Monday 9 August 2010

අපෙන් එකෙක් නොදෙමු!

ඩෙංගු සම්බන්ධව දෙවන සටහනත් ඉක්මනින්ම ලියන්න සිද්ද වෙලා!
ගෙවී ගිය ඇසල පෝය දවස්වල ගනේගොඩ පන්සලේ අටවිසි බුද්ධ පූජා මාලාවක් පැවැත්වුණා. ඒ සඳහා ප්‍රදේශයේ ජනතාව විශාල වශයෙන් සහභාගි වූ අතර ප්‍රදේශයේ කිහිප දෙනෙක් (4 දෙනෙක්) ඩෙංගු රෝගයට ගොදුරු වෙලා කියන ආරංචියත් පන්සලට ලැබුණා. මේ සම්බන්ධව සාකච්ඡා කළ පන්සලේ ලොකු හාමුදුරුවෝ, සියනැදී සිව්කෝරළයේ ප්‍රධාන සංඝ නායක දන්දෙනියේ ජිනවංශාභිධාන නායක හාමුදුරුවෝ සහ ප්‍රදේශයේ තරුණ පිරිස තීරණයකට ආව!
අපෙන් එකෙක් නොදෙමු! ඒ තීරණයේ සාරාංශය වුනේ එයයි. ඩෙංගු මාරයටත්, ඩෙංගු මදුරුවා බෝවන ස්ථාන පවත්වාගෙන යාම හේතුවෙන් පොලීසියටත් අපේ ගමේ කිසිම අයෙක් රැගෙන යාමට නොදෙමු කියන දැඩි තීරණයට එළඹියා.

ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව තීරණය ගැනීමේ සාකච්ඡාව ජූලි 31 දා පැවැත්වුණා. දොම්පෙ පොලිස් ස්ථානාධිපති ප්‍රභාත් පරණවිතාරණ මහත්තයා, දොම්පෙ රෝහලේ වෛද්‍යවරියක් හා හෙඳ නිලධාරිනියක්, මහජන සෞඛ්‍ය පරීක්ෂක රාමනායක මහත්තයා, ප්‍රදේශයේ සමෘධි නිලධාරිනියන්, කෘ.ප.නි.ස. නිලධාරීන්, දොම්පෙ මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා, දායක සභාවේ නිලධාරීන් හා ප්‍රදේශයේ තරුණ පිරිස කිහිප දෙනෙක් පැමින සිටියා.

මෙම රැස්වීමේදී එළඹි ප්‍රධාන තීරණ වුණේ,
1. හැකි ඉක්මණින් රෝගය පිළිබඳවත්, රෝගය බෝ කරන මදුරුවාගේ බෝවීම වලක්වා ගැනීම පිළිබඳවත්, එසේ කටයුතු නොකරන අයට එරෙහිව ගන්නා නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳවත් ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමේ රැස්වීමක් පැවැත්වීම (2010. 08. 07 දින)
2. තම නිවස හා ගෙවත්ත පිරිසිදු කිරීමට සතියක කාලයක් ලබා දී, එම කාල තුල එකතුවන මදුරුවන් බෝවන ද්‍රව්‍ය හා කසල එක් දිනකදී දොම්පෙ ප්‍රාදේශීය සභාවේ සහයෝගයෙන් එක් රැස් කර බැහැර කිරීම (2010. 08. 15)
3. පිරිසිදු කිරීමෙන් පසුව ම.සෞ.ප. හා පොලීසියේ නිලධාරීන් සමග ප්‍රදේශය පරීක්ෂා කර මදුරුවන් බෝවන ස්ථාන තවදුරටත් තිබෙන නිවැසියන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්ම කිරීම.
4. මාස 6ක පමණ කාලයක් වරින් වර පරීක්ෂා කිරීම් සිදු කිරීම හා නීත්‍යානුකූලව කටයුතු කිරීම.

මෙම ව්‍යාපෘතියේ පළමු අදියර - දැනුවත් කිරීමේ රැස්වීම් 2010. 08. 07 දින ගනේගොඩ පන්සලේදී පැවැත්වූවා. උදේවරුවේ ගල්වලගොඩ ග්‍රාම නිලධාරී කොට්ඨාශය සඳහා. සවස් වරුවේ ගනේගොඩ ග්‍රාම නිලධාරී කොට්ඨාශය සඳහා. රැස්වීම් සඳහා කැඳවීමේ ලිපි සියළුම ගෘහමූලිකයින්ගේ නමටම මුද්‍රණය කොට සෑම නිවසකටම බාර දුන්නා. මේ ලිපි බෙදා දීම සඳහා ප්‍රදේශයේ තරුණ කණ්ඩායම හා ක්ෂේත්‍ර නිලධාරීන් පූර්ණ සහයෝගය ලබා දුන්නා.
රැස්වීමට පැමිණීම ඉතා ඉහල අගයක් ගත්තා. ගල්වලගොඩ නිවාස 351 න් 333 කින් පැමිණියා. 94.7%ක්. ගනේගොඩ 476 න් 456 ක්. 95.8%ක්.
නොපැමිණි අයගේ නිවෙස් පරීක්ෂා කිරීම අද (2010. 08. 09) උදේ සිට ආරම්භ කළා. ම.සෞ.ප. හා පොලීසිය ක්‍රියාත්මකයි.

