Friday 18 December 2009

යුතුකම් හා අයිතිවාසිකම්

යුතුකම් කියන්නේ ක්‍රියාවක්. අයිතවාසිකම් කියන්නේ ප්‍රතිඵලයක්.
යුතුකම් කියන්නේ එක් අයෙකු විසින් ඉටු කළ යුතු කාර්යයක්. අයිතිවාසිකම් කියන්නේ ඒ පුද්ගලයා යුතුකම් ඉටුකිරීම නිසා තවත් අයෙකුට ලැබෙන ප්‍රතිඵලය.
ඒත් අපි ඔය දෙක මාරු කරගෙන ඉන්නේ.
අපි හිතන් ඉන්නේ අයිතිවාසිකම් කියන්නේ තියෙන දෙයක්. යුතුකම් කියන්නේ කළ යුතු දෙයක් කියල.
සේවකයා හිතන් ඉන්නවා සේව්‍යයා තමන්ට වැඩි පඩි ලබා දිය යුතුයි; එය තමන්ගේ අයිතිවාසිකමක් කියල. එහෙත් එතන තියෙන්නේ වැඩි පඩි ලබා දීම සේව්‍යයාගේ යුතුකම. ඔහු එය ඉටු කළොත් එහි ප්‍රතිඵලය සේවකයාට ලැබෙනවා. ඒ විදිහටම තමා සේවකයාගේ යුතුකම-වගවීමෙන් සේවය කිරීම හා සේව්‍යයාගේ අයිතිවාසිකම-බලාපොරොත්තු වන ලාබය ලැබීම.
දෙමාපියන් හා දරුවන් ගත්තත් එසේමැයි. සිඟාලෝවාද සූත්‍රයේ හොඳින් කියනවා ඒ ගැන. සෑම පාර්ෂවයකටම තියෙන්නේ යම් යුතුකමක්. එය ඉටුකිරීමෙන් ප්‍රතිපාර්ෂවයට යමක් ලැබෙනවා. නමුත් එය ප්‍රතිඵලයක් විනා නයමයක් නොවේ.

Friday 11 December 2009

විපක්‍ෂ නායක ජනාධිපති කරන නව ව්‍යවස්ථාවක්

ශ්‍රී ලංකාවේ මේදිනවල ජනප්‍රසිද්ධම මතෘකාව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි. ජනාධිපතිවරණයේ එක් පාර්ෂවයක ප්‍රධානම තේමා පාඨය වී තිබෙන්නේත් එයයි. අපේ රටට විධායක ජනාධිපති වරයෙකු අවශ්‍ය බවයි මාගේ මතය. එහෙත් ඒ තනතුරට වර්තමානයේ ආරෝපණය කොට තිබෙන්නා වූ අසීමිත බලයතල ඉවත් කළ යුතුයි. විශේෂයෙන් ජනාධිපති පාර්ලිමේන්තුවට/ව්‍යවස්ථාදායකයට හා අධිකරණයට ඍජුවම වගකිව යුතුයි. එසේම විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය එකිනෙකින් ස්වායත්ත ආයතන විය යුතුයි.

විධායකය ප්‍රධාන කොටස් තුනකින් සමන්විය යුතුයි.විධායකයේ නායකයා ජනාධිපති වේ. ජනාධිපති තෝරා ගන්නේ ව්‍යවස්ථාදායකය මගිනි. මෙහිදී සැලකිල්ලට ගත යුතු විශේෂ සාධකයක් පවතී. එය විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ පවතින ප්‍රබලව බෙදී ගිය දේශපාලන පක්‍ෂ ක්‍රමය නිසා ඇතිවූ තත්වයකි. සෑම විටම රාජ්‍ය පාලනය බාර ගන්නා පක්‍ෂය තම බලය පවත්වාගෙන යාමටත්, බලය අහිමි වූ පක්‍ෂ නැවත බලය ලබා ගැනීමටත් පමණක් කටයුතු කිරීම නිසා සෙක්කුවේ බැඳි ගොනා සේ වසර 60ක් තිස්සේ අපේ රට එකම තැන කැරකෙමින් පවතී. එබැවින් දේශපාලනයට පිවිසෙන සෑම දෙනෙකුටම සෑම විටම රටේ දියුණුව අභිවෘද්ධිය සඳහා යම් කාර්යය භාරයක් හිමි වූ පාලන ක්‍රමයක් රටේ තිබිය යුතුය. එවිට අනෙකාගේ කකුලෙන් ඇදීමෙන් බලය ලබා ගන්නවාට වඩා තමා කළ සේවය නිසා තවදුරටත්/වැඩිදුරටත් බලය ලබා දෙන ක්‍රමයක් නිර්මාණය කළ යුතුවේ.

