Tuesday 20 March 2012

අපෙන් එකෙක්වත් නොදෙමු!

‘ඩෙංගු නැවතත් හිස ඔසවයි’  සියලුම මාධ්‍ය හරහා රට පුරා විශාල ප්‍රචාරයක් දෙන යුගයයි. ඩෙංගු නිසා මරුවාට ගොදුරු වූ සංඛ්‍යාව දවසින් දවස එකතු කරමියන් ඉදිරියට ගෙන එයි. තම පරිශ්‍රයේ ඩෙංගු මදුරුවන්ට විසීමට අවස්ථාව ලබා දීම නිසා නීතියට ගොදුරු වූ සංඛ්‍යාවද දවසින් දවස ඉහල යයි. වෛද්‍යවරුන්, විදුහල්පතිවරුන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන්, ජනප්‍රිය පුද්ගලයින් ආදී වශයෙන් සමාජයේ විවිධ ආකාරයේ පුද්ගලයින් මරුවාට හෝ නීතියට ගොදුරු වෙමින් පවතී.
මේ ව්‍යසනයට අපත් ගොදුරු විය යුතුද? මේ සඳහා කළ යුත්තේ කුමක්ද? අනතුරු දෙකකි. එකක් ඩෙංගු බෝ වීමේ අවදානම. අනෙක මදුරුවන් බෝවන ස්ථාන තමන් භාරයේ පැවතීම. මේ අවදානම් දෙකෙන් මිදිය හැක්කේ කෙසේද? ඩෙංගු මදුරුවන් හෝ වෙනත් මදුරුවන්  හෝ ජීවත් වන ස්ථාන නැති කිරීම කළ නොහැකි දෙයක් වුවත් මදුරුවන් බෝවන ස්ථාන නැති කිරීම කළ හැකි දෙයක් බව අවබෝධ විය. එම අභියෝගය ජය ගත හොත් අවදානම් දෙකෙන්ම අත්මිදිය හැකිය.
කවුරුත් එකාවන්ව කටයුතු කළොත් ළඟා විය නොහැකි ඉලක්කයක් නොවේ. තවමත් අපේ ගමේ බහුතරය ඒකරාශී කළ හැකි එකම ස්ථානය පන්සල බැවින්, පන්සලේ නායක හාමුදුරුවෝ මුණ ගැසී කථා කළෙමි. මේ සාකච්ඡාව සඳහා ගමේ ක්‍රියාකාරී තරුණයින් කිහිප දෙනෙකු සහභාගි කර ගැනීමට හැකිවීම හොඳ ආරම්භයක් විය. නායක හාමුදුරුවෝද අවශ්‍යතාව මැනවින් වටහා ගත් අතර අවශ්‍ය සෑම තැනකදීම නායකත්වය දැරීමට කැමැත්ත ප්‍රකාශ කළ සේක.
පළමු සාකච්ඡාවේ වූ සාර්ථකත්වය නිසාම ඇති වූ ගැම්මත් සමගින් දෙවන සාකච්ඡාව සඳහා බහුතරයකට ආරාධනා කළෙමු. පොලිස් ස්ථානාධිපති, දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී, විදුහල්පතිවරුන් දෙදෙනා, මහජන සෞඛ්‍ය පරීක්‍ෂක, ග්‍රාම නිලධාරීන් දෙදෙනා, කෘෂිකර්ම පර්යේෂණ හා නිශ්පාදන සහකාරවරුන් දෙදෙනා, සමෘද්ධි නියමකවරුන් දෙදෙනා, ඇතුළු ප්‍රදේශයට ඍජුවම සම්බන්ධ වන රාජ්‍ය නිලධාරීන් සියලුම දෙනාට ආරාධනා කළෙමු. එසේම ඒ සෑම නිලධාරියේකුගේම ඉහල නිලධාරියාටද, තම නිලධාරියා සහභාගි කරවන ලෙස ඉල්ලා ලිපි යොමු කළෙමු.
අති සාර්ථක සහභාගිත්වයකින් යුතුව අවසන් වූ දෙවන සාකච්ඡාවෙන් පසුව ප්‍රදේශයේ ජනාකීර්ණ ස්ථාන දෙකක ‘අපෙන් එකෙක්වත් නොදෙමු’ යනුවෙන් බැනර් දෙකක් ප්‍රදර්ශනය වන්නට විය. ‘අපෙන් එකෙක්වත් නොදෙමු, අගෝස්තු 7වන සෙනසුරාදා උදේ 9ට හා හවස 3ට විහාරස්ථානයේදී.’ මේ පිළිබඳව ගමේ සියලුම දෙනා දැනුවත් කිරීම සඳහා වහ-වහා ලිපි සකස් කළෙමු. ග්‍රාම නිලධාරී වසම් දෙක සඳහා උදේ හා සවස ලෙස අවස්ථා දෙකකදී! මෙම අවස්ථාව සඳහා සෑම නිවසකින්ම එක් අයෙක්වත් සහභාගි විය යුතු අතර, කිසිවෙක් හෝ සහභාගි නොවන නිවෙස් පසු දින සිට දැඩි පරීක්‍ෂාවට භාජනය කරන අතර උපරිම ලෙස නීතිමය කටයුතු කරන බව දන්වා යවන ලිපියකට පුද්ගලිකවම අත්සන් තැබීමට පොලිස් ස්ථානාධිපති නිර්භය විය. ප්‍රදේශයේ මුළු නිවාස සංඛ්‍යව 827ක් වූ අතර, සෑම නිවසක් වෙතම ගොස් ලිපිය භාර දීමට තරුණ පිරිස හා ත්‍රීරෝද රථ හිතවත්හු කටයුතු කළහ.  
7දා උදෑසන පටන් විහාරස්ථානය කරා පිරිස් ඇදී එන්නට වූ අතර හදිසියේ ඇති වූ දැඩි වර්ෂාව නිසා එළිමහනේ පැවැත්වීමට සූදානම් කොට තිබූ වැඩසටහන ධර්ම ශාලාව තුලට ගෙන යාමට සිදු විය. පැමිණි සියලු දෙනා ලියාපදිංචි කළ අතර, නොපැමිණීම සියයට පහක් පමණක් විය. ඉතා හොඳින් සැලසුම් කළ පැය දෙකක වැඩසටහනක් තුළදී, අපට ඇති අවදානම් දෙක පිළිබඳවත් ඒ එකකටවත් අපේ එකෙක්වත් ගොදුරු වීමට ඉඩ නොතබා කටයුතු කළ යුතු අන්දම පිළිබඳවත් ජනතාව දැනුවත් කිරීම සඳහා, දිස්ත්‍රික් රෝහලේ වෛද්‍යවරිය හා පිරිසත්, පොලිස් ස්ථානාධිපතිවරයාත්, මහජන සෞඛ්‍ය පරීක‍්‍ෂකවරයාත් ප්‍රශංසනීය දායකත්වයක් ලබා දුන්නේය.
උදේ හා සවස සැසිවාර දෙක අවසන් වන විට මුළු ප්‍රදේශයම ඉදිරි සතිය තුළ තමන් ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව හොඳින් දැනුවත් වී ඇති සෙයක් ඔවුන්ගේ නොයෙකුත් ඉල්ලීම් වලින් හා ප්‍රශ්න කිරීම් වලින් පැහැදිලි විය. තම නිවෙස්වල හා ඉඩම්වල ඇති සියලුම අබලි ද්‍රව්‍ය හා කුණු කසල එකතු කර දිරා යන හා නොදිරන යනුවෙන් වෙන් කොට තැබීමටත්, ඉඩම්වල ඇති සියලුම ළඳු කැලෑ එලිපෙහෙලි කොට ඒවා දැමීමට තැනක් නොමැතිනම් ඒවාද ගෙන යාමට හැකි ආකාරයට සූදානම් කොට තැබීමටත් කවුරුත් එකාවන්ව එකඟ වූහ.
ඉනික්බිතව එළඹුන ඉරිදා-15දා ප්‍රදේශයේ ඉසුලුවේ කඩි ගුලක ස්වරූපයකි. පෙර දිනයේ රාත්‍රියේ ප්‍රදේශය පුරා සැරිසැරූ ප්‍රචාරක රථයක් කාට කාටත් තම යුතුකම් හා වගකීම් නැවතත් මතක් කර දුන්නේය. ඉරිදා උදේ පටන්, ප්‍රාදේශීය සභාවෙන් සපයා දී තිබූ ටැක්ටර් හා සේවකයින් ගම පුරා සැරි සරමින් නිවාස ඉදිරිපිට ගොඩ ගසා තිබූ කුණු රොඩු, අබලි ද්‍රව්‍ය හා කැලි කසල එකතු කිරීමේ යෙදුනි. මුළු ප්‍රමාණය ටැක්ටර් ලෝඩ් 15 ඉක්මවා යාම ප්‍රදේශය පැවති තත්වය තේරුම් ගැනීමට හොඳ නිදර්ශකයක් විය. හිමිකරුවන් ප්‍රදේශයේ නොමැති ඉඩම් ශුද්ධ කිරීම සඳහා ජාතික සහායක බලකායේ සෙබලුන්ගේ දායකත්වය ලබා ගැනීමට කටයුතු කළෙමු.
එදින සවස්වන විට අවසන් කළේ එක් උත්සාහයක් පමණක් වූ නමුදු වසරකුත් මාස 7ක් ගෙවී අවසන් වන මේ මොහොත දක්වාම අපෙන් එකෙක්වත් ඩෙංගු මාරයාට හෝ නීතිය හමුවට ගෙන යාමට අපේ ගමේ කවුරුවත් ඉඩ නොදුන්හ.

