Wednesday 3 September 2014

සුරැකෙන හිමිකම කුමක්ද?

මානවයා යනු මම නොවේ අපිය.

මම ගැන පමණක් සිතන විට ඇති බොහෝ දේ අපි ගැන සිතන විට නැති බව පෙනේ. බොහෝ දේ ඇති අය ගැන සිතන විට, ඒ අය අපි අතර නැති බව සිතේ. බොහෝ දේ ඇති අයත්, බොහෝ දේ නැති අයත් මමත් සියල්ලෝම අපි වන්නේ කවදාදැයි සිතමින් සිටිද්දී, මෙලෙස අපට නොමැති දේ ගැන කියැවුන තැන් ගැන සොයා බලන්නට සිතුනි.
http://ozziesaffa.blogspot.com/2013/07/uk-calls-grow-to-boycott-toxic-human.html

මානව අයිතිවාසිකම් යනු ‘මිනිසාට තම සමාජ ජීවිතය යහපත් ආකාරයෙන් පවත්වාගෙන යෑමට අවශ්‍යවන කොන්දේසි’ ලෙස නිර්වචනය කළ හැකිය. බ්‍රිතාන්‍යය 1215 දී ප්‍රකාශයට පත් කළ ‘මහා අධිකාර පත්‍රය’ (Magna Carta) හා 1688 දී ප්‍රකාශයට පත් කළ ‘අයිතිවාසිකම් පනත’ (Bill of Rights) ද, 1776 දී සකස් කළ ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්වාධීනතා ප්‍රකාශය (Declaration of Independence of the USA) ද, 1789 දී ප්‍රශයේදී එළි දැක්වූ ‘මිනිසා සහ ප්‍රංශ පුරවැසියන්ගේ අයිතිවාසිකම් ප්‍රකාශය’ (Declaration of the rights of the man & the citizen in France) ද මානව අයිතිවාසිකම් මෑත ඉතිහාසයේ සැලකිල්ලට භාජනය කළ ලේඛන ලෙස සැලකිය හැකිය. පුරාතන අතීතයේ ලොව පහල වූ ගෞතම බුදුරජානන්වහන්සේ ප්‍රමුඛ ශාස්ත්‍රෑන්වහන්සේලා විසන් දේශනා කර ඇත්තේද මානව ආයිතිවාසිකම් සුරුකෙන සමාජයක ජීවත් වනනේ කෙස්ද යන වගයි.

1945 දී එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය (United Nations Charter) තුළින් මානව අයිතිවාසිකම් පිළිබඳව එකඟතාවයක් තිබිය යුතු තීරණය කරන ලදී. ඒ අනුව 1948 දෙසැම්බර් 19 වෙනිදා මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශය එළිදක්වන ලදී.


එම ප්‍රකාශයේ දැක්වෙන පරිදි මානව අයිතිවාසිකම් කිහිපයක් මෙසේය.