මහ මැතිවරණයකින් බහුතරය ලබා ගන්නා පක්‍ෂයට/සංධානයට ව්‍යවස්ථාදායකයේ බලය හිමි විය යුතුය. එහි දී දෙවන ස්ථානයට පත්වන කණ්ඩායමෙන් යෝජනා කරන අයෙකු විධායකයේ නායකායා නොහොත් ජනාධිපති ලෙස පත් කරගත යුතුය. එවිට පළමු කොටම රටේ පාලනයට රටේ ප්‍රධානම දේශපාලන පක්‍ෂ/සංධාන දෙකම ඍජුවම හවුල් වී හමාරය. දෙවනුව පත්වන කිසිම ජනාධිපතිවරයෙක් තම පක්‍ෂයට ව්‍යවස්ථාදායකයේ බලය ලබා ගැනීම සඳහා ව්‍යවස්ථාදාය විසුරුවා නොහරිනු ඇත. එසේ කර එහි බලය අල්ලා ගත් විට තම පක්‍ෂයට හිමිව තිබූ විධායක නායකත්වය හෙවත් ජනාධිපතිකම අනෙක් පක්‍ෂයට හිමි වේ. එබැවින් නියමිත මැතිවරණයක් පවත්වන තුරු ජනාධිපති ව්‍යවස්ථාචායකය විසුරුවා හැරීමට පෙළඹෙන්නේ නැත.

විධායකයේ දෙවන කොටස ව්‍යවස්ථාදායකයේ පාලක කණ්ඩායමේ නායකයා විසින් තෝරා පත් කළ යුතුය. එය මණ්ඩලයක් විය යුතු අතර එහි එක් එක් සාමාජිකයා එක් විෂයක් පිළිබඳව පුද්ගලිකවද, මණ්ඩලය සාමූහිකවද ව්‍යවස්ථාදායකයට වග කිව යුතුය. මෙම මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව හා ඔවුනට පැවරෙන විෂයන් මොනවාද යන්න ව්‍යවස්ථාදායකය විසින් සම්මත කර ගත යුතුය. විධායකයේ තීරණ සඳහා ව්‍යවස්ථාදායකයේ අනුමැතිය හා ප්‍රතිපාදන ලබා ගැනීම මෙම විධායක මණ්ඩල සාමාජිකයින්ගේ හෙවත් ඇමතිවරුන්ගේ වගකීම වේ.

විධායකයේ තෙවන කණ්ඩායම විධාකයයේ නායකයා හෙවත් ජනාධිපති විසින් තෝරා ගන්නා නිලධාරී මණ්ඩලයක් වේ. මේ සඳහා ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි රාජ්‍ය සේවය සඳහා අවශ්‍ය සුදුසුකම් සහිත ඕනෑම කෙනෙකු තෝරා ගත හැකි අතර ඒ ව්‍යවස්ථාදායකයේ සාමාජිකයෙකු වුවහොත් ඔහුගේ ව්‍යවස්ථාදායක සාමාජිකත්වය අහෝසි වනු ඇත. එසේම මේ සෑම ලේකම් වරයෙකුම රජයේ නිලධාරියෙකු බවට පත්වන අතර ඔහු රාජ්‍ය නිලධාරියෙකු යටත්වන සියළුම නීති රෙගුලාසි වලට යටත්ව සේවය කළ යුතුය. ව්‍යවස්ථාදායකය විසින් සම්මත කර ගත් සෑම විෂයක් සඳහාම මෙම ලේකම්වරු පත්වන අතර එම අමාත්‍යංශය විධායකයේ නියමයන්ට අනුව පරිපාලනය කිරීම ඔහුගේ වගකීම වේ.

ජනාධිපතිවරයා විසින් ගන්නා ලබන සියළුම ප්‍රතිපත්තිමය තීරණ, විධායක මණ්ඩලයේ එකඟතාව ඇතිව හෝ නොමැතිව, අදාල අමාත්‍යවරයා ලව හෝ පුද්ගලිකව තමා විසින් හෝ ව්‍යවස්ථාදායකයට ඉදිරිපත් කොට අනුමත කර ගත යුතු වේ. එම තීරණය විධායක මණ්ඩලය විසින්, එනම් අනෙක් කණ්ඩායමේ එකඟතාව ලබා දී ඇත්නම් තම කණ්ඩායමේ එකඟතාවද සමගින් පහසුවෙන් අනුමත කර ගත හැකිවේ. විධායක මණ්ඩලයේ එකඟතාවයකින් තොරව ඉදිරිපත් කරණ යෝජනාවක් වුවත් සාමූහික වගකීම හා විශේෂයෙන්ම තමන්ද නියෝජනය කරන රජයේ සැලැසුම් කෙරෙහි ඇති වගවීම හේතුවෙන් ව්‍යවස්ථාදායකයේ අනුමැතිය ලබා ගත හැකි විය යුතුය. මෙවැනි අවස්ථාවල මෙම ප්‍රධාන පක්‍ෂ/සංධාන දෙකටම අයත් නොවන ස්වාධීන හා සුළුතර නියෝජිතයින්ගේ මතය තීරණාත්මක වනු ඇත. එබැවින් විශේෂයෙන් අඩු ජනගයනයක් සහිත ජනවර්ග ඍජුවම නියෝජනය කරන නියෝජිතයින්ට තමන්ගේ අවශ්‍යතාවන් සඳහා ප්‍රධාන පක්‍ෂ සමග සංධාන ගත නොවී තම අනන්‍යතාව සුරැකෙන අයුරින් තම ශක්තිය පෙන්විය හැකිය.