මේ සටහන නැවත තබන්නට සිත් වූයේ අද උදෑසන දොම්පෙ රෝහලේදී ඇති වූ තවත් සාකච්ඡාවක් නිසායි. ඒ සම්බන්ධව තවත් සටහනක් තබන්නම්!

Tuesday 13 March 2012

හොඳම දේ කාටද?

ඇගේ වයස අවුරුදු 72යි. අක්‍ෂි ස්නායුවක හට ගත් ආබාධයක් සඳහා කළ යුතු එකම ප්‍රතිකර්මය ශල්‍යකර්මයක් බව වෛද්‍යවරුන් තීරණය කරනවා. ඇයට දරුවෝ 5 දෙනයි. සැත්කමට සියල්ල සූදානම්, ඒත් ඇය හැර!

කෝ මගේ දරුවෝ...?
ලොකු අක්කා කෝ පුතේ? පුතාව පන්ති එක්ක ගිහින් අම්මේ. අම්ම බලන්න එන්නම් කිව්වා.
ලොකු මල්ලි..? අම්මෙ එයා වැඩට ගිහින්, ඕෆ් වුන ගමන් එන්නම් කිව්ව. මට එන්න කිව්ව. ලේලි කිව්ව.
එතකොට චූටි මල්ලි..? බබාල ගන්න ගිහින් ඉස්කෝලෙට.
එතකොට නංගි කෝ මගේ දුවේ..? පොඩි අය කුස-බපා බලන්න එක්ක යනවා කිව්ව අම්මෙ, අම්ම කලබල නැතුව ඉන්නකො ඒ ගොල්ලො පුළු පුළුවන් වෙලාවට එයි.

ඔවු දුවේ ඒ ගොල්ලෝ එයි. මගේ මෝඩ කමට මම මග බලාගෙන හිටියට ඒ අයටත් ළමයි ඉන්නවනෙ මගෙ පුතේ.

අද අපි සියල්ල කරන්නේ දරුවන් වෙනුවෙන්ය. හොඳම දේ දරුවන්ටය. නෑ සියල්ලම දරුවන්ටය. පළමුවම අමතක වන්නේ තමාය. තමා අමතක කර සියල්ල දරුවන්ට දෙයි. ඊළඟට තමාගේ සහකරුවා හෝ සහකාරිය අමතක කර සියල්ල දරුවන්ට දෙයි. තමා සමග එක බඩවැල කඩාගෙන ආ සහෝදර සහෝදරයින් අමතක කර සියල්ල දරුවන්ට දෙයි. තමන් මොළොවට ජාතක කළ, හදා වඩා ගත් අම්ම තාත්තා අමතක කර සියල්ල දරුවන්ට දෙයි. එක සෙල්ලම් ගෙයි වැලිබත් ඉව් යහලු යෙහෙලියන් අමතක කර සියල්ල දරුවන්ට දෙයි. ගුරුවර වැඩිහිටයන් අමතක කර සියල්ල දරුවන්ට දෙයි. හෙට දිනය බාර ගැනීමට සිටින ළමා පරපුර අමතක කර සියල්ල දරුවන්ට දෙයි. සියල්ල තම දරුවන්ටය.

සියල්ල දී හදා වඩා ගත් දරුවන්ද, සියල්ල දරුවන්ට දීම සඳහා ගොස්ය. ඇයට සිදු වූයේද එයමය.

Thursday 8 March 2012

දහම් පාසලක් කුමකටද?

