Monday 6 December 2010

ජීවන ශික්ෂතණය සඳහා අධ්‍යාපනය.

සෑම සත්වයකුම මෙලොව උපදින්නේ යම් සහජ ගති ලක්ෂ ණ ප්‍රමාණයක් උරුම කොට ගෙනය. ඒවායින් සමහරක් තම සමාජයට, තම පරිසරයට අහිතකරය; තවත් සමහරක් සමාජයට ඉතා අගනේය. ශික්ෂණයකින් තොරව වැඩෙනා ඒ සත්වයා නිරුත්සාහයෙන් තම හැඟීම්
මුදා හරී. සිත් සේ ක්‍රියා කරයි. ඒවා හිතකර වේ නම් සමාජ ට වාසියක් වේ. අහිතකර වේ නම් සමාජය විනාශ වේ. එම සත්වයාත් විනාශ වේ. මෙම ධර්මතාවය මිනිසාට ද එලෙසම අනුකූලවන අතර විශ්වයේ බලය අයිති කරගෙන සිටින මිනිසා විශ්වයටම මෙම බලපෑම මුදා හරී.

මෙතෙක් ලොව පහල වූ සෑම ආගමකින් ම හෝ දහමකින් ම උත්සාහ කොට ඇත්තේ මිනිසාගේ සහජ ගති ලක්ෂණවලින් සමාජයට වන අහිතකර බලපෑම පාලනය කිරීමට හෝ අවම කිරීමටයි. එබැවින් ජීවන ශික්ෂණය සඳහා අධ්‍යාපනය ලබා දිය යුත්තේ තම ආගම
මගිනි. නොහොත් ආගමික ස්ථාන මගිනි.

මෙම නව අධ්‍යාපන සැලැස්මට අනුව රටේ කිසිම ස්ථානයක මොන්ටිසෝරියක් හෝ පෙර පාසලක් පැවැත් වීමට ඉඩ ප්‍රස්තා නොමැත. ආබාධිත දරුවන් සමාජයට අනුගත කිරීම සඳහා මොන්ටිසෝරි මැතිණිය ආරම්භ කළ ආකාරයේ මොන්ටිසෝරි (වෛද්‍ය උපකාරක
මධ්‍යස්ථාන) පමණක් පවත්වනු ලැබේ.

රටේ සෑම දරුවෙකුම
• වයස අවුරුදු 3 දක්වා දිනකට පැයක් ද,
• වයස අවුරුදු 3 සිට දිනකට අවම පැය 2 ක් ද,
• වයස අවුරුදු 4 සිට දිනකට අවම පැය 3 ක්ද,
• වයස අවුරුදු 5 සිට දිනකට අවම පැය 4 ක්ද,
• වයස අවුරුදු 6 සිට සෑම දරුවෙකුම දිනකට අවම පැයක් ද

ලෙස තම ග්‍රාමයේ පිහිටි, තම දෙමාපියන්ගෙන් එක් අයෙකු හෝ අදහන ආගමේ පූජා ස්ථානයක පවත්වාගෙන යන ජීවන ශික්ෂනණය සඳහා අධ්‍යාපනය ලබා දෙන මධ්‍යස්ථානයක ගත කළ යුතුය. තම ආගමට අදාල පූජා ස්ථානයක් තම ග්‍රාමයේ නොමැතිනම් පමණක්
ආසන්නම ග්‍රාම රාජ්‍යයක පිහිටි ජීවන ශික්ෂණය සඳහා අධ්‍යාපනය ලබා දෙන මධ්‍යස්ථානයකට ඇතුළත් කළ යුතුය.

