Thursday 21 August 2014

පරිගණකයටත් ඉබෝලා වෛරසය - පියවරෙන් පියවර

පළමු ජවනිකාව෴

ඉබෝලා වේගෙයෙන් පැතිරෙ‍මින් පවතී. ඇත්තෙන්ම සිදුවන්නේ රෝගය පැතිරෙනවාට වැඩි වේගයෙන් භය පැතිරීමයි. රෝගය පිළිබඳව පැතිරෙන (දුර්)මතද බහුලය. එක් මතයක් ‘දුර්-මතයක්’ (Misconception) වෙද්දී ඊට ප්‍රතිවිරුද්ධ මත ‘හරි-මතය’ (Perception) වේ. ඉබෝලා අප්‍රිකානු වනාන්තර ආශ්‍රිත චිම්පන්සියන්, වඳුරන්, පළතුරු වවුලන් වැනි ක්‍ෂීරපායි සතුන් මගින් මානවයා වෙත ආ බව එක් මතයකි. අභ්‍යාවකාශයේ සරන ධූම කේතු, ධූලී වලා ආදියෙන් නිරන්තරයෙන් පොළොවට ඇද හැලෙනා විෂකාරක නිසා ඇති වූ බව තවත් මතයකි. ඇමෙරිකාව හෝ වෙනත් නම නොදන්නා එවැනි රටක සිදු කළ පර්යේෂණයක අතුරු ප්‍රතිපලයක් නිසා ඉබෝලා ලොවට දායාද වූ බව තවත් මතයකි. එවැනි රටක් හිතා-මතාම මෙය නිර්මාණය කොට දුප්පත් අප්‍රිකානු රටවලට බෙදා හැරි බව තවත් මතයකි. මින් නිවැරදි කුමක්දැයි නොදන්න නිසා දුර්-මත කුමක්දැයි පැහැදිලිවම කිව නොහැක. හේතුව කුමක් වුවත් මෙම රෝගයට නිසි ප්‍රතිකර්ම සොයා බැලීමේ පර්යේෂණ සිදු වන බව දුර්මතයක් වන්නේ, ඉහත සඳහන් කළ එක් කරුණක් සත්‍ය වුවහොත් පමණි. වඩාත් නිවැරදිව කියතොත්, ඉහත සඳහන් කළ එක්තරා මතයක් නිවැරදි නම්, ප්‍රතිකර්ම සොයා ගැනීම සඳහා පර්යේෂණ තවමත් සිදුකෙරෙනවා යන්න දුර්-මතයක්ම විය යුතුය. එනම්, ඇමෙරිකාව හෝ නම නොදන්නා වෙනත් රටක් (ආයතනයක්) විසින් හිතා-මතාම ඉබෝලා වෛරසය නිපදවූයේ නම් ඒ සමගම ප්‍රතිකර්මද නිපදවා තිබිය යුතුමය. ලයිබීරියාවේ සුව-සහන සේවයේ යෙදුනු, ඇමෙරිකානු ජාතික වෛද්‍ය කෙන්ට් බ්‍රැන්ට්ලි හා නැන්සි විට්‍රබෝල් පර්යේෂණාගාර මීයන් ද නැතහොත් ‘ඉ‍බෝලා ප්‍රතිකාර සේවාව’ සුභ මොහොතින් විවෘත කළ ආරාධිත අමුත්තන්ද යන වග තීරණය වන්නේ ‘නිවැරදි දුර්-මතය’ හඳුනා ගත් දාටය.

දෙවන ජවනිකාව෴

ඉබෝලා වේවා, ඒඩ්ස් වේවා, වෙනත් ඕනෑම රෝගයක් වේවා ඊට, අලුතින් ප්‍රතිකර්මයක් සොයා යාමේදී, පර්යේෂණාගාර මීයන්ට අමතරව ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වන ‘බිලි-බෝයිලා’ කිහිප දෙනෙකුද අවශ්‍යම වන්නේය. නිර්මාණ කරුවන්ගේ දක්‍ෂතාවය සේම බිලි-බෝයිලාගේ වාසනාව අනුව ඔවුන්ට සිදුවන හානිය අවම ‍වන්නට හැකි වුවද, සිදුවිය හැකි නරකම දෙය පවා සිදු වීමේ අවස්ථා එමටය. අප්‍රමාණ වූ ‘අනෙකුන්’ වෙනුවෙන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන මෙම උත්තම මිනිසුන්ට ‘බිලි-බෝයිලා’ ලෙස ඇමතීම පවා නොවටින්නේය. එසේම ඔවුන් කළ කැප කිරීම වෙනුවෙන් ඔවුන්ට නොදිය හැකි දෙයක් නොමැති තරම්ය. එහෙත් නොදිය යුතු දේද ඇත්තේය. වැඩිදුර පැහැදිලි කර ගැනීම පිණිස නිදසුනක් සලකා බලමු. පර්යේෂණාත්මක ප්‍රතිකර්මය ලබා දී පැය 24කට පසුව නිරාහාර ලේ සාම්පලයක් ලබා ගත යුතු අවස්ථාවක, කුස ගින්න හොඳින් දැන දැනත් ඔහුට ආහාර ලබා දීමට නොහැකිය. මෙම නිදසුන සරල හා විලක්ප මාර්ග වලින් නිශේධනය කළ හැකි එකක් වුවන්, මෙවැනි අවස්ථා තිබිය හැකි බවට එකඟ වීමට තරම් ප්‍රමාණවත් වනු ඇත.
පින්තූරය අන්තර්ජාලයෙන්. http://en.wikipedia.org/wiki/Laboratory_rat#mediaviewer/File:Cut_Rat.jpg