එක්තරා දිනක බැහර ප්‍රදේශයක දහම් පාසලක 'ශිෂ්‍ය නායක පදක්කම් පැළඳවීමේ නිල උත්සවය'කට සහාගි වීමට සිදු විය. දැනුම් දී තිබූ පරිදි නියමිත වේලාවට 'දහම් පාසල' වෙත පැමිනෙද්දීම 'තව විනාඩි 30න් පමණ' උත්සවය ආරම්භ කරන බව ශබ්ද විකාශන යන්ත්‍රය හරහා ප්‍රසිද්ද කරන ලදී. 'නියමිත වේලාව' ළඟා වන තුරු පන්සලේ නායක හාමුදුරුවන් මුණ ගැසීමට ගියෙමි. "නායක හාමුදුරුවනේ, දහම් පාසලක ශිෂ්‍ය නායකයෝ මොකද්ද කරන්න ඕනෙ." "මහත්තයෝ, මටත් ඕක ප්‍රශ්නයක්; අපි කරන කාලෙ පන්ති නායකයෙක් පත් කර ගත්ත, සම්බන්ධීකරන වැඩ වගේ දේවල් වලට. නැතුව ශිෂ්‍ය නායකයෝ කියල ජාතියක් හිටියේ නෑ." උත්සවය ආරම්භ වීමට සූදානම් බැවින් නායක හාමුදුරුවෝ සමග එම ස්ථානයට ගියෙමි. 'දහම් පාසලේ විනය භාර නියෝජ්‍ය ප්‍රධානාචාර්යතුමා' සභාව මෙහෙයවමින් 'දහම් පාසල් ශිෂ්‍ය-ශිෂ්‍යාවන්' 'එක විදිහකට' තබා ගැනීමට සෑහෙන වෙසෙක් ගත්තේය. "කියන දේ නාහන අයට දැඩි දඬුවම් විදින්නට" සිදුවන බව මතක් කර දුන් එතුමා ඉල්ලා සිටියේ මෙම උත්සවයට සහභාගිවීමට පැමිණ සිටින දෙමාපියන්ට ආදර්ශයක් වන ලෙස 'දහම් පාසල් ශිෂ්‍යයින්' හැසිරිය යුතු බවයි. කෙසේ හෝ මා පුල-පුලා බලා සිටි අවස්ථාව එළඹියේ ඉන් අනතුරුවයි. දැඩි වෙහෙසක් දරා 'මනා ලෙස සංසුන්' කර ගත් ශිෂ්‍ය-ශිෂ්‍යාවන් අමතමින් ශිෂ්‍ය නායක නායිකාවන්ගේ වගකීම් හා කාර්ය-භාරය පැහැදිලි කළේය.