  1. සියලුම මිනිසුන් නිදහස්ව උපන්නාහ. ගරුත්වය හා අයිතිවාසකම් අතින් සමානය. සිහිබුද්ධියෙන් හා යුතු-අයුතුකම් විසඳීමේ හැකියාවෙන් යුක්තය. එහෙයින් එකිනෙකා කෙරෙහි සහෝදර හැඟීමෙන් ක්‍රියා කළ යුත්තෝ වෙති.
  2. ජාති, වර්ණ, ලිංඟ, භාෂා, ආගම්, දේශපාලන මත, අන් මතිමතාන්තර, සමාජික ප්‍රභවය, දේපොළ, උපත හෝ වෙනත් තරාතිරම් ආදී කිසිම හේතුවක් නිසා වෙනසක් හෝ භේදයක් නැතිව සෑම දෙනාටම, මෙම ප්‍රකාශනයේ කියවෙන සෑම අයිතිවාසිකමක්ම සමානව භුක්ති විඳීමේ අවස්ථාව හිමි වන්නේය.
  3. ප්‍රාණයට, නිදහස්ව හැසිරීමට හා පෞද්ගලික ආරක්‍ෂාවට හිමිකම් ඇත්තේය.
  4. වහල්භාවයට පත් නොවීමට හිමිකම් ඇත්තේය.
  5. වධයකට, කුරුරි අමානුෂික දඬුවමකට, හිරිහැරයකට, නින්දාවකට පත් නොවීමට හිමිකම් ඇත්තේය.
  6. නීතිය හමුවේ පුද්ගලයෙක් ලෙස සමානව සැලකුම් ලැබීමට හිමිකම් ඇත්තේය.
  7. නීතියේ රැකවරණය සමානව ලැබීමට හා වෙනස්කම්වලට භාජනය නොවීමට හිමිකම් ඇත්තේය.
  8. අයිතිවාසිකම් කඩවීම ගැන නිසි බලය ඇති අධිකරණයකින් යුක්තිය ඉටුකරවා ගැනීමට හිමිකම් ඇත්තේය.
  9. අත්තනොමතිකව අත්අඩංගුවට ගැනීමකට, රඳවා තබා ගැනීමකට හෝ පිටුවහල් කිරීමට ගොදුරු නොවීමට හිමිකම් ඇත්තේය.
  10. ස්වාධීන අධිකරණයකින් සාධාරන හා විවෘත නඩු තීන්දුවක් ලැබීමට හිමිකම් ඇත්තේය.
  11. නිර්දෝෂී බවට පූර්ව නිගමනය කරනු ලැබීමට හා අතීතයට බලපාන දණ්ඩන නීතිවලින් ආරක්‍ෂා වීමට හිමිකම් ඇත්තේය.
  12. පෞද්ගලිකත්වයට හිමිකම් ඇත්තේය.
  13. රටෙහි වාසයට, රට තුළ ගමනාගමනයට, රට හැර යාමට හා පෙරළා පැමිණීමට හිමිකම් ඇත්තේය.
  14. වධබන්ධනවලින් මිදීම පිණිස පිටරටක රැකවරණය සෙවීමට හිමිකම් ඇත්තේය.
  15. ජාතිකතවයට හා ජාතිකත්වය වෙනස් කිරීමට හිමිකම් ඇත්තේය.
  16. පූර්ණ වයසට පත් වූ විට සීමාවකින් තොරව විවාහයට ඇතුළත් වීමට, විවාහයට ඇතුළත් වීමේදී, පවත්වාගෙන යාමේදී හා අවසන් කිරීමේදී සමාන අයිතවාසිකම් ලැබීමට, එම පවුල, සමාජය හා රජය විසින් ආරක්‍ෂා කරනු ලැබීමට හිමිකම් ඇත්තේය.
  17. තනිව හෝ හවුලේ දේපොළ අයිතිකර ගැනීමට හා අත්තනෝමතිකව දේපොළ අහිමිකර නොගැනීමට හිමිකම් ඇත්තේය.
  18. නිදහසේ සිතීමට, ආගම ඇදහීමට, තනිව හෝ සාමූහිකව ආගම ඉගෙනීමට හා පුදසිරිත් පැවැත් වීමට, ආගම ප්‍රකාශ කිරීමට හිමිකම් ඇත්තේය.
  19. මතයක් දැරීමට හා එය ප්‍රකාශ කිරීමට, තොරතුරු හා අදහස් සෙවීමට, ලබා ගැනීමට, අනුන්ට දැන්වීමට හිමිකම් ඇත්තේය.
  20. සාමකාමීව එක්රැස් වීමට හා සමිති-සංවිධාන පැවැත්වීමට හිමිකම් ඇත්තේය.
  21. රාජ්‍ය පාලනයට සහභාගි වීමට, රාජ්‍ය සේවයේ යෙදීමට, පොදු ජන කැමැත්ත නිදහස් ඡන්ද විමසීම මගින් ප්‍රකාශ කරනු ලැබීමට හිමිකම් ඇත්තේය.
  22. සමාජ ආරක්‍ෂාව ලැබීමට, ආර්ථික අයිතාවාසිකම්, සමාජ අයිතිවාසිකම් හා සංස්කෘතික අයිතිවාසිකම් මුදුන්පත් කරවා ගැනීමට හිමිකම් ඇත්තේය.
  23. කැමති රැකියාවක් කිරීමට, ඊට සාධාරණ සමාන වැටුපක් ලැබීමට, වෘත්තීය සමිති පිහිටුවීමට හා වෘත්තීය සමිතිවලට බැඳීමට හිමිකම් ඇත්තේය.
  24. වැඩ කරන පැය ගණන ගැන සාධාරණ සීමාවක් ලැබීමට, වැටුප් සහිත කාලීන විරාමයන්/විවේකයන් ලැබීමට හිමිකම් ඇත්තේය.
  25. ආහාර, ඇඳුම්, නිවාස, වෛද්‍ය ආරක්‍ෂාව, සමාජ සේවාවන්ගෙන් ලැබෙන සමාජ ආරක්‍ෂණය ලැබීමට (විවාහජ හා අවිවාහජ සැමට) හිමිකම් ඇත්තේය.
  26. අනිවාර්ය ප්‍රාථමික අධ්‍යාපනය ලැබීමට, පාසල් අධ්‍යාපනය, කාර්මික හෝ වෘත්තීය අධ්‍යාපනය හා යෝග්‍යතාවය අනුව උසස් අධ්‍යාපනය ලැබීමට හිමිකම් ඇත්තේය.
  27. සංස්කෘතික ක්‍රියාවන්හි හා විද්‍යාත්මක ක්‍රියාවන්හි නිරත වීමට, ඒවායේ ඵල ප්‍රයෝජන ලැබීමට හා තම නිර්මාණවල ද්‍රව්‍යමය හා සදාචාරමය ප්‍රයෝජන ලැබීමට හිමිකම් ඇත්තේය.
  28. මානව අයිතිවාසිකම් ආරක්‍ෂා කරවා ගැනීමට හැකි ජාත්‍යන්තර සංවිධාන රටාවක ජීවත් වීමට හිමිකම් ඇත්තේය.
  29. අයිතිවාසිකම්වල සීමාවන් ඇතුළත සමාජයේ යුතුකම ඉටුකරවා ගැනීමට හිමිකම් ඇත්තේය.
  30. කිසියම් පුද්ගලයෙකු හෝ සමූහයක් හෝ රජයක් හෝ මෙම අයිතිවාසිකම් උල්ලංඝනය වන අයුරින් අර්ථ ගැන්වීමෙන් වලක්වා තබා ගැනීමට හිමිකම් ඇත්තේය.