තෙවන ජවනිකාව෴

‘බිලි-බෝයිලා’ හමු වන්නේ ලොව ප්‍රබලම ව්‍යාපාර දෙකෙන් එකක් වන ‘‍‍ඔෟෂධ’ ව්‍යාපාරයේ දී පමණක්ම නොවේ. තවත් බොහෝ ව්‍යාපාරවල නොහොත් කර්මාන්තවල නව නිර්මාණ බිහි කිරිමේදී බිලි-බෝයි සහයෝගය අවශ්‍ය වේ. ‘නියමු ආයතන’ ලෙස වඩාත් සිත් ගන්නා ලෙස හඳුන්වන්නේ මෙම බිලි-බෝයිවරුන්ය. වඩාත් තේරුම් ගැනීමට නැවතත් නිදසුනක් සලකා බැලුවහොත්, පසුගිය දිනවල ලංකාවේ ‘ගෘහාශ්‍රිත සංචාරක’ කර්මාන්තය ක්‍රියාත්මක කිරීමේ සක්‍යතාවය පරීක්‍ෂා කිරීම සඳහා බිලි-බෝයිවරුන් කිහිප දෙනෙක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූහ. ඔවුන්ගේ ඉදිරිපත් වීම හා කැප කිරීම වෙනුවෙන් ඔවුන්ට යම් යම් ප්‍රතිලාභ හිමි වුවත් එම ව්‍යාපාරයේ සාර්ථකත්වය මෙම බිලි-බෝයිවරුන්ගේ වර්තමාණ තත්වයෙන් ම තේරුම් ගත හැකියි.

සිව්වන ජවනිකාව෴

තොරතුරු හා සන්නිවේද තාක්‍ෂණ කර්මාන්තයේ ද මෙම නියමු වැඩසටහන් එමට දක්නට ඇත. කිසියම් කාර්යයක් සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය යොදා ගැනීම පිණිස පරිගණක වැඩසටහන් නිර්මාණය කිරීමේදී එම පද්ධතියේ ක්‍රියාකාරිත්වය සැබෑ තත්ත්ව යටතේ පරීක්‍ෂා කර බැලීම සඳහා යොදා ගන්නේ නියමු ආයතනය. නුහුරු-නුපුරදු දෙයක් භාවිතා කිරීමේ අපහසුතාවයට අමතරව නව පද්ධතිය අසාර්ථක වීම හේතුවෙන් ‘අල්ලපු අත්ත හා පය ගහපු අත්ත’ යන දෙකම නැතුව යාමේ අවදානමට පවා මුහුණ දීමට මෙම නියමු ආයතන වලට සිදු වේ. එබැවින් ඔවුන් පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් සිටිමින් උපරිම සාධාරණයක් ඉටු කිරීම, අදාල ව්‍යාපෘතියේ අයිති කරුවන්ගේ වගකීම හා යුතුකම වන්නේ.

පස්වන ජවනිකාව෴


ඉහත ජවනිකා සියල්ල එකට ගෙන සලකා බැලීමේදී පෙනී යන්නේ හෝ අවාසනාවට පෙනී නොගියත් තේරුම් ගත යුත්තේ, බිලි-බෝයිලා කෙතරම් අහිංසක වුවත්, එසේම ඔවුන්ට උපරිමයෙන් සැලකිය යුතු වුවත් ප්‍රමුඛ පරමාර්ථය වූ ව්‍යාපෘතියේ අවසාන ප්‍රතිඵලයට අහිතකර ලෙස බලපානු ලබන අවස්ථාවන් නම් කෙසේවත් ලබා නොදිය යුතු බවයි. එසේ වුවහොත් අවාසනාවන්ත වන්නේ බිලි-බෝයි නොව අදාල ව්‍යාපෘතියේ අයිතිකරුය.