙත මුදා හැර තිබුණා.


චමල්ගේ එම ලිපියේ මෙන්ම මහින්ද සර්ගේ සටහනේද මුඛ්‍ය අර්ථය හොඳන් වටහා ගනිද්දී, ඉන් කියවෙන තවත් 'පැත්තක්' ගැන මගේ හිත ගියා.


1952 වන විටත් ඇමෙරිකාව ඇතුළු, ශුද්ධ වූ සමක් ඇත්තවුන්ගේ ආධිපත්‍යයට නතු වූ රටවල කළු සමක් ඇත්තවුන් පහත් කොට සලකා 'පහත් ලෙස' කටයුතු කිරීම ක්‍රියාත්මක වුණා. සුදු හම ඇත්තවුන් අතරින් සුළුතරයක් 'සමානාත්මතාව' වෙන්වෙන් ක්‍රියා කළ ද අතිශය බහුතරයක්, ඉහත දැක් වූ පරිදි 'පහත් ලෙස' හැසිරීම 'උසස් ලෙස' සැලකුවා. එලෙස හැසිරීමෙන් උන්ගේ පන්තිය 'උසස්' වින්දනයක් ලැබුවා. එනිසාම, එවකට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය 'පහත් ලෙස' හැසිරෙමින් උසස් ජනප්‍රසාදයක් ලබා ගත්තා.


එහෙත් පසුව සිදු වන්නේ කුමක්ද? චමල්ගේ ලිපිය කියවා ඊට පසුව ඒ ගැන සාකච්ඡා කරමු.
----------
"කණගාටුයි...! ඔයාලව අපේ විශ්වවිද්යාලයට ඇතුළත් කර ගන්න බැහැ."
"ඇයි ඒ? මොකක්ද හේතුව?"
"මොකද විශ්වවිද්යාලයට බඳවාගනේ සුදු ජාතිකයන්ට පමණයි..!!"


, 1952 වසරේ සැප්තැම්බර් 20 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ ඇලබාමා විශ්වවිද්යාලයේ ප්රධාන කාර්යාලයයි. සිය සමේ වර්ණය කළු වීම මත, Autherine Lucy Foster සහ Pollie Anne Myers නම් වසර විස්සක විසි එකක පමණ වියැති කළු ඇමරිකානු යුවතියන් දෙදෙනාව ඇලබාමා විශ්වවිද්යාලය එසේ ප්රතික්ෂේප කර දමනවා. ඔවුන් දෙදෙනා විශ්වවිද්යාලයට ඇතුළත් වීමට අයැදුම් කළේ සැප්තැම්බර් 4 වන දින වන අතර දින 9 ට පසු ඔවුන්ව විශ්වවිද්යාලය මගින් සිය උපාධි පාඨමාලාව වෙනුවෙන් තෝරාගන්නා ලද බව දන්වා සිටිනවා. නමුත් ඇතුළත් වන දිනයේදීයි වර්ගවාදී පාලනාධිකාරිය දැනගන්නේ යුවතියන් දෙදෙනා ශුද්ධවූ සමක් සහිතව උප්පත්තිය ලබා නැති බව. ඇලබාමාවේ Mils විද්යාලයෙන් ප්රථම උපාධිය දිනාගෙන, ඕනෑවටත් වඩා සුදුසුකම් සපුරා සිටි කළු යුවතියන් දෙදෙනාට සමේ වර්ණය හේතුවෙන්, විශ්වවිද්යාලයේ ගේට්ටු වසා දමනවා.


වර්ණබේදවාදයට එරෙහිව සුදු මහත්වරුන් සමග ලේ කඳුළු මත ගෙනගිය ඇමරිකානු කළු ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් දිනාගැනීමේ දැවැන්ත අරගලය ඒ වන විට එක්සත් ජනපදය පුරා දියත් වෙමින් පැවති ඒ කාලයේ. තරුණියන් දෙදෙනාට සිදුව ඇති අයුක්තිය වෙනුවෙන් හඬ නැගීමට National Association for the Advancement of Colored People - NAACP හෙවත් "කළු ජන අභිවෘද්ධිය සඳහා වූ ජාතික ව්යාපාරය ඉදිරිපත් වනවා. (little rock Nine සිදුවීමේදී අප මේ ගැන කතා කළා ඔබට මතක ඇති). ඒ අනුව සිවිල් අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් සටනේ යෙදී සිටි Arthur Shores සහ Thurgood Marshall යන නීතීඥවරුන් දෙදෙනා තරුණියන් දෙදෙනා වෙනුවෙන් ඉදිරිපත් වනවා. අසාධාරණ ලෙස සමේ වර්ණය මත ඇමරිකානු පුරවැසි තරුණියන් දෙදෙනෙකුගේ අධ්යාපනය කඩාකප්පල් කිරීම සම්බන්ධයෙන් ඇලබමා විශ්වවිද්යාල ප්රධානියා වූ John Gallalee ට ලිපියක් මගින් දන්වනවා. නමුත් නැවතත් ජාතිවාදය ජයගන්නවා.