දරු උපතක් සිදුවූ විට උපත් ලියාපදිංචිය සමගම අදාල ග්‍රාමයේ අදාල පූජා ස්ථානයේ ලියාපදිංචි කළ යුතුය. එසේ ඇතුළත් කළ වසරට පසු එළඹෙන ලිත් වර්ෂයේ ආරම්භයේ සිට වසරකට දින 250ක් අවම වශයෙන් මෙම ස්ථානයේ දරුවා ගත කර තිබිය යුතුය. එම පූජා ස්ථානයේදී දරුවා ඇසුරු කරන්නේ තම ආගමේ පූජ්‍ය/පූජක උතුමෙක් වන අතර උන්වහන්සේ/එතුමා අධ්‍යාපන අමාත්‍යංශයේ ජීවන ශික්ෂණ
අධ්‍යාපන දෙපාර්තමෙන්තුවේ වෘත්තීය සඳහා අධ්‍යාපනය (ඉදිරියේ දී සාකච්ඡා කෙරේ) ලැබූ අයෙක් වේ. මෙම ජීවන ශික්ෂණ අධ්‍යාපනය ලබා දීම සඳහා අවශ්‍ය සියලුම පහසුකම් ජීවන ශික්ෂණ අධ්‍යාපනය දෙපාර්තමෙන්තුව විසින් සපයනු ලබන අතර උන්වහන්සේගේ/එතුමාගේ පැවත්ම සඳහා වූ අවශ්‍යතාවයන් ශික්ෂණය ලබන දරුවන්ගේ දෙමාපියන් ප්‍රමුඛ ග්‍රාම වැසියන් විසින් සපයා දිය යුතු වේ.

මෙම අධ්‍යාපන කාල සීමාව තුලදී දරුවාගේ සහජ ගති ලක්ෂතණ පිළිබඳ පැහැදිලි අවබෝධයක් පූජ්‍ය/පූජක උතුමා විසින් ලබා ගත් යුතු අතර එයින් සමාජ හානිකර ගති ලක්ෂණ අක්‍රිය කිරීමටත්, සුවිශේෂී ගති ලක්ෂණ හා විශේෂ කුසලතා හඳුනාගෙන ඒවා වර්ධනය කර ගැනීමට උදව් කිරීමටත් ඒවා පිළිබඳ වාර්තා අධ්‍යාපන අමාත්‍යංශයට හා දෙමාපියන්ට ලබා දීමටත් කටයුතු කළ යුතුය. කාලාන්තරව පවත්වන ග්‍රාම රාජ්‍ය වැසියන්ගේ එකමුතු රැස්වීම් වලදී දරුවන්ගේ ජීවන ශික්ෂණය අගය කිරීම සඳහා කටයුතු කළ යුතුය. එසේම සෑම දරුවෙකුගේම තොරතුරු, ජීවන ප්‍රවර්ධන තොරතුරු ජාතික දත්ත පදනමට නිතිපතා ඇතුළත් කළ යුතුය. අධ්‍යාපන අමාත්‍යංශයේ ජීවන ශික්ෂණ අධ්‍යාපන දෙපාර්තමෙන්තුවේ ජීවන ප්‍රවර්ධන තොරතුරු ඒකකය විසින් මෙම දත්ත නිරන්තරයෙන් අධ්‍යනය කරනු ලබන අතර සුවිශේෂී දක්ෂතා සහිත දරුවන් පිළිබඳ තොතරතුරු ජාතික විශේෂ කාර්ය දෙපාර්තමේන්තුවට ලබා දෙනු ලැබේ. ඒ ඒ කුසලතාවන්ට අදාලව ජාතික තලයේ හා ජාත්‍යන්තර මට්ටමේ පුද්ගලයින් බිහිකිරීම මෙම ජාතික විශේෂ කාර්ය දෙපාර්තමේන්තුවේ කාර්යය වේ.

ජීවන ශික්ෂ්ණය සඳහා අධ්‍යාපනය තුලින් සමස්ථ දරුවන් තුල යහපත් ගුණධර්ම සමුදායක් වගා කළ යුතුවේ.

• වේලාවට වැඩ කිරීම
• අවසාන ඉලක්කයක් කරා කටයුතු කිරීම
• ඒකාග්‍රතාවය
• අනෙකාට ගරු කිරීම
• සත්‍යගරුක වීම
• යුක්තිගරුක වීම
• නීතිගරුක වීම
• අවංක වීම
• ස්ථානෝචිතව ඉදිරිපත් වීම
• පරාර්ථයට කටයුතු කිරීම
• සාමූහිකත්වය
• අධිෂ්ඨානශීලී බව
• දානශීලී බව
• වගවීම

මේ ආදී වූ ගුණධර්ම ජීවිතයට හුරුවන ආකාරයේ ක්‍රියාකාරකම් සමගින්, තම ආගම පිළිබඳ දැනුම ද, ජීවන ශික්ෂණය ද ලබා දෙමින් පූජ්‍ය/පූජක උතුමෙක් මෙම දරුවන් සමග කාලය ගත කළ යුතු වේ. එබැවින් තව දුරටත් දහම් පාසල් හෝ ඉරිදා පාසල් පවත්වාගනෙ යාමක් අවශ්‍ය නොවේ.