1. අනෙක් ශිෂ්‍ය-ශිෂ්‍යාවන්ට පැය භාගයකට පෙර දහම් පාසලට පැමිණිය යුතුය.
2. පැමිණීමේ ලේඛණය අත්සන් කර තමාට නියමිත රාජකාරියට වාර්තා කළ යුතුය.
(රාජකාරී:- මල් පූජාව සංවිධානය කිරීම, ශබ්ද විකාශන පද්ධතියේ රාජකාරී, මල් පූජාව සඳහා නියම කළ භාණ්ඩ රැගෙන ආවාදැයි පරීක්‍ෂා කිරීම, ගේට්ටු අසල රාජකාරී, දහම් පාසල් නිල ඇඳුම පරීක්‍ෂා කිරීම, දහම් පාසල් පදක්කම පැළඳ ඇත්දැයි පරීක්‍ෂා කිරීම, ශිෂ්‍යයින් ජෙල් ආලේප කර ඇත්දැයි පරීක්‍ෂා කිරීම, ශිෂ්‍යාවන් කරල් දෙකට කොණ්ඩය ගොතා ඇත්දැයි පරීක්‍ෂා කිරීම, පන්ති පවත්වන ස්ථාන අතුගා ඇත්දැයි පරීක්‍ෂා කිරීම, (පන්සල් මිදුල පන්සලේ ස්වාමීන් වහන්සේලා හිමිදිරියේම ඇමද ඇති බැවින් එය පරීක්‍ෂා කිරීම රාජකාරී ලැයිස්තුවට ඇතුළත් නොකරන්නට ඇත.) නියමිත වේලාවට සීනුව (ඝාණ්ටාරය) නාද කිරීම, මල් පූජාව සඳහා ශිෂ්‍ය-ශිෂ්‍යාවන් පෙල ගැස්වීම, ආගමික වතාවත් සඳහා පෙළ ගැස්වීම, ශිෂ්‍යයින්ගේ හා ශිෂ්‍යාවන්ගේ පේළි නිවැරදිව ස්ථානගත වී ඇත්දැයි පරීක්‍ෂාකාරීවීම, පමා වී පැමිණෙ ශිෂ්‍ය-ශිෂ්‍යාවන් අව්වේ පේළි ගැස්වීම, ආගමික වතාවත් අතර තුරදී නිශ්ශබ්දතාවය ආරක්‍ෂා කර ගැනීම, කලන්තය සැදෙන අය ශාලව වෙත ගොස් වාඩි කරවීම, උදෑසන රැස්වීම සංවිධානය කිරීම, ගුරුවරු නොමැති පන්ති පාලනය කිරීම, පන්සලේ ගස්-අතු, මල්, ගෙඩි, පොකුණ හා සුරතල් මසුන් ආදිය ආරක්‍ෂා කිරීම, විවේක කාලයේදී ආරවුල් ඇති වන්නේ දැයි පරීක්‍ෂාවෙන් සිටීම, ශිෂ්‍ය-ශිෂ්‍යාවන් විනය විරෝධීව හැසිරෙන්නේ දැයි පරීක්‍ෂාවෙන් සිටීම, විනය කඩ කරනු ලබන අය විදුහල්පති ස්වාමීන් වහන්සේ වෙත ඉදිරිපත් කිරීම, දහම් පාසල අවසන් කිරීමේ රැස්වීම සංවිධානය කිරීම, පේළි සකස් කිරීම, ගේට්ටු අසල රාජකාරී .......) - මෙහි දැක්වූයේ විනය භාර නියෝජ්‍ය ප්‍රධානාචාර්යතුමා පැහැදිලිව හා පිළිවෙලට ඉදිරිපත් කළ රාජකාරී ලේඛනයෙන් මගේ මතකයේ රැඳුනු හා සටහන් කර ගැනීමට හැකිවූ ඒවා කිහිපයක් බව කරුණාවෙන් සලකන්න.

3. විදුහල්පති ස්වාමීන් වහන්සේ, විනය භාර නියෝජ්‍ය ප්‍රධානාචාර්යතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය පවරනු ලබන ඕනෑම රාජකාරියක් ඉටු කිරීමට සූදානමින් සිටිය යුතුය.
4. දහම් පාසලේ කීර්තිනාමය ආරක්‍ෂාවන අයුරින් කටයුතු කළ යුතුය.
5. සෑම විටම අනෙක් ශිෂ්‍ය-ශිෂ්‍යාවන්ට වඩා ප්‍රියමනාප ආකාරයෙන් සැරසී සිටිය යුතුය.
6. සෑම විටම ශිෂ්‍ය නායක පදක්කම පැළඳ සිටිය යුතුය.
7. දහම් පාසල පැවැත්වෙන සෑම දිනකම දහම් පාසල් පැමිණිය යුතුය.
8. දහම් පාසල විසින් සංවිධානය කරනු ලබන සෑම අවස්ථාවකටම අනිවාර්යයෙන් සහභාගි විය යුතුය.
9. සෑම විටම විනය ගරුකව සිටිය යුතු අතර කිසිම විටක අනවශ්‍ය සම්බන්ධතා නොපැවැත්විය යුතුය.
10. සෑම විටම ආගමට දහමට හා ස්වාමීන් වහන්සේලාට ගෞරව කළ යුතුය.

මා මෙම කරුණු සටහන් කර ගන්නවා දුටු නායක ස්වාමීණ්වහන්සේ "මහත්තයා දේශනයට කරුණු ලියා ගන්නවාද?" කියා විමසා, "මටත් දේශනයක් කරන්න කිව්වනෙ; මේ මම පොඩි සටහනක් ගහ ගත්තා" යැයි මා අත කොළ කෑල්ලක් තැබූ සේක. නායකත්වයේ ලක්‍ෂණ: මාතෘකාව යටතේ අරහං ආදී බුදුගුණ හා ඒවායේ සරල තේරුමත්, නායකයෙකු සතුව එම ගුණ තිබිය යුතු ආකාරයත් කෙටියෙන් සඳහන්ව තිබුණි.
"හාමුදුරුවනේ මෙතන නායකයෝ පත් කරන බවක් පේන්න නෑනෙ"
"ඔව් මහත්තයො, ආචාර්ය මණ්ඩලයට වහල්ලු ටිකක්නෙ මේ තෝරගෙන තියෙන්නෙ"
"හාමුදුරුවනේ මේ ළමයි දැන් ගොඩක් වෙලා හිටගෙන ඉන්න නිසා මම දේශනයක් කරන්න අදහසක් නෑ, මම බැජ් පළන්දල ඉවර වුණහම යන්නම්"
"හොඳ විදිහක් මහත්තයො, මමත් නායකයෝ ගැන නෙමේ සේවකයෝ ගැන කතා කරන්න හිතුව"