දැන් 1954 වසරයි. ඔබට මතක ඇති පෙර ලිපි වලින් අප කතා කළ වර්ණභේදවාදය මත පාසල් වෙන් කිරීමට එරෙහිව ඇමරිකානු ශ්රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද brown v. Board of education නඩු තීන්දුව. එම නඩුවේ ජයග්රාහී පාර්ශවය, එනම් කළුජන අයිතීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණ්ඩායමේ සාමාජිකයකු වූ නීතිඥ Thurgood Marshall විසින් එම නඩු තීන්දුව අවියක් කරගනිමින් තරුණියන් දෙදෙනා ඇතුළු කළු දරුවන්ගේ අධ්යාපනයේ අයිතිය වෙනුවෙන් ඇලබාමා විශ්වවිද්යාලයට එරෙහිව දිස්ත්රික් අධිකරණයේ නඩු පවරන්නට යෙදෙනවා. ඒ අනුව දෙවසරකට පසුව ලුසී සහ ඈන් වෙනුවෙන් ඇලබාමා විශ්වවිද්යාලයේ සුදු දොරවල් වල අගුළු වහාම විවර කරන ලෙස අධිකරණය විසින් පාලනාධිකාරියට නියෝගයක් නිකුත් කරනු ලබනවා.


සටන අවසන් නොවේ..! අධිකරණ තීන්දුවෙන් ලැජ්ජාවට පත්, ජාතිවාදයේ ලාවා වලින් ඇවිලෙමින් සිටි ඇලබාමා විශ්වවිද්යාල පාලනාධිකාරියේ සුදු දඩ බල්ලන් කළු කෙල්ලන් දෙදෙනා පසුපස පන්නමින් පළිගැනීම අරඹනවා. අධිකරණ කටයුතු සිදුකළ පසුගිය වසර දෙක තුළ විවාහ වී එක් දරු මවක් වී සිටි ඈන්, විශ්වවිද්යාලයට ඉල්ලුම් කරන විට ගැබ් ගෙන සිටි බවත්, ඒ වන විට ඇය නීත්යානුකූලව විවාහ වී නොසිටි බවත්, විශ්වවිද්යාලයේ ශුද්ධවූ නීති වලට අනුකූලව විවාහ නොවී දරුවකු ලැබූවකු විශ්වවිද්යාලයට ඇතුළත් කරගැනීමට නොහැකි බව පවසමින් Pollie Anne Myersව එකදු දේශණයකට හෝ සහභාගීවන්නට පෙරම විශ්වවිද්යාලයෙන් නෙරපා හරිනවා.


1956 වසරේ පෙබරවාරි මස 3 වන දින සිට ලුසීට විශ්වවිද්යාලයට පැමිණීමට අවසර ලැබීමත් සමග ඇතිවූ මරණීය වේදනාවෙන් යුතුව විශ්වවිද්යාලය විසින් ලුසීට නේවාසිකාගාරය සහ ආපනශාලාව තහනම් කරමින් පල නොකියා පලා බෙදීම අරඹනවා.


නමුත් සුදු සිසුන් ආචාර්යවරුන් දහසක් මැද කළු ලුසී තනිවම දිගින් දිගටම සටන් කරනවා. තෙවන දිනයේදී, 1831 වසරේ ඇරඹි ඇලබාමා විශ්වවිද්යාලය සුදු ජාතිකයන්ට පමණක් අධ්යාපනය ලබා දී අයත් කරගෙන සිටි පාරිශුද්ධ සුදු කන්යාභ්යාවය වසර එකසිය විසි පහකට පසු අශුද්ධ කළු කෙල්ලෙකු විසින් කෙලෙසනු ලැබීයයි සිතා සිටි මාන්නාධික සුදු ස්වෝත්තමවාදී 'විද්යාර්ථී උත්තමයන්' පිරිසකගේ කුණුහර්ප වරුසාවකට සහ කුණු බිත්තර වලින් පහර කෑමකට මුහුණ දීමට සිදුවනවා. සිය ගණනක පමණ සුදු විරෝධතාකරුවන්ගෙන් මැරයන්ගෙන් ඉතා අපහසුවෙන් සැඟවී පොලිස් කාරයකට නැග දිවි ගලවාගන්නා ලුසී නිවසට ගොස් ටික වේලාවක් යන විට ඇගේ ආරක්ෂාවටම යැයි පවසා පන්ති තහනම් කිරීමට විශ්වවිද්යාලය තීරණයකයට එළඹෙනවා.