උපන් දරුවෙකු සඳහා වෙහෙසෙන්නා සේම නූපන් එනම් උපදීමට සිටිනා දරුවන් සඳහා ද එලෙසම අවධානය යොමු කළ යුතු වේ. ඉදිරි ‘ලියවිල්ලක’ දී සාකච්ඡා කරන පරිදි අපේ රටේ උපදින සෑම සත්වයෙක්ම රටේ සම්පතක් සේ සලකනු ලැබේ. එබැවින් යම් මවක් ගැබ්බර වූ දින සිටම රටට හිමිවීමට නියමිත සම්පත රැක බලා ගැනීම රජය විසින් සිදු කරනු ඇත. ඒ යටතේ ගැබට සති 12 කි පිරුණු දින සිට සෑම මවක්ම තම ආගමික මධ්‍යස්ථානයේ පවත්වනු ලබන ‘සදහම් සායන’ සඳහා සහභාගි විය යුතුය.

නව අධ්‍යාපන සැලැස්ම

මූලික සංකල්ප තුනක් මත පිහිටා මෙම සැලැස්ම සකස් කර ඇත.
1. උපදින සෑම අයෙකුටම මරණය දක්වා අධ්‍යාපනය ලැබීමට අවස්ථාව හිමි විය යුතුය.
2. අධ්‍යාපනය ලැබීම තුළින් අරමුණු තුනක් ඉටු විය යුතුය.
ජීවන ශික්ෂාණය ලැබිය යුතුය.
දැනුම ලැබිය යුතුය.
වෘත්තීය හැකියාවන් ලැබිය යුතුය.
3. අධ්‍යාපනය ලැබීම අගය කළ යුතු වේ. එහෙත් ඇගයිය යුතු නොවේ.
No appraisal; only admire.

මෙම පරමාර්ථ ඉටුකර ගැනීම පිණිස අධ්‍යාපන ක්‍රම තුනක් මගින් ලබා දෙයි.
1. ජීවන ශික්ෂණය සඳහා අධ්‍යාපනය
2. දැනුම සඳහා අධ්‍යාපනය
3. වෘත්තිය සඳහා අධ්‍යාපනය

ජීවත් වෙමින් අධ්‍යාපනය හා ජීවත් වීමට අධ්‍යාපනය

ලොකු දුව අපොස සාපෙල විභාගෙට සූදානම්!
ගිය සතියේ දිනක විභාගයට පෙර අවසන් පාසල් දිනය පැවැත් වුණා! සියළුම දෙනාගේ සහභාගිත්වයෙන්. ගුරු දෙගුරු සැම දෙනා. විද්‍යාලයේ අධ්‍යක්‍ෂක හිමි, ජනාධිපති උපදේශක, ආචාර්ය බඳගිරියේ සෝමවංශ නායක හාමුදුරුවන්ගේ ප්‍රධානත්වයෙන්. උන්වහන්සේගේ දේශනයේදීත් පැහැදිලිව ප්‍රකාශ වුනේ මේ තියෙන අධ්‍යාපනයේ වැරදි ගැන.
අධ්‍යාපනය ගැන විද්‍යුත් සඟරාවකට මා විසින් ලියන ලද ලිපියක කොටස් කිහිපයක් මගේ මතය යටතේ නැවත පල කරන්න හිතුනා.
“... අධ්‍යාපනය; වචනයේ අර්ථයෙන් ගත් කළ එයින් කියවෙන්නේ යමක් හදාරා ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා බවකි. ඉගෙන ගන්නවා යන පදයෙන් ලැබෙන්නේ ද එවැනිම අර්ථයකි. යමක් උකහා ගන්නවා යන තේරුම ඉන් ලැබේ. ඉංග්‍රීසි භාෂාවෙන්
අධ්‍යාපනය යනු Educatinon ය. Educate යනු හික්මවනවා යන්නයි. ඉගෙන ගන්නවා යන පදයට සමාන අර්ථය දෙන්නේ Lraen යන පදයයි. ‍

