Friday 10 May 2013

‍මෛත්‍රී භාව නාව

කොටින්ම කියනවානම්..... 'මෛත්‍රිය' යන්නෙහි විරුද්ධාර්ථය 'වෛරය' වන්නේය. වෛරයට බොහෝ බහුශ්‍රැත අර්ථනිරූපන තිබියදීත්, 'අන් අයෙකු විෂයෙහි තම සිත තුළ ඇතිවන නොපහන් හැඟීමක්' ලෙස සරලවම වෛරය අර්ථ දක්වන්නට කැමැත්තෙමි. ඒ එසේනම් 'මෛත්‍රිය' වන්නේ 'අන් අයෙකු විෂයෙහි ඇතිවන්නාවූ පහන් හැඟීමක්' ලෙස නිර්වචනය කළ හැකිය. සම්මත 'මෛත්‍රී භාව නාව' මෙසේය. "...මම නිරෝගි වෙම්වා, මම සුවපත් වෙම්වා, නිවන් දකිම්වා. මා මෙන්ම, සියළු සත්වයෝම නිරෝගි වෙත්වා, සුවපත් වෙත්වා, නිවන් දකිත්වා. ..." 'මම නිරෝගි වෙම්වා, මම සුවපත් වෙම්වා, නිවන් දකිම්වා.' (මම නිරෝගී වෙන්න නම්, සුවපත් වෙන්න නම් රෝගී වී සිටිය යුතු වන්නේය.) මේ අනුන් කෙරේ තබා තමන් කෙරේවත් පහන් හැඟීමක් නම් නොවේ. විය යුත්තේ 'මා නිරෝගීය. මා සුවපත්ය යනුවෙන් සිතීමය. එසේ අධිෂ්ඨාන කිරීමය. 'මම නිවන් දකින්නෙමි' යි අදිටන් කර ගැනීමය. එය තමන් කෙරෙහිම ඇති වන්නා වූ පහන් හැඟීමක් වන්නේය. මොහොතක් සිතන්න. තම සිතේ නොපහන් සිතුවිල්ලක් ඇති වී තිබෙන්නේ තමා හොඳින් දන්නා හඳුනන කවුරුන් හෝ විෂයෙහිද? (කිසිවෙකුම කෙරෙහි කිසිම නොපහන් සිතුවිල්ලක් ඇති වී නොමැතිනම් යෙහෙකිය.) තම සිතෙහි කවරෙකු ‍විෂයෙහි හෝ නොපහන් හැ‍ඟීමක් ඇති වී ඇත්නම් පළමුවම කළ යුත්තේ ඒ සිතුවිල්ලෙන් මිදීමය. 'හේ මා කෙරෙහි කෙසේ කටයුතු කළද මගේ සිතේ කිසිදු වෛරයක් නොමැත.' හැකිනම් පහන් සිතුවිල්ලක් ඇති කර ගන්න. 'ඔහුට යහපතක්ම වේව..!' මෙසේ තමා දන්නා සියළුම නොපහන් සිතුවිලි වලින් මිදෙන්න. ඒ අවසන් වී 'සියළු සත්වයන්' ගැන සිතන්න. 'සියළු සත්වයෝම නිරෝගි වෙත්වා, සුවපත් වෙත්වා, නිවන් දකිත්වා.' තම සිතේ නොපහන් සිතුවිල්ලක් ඇති වී තිබෙන්නේ සියළු සත්වයන් විෂයෙහිද? එසේනම් සියළුම සත්වයන් කෙරෙහි පහන් සිතුවිලි ඇති කරගත හැකිය. ඒ සඳහා පළමුවම කළ යුත්තේ නොපහන් සිතුවිල්ලෙන් මිදීමය. 'සියළු සත්වයෝ මා කෙරෙහි කෙසේ කටයුතු කළද මගේ සිතේ කිසිදු වෛරයක් නොමැත.' දැන් පහන් සිතුවිල්ලක් ඇති කර ගන්න. 'සියළු සත්වයන්ට යහපතක්ම වේවා..! නිරෝගි වේවා. සුවපත් වේවා. නිවන් දකිත්වා...!' නිවැරදි මෛත්‍රී භාවනාව එයයි. කොටින්ම කියනවානම්.... මෛත්‍රී භාවනාවේ ප්‍රථිඵලය අනුන්ට නොව තමන්ටමය. අද සිටම දවසකට එක් අයෙකුවත් තෝරාගෙන - සිටීනම් තමන් කෙරෙහි කිසියම් නොපනත්කමක් කළ අයෙක්නම් වඩාත් අගනේය; 'හේ මා කෙරෙහි කෙසේ කටයුතු කළද මගේ සිතේ කිසිදු වෛරයක් නොමැත.' යනුවෙන් සිතන්න. සමස්ථ ප්‍රථිඵලයම ඔබටය. ඔහුට ඇත්තේ ඔබෙන් සිදුවිය හැකි අවැඩක් නොසිදු වීමේ වාසිය පමණයි. (නොඑසේනම් සියළු සත්වයෝ සුවපත් වී බොහෝ කල්ය.)