විශ්වවිද්යාලයේ පූර්ණ අනුදැනුම මත බලහත්කාරය ක්රියාත්මක කරමින් සිටි ජාතිවාදී සුදු වෘකයන් ලුසී පසුපස පන්නමින් විශ්වවිද්යාලය තුළ ඇයට අඩම්තේට්ටම් කිරීමට එරෙහිව ලුසීත්, නීතීඥ මාෂලුත් නැවත අධිකරණ පිහිට පතනවා. නමුත් විශ්වවිද්යාල පාලනාධිකාරිය විසින් ලුසීට පහරදුන් සුදු මැරයන්ට උදව් කිරීමේ චෝදනාව ඔප්පු කිරීමට ප්රමාණවත් තරම් සාක්ෂි නොමැති වීමෙන් එම නඩුව ඉවතට විසිවනවා. එය අවියක් කරගත් ඇලබාමා විශ්වවිද්යාලය විසින්,ලුසී විශ්වවිද්යාලයට අපහස කරනවායැයි චෝදනා කරමින් නීතිමය ක්රියාමාර්ගයන්ට එළඹෙන අතර ලුසීට එරෙහිව විශ්වවිද්යාලය එයින් ජයගනු ලබනවා. Autherine Lucy ට නැවතත් ඇලබාමා විශ්වවිද්යාලයේ දොරටු වැසී යනවා.


එයින් දැඩි කනස්සල්ලට පත්ව සිටි නීතිඥ මාෂල්ට ලුසී මෙසේ ලියනවා.


"Whatever happens in the future, remember for all concerned, that your contribution has been made toward equal justice for all Americans and that you have done everything in your power to bring this about."


"මාෂල් මහත්මයාණෙනි., අනාගතයේදී කුමක් සිදුවුවත්, සියළු ඇමරිකානුවන්ට යුක්තිය සහ සාධාරණය ඉටු කිරීම වෙනුවෙන් ඔබ ලබා දුන් දායකත්වය පිළිබඳව ඉතිහාසය සාක්ෂි දරණු ඇත."


(1967 දී නීතීඥ Thurgood Marshall, පළමු කළු ජාතික ඇමරිකානු ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා ලෙසින් දිවුරුම් දෙනු ලබනවා)


ලුසීගේ විශ්වවිද්යාල ගමන අහිමි වී සත් වසරකට පසුව, එනම් 1963 වර්ෂයේ දී තරුණ කළු කෙල්ලගේ සාධාරණත්වය සඳහාවූ අරගලය ජය ගනු ගන්නවා. Vivian Malone සහ James Hood යන සිසුන් දෙදෙනා ඇලබාමා විශ්වවිද්යාලයට ඇතුළත් වී 1965 දී උපාධිය දිනාගන්නේ, ඇලබාමා විශ්වවිද්යාලයෙන් උපාධිය ලබාගත් පළමු කළු ජාතිකයන් බවට පත් වෙමින්.


මේ 1988 වසරයි. 1929 දී උපන් Autherine Lucy ට දැන් වයස 59 කි.
ඇලබාමා විශ්වවිද්යාලයෙන් ලුසීව නෙරපා වසර තිස් දෙකකි. 1988 වසරේ අප්රේල් මාසයේදී ඇලබාමා විශ්වවිද්යාලය විසින් ලුසීට ලිපියකින් දන්වා සිටින්නේ සිය විශ්වවිද්යාලය විසින් ගනු ලැබූ වැරදි තීරණ නිවැරදි කිරීම වෙනුවෙන් ලුසීට නැවතත් විශ්වවිද්යාලයේ ශාස්ත්රපති උපාධිය හැදැරීමට පැමිණෙන ලෙස දන්වමින්.