වර්තමානය වන විට අපේ අධ්‍යාපනය රටේ සමස්ත ක්‍රියාවන්ටම ඍජුව බලපෑම් ඇති කරන තත්වයක් උද්ගත වී තිබේ. රජය ඍජුවම විශාල මුදලක් අධ්‍යාපනය සඳහා වියදම් කරන අතර තවත් විශාල මුදල් ප්‍රමාණයක් වක්‍රව අධ්‍යාපනය සඳහා වැය වේ. (ප්‍රවානය සඳහා දැවෙන ඉන්ධන ප්‍රමානයෙන් 40%ක් පමණ ‘පාසැල් වෑන්’, ‘පාසැල් බස් රථ’ හා ‘දරුවා පාසට ඇරලවන මෝටර් රථ’ සඳහා වන බව කියවේ.)
අධ්‍යාපනය සඳහා ඍජුව හා වක්‍රව කරන මෙම වියදම රටේ සමස්ථ ආදායමෙන් විශාල ප්‍රතිශතයකි.

එහෙත් මේසා විශාල ධනස්කන්දයක් වියදම් කර ලබා දෙන්නා වූ අධ්‍යාපනයෙන් හිමි වී තිබෙන ප්‍රතිඵලය කුමක්ද යන්න සලකා බැලිය යුතු වේ. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ ඉහලම බලාපොරොත්තුව උපාධියක් ලබා ගැනීමයි. ඒ උපාධිය හිමි කර ගත් කී දහසක් නම් අද රැකියාවක් නොමැත යැයි පවසමින් කල් මරත් ද? කී දහසක් නම් තමන් කරන රැකියාව තම අධ්‍යාපනයේ තත්වයට නොගැලපේ යැයි පවසමින්
පශ්චත්තාප වෙත් ද? ඉතා ඉහල ප්‍රතිශතයක් නිසි වයසේ දී පාසල් අධ්‍යාපනය ලැබීම සඳහා යොමු වුව ද අපොස සාමාන්‍ය පෙල කඩ ඉම පසු කරන්නේ කෙතරම් අඩු ප්‍රතිශතයක් ද? උසස් පෙල සමත් වන්නේ කෙතරම් අඩු ප්‍රතිශතයක් ද? උපාධිය සඳහා සුදුසුකම් ලබන්නේ කෙතරම් අල්ප සංඛ්‍යාවක් ද?

අනෙක් අතට බැලූ කළ කුමන මට්ටමක අධ්‍යාපනයක් ලැබුව ද, කොපමණ ඉගෙන ගත්තවුන් සිටිය ද අද අපේ රටේ, සමාජයේ සාර ධර්ම - ගුණ ධර්ම තිබෙන්නේ මොන මට්ටමේ ද? රටේ සිදුවන අති බිහිසුන අපරාධ මෙන්ම ඉහ වහා ගිය දූෂණය හා භීෂණය පමණක් නොව
සමාජයේ සෑම ස්ථරයකම සිදුවන සදාචාර විරෝධී ක්‍රියාවන් කෙරෙහි අධ්‍යාපනය ඇති කර ඇති බලපෑම කෙබඳු ද? නිවැරදි අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක වන්නේ නම් මෙම අවාසනාවන්ත තත්වයන් මේ තරමට උඩු දුවන්නේ කෙසේද? මෙම කරුණු කෙරෙහි අපගේ අවධානය යොමු විය යුතුය. සිදු කළ යුත්තේ කුමක්ද ද? විශාල වෙනසක් අවශ්‍යව ඇත. එය සිදු කළ හැකි වන්නේ කෙසේ ද?

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිපත්ති ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් වේ. අධ්‍යාපන ඇමතිගෙන් ඇමතිට වෙනස් වේ. කාලීන වෙනස් වීමක් විය යුතු බව සැබෑය. එහෙත් අපට වෙනස් නොවන මුත් වර්ධනය වන අරමුණක් තිබිය යුතුය.

අධ්‍යාපනයේ අරමුණ විය යුත්තේ කුමක් ද? අපේ අරමුණ විය යුත්තේ ජීවත් වෙමින් අධ්‍යපනය හා ජීවත් වීමට අධ්‍යාපනය යන්නයි. මේ සඳහා නව අධ්‍යාපන සැලැස්මක් යෝජනා කරන්නනෙමු. ...“