Sunday 29 March 2009

ඡන්දෙ ගණන් කිරීම

ඡන්දය නැත්නම් මැතිවරණය බොහෝ දෙනා වැඩිය කථා කරන්න අකමැති මාතෘකාවක්. ඒ තරමට මිනිසුන්තුළ ඡන්දය ගැන තියෙන් කැමැත්ත, විශ්වාසය, බලාපොරොත්තු, උනන්දුව නැති වෙලා. නිතර නිතර ඡන්ද පැවැත්වීම නෙමේ ඒකට හේතුව. ඡන්දයෙන් විය යුතු දේ නොවනබව දැන ගැනීමයි හේතුව.
ඡන්දෙන් විය යුත්තේ කුමක්ද?
තමන්ගේ අවශ්‍යතාවයන් තමන් තැමති පරිදි ඉටුකර ගැනීම සඳහා, තමන් වෙනුවෙන් තීරණ ගැනීම සඳහා තමන්ගේ නියෝජිතයෙකු පත්කර ගැනීමේ අවස්ථාව තමා ඡන්දය කියන්නේ. 'ජනතා පරමාධිපත්‍යයේ' මූලය මෙය ලෙස හැඳින්විය හැකිය.
එහෙත් අද ජනතා පරමාධිපත්‍යය තිබෙන්නේ වසර කිහිපයකට වරක් එක දිනක පැය 8 ක කාලයක් සඳහා පමණි. ඉන් පසු පරමාධිපත්‍ය තිබෙන්නේ නියෝජිතයා ළඟය. මේ හේතුව නිසා ජනතාවට අද ඡන්දය 'එපා තිත්ත' වී හමාරය.
කෙසේ වුවද මා අද මතය ප්‍රකාශ කිරීමට අදහස් කළේ ඡන්ද ගනන් කිරීමට ගත් හා පසුව වෙනස් කළ තීරණය ගැනයි.
බස්නාහිර පළාතේ පළාත් සභා මැතිවරණයේ ඡන්ද, ඡන්ද මධ්‍යස්ථානයේදීම ගනන් කිරීමට මුලදී තීරණය කර තිබිණි. මෙය ඉතා හොඳ නව්‍යකරණ තීරණයක් ලෙස සිතමි. එහෙත් අවාසනාවකට මෙන්, සුපුරුදු පරිදි දේශපාලන පක්ෂවල පරමාධිමත්‍යයට යටත්ව ඒ තීරණය අහෝසි වී ඇත.
ඡන්ද ගනන් කිරීමේ දී ඇතිවන්නේයැයි සමහරුන් අදහස් කරන දූෂණ අවම වීම, ඡන්ද ප්‍රථිපල ඉක්මනින් නිකුත් කිරීමට හැකි වීම, වියදම් අඩුවීම වැනි ධනාත්මක ලක්ෂණ රාශියක් මේ තුල තිබෙන අතර, වඩාත්ම මාගේ සිත් ගත් ලක්ෂණය නම් ඡන්ද මධ්‍යස්ථානයේදීම ඡන්දය ගණන් කිරීම නිසා මධ්‍යස්ථාන මට්ටමින් මනාප ප්‍රථිපල දැන ගැනීමට හැකිවීමය. සමානුපාත ඡන්ද ක්‍රමය නිසා තමාගේ නියෝජිතයා නිවැරදිව සොයාගැනීමට නොහැකිව තිබෙන මෙම යුගයේ ඒ ඒ ගම්මානයේ ජනප්‍රිය අපේක්ෂකයා හඳනා ගැනීමේ අවස්ථාව මෙමගින් හිමි වේ.

ඒ අනුව මාගේ මතය නම් ඡන්ද මධ්‍යස්ථානයේදීම ඡන්දය ගනන් කිරීම 'ජනතා පරමාධිපත්‍ය' වඩාත් හොඳන් අර්ථගැන්විය හැකි අවස්ථාවක් බවයි.

Monday 23 March 2009

ලෝක ආර්ථික අර්බුදය හා ලංකාව

බොහොම ජනප්‍රිය මාතෘකාවක් අල්ලගත්තතේ. මට මේ ගැන මගේ මතය කියන්න හිතුනේ ඊයේ අහන්න ලැබුනු පණිවුඩයක් නිසා. මගේ ළඟම හිතවතෙක් ලබන සතියේ ලංකාවට එනවා, ඕස්ට්‍රේලියාවේ තමන් රැකියාව කළ ආයතනය වසා දැමීම නිසා. වසා දැමීමට හේතුව එම ආයතනයට වැඩ නැතිවීම. ඔහු පවසන පරිදි ඕස්ට්‍රේලියාවේ ආයතන විශාල ප්‍රමාණයක් මේවන විට වසා දමමින් පවතිනවාලු. එසේම ඒ බොහොමයක් ආයතනවල ලංකාව වැනි පෙරදිග වැසියන් රැකියාව කරනවාලු.

මේ තත්වය මොන ආකාරයට ලංකාවට බලපාවිද?
තොරතුරු තාක්ෂණ අංශයට මොන ආකාරයට බලපාවිද?
අපි මෙම අර්බුදයට මුහුණ දිය යුත්තේ කෙසේද?

ආර්ථිකය හා ලෝක දේශපාලනය සම්බන්ධව ලංකාවේ සිටින බොහොම කීර්තිමත් පුද්ගලයෙක් මීට සති දෙකකට උඩදී 'ලෝක ආර්ථික අර්බුදයට ලංකාව මුහුණදිය යුතු ආකාරය' පිළිබඳව ලිපියක් ලියා තිබුණා. කොටස් දෙකකින් පළවූ ලිපියේ පළමු දිනයේ ආර්ථික අර්බුදය ඇතිවීමට හේතුව ‍බොහොම සරලව පහදා දී, එයට අපි මුහුණදිය යුතු ආකාරය ඊළඟ සතියට කල් තබා තිබුණා. ඊයේ මගේ මිත්‍රයාගේ පණිවුඩය ලැබුණවිට අර ලිපිය මතක් වී අපේ විද්වතාගේ යෝජනා මොනවාද කියා බැලුවා. නැවතවරක් අර්බුදය ඇතිවූ හැටි අග සිට මුලට පහදා දී ලිපිය අවසන් කර තිබුණා.

මෙම අර්බුදය ලංකාවට බලාපාන ආකාරය හා එයින් ඇතිවන නව තත්වයට මුහුණ දිය යුත ආකාරය පිළබඳව අපේ රටේ හොඳ මතවාදයක් ගොඩනැගී නොමැති බවයි මාගේ මතය.