Saturday 29 May 2010

කොණ්ඩෙ බැඳල පාසල් යමු...!

ලංකාවේ ක්‍රියාත්මක වන්නේ 'නිදහස්' අධ්‍යාපනයකි. අධ්‍යාපනයට මෙම 'නිදහස්' කෑල්ල එක්වන්නේ කන්නංගර යුගයේය. එතෙක් (වැඩිදුර) අධ්‍යාපනය ලැබීම සඳහා ගෙවීමක් කිරීමට සිදුවිය. එයින් නිදහස් කර නොමිලේ අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාව ලබා දීම නිසා අධ්‍යාපනයට 'නිදහස' එකතු විය. එසේ නිදහසේ ලබන්නට පින් ලැබුයේ එතෙක් පැවති මිෂනාරී අධ්‍යාපනයමයි. මෙම මිෂනාරී අධ්‍යාපනය 'නිදහසේ' ලැබිය හැකි එකක් නොවීය. එය අති මහත් නීති පද්ධතියක් යටතේ දැඩි පාලනයකින් යුතුව ලබා දුන් එකකි විය.

පාසල් නිල ඇඳුම එක් නීතියකි. මා ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ පාසලේදී අපට නිල ඇඳුමක් නොතිබුණු අතර නගරයේ පාසලට පැමිණි විගස ඇඳුම් ඇඳීමේ නිදහස සීමා විය. ඇඳුමේ පාට පමණක් නොව කලිසම් කුකලේ දිග, කමිස අතේ දිග, සපත්තුවේ පාට, මේස්වල උස ආදී සීමා රාශියක් විය.
කකුල් දෙකටම සපත්තු නොදැමීමේ නිදහස ද නැති විය. එක් කකුලක පමණක් තුවාලයක් තිබේනම් සෙරෙප්පු දැමිය හැක්කේ එම කකුලට පමණි. අනිත් කකුලට සපත්තුවක් දැමිය යුතුය.
හිස කෙස් වැවීමේ නිදහස ද නැති විය. අපගේ 'කොණ්ඩා මෝස්තරය' තීරණය කරන්නේ විනය භාර ආචාර්යවරයාය. මාගේ පුතාගේ ඉතා හුරුබුහුටි කොණ්ඩා මෝසතරය පාසලට ඇතුළත් කළ විගස 'දැඩි අවවාද කිරීම්' සහිතව වෙනස් කිරීමට සිදුවිය. දැනටද කෙස් වැවිය හැක්කේ කෙස් අතරින් අතැඟිලි යැවූ විට 'අතට අහු නොවන' ප්‍රමාණයටය.
මාගේ සොයුරියන් ගිය පාසලේ දී කොණ්ඩය දිගනම් කරල් දෙකට ගොතා නියම කළ වර්ණයෙන් හා නියම කළ පළලින් සහ දිගින් යුතු රිබන් පටිවලින් නියමිත ගැටය ගැසිය යුතුය. කොටට කපනවා නම් තවත් නීති පද්ධතියක් අදාල විය.
මේ 'නිදහස් අධ්‍යාපනයේ' නැතිව ගිය නිදහයෙන් කිහිපයක් පමණි.
අවාසනාවට හෝ වාසනාවට තවත් කොටසකට පමණක් නැතිව ගිය නිදහසක්ද වේ. එනම් විරුද්ධ ලිංගිකයින් සමග එකට සිට අධ්‍යාපනය ලැබීමේ නිදහස.
කෙසේ හෝ මෙවැනි දැඩි විනය පද්ධතියක් යටතේ අධ්‍යාපනය ලබන සියළු දෙනා සමාජයට පැමිණි විට එලෙසම විනයානුකූලව ජීවත් වීමේ ශික්‍ෂණය ලබා තිබේද යන්න පැහැදිලි නැත. මෙම නීති අවශ්‍ය වන්නේ ආයතන පරිපාලනය සඳහා පමණක් නම් තව දුරටත් මේ 'නිදහස නැති කිරීම' පවත්වාගෙන යායුතුද?