ඒ වන විට ලුසීගේ දියණිය වූ Grazia ද ඇලබාමා විශ්වවිද්යාලයේ ප්රථම උපාධිය හදාරමින් සිටි අතර, අවසානයේ දී, අනේකවිධ දුක් වේදනා දරමින්, කැප කිරීම් කරමින් සිදුකළ අරගලයකින් දහස් ගණනක් දරුවන්ට අධ්යාපනයේ අයිතියද, සමස්ථ රාජ්යයටම යුක්තිය සාධාරණය පිළිබඳව වූ පාඩමද ඉගැන්වූ ලුසී 1992 වසරේදී සිය අධ්යාපනය සඳහා වූ ශාස්ත්රපති උපාධිය හිමිකර ගන්නේ සිය වාණිජවේදී උපාධිය දිනාගත් සිය දියණිය සමග එකම උපාධි ප්රදානෝත්සවයකදී ය. එවිට ඇයට වයස අවුරුදු 63 කි.


1998 වසරේදී Autherine Lucy Foster නමින් විශ්වවිද්යාලයෙන් පිදෙන ගෞරව සම්මානය නම් කරනු ලබනවා. 2010 වසරේදී ලුසීගේ අරගලය සිහිපත් වීමටත් ඈට ගෞරව කිරීමකුත් වශයෙන් විශ්වවිද්යාලය තුළ ඔරලෝසු කණුවක් ස්ථාපනය කෙරිණි. විශ්වවිද්යාලයෙන් නෙරපා වසර 63 ට පසු, එනම් 2019 වසරේදී කලු සටන්කාරිය වයස අවුරුදු 90 ක් සපුරන විට, ඇලබාමා විශ්වවිද්යාලයේ උපාධි ප්රදානෝත්සවයේදී Autherine Lucy ට ආචාර්ය උපාධියක් පිරිනමනු ලැබූ අතර විශ්වවිද්යාලය මගින් සිසුන් සඳහා ලබා දෙන ඇමරිකානු ඩොලර් 25000 ක ශිෂ්යත්වය ලුසීගේ නමින් නම් කරනු ලැබුවා.


ඇය වයස අවුරුදු 90 කදී ආචාර්ය උපාධිය ලබා ගන්නා විට, ජතිවාදයට එරෙහි ඇගේ සටනේ ගිනි පුළිඟුවලින් දශක 7 ක් තිස්සේ මිලියන ගණනක් දරුවෝ සිය ජීවිත ආලෝකමත් කරගත්තාහ. යුක්තිය සාධාරණත්වයේ ගින්න ලොව පුරා නොනිවී දැල්වුණාහ.


මිත්රවරුනි, ලෝකය කුමක් කීවත්, ලුසී කී දෙනෙකුට කුමක් දිනා දුන්නත් ඇය විසින් කැප කළ ඇයටට අහිමි වූ ඇගේ තරුණ බලාපොරොත්තු නැවත ලබා දීමට, ඒ හිස්තැන් පිරවීමට ආචාර්ය උපාධි සියයකින් පිදුම් ලැබුවත් නොහැකිය. වර්ගවාදී ජාතිවාදී දඩ බල්ලන් නිසා ලුසී ඇතුළු සිය ජීවිතයේ හිස්තැන් හිමිකරගත් මිලියන ගණනකගේ ජීවිත කාලකන්නි කිරීමේ ශාපයෙන් ඒ කිසිදු තිරිසනෙකුට ගැලවීමක් නොලැබෙනු ඇත. තෘප්තියක් නොලැබෙනු ඇත. විඳවීම්, පමණක් හිමිවනු ඇත.


එනිසාම වර්ගවාදයත් ජාතිවාදයත් දුටු තැන ප්රතික්ෂේප කර දැමීමට අපගේ දරුවන්ටවත් ඉගැන්විය යුතුය. ප්රජාතන්ත්රවාදය මිල අධික බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පසුගියදා මාධ්ය ඉදිරියේ ප්රකාශ කළේය. අප යුක්තිය, ප්රජාතන්ත්රවාදය, මනුෂ්යත්වය හැකි තරම් තදින් අල්ලා සිටිය යුත්තේ එනිසාමය. මන්දයත් එය අපෙන් ගිලිහුණහොත් නැවත ලබාගැනීමේ වන්දිය ලේ, කඳුළු, දහදිය පවා විය හැකි නිසාය.


ඇඳිරිනීතියේ සිට ලියනා අනෙක් ලිපි කියවන්න පහත # tag එක click කරන්න. (ඇඳිරිනීතියෙසිට ටැග් එක ක්ලික් වෙන්නෙ නැත්තං ඉංග්රීසි එක බලන්න.) #ඇඳිරිනීතියේසිට #underthecurfew
- චමල් අකලංක පොල්වත්තගේ
------
මාගේ ලියවිල්ල නැවතත් මෙතැන සිට...