ඊයේ සවස් වන විට ප්‍රදේශය පුරා සෑම තැනකින්ම දුම් රොටු අහසට නැගුණා. ඉරිදා දිනයේ බොහෝ දෙනෙක් වැඩ පටන් අරගෙන වගේ.
අපෙන් එකෙක්වත් නොදෙමු...!

Thursday 5 August 2010

පොතේ නැති බෙහෙත්

පොතේ නැති බෙහෙත්...!

මුලදීම ඩෙංගු රෝගයකි. ඊළඟට වසංගතයකි. දැන් ව්‍යසනයකි. ඒඩ්ස් මාරාන්තිකයි. ඩෙංගු මරණය නියතයි!. රිජ්වේ ළමා රෝහලේ පමණක් නොවේ, ලංකාවේ සෑම මූලික රෝහලකම ළමා වාට්ටුව අද පිරී ඇත්තේ ඩෙංගු හෝ ඩෙංගු යැයි සැක කරන උණකින් පෙළෙණ අහිංසක හුරුබුහුටි දරුවන්ගෙන්. මාගේ ඥාති පුත්‍රයෙක් දවස් කීපයක් රෝහලේ ඇඳකට වෙලා අපි සැවොම හැඬෙව්වා! උණ හැදිල දවස් තුනකින් පේට්ලට් කවුන්ට් එක ලක්ෂ 1යි. ඊළඟ දවසේ 87 දාහයි. ඊළඟ දවසේ 79 දාහයි. .... මෙහෙම ගියොත් පළමුව පුතාට කම්පණය. ඊළඟට අපට කම්පණය.
පසුගිය දිනවල සියළුම මාධ්‍යවලින් වාර්තා කළා, ගස්ලබු කොළ ඉස්මවලින් පේට්ලට් අගය වහා ඉහල නගිනවා කියල. ඒත් තවමත් වෛද්‍යවරු ඒ ගැන කතා කරන්නේ නෑ. ‍කළ යුත්තේ කුමක්ද! අහිංසක රෝගීන්ගේ ඥාතීන් මොනව කරන්නද?. වාසනාවන්ත දරුවෝ කිහිප දෙනෙක් සුවපත් වෙලා, ගෙවල් වලට යන්න සූදානම.
"ඇත්තටම ඔය ගස්ලබු කොල ඉස්ම වැඩේ ඇත්තද දන්නෑ නේද?"
"අනේ දන්නේ නෑ අනේ. අපි මැල්ලුම් හදලනම් දුන්න. හරි තිත්තයි. ටිකයි කෑවේ"
"ඒකත් එහෙමද?"
දරුවා දිහා බලන් ඉන්න බෑ. තොල් කිව්ටෙක්ස් ගාල වගේ, යටි පතුල් රතු පාටයි. අත-පය රතු වෙලා.
"මට රිපෝට් එක ගන්න යන්න දුන්නෙ නැත්නම් මම උපවාස කරනවා"
"මොකක්ද කරන උපවාසෙ?"
"ඒක කිව්වොත් කරන්න දෙන්නෙ නෑනෙ!"
කම්පනය නිසා විකාරෙන්ද, නැත්නම් අද ට්‍රෙන්ඩ් එකද?
"දැන් කොහොමද පුතාට?"
"අනේ මන්ද"
"අපේ අර නැන්දට අන්තිම වෙලා අයිසීයූ දැම්මනෙ, අපි ගස්ලබු කොල ඉස්ම දුන්න. දවසෙන් රිකවර්"
"දොස්තරල මොකද කිව්වෙ?"
"කිය කිය හිටියෙ නෑ. අපි දුන්න"
"ඒකත් එහෙමද?"
40 දාහටත් අඩු වුනොත් භයානකයි. තවත් බලන් ඉන්නවාද?
"ඕනෙ එකක් වෙන්න අපිත් දෙමුද?"
"දෙමු අයියෙ, වහ නෙමේනෙ"
......
"පේට්ලට් කවුන්ට් එක ලක්‍ෂෙ පැනලලු. හෙට යන්න පුළුවන් වෙයි කිව්ව."
පැය අටකින් තත්වය තනිකරම අනිත් පැත්ත හැරුණ.
........
'තිසුරි සිහිසුන්ව සිටි නිසා ගස්ලබු ඉස්ම දෙන්න බැරි වුණා: අම්මට පෙවූ පසු දින දෙකකින් සුව වුණා. ඩෙංගු වැළඳී මියගිය හත් හැවිරිදි දැරියගේ මරණය ගැන ඥාතිවරියක් කියයි' (2010 අගෝස්තු 5 ලංකාදීපයේ 11 පිටුවෙන් උපුටා ගත්තෙ)
......
වෛද්‍යවරු පොතේ නැති බෙහෙත් දෙන්නෙ කොහොමද? එහෙමයි කියල මැරෙණකම් බලන් ඉන්නෙත් කොහොමද?
ඩෙංගු රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා ගස්ලබු කොළ ඉස්ම ලබාදීම පිළිබඳව වහා තීරණයක් අදාල බලධාරීන් විසින් ගත යුතු බව මාගේ මතයයි.