මේ අතර සභාව පදක්කම් පැළඳවීමේ අවස්ථාව එළඹ තිබුණි. තෝරා ගත් ශිෂ්‍ය නායක නායිකාවන් පෙළකට සිටි අතර ඔවුගේ මව හෝ පියා හෝ දෙදෙනාම හෝ පැමිණ සිට අය ඔවුන් ඉදිරි පිට සිටගෙන සිටී. දැන් ඔවුන් සූදානම්ව සිටින්නේ කම දරුවන්ට 'ශිෂ්‍ය නායක' පදක්කම් පළඳවන්නටයි. මා සිතාගෙන සිටියේ මට ආරාධනා කළේ ඒ කාර්ය සඳහා කියාය. කෙසේ වුවත් මව, පියා හෝ 'භාරකරුවෙක්' පැමිණ නොසිටි දරුවෙකුට පදක්කම පැළඳවීමට මටත් අවස්ථාව උදා විය. ඒ අතර "බැජ් එක පැළැන්දපු ගමන් මම යනවා" යැයා කීවේ ඊ ළඟට මම කුමක් කළ යුතුදැයි දැන ගැනීමේ අදහසිනි. "අපෝ බෑ, ළමයින්ට නායකත්වය ගැන දේශනයක් කරන්න ඕනෙ ඔබතුමා" ආරාධනා කරද්දි කිව්වනම් තමා වඩා හොඳ; කමක් නෑ කියා කියන්න තිබුණත්, "ළමයි ගොඩක් වෙලා හිටගෙන නේද?" කියා පමණක් කීවෙමි.

දේශනය ආරම්භ කිරීමට ප්‍රථම විදුහල්පති ස්වාමීන් වහන්සේගේ අවසරය ඇතිව අභිනව ශිෂ්‍ය නායක-නායිකාවන්ට මංගල 'රාජකාරිය' පැවරුවෙමි. ඔවුන් රැගෙන ආ පැදුරුවල ඉඳගත් දහම් පාසල් දරුවන්ගෙන් මා පළමුවම විමසා සිටියේ "ඔබ දහම් පාසල් පැමිණෙන්නේ ඇයි" කියා. ඔබත් දන්නා පරිදි හා මමත් බලාපොරොත්තු වූ පරිදිම සම්ප්‍රදායික පිළිතුරු කිහිපයක් ලැබුණි. අනතුරුව මම විමසුවේ "දහම් පාසලේ හා පාසලේ වෙනස" කුමක්ද යන්නයි. ලැබුණේ පිළිතුරු දෙකක් පමණි. එක් පිළිතුරක් වූයේ 11.30 ට අවසන් වන බවයි. අනෙක් පිළිතුර වූයේ නිවාඩු දවසක පවත්වනවා යන්නයි. මාගේ ඊළඟ ප්‍රශ්නය වූයේ එසේනම් දහම් පාසලක් කුමකටද යන්නයි.

Wednesday 7 March 2012

මට හරි අමාරුයි....!

මගේ මතයනම් මේ කෙනෙක් ජීවිතයට එක් වරක් පමණක් කළ යුතු ප්‍රකාශයකි.


එහෙත් අවසනාවක මහත! අපේ රටේ බහුතරයක් දවස පුරාවට කීවතාවක් නම් මේ කතාව කියනවාද! මගේ ඔළුව කකියනවා, ඔළුව බරයි, කලන්තෙ වගේ, කැරකිල්ල වගේ, හරි මහන්සියි, බෙල්ල රිදෙනවා, අත කකියනවා, අතන රිදෙනවා, මෙතන රිදෙවා ......

අප නිතරම සිතන දෑ අපට හිමවේ. !

Sunday 4 March 2012

ගෙවී ගියේ මතයක් නැති කාලයක් වගේ!

"වෙලාවක් නැ..!" මේ අමූලික බොරුවක්නෙ. මොනව නැති වුනත් නැති වෙන්නෙ නැති දේ තමා වෙලාව.
ආයෙත් ලියන්න වෙලාව ඇවිත්.