1952 දී ඇලබාමා විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය එලෙස 'පහත්' ලෙස හැසිරුනේ බහුතරයකගේ 'උසස්' සම්මානයට පාත්‍ර වෙමිනි. එදින ඔවුන් සිටියේ බහුතරයකගේ බහුමානයට භුක්ති විඳිමිනි.


1988 දී ඇලබාමා විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය හැසිරෙන්නේ කෙසේද? හමේ වර්ණය හේතුවෙන් වෙනස්ව සැලකීම පහත් කාර්යයක් බව ඇලබාමා විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය අද විශ්වාස කරයි. එදා පහත් ලෙස හැසිරීමේ වරදට අද වන්දි ගෙවීමට උත්සුක වෙයි.


එදා ඇලබාමා විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය නියෝජනය කළ 'මහත්ම-මහත්මීන්' වසර 36 ගෙවුනු 1988 දීත් සිහිබුද්ධියෙන් යුතුව ජීවත්ව සිටීනම්, නව පාලන අධිකාරියේ මේ ක්‍රියාකාරකම් කෙසේ අත්විඳින්නට ඇතිද? එය එතරම් සුවපහසු වින්දනයක් නම් නොවන්නට ඇත.


හමේ වර්ණය නිසා වූ බෙදීමක් නොතිබුණද, ජාතිය, කුලය හා ආගම නිසා 'පහත්' ලෙස හැසිරීම ලංකා සමාජය තුළ බොහෝ කාලයක් පැවතිනි. අද ඒ තත්ත්වය හීනව ගොස් ඇතත් අනෙකා වෙනස්ව සැලකීමට වෙනත් කුල ක්‍රමයක් ලාංකීය ජන සමාජය තුළට පැමිණ ඇත.


විශේෂයෙන්ම රාජ්‍ය සේවයේ නියතයක්ව ක්‍රියාත්මක වන මෙම කුල ක්‍රමය හැඳින්වීමට යොදා ගන්නා 'උසස්' නාමයන් වන්නේ 'වෘත්තිය' නොහොත් 'සේවාවයි'. ලාකීය රාජ්‍ය සේවයේ 'උසස් කුලයේ' සේවාවන් හා 'පහත් කුලයේ' සේවාවන් ලෙස වර්ග දෙකක් ඇත. උසස් කුලයේ සේවාවන්හි අයගේ යටතේ පාලන අධිකාරිත්වය ඇති හෙයින්, ඔවුන් පහත් කුලයේ අයට Autherine Lucy Foster සහ Pollie Anne Myers ට මෙන් සලකති.


අද ඒ උසස්කුල පාලන අධිකාරිය සිතන්නේ 1952 දී ඇලබාමා විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය සිතූ පරිද්දෙමිනි. අනාගතයේ දිනක යම් හෙයකින් එදින පාලන අධිකාරි බලය හිමි කණ්ඩායම, 1988 දී ඇලබාමා විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය ලෙස සිතුවහොත් අද දින පාලන අධිකාරිය හිමි කණ්ඩායම විශාල අපඑසුතාවයකට පත්වනු ඇත. තම කුලයේම උන් පහත් කුලයේ එවුන්ව හිස් මුදුනින් තබාගෙන, ඔවුන්ට සිදුවූ අසාධාරනය වෙන්වෙන් වන්දි ගෙවනවා දකින්නට සිදු වුවහොත් විශ්‍රාමික දිවියේ සුව-පහසුව බැහැර යනු ඇත. වාසනාවට ඩිමෙන්සියා තත්ත්වයක්වත් ඇති වී තිබුණහොත් හොඳය. නැත්නම් ගෙදර ඇති මුව හමට තඩි බාමින් පාරම්බානවා හැර වෙනත් කිසිවක් කරන්නට නොහැකි වනු ඇත.


එබැවින්, චමල් අකලංකගේ මෙම ලියවිල්ලෙන් අප උගත යුතු අනෙක් පාඩම වන්නේ, කිසි දිනක මේ 'අඩු කුලයේ උන්ට' ඔළුව ඉස්සීමට ඉඩ නොදිය යුතු බවයි. ඒ සඳහා අප, මෙවැනි සටහන් යොදා ගනිමින් එළිපිටම මෙන්ම රහසේ උපක්‍රමශීලීවද දිගින් දිගටම ක්‍රියාත්මක විය යුතුව ඇත. මේ හිමිව ඇති ග්‍රමනය කෙසේවත් බුරුල් නොකළ යුතුව ඇත.


උසස් කුලයේ 'නෝනාවරුනි - මහත්වරුනි', එක්ව නොනැවතී ඉදිරියටම යමු.


No comments: