Wednesday 27 June 2012

දොම්පෙට යන පාර

.... පොඩිහාමිනේ අවුරුදු නිවාඩුවට ගෙදර ආවේ වෙසක් පෝයට පෙර නැවත සේවයට පැමිණෙන පොරොන්දුව පිටය. කෙසේ කීවත් නිවාඩුවට ගෙදර ගිය පොඩිහාමිනේ කියප දිනයට ආපසු පැමිණි අවස්ථාවක් නැති තරම්ය. එහෙත් මෙවර වෙසක් පොහොය දිනට පසු දිනම පොඩිහාමිනේ ආපසු කැඳවාගෙන එන්නට සේදවත්තේ ගේබ්‍රියෙල්; අලුතෙන් ආ රියදුරු ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වූයේ ඇයිදැයි ස්වාමි දුවටනම් අරුමයක් නොවීය. ඒ බව වටහා ගත්තත් නොගත්තත් මහත්තයා වැඩේට එක පයින් අනුමැතිය දුන්නේ ආයා නැති ගෙදර පාළුව දරා ගන්නට බැරි නිසාමය. උදේ පාන්දරම ගල්කිස්සෙන් පිටත් වූ ගේබ්‍රියෙල් මද්දහන් වෙද්දී දෙල්ගොඩ ප්‍රදේශයට සේන්දු වුණත් පොඩිහාමිනේ ගෙදරට යන පාර සොයා ගැනීමට නොහැකි විය. අන්තිමේ පොඩිහාමිනේගේ නිවස පිහිටි දොම්පෙට යන පාර අසන්නට ගිය ගේබ්‍රියෙල්ට සිදු වී දෙය මේ වන විටනම් ලංකාවේ කිසි කෙනෙකුට රහසක් නොවේ. 1900 පමණ කාලයේ දී පවා කොළඹ ජීවත් වූ ඉංග්‍රීසි ප්‍රභූ පැළැන්තියට අවශ්‍ය සේවා සැපයීමට හැකියාව ඇති පිරිස් ජීවත් වූ ප්‍රදේශයක් ලෙසට දොම්පෙ ප්‍රසිද්ධය. දොම්පෙ ආයලා, දොම්පෙ ඇලකට, දොම්පෙට යන පාර ආදී ලෙස දොම්පෙ සිංහල ජන සාහිත්‍යයට එක් වන්නේ ලංකාවේ තවත් අද්විතීය ප්‍රදේශයක් ලෙසය. මේ ජන සාහිත්‍ය අංගයන් තමන්ගේ අත්දැකීම් හා දැනුවත්කම්වලට සාපේක්‍ෂව විවිධ අන්දමින් නිර්වචනය කරගන්නා අවස්ථා සුලබ වේ. .......

Monday 25 June 2012

උගත් පාඩම් .....

පසුගිය සටහන අවසන් කළේ පොරොන්දුවක් සමගය. අපි බහුතරයක් පොරොන්දු විශ්වාස කරන නිසාත්, බොහෝ දෙනෙක් සටහනේ ඇති දෙයට වඩා අවසානයේ වූ පොරොන්දුව ගැන සැලකිලිමත් වූ බව ලැබුණු දුරකතන ඇමතුම් ප්‍රමාණයෙන්ම පැහැදිලි වුණු නිසාත්, මගේ මතය මමම ප්‍රකාශ කළ යුතු නිසාත් නැවතත් ලියමින් ........

'අපෙන් එකෙක්වත් නොදෙමු' වැඩසටහනේ දී ඩෙංගු රෝගය හඳුනා ගන්නා ආකාරය පිළිබඳව හා රෝගය වැළඳුනු විට කළ යුතු දෑ පිළිබඳව දැනුවත් කිරීම සඳහා දොම්පෙ රෝගලේ වෛද්‍යවරියක් සහභාගි වූවාය. එහිදී ඇගෙන් කියවුණු එක් දෙයක් පිළිබඳව මාගේ දැඩි අවධානය යොමු වුණා. 'යම් රෝගියෙකුට වැළඳී ඇත්තේ ඩෙංගු යැයි අප තුල කුඩා හෝ සැකයක් ඇති වුවහොත් අපි ඒ රෝගියා ගම්පහ මහරෝහල වෙත මාරු කරනවා.'

මෙලෙස සීග්‍රයෙන්, වසංගතයක් සේ භයානක රෝගයක් පැතිරෙද්දී, එවැනි රෝගියෙකුගේ ජීවිතය බේරා ගැනීම සඳහා ප්‍රදේශයේ දිස්ත්‍රික් රෝහලට අවශ්‍ය පහසුකම් නොමැතිද? එසේනම් දොම්පෙ රෝහල දිස්ත්‍රික් රෝහලක් වීමෙන් ඇති ඵලය කුමක්ද? මේ සඳහා ප්‍රදේශයේ ජනතාව ලෙස අපට කළ හැක්කේ කුමක්ද? මේ සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා නැවත වරක් මා අපගේ කණ්ඩායම කැඳවා ගත්තා. බොහෝ දෙනාගේ අදහස වූයේ යමක් කළ හැකි නම් හොඳ බවයි. ඒ අනුව දොම්පෙ දිස්ත්‍රික් රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී (DMO) අපේ විහාරස්ථානය වෙත කැඳවා ගත්තා. එතුමා සමග කළ කතාබහේදී, ඩෙංගු වැනි මාරාන්තික රෝගයකදී කළයුතු අවම ප්‍රතිකාර ප්‍රමාණයවත් සිදු කිරීමේ මට්ටමට දිස්ත්‍රික් රෝහලක් පත්කිරීම 'පවතින තත්ව යටතේ' ඉතා අපහසු කාර්යයක් බව සහභාගි වූ සෑම දෙනාගේම මතය වුණා. රටේ ආර්ථික තත්වයටත් වඩා සෞඛ්‍ය ක්‍ෂේත්‍රයත් සමග සම්බන්ධිත විවිධ සේවාවන්ගේ බල අධිකාරිත්වය හා අපේ සෞඛ්‍ය ප්‍රතිපත්තියත්, ප්‍රදේශයේ දේශපාලන අධිකාරියේ ආකල්පත් එයට තදින් බලපානු ලබන බව පැහැදිලි වුණා.

එහෙත් දොම්පෙ රෝහල දැනට පවතින මට්ටමට වඩා දියුණු තත්වයකට පත් කිරීමට අපටද යමක් කළ හැකි බව මාගේ අදහස වූ අතර, එය මගේ පාසල් සමයේ මිතුරෙකු වූ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීතුමගේ ද අදහස වුණා.

මේ ප්‍රවේශයත් සමග 'අපෙන් යමක් රෝහලට' යන තේමාව යටතේ කටයුතු කිරීමට මාගේ තවත් පාසල් සමයේ මිතුරෙකුවන ධනංජය රාජපක්‍ෂ සමග දොම්පෙ රෝහලට ගියා. අවස්ථා කිහිපයකදීම රෝහලේ කළමණාකාරිත්වය සමග අප සාකච්ඡා කළා. එහිදී ඇති කරගත් එකඟතාවයට අනුව රෝහල පිළිබඳව පූර්ණ අධ්‍යනයක් සිදු කිරීමට තීරණය වුණා. මුළු සතියක් පුරා සිදු කළ ඒ අධ්‍යයනය, මගේ සිතුවිලි වෙනස්ම අන්තයකට ගෙන යාමට සමත් වුණා. අවසානයේ මට ඇති වූ හැඟීම නම් 'ඇයි මෙච්චර කාලයක් මම මෙම රෝහලට නොපැමිණියේ' යන පසුතැවීමයි. ගෙවී ගිය කාලය නැවත ලබා ගැනීමට නොහැකි නිසා දැන් කළ යුත්තේ කුමක්දැයි සිතන්නට අපට සිදු වුණා.

'තුවාල වාට්ටු' ලෙස ප්‍රසිද්ධ, ශෛල්‍ය වාට්ටු රෝගීන්ගෙන් පිරී යද්දී, ප්‍රසව වාට්ටුවේ ඇඳන් සියල්ලම හිස්ව පැවතුණා. ළමා වාට්ටුවද රෝගී වූ දරුවන්ගෙන් පිරී තිබුණා. වෛද්‍ය (Medical)වාට්ටු වැඩි තදබදයක් නැති ස්ථානයක් වුණා. මෙම වාට්ටුවල සිටි රෝගීන් බහුතරයක් අඩු ආදායම් ලාභීන් වූ අතර වයෝවෘධ අය බහුලව සිටියා. පූර්ව ප්‍රසව සායන (Antenatal Clinic), සුවදරු සායනය (WBC- Well Baby Clinic), සුවනාරී සායනය (WWC - Well Women Clinic), මනෝ වෛද්‍ය සායනය (Psychiatry Clinic), දන්ත සායනය (Dental Clinic), වෛද්‍ය සායනය (Medical Clinic) සහ පවුලේ වෛද්‍ය සායනය (FMC - Family Medical Clinic) යනුවෙන් සායන 7ක් ක්‍රියාත්මක වෙනවා. පවුලේ වෛද්‍ය සායනය හැර අනෙක් සෑම සායනයකම විශාල තදබදයක් තිබුණා. බොහෝ සායන සඳහා හිමිදිරි පාන්දර ගෙදරින් පිටවී ආ රෝගීන් වූවා. දවසේ වරු දෙකක ක්‍රියාත්මකවන බාහිර රෝගී අංශයක් (OPD) වන අතර, උදේ වරුවේ දී විශාල තදබදයක් දක්නට ලැබුනා. මීට අමතරව හදිසි ප්‍රතිකාර ඒකකයක් (ETU - Emergency Treatment Unit)තිබෙන අතර හදිසි තත්ව යටතේ පැමිණෙන රෝගීන් කෙරෙහි ක්‍ෂණිකව අවදානය යොමු කර අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමේ කාර්යය ප්‍රශස්ථ මට්ටමක පැවතුනා. එසේ වූවද, රෝහල් සේවාව පිළිබඳව ප්‍රදේශවාසීන් තුල පැහැදීමක් නොමැති බව හඳුනා ගන්නට ලැබුණා. බොහෝ කාලයක සිට පවත්වාගෙන ආ සමහර ක්‍රියාකාරකම් ජනතාව දැඩි අපහසුතාවයට පත් කරන බව හඳුනා ගත්තා. උදාහරණයක් ලෙස, භාහිර රෝගී අංශයේ විවිධ කොටස් ස්ථාපනය කොට තිබූ ආකාරය රෝගලට පැමිණෙන සෑම දෙනාම දැඩි අපහසුතාවයට පත් කළා. එක් පටු ස්ථානයකින් විවිධ කාර්යයයන් සඳහා නිතර ගමන් කිරීමට සිදු වූ නිසා එම ප්‍රදේශය තුළ දැඩි තදබදයක් ඇති වී තිබුණා. මෙම අධ්‍යනයේදී හඳුනා ගත් පරිදි රෝහලේ ක්‍රියාකාරකම්, ඍජුව රෝගීන්ට සම්බන්ධ වන ක්‍රියාවලි හා පරිපාලන ක්‍රියාවලි යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්විය හැකියි. ඉන් ඍජුව රෝගීන්ට සම්බන්ධ වන ක්‍රියාවලි හයක් හඳුනා ගත හැකි වුණා. 1. රෝගීන් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය 2. හදිසි රෝගීන් සම්බන්ධව කටයුතු කිරීමේ ක්‍රියාවලිය 3. භාහිර රෝගීන් සම්බන්ධව කටයුතු කිරීමේ ක්‍රියාවලිය 4. නේවාසික රෝගීන් සම්බන්ධව කටයුතු කිරීමේ ක්‍රියාවලිය 5. ලේඛනගත රෝගීන් සම්බන්ධව කටයුතු කිරීමේ ක්‍රියාවලිය 6. ඖෂධ නිකුත් කිරීම සම්බන්ධව කටයුතු කිරීමේ ක්‍රියාවලිය මෙම අධ්‍යනය අවසන් කළ දිනවල පැවති 'ජාතික ඵලදායිතා දිනයේදී' සමස්ත රෝහල් කාර්මණ්ඩලයට රෝහලේ ඵලදායීතාවය පිළිබඳව දේශනයක් පැවැත්වීමේ අවස්ථාව මට හිමි වීම අපගේ කාර්යය සාර්ථක කර ගැනීමට මහඟු අනුබලයක් වුණා. එම අවස්ථාව දේශණ ස්වරූපයෙන් මිදී සැමගේ පූර්ණ සහභාගිත්වය සහිත සාකච්ඡාවක් පැවැත්වීමේ අවස්ථාව උදාකර ගැනීමට මට හැකි වූණා. රෝහලට පැමිණෙන රෝගීන්ගේ හා රෝගීන්ගේ සම්බන්ධිත අයගේ තෘප්තිමත්භාවය රෝහලේ මුඛ්‍ය පරමාර්ථය බවට මෙම සාකච්ඡාවෙදී රෝහල් කාර්ය මණ්ඩලයට ඒත්තු ගැන්වී තිබුණා. මෙම තත්ත්වය උදාකරගැනීම සඳහා කැපවීමෙන් කටයුතු කරන්නට රෝහලේ ප්‍රධානියාගේ සිට සෑම සේවකයෙක්ම පාහේ එකඟතාවය ප්‍රකාශ කළා. වෙනස් වීමේ අකමැත්ත නැමති රෝගයෙන් පෙළෙන කිහිප දෙනෙක් එවැනි වෙනස් කමක් කරන්නේ කෙසේදැයි විමතිය ඵල කළත් අති බහුතරයකගේ දැඩි කැමැත්ත හා ක්‍රියාකාරී ඉදිරිපත් වීම 'දැනෙන' යමක් කිරීමට මා තුළ දැඩි පෙළඹවීමක් ඇති කළා. ඒ අනුව ගත් ක්‍රියාමාර්ග තවත් වරක ලියන්නට බලාපොරොත්තුවෙන් ......